“මේ අවන්හලේ” (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඊයේ උදේ ළමයි දෙන්නා ඇහැරෙන්න කලින් නදීෂයි මමයි සතියේ කෑම බීම ගන්න ගියා.
වාහනේට නැග්ග ගමන් ප්ලේ උනේ නීලා වික්රමසිංහ ගේ “මේ අවන්හලේ” ගීතය.
“මේ සිංදුව ඇහෙන හැම වෙලේම මට මතක්වෙන්නේ ටෙක් යන කාලේ දවසක නුගේගොඩින් 122 බස් එකක නැගපු බෝ ගහ ගාව නිතරම කුඩයක් තියාගෙන ඉන්න ගෑනු කෙනාව”
මම කියලා ඉවර කරන්න කලින් නදීෂා කිව්වේ
“ඔව් ඔයා ඒ ගෑනු කෙනා ගැන කියලා තියෙනවා” කියලා.
“ඔව් මට තාම හිතාගන්න බැරි ඒ මනුස්සයාගේ සීට් එක උඩින් තිබ්බ ශොපින් බෑග් එකේ තිබ්බ එලවලු මොනාද කියලා – බෝංචි කරල් කීපයක් තිබ්බා – ඒක විතරයි මතක”
එහෙම කියලා මම ආහපු ඒ බස් එකේ ඉඳගෙන උන්නු සීට් එකේම ඉඳන් ඒ ගෑනු කෙනා දිහා බැලුවා.
මට එතකොට 23-25ක් වෙන්න ඇතිනේ. ඒ කියන්නේ අපේ අම්මට 46-49ක් වගේ වෙන්න ඕන.
ඒ ගෑනු කෙනා එක්කෝ අපේ අම්මගේ වයසේ නැතිනම් ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන්න ඇති.
පෙනුම අපේ අම්ම වගේමයි. කෙට්ටුයි, කොන්ඩේ පැත්තට පීරලා.
ඇඳන් හිටියේ අව්වට සායම් පිච්චුනු පරන සාරියක්.
වෙලාව උදේ 7-7.30 වගේ ඇති. මං හිටියේ අන්තිම සීට් එකේ දකුනු කෙලවරේ. වම් කෙලවරේ පෙම් මුල්ලේ කපල් එකක් හිටියා වගේත් මතකයි.
නැග්ග ගමන් අතේ තිබ්බ එළවලු බෑග් එකේ අඬු දෙක ඇඟිල්ලක පටලන්, බෑග් එක සීට් එක උඩ තියල නිදා ගත්තා.
එයව ඉස්සෙල්ලම බෝ ගග යටදී දැක්ක දවසේ “ඇයි මේ මනුස්සයා නොගැලපෙන රතුපාට ලිප්ස්ටික් එකක් ගාලා?” කියලා හිතුවට එදා බස් එකේ යන වයසෙදි මම දැනං උන්නා එයාගේ ජොබ් එක.
මොකද්දෝ හේතුවකට ඒ එළවලු බෑග් එක මගේ හිතේ රැදිලා තිබ්බා.
පස්සේ කාලෙක අමරසිරි පීරිස්ගේ ළඳුනේ ගීතයේ “කුහුඹුවෙකුට වරදක් නැති වැරදි කාර ළඳුනේ” තේරුම් ගියාම තමයි ශොපින් බෑග් එකේ එළවලු ට්ක ආපහු ආපහු අර ෆිල්ම් වල ක්ලෝස්අප් පෙන්වනවා වගේ ඇහේ වැදුනේ.
ගෙදර බඩගින්නේ ඉන්න ළමයිට, අසනීප වෙලා රැකියාවක් කර ගන්න බැරි මහත්තයට, වයසක අම්ම තාත්තට කන්න උයන්න ගෙනියපු එළවලු වෙන්න ඇති.
ඒ මනුස්සයා හිතේ මොන මොන දුක් තියෙන්න ඇද්ද ?
ඒත් බෝ ගහ යට හිටියේ නිතරම හිනා මූනකින්.
එයාගේ දුක් සුසුම් අනුන්ගේ හිනාමූනු වල හෙලන්නේ නැතිව සුලු මුදලකට, සුලු මොහොතකට හරි දුකින් පිරිනු ජීවිතයකට සතුටක් ලබා දෙන්න ඇති.
නීලාගේ සිංදුවේ “ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමී” කියද්දී මට හැමදාම ඒ ගෑනු කෙනාව මතක් වෙන්නේ ඒකයි.
දැන් ඒ සිංදුව ඇහෙන හැම වෙලාවකම ඒ ගැනුකෙනා සහ ඒ රැකියාව කරන අය ගැන විතරක් නෙමේ ගීතයේ කියවෙන ක්ලබ් වල සිංදු කියන – නටන අයත් මසාජ් ක්ලිනික් වල වැඩ කරන අයත් වගේ ඔක්කෝම ගැන දුක හිතෙනවා.
මොකද ඒ අය හැමෝම තමන්ගේ දුක් වේදනා හංගගෙන හිනාවක් මූනේ අලවාගෙන එයාලගේ සුසුම් අන් අයගේ සිනාවේ හෙලන්නේ නැතිව ඉන්න උත්සාහ කරන නිසා.
ඇගේ මුහුනේ සිනහවට රැවටී ඔවුන් හා බැඳෙන්න එපායි කියා ආයාචනය කරන නිසා !
—-
මේ අවන්හලේ සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා
රඟන්නෙමි
මා ඔබ වගේම ලෝකේ
කඳුළු දුක් සිතේ ලා
දිවි ගෙවන්නෙමි
ඒ සුසුම් මගේ
ඔබේ සිනාවේ
නොලන්නෙමි
කවන්න පොවන්න රකින්න
කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න
කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න
කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මේ අවන්හලේ සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා
රඟන්නෙමි
කවන්න පොවන්න රකින්න
කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න
කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න
කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මා ලවන් දැලේ බිඟුන් මුලා වී
රැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී
බැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී
බැඳෙන්නෙපා
ගායනය – නීලා වික්රමසිංහ
සංගීතය – නිමල් මෙන්ඩිස්
ගී පද – කරුණාරත්න අබේසේකර
උපුටා ගැනීම: Subhash Gunawardhane

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!