-මටමයි වෙන්නෙ- (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රටේ සාමාන්ය පුරවැසියෙක් උනාට මොකද සමහර වෙලාවට මං කරන්නෙ අසාමාන්ය ගොන් වැඩ. ඕනම කෙනෙක් අතින් ගොන් වැඩ වෙන්න පුලුවන් උනත් මං කරන ගොන් වැඩ මටම විශේෂිතයි. අති රමණීයයි.
අම්මනම් කියන්නෙ මං අඩුමාසෙන් ඉපදුන නිසා මොලේ පොඩි කොටසක් අඩු වෙලා ඇතිලු. ගොන් කමක් කරලා කල්පනා කරගෙන යනකොට හිතෙනව ඒක වෙන්න ඇති හේතුව කියලා.
මගේ ගොන් කම ගැන කියනකොට මට තියෙන අති විශිෂ්ට අමතක වීම ගැන නම් කියන්නම ඕන. ඒක යකාගෙ අමතක විල්ලක්!
මතක හැටියට 7 වසරෙදි වාර විභාගෙට සිංහල පේපරේට ආවා මරු ප්රශ්නයක්. පේපරේ මැද හරියට එනකන් ගින්නක් නැතුව කරන් ආව. අර කියපු මරු ප්රශ්නෙ අහු උනත් හරි ඒක මරු උගුලක් උනා. කොලේ වම් අත පැත්තෙ ප්රස්තාපිරුලු ටිකක්, දකුනු අත පැත්තෙ ඒකෙ අදහස් ටික තිබුනෙ අපිලිවෙලකට. ප්රශ්නෙට උපදෙස් දීලා තිබ්බෙ ‘ගලපන්න’ කියලා.
ගලපන්න? මොකක්ද යකෝ ඒ?
ගලපන්න? ගලපන්න? මොලේ හෙල්ලිලා කණපිට පෙරලෙනකන් ඒ වචනෙ තේරුම හොයාගන්න බැරි උනා සුපින්වතුනි. එක එක විදිහට වචනෙ කියවලා බැලුවා..
ගල පන්න
ග ලපන්න
ගලප න්න
මොන ආලවට්ටම දාලා කියෙව්වත් මේ මැටි මොලේට ඒක තේරුම් ගන්න බෑ. අන්තිමට ටීචර් ඇවිත් පේපරේ අරන් යනකන්ම මං ඒ වචනෙ තේරුම කල්පනා කරනවා.
පස්සෙ ඉතින් හැම වාරෙම පන්තියෙ අන්තිමයා වෙන එකා තමයි කිව්වෙ ‘යකෝ ඒකෙ තිබ්බෙ ගැලපෙන දෙක යා කරන්න කියලා’
මට මං ගැන දැනුන තෘප්තියට සිමෙන්තිය හාරන් ගිහින් වැලලෙන්න හිතුනා මිත්රවරුනි.
දැනුමෙන් මුහුකුරා යද්දි මොලේ වර්ධනය වෙනවලු! බම්බුව තමයි! ඒලෙවල් වලට ආවමත් ඕකම උනා මට. වාර විභාගෙකදි බයෝ පේපර් එකේ රචනා ප්රශ්නෙකට උත්තර ලියන් යද්දි අම්මටසිරි ඒකට වැදගත්ම වෙන වචනයක් මතක නෑ. මුලු රචනාව පුරාවටම ඒ වචනෙ ඕන. කාලකන්නි වචනෙ මගෙ දිව අගට ඇවිත් ටටා කියලා ආයෙ යනව. මුලු කොලේම ඒ වචනෙ ලියන්න ඉඩ තිය තිය මේ අසරණී රචනාව ලිව්වත් පේපරේ එකතු කරන් යනකන් වචනෙනම් ආවෙ නෑ එලියට.
ටීචර් පේපර් ටික කුදලගෙන පන්තියෙන් ගියා විතරයි වචනෙ එලියට පැනපි දඟර ඩාන්ස් එකකුත් දාගෙනම.
මගෙ පේපරේ බැලුවට පස්සෙ ටීචර් පෙනඩෝල් දෙකක් බීලා නිදාගන්න ඇති කියලා පස්සෙ මට හිතුනා. ඇයි ඉතින් මුලු කොලේ පුරාම හිස්තැන් පුරවන්න තියලනෙ මං.
දැන් නම් ඒ ලෙඩේ හොඳ වෙලා කියලා හිතන් හිටියත් මේ ලඟදි උන නවනිංගිරාවකින් තහවුරු උනා ඉස්සරටත් වඩා ඒ ලෙඩේ අසාධ්යයි කියලා.
කාමරේට වෙලා කැම්පස් එකේ අසයින්ට්මන්ට් එකක් කර කර ඉන්නකොට තේ එකක් හදාගෙන අම්මා ආවා ඉතින් කෙල්ල මහන්සි වෙලා වැඩ කරනව දැකලා උතුරා ගිය දරු සෙනෙහසට.
