“අන්නාසී කාලා තිබ්බොත් බලාගමු…”
වෙරළ දිගේ ඔහේ ඇවිද ආ රනුකිගේ ඇස් මිරිස් දාපූ සැර අන්නාසී පාර්සල් විකුණන කෙනෙක් ළඟ නතර වෙද්දිම අතීතෙන් ආපූ කටහඬක් නිසා ඇය අන්නාසී දිහා නොබලම ගිහින් පුරුදු බංකුවෙන් වාඩී උනා.
අතීතේ දවසක ඔහු එක්ක ආවම කොයිතරම් බල කරලා ඉල්ලුවත් අන්නාසී නම් ඇයට නොලැබෙන්නේ චූටී කාලේ ඉඳන්ම අන්නාසී ඇයට අගුණයි කියලා ඔහු දැන උන්න නිසයි.
ඔහුගෙන් වගේම ඒ අතීතෙනුත් මිදෙන්න ඇය උත්සාහ කරත් අදටත් ඇයට ඔහුට මුරණ්ඩු වෙන්න හිතක් නෑ.
කාලයත් එක්ක ජීවිත මොන තරම් වෙනස් වෙනවද කියලා රනුකිට හිතුනේ කාලේකට කලින් ළඟ සිටි ඔහු අද තමා ලඟ නෑ නේද කියලා හිතෙද්දියි.
“ආව්…”
රනුකි කල්පනාවෙන් මිදුනේ ඇගේ පිටුපසින් වැදුන තද පහරක් නිසා. හැරිලා බලපු ඇයට දකින්න ලැබුණේ හුරතල් කොලු පැටියෙක්ගේ වරදකාරි ඇස් දෙකක්.
“සොරි ආන්ටී… බෝලේ වැදුනා…”
“ඉට්ස් ඕකේ පුතු…”
ඇය එහෙම කියලා හිනාවකින් මූණ සරසගෙනම පහත් වෙලා පසක තිබුණ බෝලේ කොලු පැටියට අරන් දීලා පොඩ්ඩගේ ඔලුව අතගෑවේ හදවතට අමුතුම වේදනාවක් දැනෙද්දී.
අතීතේ ඔහු එක්ක මවන ලද හීන සැබෑ උනා නම් අද වෙද්දි තමනුත් මේ වගේ පැටියෙක්ගේ අම්මෙක් නේද කියන හැඟීම ඇගේ හිත බර කරා.
ඔහු මගෑරිලා ගිහින් වසර නවයක් උනත් අදටත් ඒ මතක වලින් මිදිලා හුස්ම ගන්න බැරි උනා නේද කියලා හිතද්දී ඇයට ඇය ගැනම අනුකම්පාවක් දැනුනා.
ඒ කල්පනාවෙන්ම බෝලේත් අරන් ආපිට දුවපු කොලු පැටියා දිහාම බලාගෙන හිටපු ඇය ඇහැට උනපු කඳුලක් බිම වැටෙන්න කලින් ඇස් අගිස්සෙදිම පිස දැම්මේ ඇයට ඒ අතීතය වෙනුවෙන් අඬන්න අවැසි නොවුණ නිසයි.
ඈතට දුවපු කොලු පැටියා ගැහැණු කෙනෙක් ළඟ නැවතිලා මොනාද කියනවා රනුකිගේ ඇහැ ගැටෙද්දී ඒ පොඩ්ඩගේ මව වෙන්න ඇති කියලා ඇය අනුමාන කරා.
“මේ රනුකි නේද ? ”
පොඩ්ඩගේ අම්මා කියලා රනුකි හිතපු ගැහැනිය පොඩ්ඩත් අතින් අල්ලගෙනම ඇවිත් ඇගෙන් අහද්දී රනුකිට හිතාගන්න බැරි උනේ ඇය කව්ද කියලයි. පොඩ්ඩට තමන් නම නොකීව නිසා පොඩ්ඩගේ අම්මා තමන් දන්න කෙනෙක් කියලා ඇයට හිතුනත් ඒ කව්ද කියන්න ඇගේ මතකයේ තිබුණේ නෑ.
“ම්ම් රනුකි තමයි… ඔයා කව්ද ? ”
ඇය විමසිලිමත්ව නාදුනන ගැහැණිය දෙස බලන ගමන්. ලා කහ පාට ගවුමක් ඇඳලා කොණ්ඩේ කඩා දාලා කට්ටක් ගහලා හිටපු නාදුනන්නී ගැබිනියක් වෙන්න ඇති කියලා රනුකිට හිතුනේ ඇගේ කුස යාන්තමට පෙනුන නිසයි.
