මට අහිමි මගේ ප්‍රේමියේ (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“කවද්ද ලංකාවට ආවේ ?”
අවුරුදු ගානකට කලින් මැකිලා ගියපු ඇය අද ආයෙම මගේ ඇස් ඉස්සරහ ඉඳන් එහෙම අහද්දී උත්තර දෙන්න වචනත් අමතක උනා.
“කෙනුර….”
මගෙන් උත්තර නැති තැන ඇය ආපහු එහෙම අහද්දී තමයි හීන එක්කම මං බිම වැටුනේ.
“දැන් සතියක් විතර වෙනවා විශූ. වෙලාවක් උනේ නෑ බලන්න එන්න.”
ඉස්සරටත් වඩා ලස්සන වෙලාද මන්දා. එහෙම හිතන ගමන් මං ඇයට උත්තර බැන්දා. ඉස්සරම දවසක එයා දකිද්දී දැනුන හැඟීම අදත් හිත ඇතුලේ පුපුරු ගහනවා.
තාමත් විශූ නේද ? කවදාවත්ම මට හරියට කතා කරන්නේ නැද්ද ? “
ලොකේටම එයා විහානි වෙද්දී මට විතරක් විශූ උනා. හරියට කතා කරන්න. ඒ වචන එක්ක මං ආයෙම අතීතෙට ඇදිලා ගියා.
අවුරුදු ගානකට කලින් හරියටම අවුරුදු දහයකට කලින් මට ඇයව මුණ ගැහෙද්දී මට අවුරුදු 19 ක්. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරපු මට එපාම උන විශය රසවත් කලේ ඇය.
ඔව්! ඇය මගේ රාසයන විද්යා ගුරුවරිය.
ඒ කාලේ විශ්වවිද්යාලයෙ දෙවන වසරේ ඉගෙනුම ලබපු ඇය අමතර රැකියාවක් විදිහට රසායන විද්යාව අමතර පන්ති පැවැත්තුවා. මට වඩා අවුරුදු තුනක් වැඩිමල් ඇය මගේ ගුරුතුමිය උනේ ඒ විදිහට.
ඇය මට ඉගැන්නුවේ විෂය විතරක් නෙමෙයි. මං ජීවිතේ ඉගෙන ගත්තෙත් ඇයගෙන්. රස්තියාදු ජීවිතේට අරමුණක් සොයා දුන්නේ ඇය.
සල්ලි නෙමෙයි ජීවිතේ කියල මට තේරුම් කරේ ඇය. සල්ලිකාර පවුලක නාස්තිකාර දඩබ්බර පුතාව හික්මවලා ජීවිතේ ඉගැන්නුවේ ඇය. ඇය වචනයේ පරිසමාප්තියෙන්ම හොඳ ගුරුවරියක්. සල්ලි අතරේ අහිමි උන අම්මාගේ ආදරේ මං ඇගෙන් වින්දා ඉඳ හිට.
සතියක් ඉවර වෙලා සතියක් එනකන් මං බලන් හිටියේ ඇයව දකින්න. කාලේ මේ විදිහට ගත වෙලා විභගෙ ඉවර වෙලා ගත වෙන්න පටන් ගත්තු දින වල තමයි මට තේරුනේ මං ඇයට ඇබ්බැහිවෙලා කියල.
ඇය ගැන දැනුන ඒ හැඟීමට නමක් තිබුණේ නෑ මං ළඟ. හැබැයි ඒක ගුරු ගෞරවයට එහා ගියපු හැඟිමක් බව නම් මං හොඳින් වටහාගෙන තිබුණා.
ඇයව නොබලා ඉන්න බැරි තැන ඉඳ හිටක බොරු හේතුවක් හදාගෙන ඇයව බලන්න යන මං දවසම කියව කියව ඈ ළඟට වෙලා හිටියා. ඇය ළඟ ඉද්දී මට දැනුනා මං ජීවත් වෙනවා කියල.
අවසානයේ මං හොයා ගත්තා ඒ බැඳීමට නමක්. ඔව් ඒ තමයි ආදරේ. මං ඇයට ආදරේ කරනවා. මං ඒක තේරුම් ගත්තා. හිතත් මනසත් එක්ක දරුණු සටනකට පස්සේ මං තීරණය කරා මගේ ආදරය ඇයට කියන්න.
ඒ තමයි ඇගෙත් මගෙත් අවසාන හමුවීම. ඇගේ වචන හමුවේ ඉපදුන තැනම මට මරලා දාන්න උනා මගේ ප්රේමය. ආදරේ කියන්නත් කලින් ඇය මගේ ඇස් දිහා බලන් කිව්වේ මේක මිරිඟුවක් කියල.
