මාතා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මැඩම් හෙට හතරයි තිහට අර කට්ටියගේ අරයිවල් තියෙන්නේ, මැඩම් එයාර්පෝට් යනවද?”
මගේ පුද්ගලික ලේකම් සදුනි අසන්නේ චාරිත්රයක් ලෙස මිස මා නොයන බව නොදැන නොවේ.
“අනේ නෑ ළමයෝ, ගීත් සර්ට හරි රිද්මා මිස්ට හරි කියන්න. ෆොටෝග්රැෆර්, වාහන එහෙම ඔක්කොම හරිද කියලා චෙක් කරන්න. ලකී සුපර් එකට කතා කරලා ග්රොසරි මලු ටිකත් ලෑස්තිද කියලත් බලන්න සදුනි”
මගේ “මාතා” ආයතනය මගින් නොමිලේ වයස්ගත මව්වරුන් දඹදිව වන්දනාවේ රැගෙන යන චාරිකාවට සහභාගී වී හෙට දිවයිනට එන්නේ තිස් තුන් වන වරට පිටත් වූ කණ්ඩායමය. ජිවිතය පුරා ගැහැටින් මිරිකී කල් ගෙවූ කාන්තාවන් ගම් මට්ටමින් තෝරාගෙන ඔවුන් සුවසේ වන්දනා කරවා රැගෙන ඒමද ඉන්පසු ඔවුන් ජීවත්වන තුරු අවශ්ය වන සිල්ලර භාණ්ඩ මාස් පතා ලබා දීමද මගේ ආයතනය මගින් සිදුකෙරේ.
මා හා ආරම්භයේ සිට මේ කටයුතු කළ සදුනිට මේ කිසිවක් අමුතුවෙන් සිහි කළ යුතු කරුණු නොවේ. මමද ඒවා ඇයට සිහි කරන්නේ චාරිත්රයක් ලෙසය.
ඇය දැන් මගේ කාර්යාල කාමරයෙන් පිටවී “අනේ මැඩම් යන්නේ නෑ, වයසක අම්මලා මැඩම් දැකල වදින්න එහෙම එන නිසා මැඩම් යන්නේ නැත්තේ” කියා අතුගාන සුමනාට හෝ කියන බව මම දනිමි. නමුත් මම සැබැවින්ම මේ මවුන් දකින්නට නොයන්නේ ඒ නිසා නොවේ.
වයස්ගත මවුවරුන් පැමිණ මා සමග කතා කරන විට මගේ මනසේ ඈත කොනක සැගව ඇති රූපයකට පණ එනු මට දැනේ. මා හැකි තාක් වයස්ගත කතුන් දැකීම මගහරින්නේ ඒ නිසාය. එය තිස් පස් වසරක මගේ සැමියා වූ උපාලිට හෝ ගීත් හා රිද්මා යන දෙදරුවන්ට හෝ නොකී රහසකි. ඔවුන් සිතන්නේද මා නොයන්නේ මගේ සංවේදී බව නිසා කියාය.
ආදරණීය බිරිදක මවක ලෙස ජීවන භූමිකාව නිවැරදිව රගපෑ මා පිළිබදව එම රහස දැනගත හොත් ඔවුන්ගේ සිත තුළ මා කෙරෙහි ඇති සෙනෙහස යළි පිළිසකර කරන්නට බැරි ලෙස බිදෙනු ඇතැයි මගේ සිතේ බියක් පවතින හෙයින් මම එය සැමදා රහසක්ව තබාගතිමි. නමුත් එය මම අද ඔබට කියමි.
මගේ නම කිවහොත් සාර්ථක ව්යවසායිකාවක ලෙස හෝ මාධ්ය හදුන්වන පරිදි යළි උපන් විශාඛාව ලෙස ඔබ මා හදුනාගනු ඇත. එහෙයින් මම මේ කතාව කියන්නේ මගේ නම නොකියාය.
