කෙසඟ සිරුරක් හිමි දහදියෙන් සියොළඟම තෙත් උන අවුරුදු හතක විතර පොඩි එකෙක් රුපියල් විස්සේ කොළයක් දිගු කරන ගමන් කඩේට එබෙනවා.
“වෑන් එකක්… ?”
මුදලාලිගේ රැලි තුනක් විතර තියෙන නළලේ රැලි පහක් විතර ඇදෙනවා.
“රුපියල් විස්සකට වෑන් එකක් ගන්න බෑනේ කොල්ලෝ… සෙල්ලම් බඩු ඇත්තෙත් නෑ අනික කඩේ…”
කොල්ලගේ මූණේ ඇදෙන්නේ හිනාවක්.
“නෑ…නෑ…මාමේ. වෑන් එකක් නෙවෙයි. වෑම් කියලා බීම බෝතලයක්.ඇන්කර් එකෙන් හදන එකක්…”
“හප්පේ….එහෙමද…? එහෙම එකක් කඩේට තාම ආවේ නෑ පුතා…”
කොල්ලා ආයෙම සල්ලි කොළයත් සාක්කුවට දාගෙන ගිණි ගහන අව්වෙම තව මීටර් සීයක් විතර පයින්ම ගිහින් වෙන කඩේකින් වෑම් බෝතලයක් අරගෙන කඩාගෙන බොනවා. ඒක අමෘතයක් වගේ. මේ බීම එක ඩයි දාලා හදන විස පානයක් කියලා කොල්ලා දන්නේ නෑ. හැබැයි ඒක හරි රහයි. උගුරු පහ හයකට වෑම් බෝතලයක් බොන ගමන් කඩල ටිකක් කන එකේ රහ විස්සකට ඒ කාලේ හැටියට වැඩිත් එක්ක.
රුපියල් දොළහක් වෙන වෑම් බෝතලේ අරන් ඉතිරි පහෙන් කඩල පැකට් එකකුත් ගත්තාම රුපියල් තුනක් ඉතිරි වෙනවා. ඊටපස්සේ රුපියලේ කාසියයි දෙකේ කාසියයි උඩ දදා ටලං..ටලං..සද්දේ අහගෙන කාසි අතුල්ලා අතුල්ලා අම්බලමට වෙලා වාඩිගෙන බලන් ඉන්නවා. හවස තුනට විතර ගෙදර යන්න අබලන් රෝසා බස් එකක් එනවා.
හැබැයි මේ බීම බෝතලේ මතක විදියට 2007 න් වගේ පස්සේ වෙළඳසැල් වලට ආවෙම නෑ. ඇන්කර්! ලා ඔහොමමයි. තව බත් ඇට හැපෙන යෝගට් එකකුත් ඒ කාලේ තිබ්බා. ඒකත් වැඩි කාලයක් තිබ්බේ නෑ. හැබැයි…ඒ කාලේ හරි රහයි. මතක ලස්සනට ඉතිරියි.
උපුටා ගැනීම: සදීප් දිල්ශාන් දිසානායක