“මං චාතුල්යා… ඔයා මාව දන්නේ නෑ… ඒත් මං ඔයාව දන්නවා ගොඩාක්…”
එහෙම කියද්දි නාදුනන්නීගේ ඇස් වල ඇඳිලා තිබුණේ වේදනාවක් කියලා රනුකිට හිතුනා.
“ඒ කොහොමද ?”
“මං මනූශගේ වයිෆ්….”
රනුකිගේ ප්රශ්නයට නාදුනන්නී දීපූ උත්තරේ එක්ක රනුකිගේ ඇස් වල කඳුලු පිරුනේ ඇයත් නොදැනමයි.
“දන්නවා නේද දැන් මාව ?”
දැහැන් බිඳිලා යන හඬකින් චාතුල්යා අහද්දී රනුකි ආපහු කල්පනාවට ආවත් අතීතේ දවස් වල ලස්සන රූප ටිකක් ඇගේ ඇස් ඉස්සරහ මැවිලා නැති වෙනවා ඇයට පෙනුනා.
“ඔයා කොහොමද මාව දන්නේ ?”
ඇසිය යුතු ද කියලා නොදන්න ප්රශ්නයක් රනුකිගේ මුවින් නික්මුණේ ඒ විදිහට.
“ඔයාට අයිති දෙයක් මං ළඟ තියෙන නිසා මං කාලයක් ඔයාව හෙව්වා සමාවගන්න…”
චාතුල්යාගේ වචන එක්ක රනුකිට හිතුනේ ඇය ඇයි අද වෙරළට ආවේ කියලයි. ඇය අද නොආවා නම් මේ හමුවීම සිදුනොවෙන්න තිබුනා නේද කියලා ඇයට හිතුනා.
“මට අයිති දේවල් සේරම මං ළඟ තියෙනවනේ… ”
රනුකි අසීරුවෙන් වචන ගැලපුවේ ගෙවිලා ගිය අතීතෙක නටඹුන් තව කෙනෙක්ගේ ජීවිතේ විනාස කරන්න හේතූ වෙන්න ඕන්නෑ කියලා හිතන ගමන්.
“නෑ රනූ… මං අද මේ විඳින්නේ ඔයාගෙන් ඉල්ලගත්ත ආදරේ උණුහුම. ඒක හිතෙන හැම වෙලාවකම මං විඳවනවා…”
ඇස් බිමට හරවගෙන චාතුල්යා එහෙම කියද්දි රනුකිට ඇගේ අතීතය ආයේම මතක් උනා.
අවුරුදු තුනක ප්රේමයක් එක පාරටම නැති වෙලා යද්දී විඳ දරාගෙන රනුකි අදටවත් දන්නෑ ඇයි ඔහුව ඇයට අහිමි උනේ කියලා.
‘අපි මේක නවත්තමු රනූ…’
අවුරුදු නවයකට කලින් දවසක මනූෂ එහෙම කියපු හැටි අදත් රනුකිට මතකයි. ඔහුගෙන් හේතුවක් ඇහුවාම එදා කිව්වේ ඇගේ ආදරේ දැනෙනවා මදි කියලයි. ආදරේ මදි තැනක කොහොම බලෙන් නතර කරගන්නද කියලා හිතුන නිසාම ඇය ඔහුට යන්න දුන්නා.
හැබැයි අද වෙනකලුත් ඒ මතකයෙන් මිදෙන්න ඇයට හැකි උනේ නෑ. අවුරුදු තුනක මතක අවුරුදු නවයක් තිස්සේ ඇය එක්ක හුස්ම ගන්නවා.
සමහර වෙලාවට ඇයට දැනෙන වේදනාව අප්රමාණයි. නමුත් කොයිතරම් වේදනාවක් දැනුනත් ඇගේ හිතේ ඔහු ගැන වෛරයක් ඇති වෙලා නෑ. ඔහුගේ ජීවිතේ ඔහු තෝරගෙන ඉස්සරහට ගියපු එක ගැන ඇය සතුටු උනා.