———–
කුළුදුල් දරුවා ලැබීමට මාද උපාලිද තරමටම මගේ දෙමව්පියන්ද ලක ලෑස්ති වූ බව කීම අසත්යයක් නොවේ. මා ඔවුන්ගේ එකම දියණියයි. වෙනත් ඉහළ මධ්යම පන්තියේ බොහෝ දැරියන් සුරක්ෂිත අනාගතයක සහතිකය හමුවේ කෙළිදෙළෙන් කාලය ගත කරද්දී මම වෙහෙසී අධ්යාපනය ලැබුවෙමි.
මා පළමු වරම විශ්ව විද්යාල වරම් ලැබුවේ දිස්ත්රික්කයේ මුල් දස දෙනා අතරටද පැමිණෙමිනි. සරසවියේදී උපාලි හමුවූ මා ඔහු පිළිබදව පළමුවෙන්ම මව්පියන්ට පවසා කැමැත්ත ගෙන සිටියේ චරිතවත් දියණියක කටයුතු කරන ආකාරයටය.
උපාලි සාමාන්ය ගැමි පවුලක තරුණයකු වුවත්, දෙමාපියන් අහිමිව මිත්තණිය හා වැඩුණු අනාථයකු වුවත් මගේ මව්පියන් ඔහුගේ යහපත්කම හා උගත්කම මිස ඒ අඩුපාඩු තැකුවේ නැත.
නිසි කාලයේදී මගේ දරුවා පිළිසිදුණේද මගේ මව්පියන්ගේ ජීවිතයේ අවසාන සිහිනයද සැබෑ කරමිනි. ඔවුහු ගේ දොර සකස් කර, දරුවාට නිල් පැහැ පින්තාර කළ කාමර සකසා, තොටිලි සදා බලා උන්හ.
නමුත් ජීවිතය අපට සිනාවන්නට තෝරාගන්නේ අප සිහිනයෙන්වත් නොසිතන මොහොතකි.
අම්මාට පැපොල වැළදී ඇති බව මා දැනගත්තේ දරුවා ලැබීමෙන් පසු මුණුපුරා බැලීමට ඇය එනතුරු බලා සිටින විටය.
මා කලබල වූ බවද බියවූ බවද අමුතුවෙන් කිව යුතු නොවේ.
මට යා හැකි වෙනත් ළග නෑයෙකු සිටියේද නැත. අම්මාගේ සොයුරිය, කාන්ති පුංචිගේ නිවසේ පඩිපේළි රැසකි. සීසර් සැත්කමට මුහුණ දී සිටි මට පඩි නැගීම තහනම්ය.
අවසානයේ මට සිදුවූයේ සියළු සූදානම් පසෙකළා දඹුල්ලේ පිහිටි උපාලිගේ මහ ගෙදරට දරුවා රැගෙන යාමටය. ගමේ කාන්තාවක උදව්වට ගෙන්වා ගැනීමටය.
ඔහු විවාහයට පෙර එම පැරණි නිවසේ නානකාමරයක් ඉදිකර යම් නවීකරණ කටයුතු කර තිබුණත් මගේ නිවසේ සැප පහසුකම් හා සසදද්දී එය අහසට පොළව මෙන් විය. දරුවා ලැබීමෙන් ඇතිවන අපහසුතාද මව්පියන් හා උපාලිගෙන් ඈත්ව ඉන්නට සිදුවීමද නිසා මම එහි කාලය ගෙව්වේ දැඩි නොරිස්සුමෙනි.
නොරිස්සුමට අනෙක් හේතුව වූයේ උපාලිගේ වයස්ගත අත්තම්මාය. ඇයට කෙනෙකුගේ පුද්ගලිකත්වය වැටහුණේ නැත. දරුවා ගෙන ගියා දා පටන් ඇය මා සිටි කාමරයට වෙලාවේද අවේලාවේද පැමිණියාය.
“දුවට දොට්ට ගිහින් එන්න ඕනි නම් යන්න, මං ඉන්නා චූටි මහත්තයා ළග” කියා දරුවා ළග ඇලවෙන ඇය ඔහුට විවිධ කවි කියයි.
