මම විශ්වවිද්යාලයට යන්න පටන් ගත්ත කාලයේ සිට රැකියාවන් තුනක් පමණ කරපු කෙනෙක්. සියළුම රැකියා අවශ්ය විට නිවාඩු ගත හැකි පාර්ට් ටයිම් වගේ රැකියාවන්. ඒ එක් රැකියාවකදි සිදුවුණු සිදුවීමක් මතක් වුණා.
සුදුසු තැනකට සුදුසු ඇදුම අදින එක මගේ විදිහක්. සාමාන්ය විදියට බාටා දෙකයි සායයි ෂර්ට් එකයි ඇදන් තමා වැඩට යන්නේ. දුවිලි පිහින්නද අතු ගාන්නද හෝදන්නද ඔය කිසි වැඩක් අඩු වැඩි නැතුව කරා. මම ඉගෙන ගත්ත මනුස්සයෙක් ඇයි මං මේවා කරන්නේ කියන දේ නෙවේ මට හිතුණේ, කොහොමද මං ගෙදරට බරක් නොවි ජීවත් වෙන්නේ කියලා.
දවසක් වැදගත් රැකියාවක් යැයි සමාජයේ සම්මත කාන්තාවක් එම ආයතනයට පැමිණියා ඇයගේ වැදගත් වැඩක් සදහා. අතුගගා හිටපු මං දිහා අමුතු සතෙක් දැක්කා වගේ බැල්ලමක් දැම්මා. මං හිනා වුණ පාරට යන්තන් කට කොනෙන් හිනා වෙලා අහක බලා ගත්තා. අදාළ නිලධාරීයා එනකන් බලන් හිටපු ඇය මාත් එක්ක පොඩි කතාවකට වැටුණා.
” ඕ ලෙවල් කරලද ඉන්නේ?” කියලා කට කොණකින් හිනා වෙන ගමන් මගෙන් ඇහුවා. මමත් ඉතින් සාමාන්ය විදියට ” ඔව්, කරා ” කියලා උත්තර දුන්නා. තව ටිකකින් අහනවා” එතකොට ඒ ලෙවල්, ඒ ලෙවලුත් කරා ” ද කියලා. මම ඒත් ඔව් කරා කියලා කිව්වා. ඊට පස්සේ අයේ අහනවා පාස්ද කියලා. මං කිව්වා ඔව් පාස් කියලා.
” ඇයි වෙන හොද ජොබ් එකකට දන්න බැරි වුණද “
” මං ඉතින් දැම්මේ නෑ “
” ඔය ගැසට් කරලා එහෙම තියෙනවනේ දාන්න එපැය, අපරාදෙනේ මෙහෙම දේවල් කරන්නේ “
” දැම්මේ නෑ ඉතින් “
” ඇයි?”
” නෑ, ඉතින් කැම්පස් යන ගමන් කරන්න පුළුවන් ජොබ් නෙවේ ඒවා, නිවාඩු දෙන්නේ නෑ, මුළු දවසම වැඩ කරන්න ඕනිනේ”
එක පාරටම මාත් එක්ක හොදට හිනා වුණා. ඉතින් පුතේ මොකක්ද කැම්පස් එක,මේකෙන් හම්බෙන ගාන ඇතිද කැම්පස් වැඩ වලට, ගෙදරට බරක් නොවී ඔහොම ඉගෙන ගන්න එක නම් හොදයි පුතේ කියලා කියවන් යනවා.
මිනිස්සු තවත් මනුස්සයෙක් ආශ්රය කරන්නේ හොදින් කතා කරන්නේ ඔහුගේ හෝ ඇයගේ තත්වය මත කියලා එදා මං හොදටම තේරුම් ගත්ත දෙයක්. තමන්ට වාසියක් ඇතැ නැතෑ මිනිස්සු හරි කැමති අහවල් සමාගමේ CEO, අහවල් hospital එකේ ඩොක්ටර්, අහවල් ඉංජිනේරුවා, අහවල් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයා අදුරනවා කියලා කියන්න.
තමන්ට තත්ත්වයක් හදාගන්න මිනිස්සු හරි කැමතියි. ලංකාව වැඩක් නෑ, ලංකාවේ ඉදලා වැඩක් නෑ කියලා ඔබ මම කෑ ගහනවා නේද? මොහොතකට හිතුවද අපි අපේ ආකල්ප වෙනස් කරගන්න ඕන කියලා. හොදට ඉගෙන ගත්ත කෙනෙක් cleaning වගේ රස්සාවක් කරනකොට හිතන්නේ මූ අමු ගොබ්බයෙක් වැඩක් නෑ කියලා.
පාරේ කුණු එකතු කරන මනුස්සයා දකිද්දී නහය වහන් යන මිනිස්සු එයාව මග ඇරුණම අතේ තියෙන ටිකට් එක පාරට විසි කරලා යන රටක් මේක.
ගොඩක් අය ගෙදරින් එළියට බහින්නේ තමන්ගේ රැකියාව තත්වය ඉහ මුදුනේ තියාගෙන. කඩේකට ගියත් කවුරු හරි දෙයක් කියපු ගමන් කියන්නේ දන්නවද මං කවුද කියලා අහවල් සමාගමේ director කෙනෙක් ඔහොමද හැසිරෙන්නේ කියලා. පුළුවන් නම් එක්කෙනෙක් හරි තමන්ගේ ආකල්ප වෙනස් කර ගන්න බලන්න. පුළුවන් නම් ඔබේ රැකියා ස්ථානයෙන් එළියට බහිද්දි ඔබේ තනතුර එතන තියලා එන්න. ඔබ කවුද කියන දේ සමාජෙට වැඩක් නෑ, ඔබ කරන හොද දේයි සමාජෙට වැදගත් වෙන්නේ. පුළුවන් නම් රැකියාව ඉගෙනීම නිසා අනිකාව අපහසුතාවයට පත් කරන එක නවත්තන්න…..
උපුටා ගැනීම: Gothami Abeynayaka