‘අනේ කෝ අප්පා මගෙ ෆෝන් එක’. මේසෙ යටත් එක්ක රිංගන් මං ෆෝන් එක හොයනවා. පොතුත් එහෙට මෙහෙට තල්ලු කරනව. එක විකාරයයි.
‘යකෝ ඔය අතේ තියෙන්නෙ? අන්දකයිප්පු කැවිලද උඹට’ තේ එක මේසෙ උඩින් තියලා අම්මා යන්න ගියේ තව හිටියොත් මාව අංගොඩ ගිහින් දාන්න හිතෙයි කියලා බය උන නිසා වෙන්න ඇති.
නැති උන ෆෝන් එක හොයල තිබ්බෙ ඒක තියන් හිටපු අතින් ම පොත් එහාට මෙහාට කර කර! හිතාගත්ත හැකිනෙ ලෙඩේ තරම?
ඔය ෆෝන් සීන් එක කිව්වට පස්සෙ ඉතින් තව වීරක්රියාවක් මතක් උනා පොඩි කාලෙ මං කරපු. මේකනම් අමතක වෙන ලෙඩේට සම්බන්ද නෑ.
එතකොට මට අවුරුදු 3ක් විතර ඇතිලු. කලිනුත් මං ලියපු එකක කිව්ව විදිහට මගේ මේ වයස තමයි අපේ ගෙදර භීසන කාලෙ.
මට උණ හැදිලා අම්මා මාව බෙහෙත් ගන්න එක්කන් ගිහින්. මට ඉතින් කෙලින් කටින් ඉන්න පණ නෑලු.
කොහොමත් ඒ කාලෙ ඔය සිංහලෙන් වීස් එක කියන ලෙඩෙත් එක්ක මට ආත්මීය බැඳීමක් තිබුන. ඔව් ඔව් ඉංග්රීසියෙන් හතිය කියලත් කියනවා.
ඔය කරුමෙ වැඩි උනාම සහලෝලා උණ ගන්නවලු.
ඉතින් බෙහෙත් ගන්න ගිහින් නම්බරේ කතා කරනකන් ඉඳගෙන හිටියලු මාවත් කරේ නිදි කරවගෙන.
මං හරි දස්සය පොඩි අමාරුවක් උනත් පණ යන්න ඔන්න මෙන්න වගේ රඟපාන්න. එතකොට මට අනිවාරෙන් ක්රීම් සෝඩා බෝතලයක් හම්බෙනවා
ටික වෙලාවකින් එහා පැත්තෙ හිටපු ඇන්ටිගෙ ෆෝන් එක නැති වෙලා කෑ ගහනව.
‘අනෙ මගෙ ෆෝන් එක නෑ’
ඇන්ටි පුටු අස්සෙත් රිංගනවා
අනිත් අයත් බිම දණ ගගා ඒක හොයනවා.
කට්ටියගෙ ලෙඩ දැන් මතකත් නෑලු.
හැරමිටි වලින් ආපු වයසක උන්දැලත් බිමට නැමීගෙන ෆෝන් එක හොයනවලු.
අපේ අම්මට මාව කර ගහම් ඕක හොයන්න බෑනෙ.
‘ආ.. මේ ෆෝන් එකෙන් ඕකට කෝල් එකක් අරන් බලන්න’ එතන හිටපු මහදැන මුත්තෙක් ඔන්න දුන්නලු පංකාදු පනහක විතර අයිඩියා එකක්.
අනේ ෆෝන් එක රින්ග් වෙනවා. හරිම සතුටුයි.
කට්ටිය ආයෙ බිම දණ ගානවා. ඒත් ඒ අටමගලෙ කොහෙවත් නෑ. රහත් වෙලාද!
අම්මට තේරුනාලු මං හිනා වෙනව වගේ. බඩු හරිනෙ! ෆෝන් එක කොහෙද? හත්වලාමෙ මේ පිංගුත්තර මං පැටියා ඒක අරන් අම්මගෙ බෑග් එකට දාලා.
කාලා වරෙන්කො දැන්.
අම්මා මාවත් බිමට දාලා දනි පනි ගාලා රින්ග් වෙවී තිබ්බ ෆෝන් එක ගත්තලු එලියට.
බිම දන ගාන් ඉන්න අයයි ,හිටගෙන ඉන්න අයයි , ඉඳගෙන ඉන්න අයයි අම්මව කන්න වගේ බැලුවා කිව්වා මිසක් අදටත් කියන්නෙ නෑ එතනින් එහාට උන ටික.
‘අනෙ මේ ලමයා බෑග් එකට දාලා’ කිව්වට විශ්වාස කරයිද?
එයාලට මොනව හිතුනත් මට මොකෝ ඉන්න වෙලාවෙ ජොලියෙ ඉන්න එපැයි. නැද්ද?

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!