“සිසිවන උවමන කුන්ද පබෝදන
දෝරැදි මමැණික දොයි දොයි දොයි
සිරිපිය සුන්දර දීප සවුන්දර
මගෙ සුරතල් පුත දොයි දොයි දොයි”
“වැනේලු කලු වැනේලු
ගම්මැද්දට පෙනේලු
කලු අල කොළ ලිපේලු
කළුට බඩගිනීලු”
මේ ඈ තාලයට කී කවිය. මගේ අතේ පැය ගණනක් අවදි වී හඩන දරුවා ඇය අතට ගෙන කවි පද දෙකක් කි සැණින් සුවෙන් නින්දට වැටුණේ පුදුමාකාරය ලෙසය.
නැතහොත් ඇය පැමිණ මගේ බ්ලවුසය මදක් අතගා බලයි.
“බොඩියක් ඇදලද ඉන්නේ? බොඩිය නැතුව හිටියා නං හරි කොල්ලට ඕනෑ හිටියේ කිරි බොන්න” එවැනි උපදෙස්වලදී මට කට වසාගෙන සිටියේ දත් කමිනි.
ඉතා ආචාරශීලී මගේ නෑයින්ගේ කතා බහ හුරු මට මේ අසංවර කතා ඇසෙන විට දැනුණේ ඇග හිරිවැටී යන බවකි. මේවා කියන විට උපාලි හෝ දරුවා බැලීමට පැමිණි ඥාතියකු සිටීද යන්න පවා ඇය සැළකුවේ නැත.
———==
මගේ පාර්ශවයෙන් දරුවා බැලීමට දඹුල්ලේ නිවසට පළමුවෙන් පැමිණියේ කාන්ති පුංචිත් නවරත්න බාප්පාත්ය. දරුවාටද මටද මහා තෑගි ගොන්නක් ගෙන ආ පුංචි සකස් කර තිබූ පාතරාසය රස විද මද වේලාවකින් මූණ කට සෝදා කාමරයට පැමිණ දරුවා සුරතල් කරන්නට පටන් ගත්තාය.
“ඔයාට ලේසියි නේද පුතේ, අත්තම්මාටත් තාම හොදට වැඩපළ කරගන්න පුලුවන්නේ. බබා හරි හුරුයි නේද?”
“හ්ම්”
කාන්ති පුංචි එසේ කියන්නට ඇත්තේ මා ඔවුන් හා කතා කරමින් තේ බොන තුරුද දරුවා සිටියේ අත්තම්මාගේ උකුළේ බැවිනි. සැබැවින්ම ඇයට වැඩි දුරක් ඇවිදීමේදී එන දණහිස් ආබාධයක් හැරෙන්නට වෙනත් අසනීප නොමැත.
‘හුරුයි නම් තමයි. ඒත් මට තරහේ බෑ පුංචි, ඉස් ඉස්සෙල්ලාම බබාව මෙහෙ ගෙනාපු දවසේ ඇවිත් වඩාගත්තා, සබන් කෑල්ලක්වත් අතේ තියන්නේ නැතුව. ගම්වල මිනිස්සු අපිට වඩා ඔය චාරිත්ර දැනගන්න එපැයි”
හිතුවක්කාර, උද්දච්ච තරුණියක වූ මගේ කටින් එදා පිටවූයේ වදන් නොව හළාහළ විෂ යැයි අද නැවත හැරී බලන විට මට සිතේ. කාන්ති පුංචි ගැස්සී මා දෙස බලා යමක් කියන්නට තැනුවා පමණී. දොර රෙද්දට එපිටින් යම් හඩක් ඇසුණේද ඇය වහා නැගී ගොස් බැලුවේද එක්වරය.
“හ්හ් අත්තම්මා, දෙවියනේ පුතේ ඇහුණද දන්නෑ”
“ඇහුණා නම් හොදයි, එහෙම හරි දැනගන්නේ නැතැයි” කියා ගණනකොට නොගෙන මා කීවත් මගේ සිතේ උපන්නේ දැඩි ලැජ්ජාවකි. උසස් රැකියා කරන මටත් උපාලිටත් දරුවාට අවශ්ය සියළු දේ සැපයීම අපහසුවක් නොවේ. ආදායමක් නොමැති අත්තම්මාටද සියළු වියදම් කරන්නේද උපාලිය.