ඔහු ගැන හොයන්න ඕනේ කම තිබුණත් අප්රමාණව ආදරේ කරපු ඔහු දැනෙන තැනක නතර වෙලා නම් එය දරාගන්න ශක්තියක් නොවුණ නිසාම ඇය ඒ අදහස අතෑරලයි හිටියේ. ඒත් අද ඇය එය දරාගත යුතුම දවස ඇවිත් කියලා ඇයට හිතුනේ චාතුල්යාගේ වචන එක්කයි.
“ඇයි මගෙන් ඉල්ලගත්තා කියලා හිතෙන්නේ ?”
රනුකි එහෙම අහද්දී චාතුල්යා හෙමිහිට ඇය දිහා බැලුවේ වරදක් කරපු පොඩි එක්කෙක් අම්මා දිහා බලන්න වගේ.
“මං මනූශට ආදරේ කරේ ඔය දෙන්නගේ එෆයාර් එක තියෙද්දිමයි. එයා ඔයාගේ කියලා දැන දැනත් මට එයාව ඕනේ උනා. කොහොම හරි මං එයාව ලබාගත්තා ඒත් අදටත් එයාව දකිද්දී මට හිතෙනවා මං ඔයාගෙන් එයාව උදුරගත්තා නේද කියලා…”
ඒ වචන එක්ක ඇස් බොඳ වෙලා යද්දී රනුකිට හිතුනේ තමන් කාලයක් තිස්සේ රැවටිලා නේද කියලයි.
“ඇත්තටම මට සමාවෙන්න රනුකි. මං දන්නවා ඒක සමාව දෙන්න සුදුසු වරදක් නෙවෙයි කියලා. ඒත් ආදරේ ලඟදි මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා වැඩී…”
චාතුල්යාගේ හඬ බිඳෙමින් තිබ්බා.
“ආදරේදීයි යුද්දෙදියි ඕනේම දෙයක් සාධාරණයි ලූ චාතුල්යා. මං කවදාවත්ම ඔයාට වෛර කරේ නෑ. මෙතනින් එහාට වෛර කරන්නෙත් නෑ. මනූෂ කියන්නේ මගේ අතීතේ එක කොටසක්. ඒක හරි ලස්සන කොටසක් හැබැයි ඒ කොටස මගෙන් ගිලිහුණා කියලා මට එයාට වෛර කරන්න බෑ. ඒ වගේම එයාට මටත් වඩා ආදරේ කරපු ඔයාට මට කොහොමත් වෛර කරන්න බෑ… ”
රනුකි කිව්වේ හදවතින්මයි. කාලේකට කලින් මේ දේවල් දැනගත්ත නම් සමහර විට ඇයට මේ ගැන තරහක් දැනෙන්න තිබුණා. නමුත් දැන් ඇය ජීවිතේ බොහේ දේ තේරුම් ගත් ගැහැනියක් විදිහට ඇයට අද තරහක් දැනුනේ නෑ. ඒ වෙනුවට ඇයට දැනුනේ සැනසීමක්.
“ගොඩාක් පිං රනුකි… ඔයා සමාව දෙන එකක් නෑ කියලා හිතලා මං ගොඩාක් විඳවලා තියෙනවා…”
එහෙම කියද්දි චාතුල්යගේ ඇස් වල කඳුලු පිරෙනවා රනුකි දැක්කා. තාමත් චාතුල්යාගේ ඇස් වල වරදකාරි හැඟීම එහෙමමයි.
“අහන්න චාතුල්යා ඔයාටයි පිං දෙන්න ඕනේ…”
රනුකි කිව්වේ ඇයට අවංකවම දැනුන හැඟීමමයි. රනුකි එහෙම කියද්දි චාතුල්යාගේ ඇස් පුදුමයෙන් පස්සේ පිරුනේ ඒ වචන වල තේරුම හිතාගන්න බැරුව.
“මගේ ජීවිතේ අවුරුදු නවයක් ගෙවුණා හැබැයි මගේ හිත මේ වෙනකල් තිබුණේ එතනමයි. දන්නවද චාතුල්යා ඒකට හේතුව ?”
චාතුල්යාගේ අත් දෙකම තදින් අල්ලගන්න ගමන් රනුකි අහද්දී චාතුල්යා ඔලුව දෙපැත්තට හෙලෙව්වේ නෑ කියන්න.