කවදාවත්ම අම්මා අප්පච්චිගේ ලෝකෙට සම්මත කරන්න බැරි කතාවක් පටන් ගන්න ඇය ප්රතික්ෂේප කරා. අවුරුදු තුනක පරතරය මගේ ජීවිතේ වටිනම කෙනා මට අහිමි කරා.
සම්මතය නිසා ජීවිතේ ගොඩක් තැන් අසම්මතව විඳවනවා. මගේ ජීවිතෙත් ඒ වගේ.
විඳවන්න පාර හොයාගෙන එදා මං ඇයට පොරොන්දු උනා, නෑ ඇය මාව බලෙන් පොරොන්දු කරගත්තා ආයේ කවදාවත්ම එයාගේ ඇස් ඉස්සරහට එන්නේ නෑ කියල.
ඒ කිව්ව විදිහට සෑහේන්න ගෙවිලා ගියා. ඒත් ජීවිතේ ඇයට තිබුණ තැන එදා වගේම අදත් ඒ විදිහමයි.
කාලේකට කලින් මං ලංකාව අත ඇරලා ගියේ ආයේ කවදාවත්ම එන්නේ නෑ කියල හිතලා. ඒත් හදිසියේම යෙදුණ වැඩ කිහිපයක් නිසා මට ලංකාවට එන්න උනා. ඒ නිසා අද මට මේ විදිහට ඇයව මුණ ගැහුනා. කවදාවත්ම ඇස් ඉස්සරහට එන්න එපා කිව්වට ඒ ඇස් වල අදත් මං එදා දැකපු හැඟීම එහෙමමයි කියල මට හිතෙනවා.
ඒත් අද වෙද්දී ගොඩාක් දේවල් වෙනස් වෙලා. ඇය ගොඩක් දුර ගිහින්. ඒත් මං තාම එදා තැනම එහෙමම ඉන්නවා. ගොඩාක් දේවල් ඉස්සරහට ඇවිත් ඒත් මගේ හිත ඇය එක්කම ඒ අතීතේ නතර වෙලා.
” කෙනුර කොහෙද අතරමං වෙලා ඉන්නේ ?? “
මං ආපහු පියවි තත්ත්වයට ආවේ ඇගේ හඬින්.
” මගේ නම තාම මතකයි නේද විශු ? “
” ඒක අමතක වෙන්න මං මැරිලා ඉපදුනේ නෑනේ. ඔයාට ඈත් වෙන්න කිව්වේ ඔයාගෙම හොඳටයි මල්ලි “
මං එයාගේ කටින් අහන්න අකමැතිම වචනේ තමයි මල්ලී. ඒ වචනේ තමයි අපිව මෙච්චර දුරස් කරේ.
” හ්ම්ම්ම්… වෙන්න ඇති “
” ඉතින් කියන්න කොහොමද ජීවිතේ ? වයිෆ් සනීපෙන් ඉන්නවද ? “
මට හයියෙන් හිනා වෙන්න හිතුනා. අඬන්න බැරි නිසා. ඇය ඇරුනම වෙන කෙනෙක් දිහා බලන්නවත් හිත හදා ගන්න බැරි මගෙන් ඇය බිරිඳක් ගැන අහනවා.
ඇය ඉදිරියේ පරාජිතයෙක් වෙන්න නොහිතුන නිසාටත් වඩා ඇයව වැරදිකරුවෙක් කරන්න නොසිතුන නිසා මං ඇයට බොරුවක් කියන්න හිත හදාගත්තා.
” අහ් ඔව් සේරම සනීපෙන්. ඔයාගේ හස්බන්ඩ් ? දැන් බබාල එහෙමත් ඇති නේ ? “
උගුර හිර වෙලා වගේ තියෙද්දී මං ඒ වචන ටික අමාරුවෙන් ඇහුවා.
” ඔව් පොඩ්ඩෝ… “
ඇය එහෙම කියද්දි ඇගේ ඇස් වල උනත් මං වේදනාවක් දැක්කා. කොතනකම හරි අපිට අපි අහිමිවීමේ වේදනාව ඇයටත් දැනෙන්න ඇති.