“අනේ පුතේ, ඔයාට ඔය පොළොස්ද කිරි අගුණද ලූල් මාලුද හොය හොයා ගමේ අය ලවා ගෙන්නනවා කිව්වේ. ඔය වයසට මේ පොඩි එකා බලාගන්න ටිකවත් මදිද? ඔය ගම්වල වයසක මිනිස්සු දන්නවද ඕවා”
කාන්ති පුංචි සවස ගියේ බොහෝ දේ කියා මගේ සිත සැදීමෙන් අනතුරුවය. ඇය ගිය පසුවත් මම එදා කාමරයටම වී සිටියේ සැබැවින්ම අත්තම්මාගේ මුහුණ බැලීමට යම් චකිතයක් මගේ සිතේ වූ නිසාය.
උපාලි එදා රෑ සූදානම් වූයේ ඊළග දිනයේ කාර්යාලයට යන්නටය.
“පුතාට උදේම යන්න ඕනිද? මා එක්ක ටවුමට පොඩ්ඩක් ගිහින් එන්න ඉන්න බැරිවෙයිද?” අත්තම්මා සිහින් හඩින් විමසනු මට ඇසුණේ රෑ දරුවා නිදි කරන විටය.
“අනේ බෑ අත්තම්මේ, නවයට ඔෆිස් එකේ ඉන්නෙපැයි, මම තුනටවත් මෙහෙන් පිටත් වෙන්න බැලුවේ. මොනවහරි ගේන්න තියෙනවා නම් මම සෙනසුරාදා එද්දි ගේන්නම්.”
තවත් මොකද්දෝ කසුකුසුවකට පසු “අනේ අත්තම්මේ එච්චර නම් අතේ නෑ, ගෙනාපුවා මේ තොටිලි අරවා මේවාට දෙන්න උනානෙ. මං සෙනසුරාදා එද්දි සල්ලි අරන් එන්නම්” ඔහු කියනු මට ඇසිණි.
——
සදුදා උදේ වරුවේ නිදා සිටි දරුවා ළගින්ම ඇළවී මමද මදක් ඇස් පියා ගත්තෙමි. අත්තම්මා පුරුදු පරිදි මා මුහුණ කට සෝදාගන්නා කෑම කා අවසන් වන තුරු දරුවා ළග ඉන්නට පැමිණි අතර ඇය මට කතා කලේ වෙනසකින් තොරවය. ඇයට මා කී දේ ඇසෙන්නට නැත යන්න මගේ හිතටද සහනයක් විය.
මා නැගිට පිටතට යන විට කාමරයේ දොර ළග හිද නිදි කිරමින් සිටියේ ගමෙන් උදව්වට පැමිණෙන විමලාවතීය.
“ලොකු මැණිකේ පොඩ්ඩක් අරෙහෙට ගිහින් එන්න ගියා, මට මෙතෙන්ටම වෙලා ඉන්න කියල. සුදු මැණිකෙට තැඹිලි කපලා දෙන්න කිව්වා නැගිට්ටම. මම අරං එන්නම්”
විමලා තැඹිලි වීදුරුව රැගෙන ඒමට මත්තෙන් වේගයෙන් පැමිණි ත්රීරෝද රියක් මිදුලි නතර වූයේ සැර දමාගෙනය. එයින් බැසි තරුණයා වහා ගියේ විමලා ළගටය. කසු කුසු ගා ඔහු කී දෙය ඇසූ විමලාගේ කටද ඇස්ද ඇරිණි. ඇය අතින් කට වසා මා දෙසද බලමින් ඔහු හා දුවගෙන මෙන් පිටතට ගියාය.
ඇය මා වෙත පැමිණ ඒ පුවත කීවේ තවත් ටික වේලාවකිනි.