“මං හැමදාම හිතුවා මගේ ආදරේ මදි උනා කියලා. ඒත් එහෙම නෙවෙයි නේ වෙලා තියෙන්නේ. ඔයාගේ ආදරේ වැඩි වෙලා. ඉතින් මට සතුටුයි. ඇත්තටම මට සැනසීමක් දැනෙනවා චාතුල්යා. ඒක මට පැහැදිලි කරාට ඔයාට ගොඩාක් පිං…”
තමන්ට අවංකවම දැනුන හැඟීම වචන කරන ගමන් රනුකි සිනාසුනේ හදවතින්මයි.
චාතුල්යාට රනුකිගේ මේ වචන විස්වාස කරන්නත් අසීරුයි. පොඩ්ඩා ඇවිත් රනුකිව පෙන්නුවම ඒ රනුකි කියලා දැක්කාම ඇය එකක් කතා කරන්න ආවත් චාතුල්යාගේ හිතේ තිබුණේ බයක්. රනුකිගෙන් මෙවන් හැසිරීමක් ඇය කොහොමවත්ම බලාපොරොත්තු උනේ නෑ.
රනුකිට සත්තකින්ම දැනුනේ හදවත කඩා වැටෙන තරමේ වේදනාවක්. නමුත් ඇයට ඕනේ උනේ නැහැ ගෙවී ගියපු කාලය වෙනුවෙන් හඬා වැටෙන්න. ඇයට ජීවිතේ එක තැනක වැරදුනා නමුත් එයට චාතුල්යා වග කිව යුතු නෑ.
මන්ද යත් මනූෂට ඇගේ ආදරේ නොදැනුන එකට චාතුල්යා වග කිවයුතු නෑ. මගහැරෙන්නට ඇති දේ කවදාම හෝ මගෑරෙනවා කියලා රනුකිගේ හිත ඇයටම තේරුම් කරා.
“මනූශ මං විතරක් ඉන්න කාලේ මට ඇත්තටම ආදරේ කරන්න ඇති. හැබැයි ඔයා එයාගේ ජීවිතේට ආවම එයා ආදරේ කරේ වගේම තාමත් ආදරේ කරන්නේ ඔයාට. ඉතින් ඔයා කවදාවත්ම මට වැරැද්දක් කරා කියලා හිතන්න එපා චාතුල්යා.”
රනුකි එහෙම කියද්දි චාතුල්යාගේ මූණේ ඇඳුනේ සැනසීමක්.
“රනුකි මං මේ අවුරුදු නවයම ඔයා තරම්ම විඳෙව්වා. අදයි මට ඇත්තටම හිනාවෙන්න පුලුවන් උනේ. ඔයා මට ජීවිතේ දුන්නා එදා වගේම අදත්…”
කඳුලු බින්ඳු අතරින් හිනාවෙන ගමන් චාතුල්යා එහෙම කියද්දි රනුකිගේ හිත ඇයගේ වචන නිසා තව කෙනෙක් හිනාවෙනවා කියන හැඟීමෙන් පිරිලා ගියා.
“මං යන්නද චාතුල්යා එහෙනම්….”
මනූෂ ගැන අහන්න ඕනේ කියලා හිතුනත් ඇගේ මනස එය එපා කියලා ඇයට තරවටු කරද්දී රනුකි එහෙම කිව්වේ පොඩ්ඩගෙත් හිස අතගාලා.
“චුට්ටක් ඉන්න මනූෂ එයි දැන්…”
චාතුල්යා කියද්දි නවතින්න රනුකිට හිතුනත් මනූෂ එනකල් නැවතිලා බලන් ඉන්න තමන් ඕනේවටත් වඩා ප්රමාදයි කියලා ඇගේ හිත දන්නවා. මනූෂ තමන් පහුකරන් ගොඩාක් දුර ගිහින් ඉවරයි.
තරහක් නොදැනුනත් කලකිරීමක් දැනෙද්දි ඇය හිතුවේ ඇගේ ආදරය ළඟ අසීරුවෙන් ඔහු නතර උනා නම් අද ඉතුරු වෙන්නේ මීටත් වඩා වේදනාවක් නේද කියලයි. සත්තකින්ම ඔහු ගියේ සතුට හොයාගෙන ඉතින් ආයේ පාරක් යන්නම් කියන්නවත් ඔහු හමුවෙන්න අවැසි නෑ කියලා රනුකිට හිතුනා.