” හිතුවේ නෑ ආයේ අපි හම්බෙයි කියලා. ඉතින් සතුටින් නේද ? “
දැනුන වේදනාව හංගගෙන ඇගෙන් ඇහුවේ මං ගැන දකින වේදනාවට වඩා හිනාවක් ඇගේ ඇස් වල හැංගිලා තියෙනවා කියලා හිතුන නිසයි.
” ඔව් කෙනූ… ඉන්නකෝ පෙන්නන්න… “
ඇය දුරකතනය අතට අරගෙන එයාගේ ආදරණීය කූඩූව පෙන්නද්දි හිත ඇතුලේ බෝම්බ පුපුරනවා වගේ දැනුනා. ඇය එක්ක කූඩූ වෙන්න හීන දැකපු මට මේක දරාගන්න ලේසී නෑ.
” කෝ ඔයාගේ ? “
ඇය කාලකෙට පස්සේ මේ පහර දෙන්නේ දරුණුම තැනට කියලා ඇය දන්නේ නැතුව ඇති. මට එය ඇයට පැහැදිලි කරන්න වචනත් නෑ.
” අඩේ ෆෝන් එක කාර් එකේ නේ… “
වාසනාවකට වගේ දුරකතනය ඇත්තටම අමතක වෙලා ඇවිත් වෙද්දි ඒ ප්රශ්නෙන් මං ගැලවුණා.
ඇය හිනාවෙලා ඔලුව වනලා ආපහු ඇගේ දුරකතනය එහේ මෙහේ කරලා මට පෙන්නුවා.
“දන්නවද පොඩ්ඩෝ මගේ චූටියට තියෙන්නෙත් ක්රේල් කොණ්ඩයක්. මට දකිද්දී ඔයාව මතක් වෙනවා…”
රිදෙනම තැන් වලට පහර වදිනවා. ඒත් ඇය සතුටින්. ඒ නිසා නිහඬම හිනාවෙලා ඇගේ සතුට ඇස් වලින් වින්දා. ඒත් අවංකවම හිතට දැනුනේ අප්රමාණ වේදනාවක්.
ඇයට බාධා කරමින් දුරකතනය නාද උනා.
” මං යන්නද කෙනුර හොඳටම පරක්කු වෙල “
” එපා කිව්වට ඉන්නත් බෑනේ… “
මං එහෙම කිව්වේ නෑ මට කියවුණා. ජීවිතේ ප්රාර්ථනා කරපු එකම ආදරේ වෙන කෙනෙක්ගේ කියන එක දරාගන්න අමාරු උන තැනක එහෙම කියැවෙන්න ඇති.
” ඕනේ උනත් මට නවතින්න බෑ කෙනුර. අපි හැමදාම හිටියේ අපිට ගොඩාක් ඈතින්. එදත් එහෙමයි අදත් එහෙමයි…”
ඇගේ ඇස් වලත් කඳුලු බිංදු දෙකක්. කියපු වචනේ ගැන මට දැනුනේ දුකක්.
” කමක් නෑ අක්කේ. මේක අපි දෙන්නම ලබපු විදිහ වෙන්නැති. ඔයා කොහේ හරි සතුටින් නම් එච්චරයි. මගේ පරණ මතක ඉඳලාම හරි වේදනාවක් වෙනවා නම් සමාවෙන්න “
මං එහෙම කිව්වේ ඇගේ හිත තේරුම් අරන්. ඇය හැරෙන්න පුලුවන් තැනක නෑ. ඉතින් ඇයට පසුතැවීමක් ඉතුරු කරලා මං මොනවා ලබාගන්නද ?
” අක්කේ ? “
ඇය එය ආපහුත් ඇහුවේ එය ඇයටත් පුදුමයක් වෙන්න ඇති. ඇයට නෙවෙයි මම එහෙම කිව්වද කියන එක මටත් පුදුමයක්.
” ඔයා ආසයි නේ එහෙම කියනවට….”
හිනාවෙලා කියද්දි ඇගේ ඇස් වේදනාවෙන් පිරුනා.
” ඔයා රිදෙන තැන් වලට ගහනවා…”
ඇය එහෙම කියද්දි මට රිදුන තරම් තේරුම් කරන්න බැරි නිසා මං නිහඬ උනා.
” මං ගිහින් එන්නම් පොඩ්ඩෝ…”
” එන්න එපා. ඔයා දැන් ගිහින් ඉන්න ගමන පරිස්සමින් යන්න. ආයේ පාරකදි දැක්කත් නොදැක්කා වගේ යන්න”
මං එහෙම කිව්වේ හිතකින් නෙවෙයි. හැබැයි මට එහෙම කියන්න හේතුවක් තිබ්බා.