“අනේ සුදු මැණිකේ, ලොකු මැණිකේ හන්දියේ ඉදන් එද්දි වංගුව ළග ඇළට පෙරළිලා. කලන්තයක් ඇවිත් වෙන්නැති. කට්ටිය ඇරන් ඉස්පිරිතාලේ ගිහින්. උපාලි මහත්තයාගේ නොම්මරේ දෙන්නකො මේ වීරෙ මල්ලි විස්තරේ කියයි’
—–=======
ඉන්පසු සියල්ල සිදුවූයේ අධි වේගයෙනි. ගම්මුන්ගෙන් නිවස පිරුණු අතර අත්තම්මා රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි බවත්, ඇගේ මොළයේ නහරයක් පිපිරී ඇති බවත් කවුරුන්හෝ කියනු මට ඇසුණේ තවත් ටික වේලාවකිනි.
උපාලි කොළඹ සිට පැමිණියේ රෑ අටට පමණය. ඔහු පිටතට ගියේ දරුවාගේ ඇද මත වාඩිවී සෑහෙන වේලාවක් හැඩීමෙන් අනතුරුවය.
“අම්ම නැතිවුණ දවසේ ඉදලා අද වෙනකං මට හීනෙන් වත් හිත රිදෙන්න දෙයක් කරල නෑ අත්තම්මා. ඔයා ගැන ඇවිල්ලා කිව්වමත් මගේ පුතාට ඒ මහ කට්ටිය කැමති වෙන්න කියලා මං උඩ මළුවට බාර වෙන්නම්, බය වෙන්න එපා කිව්වා.” ඔහු හැඩුවේ මෙවැනි දේ කියමිනි. දරුවාද තුරුල් කරගෙන ඔහු ළගට වී සිටි මගේ ඇසේද කදුලු නතර වූයේ නැත.
————–
“විමලා, නැන්දා උදේ මාලේ දාගෙනද හිටියේ.?” මල් ශාලාවට ගොස් පැමිණි සුසිලම්මා ඇසුවේ විමලාගෙනි. ඇය උපාලිගේ මවගේ ඥාති සොයුරියකි.
“මට එහෙමට මතකයක් නෑ පොඩි මැණිකේ, ලොකු මැණිකේ ඉතින් ඕක කරෙන් ගලවන්නේම නෑනේ”
“නැන්දාගෙ කරේ මාලේ නෑනෙ පුතේ, මොකෙක් හරි මාලෙ කඩාගෙන නැන්දව තල්ලු කරාද කියලා අපි කතා වුණේ”
“එහෙම වෙන්න බෑ සුසිලම්මේ, අර හන්දියේ කට්ටිය කිව්වෙ ත්රී වීලර් එකක් එනකං ඉන්න කියද්දිත් මෙයයි පොඩ්ඩයි ගෙදර කියලා අත්තම්මා හිමින් හිමින් පයින්ම එන්න ආව කියලා. එකපාරටම නැවතිලා ඇළටම පෙරළුණා දැකපු අය හිටියනේ. අත්තම්මා එළියට යන්නෙම නෑනෙ. මොකට ගියාද මන්දා අද. මහන්සිය දරන්න බැරි වෙන්න ඇති පුරුදු නැතුව”
අත්තම්මාගේ හම ගිය පැරණි අත් බෑගයද පාට පිළිස්සුණු කුඩයද නන්දා ගෙනැවිත් තිබුවේ අපේ කාමරයේය. උපාලි එය ළගට ගත්තේ මරණ දැන්වීමේ ගසන්නට උපන් දිනය හරි දැයි බලන්නට ඇගේ හැදුනුම්පත ගන්නටය. ඇගේ උපැස් යුවළ දැමූ පෙට්ටියට යාබදව තවත් රතු පැහැ පෙට්ටියක් විය.
“අනේ දම්මි මේ”
උපාලි මා වෙත දිගුකළ විවර වූ පෙට්ටියේ තිබූ සිගිති රන් පංචායුධය මා දුටුවේ බොද දෙනෙතිනි.