“නෑ චාතුල්යා මං දැනටමත් පරක්කුයි. තවත් බලන්න ඉන්න බෑ. දුවලා යන්න ඕනේ එහෙම නැති උනොත් එක තැනකදි මට හැමදේම මගෑරෙයි. තැන්ක් යූ මං පරක්කු වැඩි වෙන්න කලින් මට මේ කතාව කිව්වට. එහෙනම් මං යන්නම්…”
දිග හුස්මකට පස්සේ රනුකි එහෙම කිව්වේ අවුරුදු නවයක් පරක්කු උන ගමනක් යන්න පලවෙනි අඩිය තියන්න හිතාගෙනයි.
“එහෙනම් යන්න. අපිට පුලුවන් නේ පස්සේ දවසක මුණගැහෙන්න… ”
එහෙම කියද්දි චාතුල්යාගේ ඇස් වල තිබ්බේ චංචල බවක්.
“නෑ චාතුල්යා ආයේ කවදාවත්ම අපි මුණගැහෙන්න හොඳ නෑ. ඔයාලා හතරදෙනා එක පාරක මම වෙනම පාරක. මේ පාරේ මාත් එක්ක යන්න කෙනෙක් ඉඳී. එහෙම නැති උනොත් මං තනියම යයි ඒත් අපි ආපහු හම්බෙන්න හොඳ නෑ. ඉතින් ඒ නිසා ගිහින් එන්නම් නොකියා යන්නම් කියන්නම් ”
රනුකි ඒ උත්තර දුන්නේ චාතුල්යාගේ චංචල ඇස් කියපු කතාවට.
ඒ වචන එක්ක චාතුල්යා සැනසීමෙන් හිනාවෙද්දි රනුකි ආයේ හැරෙන්නේ නැතුවම ඉස්සරහට ගියේ මොහොතකට කලින් වලදාපූ අතීතේ ආපහු ඇහැ ගැටෙයි කියලා දැනුන බය නිසාමයි.
කවදාවත්ම උරුම නොවුණට ආදරේ කරපු කාලේ මනූෂ තමන්ට ඇත්තටම ආදරේ කරා කියලා මතක් වෙද්දි ඒ ආදරේ මදි උනා නෙවෙයි කියලා අද දැනගත්ත නිසාම රනුකිට දැනුනේ සැනසීමක්.
ඉතින් ඇය හිනාවෙලා ඉස්සරහට යන ගමන් අවුරුදු දොළහක් තිස්සේ ජංගම දුරකතනේ ඇඳිලා තිබුණ මනූශගේ එකම ඡායාරූපය අයින් කරලා දැම්මා.
ඊට පස්සේ ලොකු හුස්මක් අරගෙන අලුත් බලාපොරොත්තුවක් එක්ක ඇය ඉස්සරහට ඇදුනේ අවුරුදු තිස් හතරක් කියන්නෙත් ජීවිතේ පටන් ගන්න පරක්කු වයසක් නෙවෙයි කියලා ඇයටම කියාගන්න ගමන්මයි.
නැති උන ඔහු වෙනුවෙන් , මදි උන ප්රේමය වෙනුවෙන් හැඬූ කඳුලු ගැන ඇයට පසුතැවීමක් දැනුනේ නෑ. ඒ හැමදේම තමන්ව ශක්තිමත් කල බව ඇය තේරුම් ගත්තා.
ජීවිතේ හමුවෙන්නේ උඹ හොයන තැනදි නෙවෙයි
උඹට හරියනම තැනදී….!
කොහේදෝ ඈතින් ඇහුන හඬක් එහෙම මුමුණනකොට රනුකි ඇයට හරියනම ජීවිතේ හොයාගෙන යන්න අලුත් අඩියක් තිබ්බේ ඇයට අනිවාර්යයෙන්ම ජීවිතේ හමුවේවී කියන විස්වාසේ විතරක් හිතේ තියාගෙන අතීතය සම්පූර්ණයෙන්ම හිතින් අතෑරලයි.
” ප්රේමයක කෙලවර ඉඳ හිතමි
මගේ ප්රේමය මදි නොවී
ඇගේ ප්රේමය වැඩි උන වග දැනගතිමි,
ඉඳින් නුඹ සතුටින් නම්
මම නුඹව අතහැර මාවම සොයා නික්මෙමි…!
අවසානෙට මෙසේ ද ලියා තබමි,
උඹව හිතින් අතෑරුන තැන
හමුවුනා! කාලෙකට කලින් මට මගෑරුන මාවම….! “
උපුටා ගැනීම: තා රා