” තරහින්ද මං එක්ක ? “
” තරහක් නෙවෙයි අක්කේ. මට ඔයා ලඟදි මාවම අවනත නෑ. ඒ නිසා ආයේ දකින්නවත් ඕනේ නෑ…”
ඒ ඇස් වලට කඳුලු පිරුනා. ඊට පස්සේ තප්පර ගානක් මං දිහා බලන් හිටියා. කඳුලු එක්කම මගේ රූපේ බොඳ වෙන්න ඇති.
” පරිස්සමින් ඉන්න මල්ලී. ඉක්මනටම බැඳලා ජීවිතේ හදාගන්න. නැති උනොත් මට බැරි වෙයි මටම සමාව දෙන්න. කිව්වේ බොන්න කියලා දන්නවා. උඹ නොකිව්වට උඹේ ඇස් තාම මං එක්ක ඇත්ත කියනවා….”
එහෙම කියපු ඇය ආයෙම මැකිලා ගියේ මට වචනයක් වත් කියන්න ඉඩ නොදී.
ජීවිතේ මට උරුම මේ හැඟීම විතරක් වෙන්න ඇති. හිත හදාගන්න පුළුවන් උනා නම් මටත්. ඇයි ආදරේට වයස ප්රශ්නයක් උනේ. ජීවිතේ හැඟීම් ඇති වෙන්නේ මේ දේවල් බලලා නෙමෙයි නේ. ඉතින් ඇයි මෙහෙම.
ඇය මට ආදරේ නොකරේ වයස නිසා. එහෙම නොවුනා නම් ඇය මට ආදරේ කරන්න තිබුනා.
‘ආදරේ කියන්නේ හිමි කර ගැනීම නෙමෙයි. සමහර වෙලාවට ආදරේ කියල අපි දුවන්නේ මිරිඟුවක් පස්සේ. අපේ කතාවත් මිරිඟුවක් වගේ අයිතියක් කියන්න තහනම් ඒ වගේම දවසක ඔයාට තේරෙයි මේක වැඩක් නෑ කියල. අද ඔයා මට වෛර කරත් දවසක ඔයා තේරුම් ගනියි මං කරේ හරි දේ කියල ඔයාට තේරුම් යයි පුතේ’
කාලෙකට කලින් සමුගද්දී එයා කියපු වචන මට ආයේ ආයේම ඇහෙන්න ගත්තා.
ඒ වචන තමයි මගේ ජීවිතේ මං අහපු දුක හිතෙනම දේ. අදටත් ඒ වචන වලට පුළුවන් මගේ ඇස් තෙත් කරන්න.
පිරිමි ඇස් වලට කඳුළු තහනම් ලූ ඒ උනත් පිරිමින්ට තියෙන්නේත් දුක දැනෙන හිතක් ඉතින් ඉඳ හිට කඳුළක් ඇස් වල දැවටෙන්න පුළුවන්. හරියට මේ දැන් වගේ.
ඇය කොහොම කිව්වත් ජීවිතේ කියලා දීපූ ඇගේ ප්රේමය මට අමතක වෙන එකක් නෑ.
ජීවිතේ හැටි එහෙමයි කියලා හිතන ගමන් ලොකු හුස්මක් අරන් වේදනාව හුළඟට මුසු කරේ ඇය හැමදාම සතුටින් ඉතින් කියලා ප්රාර්ථනා කරලයි.
ඉතින් මට අහිමි මගේ ප්රේමියේ,
උඹ මට කවදාවත්ම නොදුන්න
මං උඹේ ඇස් වල දැක්ක ආදරේ
හුස්ම ගනී මං එක්කම
මගේ හිත ඇතුලේ හරි පරිස්සමට…!
සම්මත මායීම් වල කඩන්නට බැරි උන රාමූ වල
ජීවිතේ රඳවාගෙන
උඹ අයිති නෑ මට කිව්වට
මේ පපුව ඇතුලේ උඹ හුස්ම ගන්නවා මැණික
මගේ මේ හුස්ම යනකල්ම…!
අහිමි උන ප්රේමයක වේදනාව අප්රමාණය
නමුදු නුඹ තුටින් කියා හිත හදාගමි ප්රේමයෙන්ම
අනේ මැණික, නිවෙන්නට පෙර බවයක
පුරුදු සෙනෙහස අරන් ඉපදෙන්න
මට ඉඩ දීලා උඹට වැඩිමල් වෙන්න….!
  උපුටා ගැනීම:  – තාරා –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!