“අනේ කොල්ලට මේක ගෙන්න යන්න ඇත්තේ. මගෙන් ඊයෙ සල්ලි අතේ නැද්ද ඇහුවේ මේකට වෙන්න ඇති. අත්තම්මාගෙ මාලෙ දීලා මේක ගන්න ඇත්තේ. අනේ” උපාලි නැවත හඩන්නට ගත්තේ එසේ කියමිනි.
ඇය තකහනියක් දරුවාට තෑගි ගන්නට ගියේ ඇයිදැයි දන්නා මා සිටියේ දැවි දැවීය. මළගෙදරට පැමිණි කාන්ති පුංචි උපාලිද විමලාද කියන කතා අසා සිදුවූ දේ අනුමාන කරන්නට ඇති නමුත් ඇය මගෙන් ඉන්පසු ඒ ගැන කිසිවක් විමසුවේ නැත. නමුත් මගේ සිතේ වූ චකිතයද පසුතැවීමද වේදනාවද මදකුදු අඩු නොවූයේයැයි කියුම බොරු නොවේ.
——-
දැන් ඒ සිදුවීමෙන් වසර තිහක් ගතවී තිබේ.
එදා සිට අද දක්වා මා කළ සියළු පින්කම් වලදී මා නිසා මිය ගිය අත්තම්මාට ඒ පින් අනුමෝදන් කරන්නට අමතක නොකළෙමි.
අපේ ව්යාපාර කටයුතු දියුණු වෙද්දී මා සමාජ සේවාව සදහාම “මාතා” පිහිටවුයේද ඇය වෙනුවෙන් පින් දහම් කරන්නටය.
උපාලි සිතන්නේ අපේ දරුවාට තෑගි ගෙන එන අතරතුර අත්තම්මා මිය ගිය බැවින් මා ඇය වෙනුවෙන් උපන් සෙනෙහසින් පින් කම් කරන බවය. කාන්ති පුංචිද දැන් මිය ගොස් වසර ගණනාවකි. මගේ කුරිරු කතාව අත්තම්මාගේ මරණයට හේතුවූ බව දැන් දන්නේ මා පමණකි.
සාධාරණ, නිරහංකාර, ආදර්ශමත් ගැහැණියක ලෙසද දැයේ මවුන්ගේ වාසනාවට බිහිවු දියණියක ලෙසද ලෝකයා මට සම්මාන දෙද්දී මගේ සිත සිනාවනු මට ඇසේ. එවිට මගේ මනසේ මැවෙන්නේ ලා පැහැ වොයිල් ඔසරියකින් සැරසී ඇළ ඉවුරක හිමින් පා තබන ඇගේ වෙහෙසටපත් මුහුණය.
මම හැකි තරම් ඇගේ නමින් පින් දහම් කරමි. උද්දච්ච, අහංකාර තරුණියක ලෙස මගෙන් සිදුවූ ඒ වරදට සසර කවදාහෝ ඇය හමුවූ විට සමාව ගන්නා තුරු මම ඇය වැනි මවුන්ට බුදුන් උපන් දේශය වැද එන්නටද සුවෙන් ඉන්නටද මට හැකි පමණ වෙහෙසී කටයුතු කරන්නේ මගේ සිතේ සහනය උදෙසාය.
නමුත් නූගත්, අහිංසක ගැමි ගැහැණියක වූ ඇය මා හා අවසන් මොහොතේදී වත් තරහ වන්නට නැතැයි මට තිර කොට කිව හැක.
දරුවාට ගත් පංචායුධයට යටින් “මාව මුත්තම්මෙක් කරපු කෙල්ලටත් තෑග්ගක් දෙන්නෙපැයි” කියා කඩයේ අයට කියා තෝරාගත් කුඩා කරාඹු යුවළක්ද ඇය මා වෙනුවෙන්ද ගෙන තිබූයේ ඒ නිසාම විය යුතුය.
උපුටා ගැනීම:  පවිත්රා අභයවර්ධන

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!