මම පොඩ්ඩක් ඉඳලා ඇඳුම දාගත්තා.ඒක ගානට.මටම කියලා මැහුවා වගේ.මම එතනින් එලියට එන්න හදන කොටම මාව හොයාගෙන වේටර් අයියා ආවා.
“මේ මල්ලි ඔයාගෙ නම මොකක්ද?” “මම පවන් අයියේ…..”
“මේ ඔයාට කෝල් එකක්.” “කවුද අයියේ”?
” අපේ බොස්.”
“හෙලෝ සර්.මම පවන්………….”
සර් කියපු දේවල් මම හොඳට අහගෙන හිටියා.”හරි සර් මං ඒ විදියට කරන්නම්….”
“මෙන්න අයියේ ෆෝන් එක.” “හරි එහෙනම් වැඩ පටන්ගමු නේද.පුරුදු වෙන්න දවසක් දෙකක් යයි.”
“හරි අයියේ.යමු…” එහෙම කියලා මමත් එයාගෙ පස්සෙන් ගියා.දවල් වෙලා හින්දා සෙනඟ ටිකක් අඩුයි.කාර් දෙක තුනක් විතරයි නවත්තලා තිබුණෙ මේ වෙනකොට.මට මෙයාලා කියපු විදියට උදෙයි හවසයි තමයි සෙනඟ ඉන්නෙ.අනික සාමාන්ය මිනිස්සුනම් එන්නෙම නෑලු.සල්ලිකාරයොමයි එනතරමක්.
” අලුත් ළමයා මෙහාට එන්න..” වැඩකරන අංකල් කෙනෙක් කථාකළා.
“මේ කෑම ටික අර කෙලවරේ ටේබල් එකේ සර්ට ගෙනිහින් දෙන්න..” එයා එහෙම කිවුව සැනින් මම ඒකෑම ටිකත් අරන් කිවුව මේසෙ ළඟට ගියා..
“සර් මෙන්න ඕඩර් කරපු කෑම….”මම කිවුවෙ යටහත් පහත්ව.මගේ පළවෙනි සේවා දායකයා එතුමා.මම පුරුදු කාරයෙක් විදියට ඉංග්රීසි කෑලිත් දාලා කතාකල නිසාද මන්දා ඒ මහත්තයා මං දිහා හැරිලා බැලුවා.මං අතින් වරදක් වුණාද කියලා හිතුන නිසා මාව ගැස්සුණා.
“මේ ළමයා අලුතෙන් වගේ.මීටකලින් දැකලා නෑ මෙහේ.”
“ඔ..ඔව් සර් මං අදමයි ආවෙ….” මං කිවුවම එයා සුහදව හිනාවෙලා කෑම ටික අතට ගත්තා.මට පොඩි සතුටක් දැනුණා හොඳ මිනිස්සුත් කොළඹ ඉන්නවා කියලා.කොහොමහරි ඒ මහත්තයාට බිල ගෙනිහින්දීලා සල්ලි දුන්නම ඉතුරු සල්ලිත් මමම අරන් ගියා.
” මේක තියාගන්න…” ඒ මහත්තයා ඉතුරු සල්ලිවල තිබුණ රුපියල් සීයෙ කොලයක් මගෙ අතට දුන්නා.මමත් ඉතින් හිනාවෙලා අතට ගත්තා.
හරි ඔහොම පළවෙනි දවස සාමාන්ය විදියට ගෙවිලා ගියා.මගේ ජීවිතේ දැන්වත් වෙනසක් වෙයි කියලා මට හිතුණා.ඒවිදියටම දින සති ගෙවිලා ගියා.දැන් මම මෙහෙට ඇවිත් සති හයක් ඒකියන්නෙ මාස එකහමාරක් විතර.ගමේ යන්න කියලා දේකුත් නෑනෙ.කවුද එහේ ඉන්නෙ මගේ කියලා.
ඉතින් ඔහොම ඉන්නකොට බැනුම් අහපු දවසුත් ඕනිතරම් තියෙනවා.හොඳමිනිස්සු මේ ලෝකෙ ඉන්නෙ කලාතුරකින් කියලා මං හිතාගත්තා.දවසක් එක මහත්තයෙක් කෑම කාලා පර්ස් එක අමතක වෙලා දාලා ගියා.මම ඒක දැක්කෙ පස්සෙ.එයා යන්න ගිහින්.මොනවා කරන්නද.මම ඒක පරිස්සම් කරලා තියාගත්තා ආයි එයිනෙ කියලා.
“මේ වේටර් ළමයා මෙහෙට එන්න.” මං හැරිලා බැලුවෙ ඒ කටහඬට.කවුද කියලා දැක්කෙ දැන්නෙ.”අාහ් සර්.සර් කොයිවෙලේ හරි එයිනෙ කියලා මං බලන් හිටියෙ.”මං කිවුවෙ තිබුණ සතුට හින්දා.
“මේ මගෙ පර්ස්……” ඒ මහත්තයා එහෙම කියනකොටම මම ගිහින් පර්ස් එක අරන් ඇවිත් මහත්තයාගෙ අතට ම දුන්නා.
“ඇති යන්තම්.මම හිතුවෙ වෙන තැනක වැටිලා කියලා.ඔය ලමයට කොහොම ස්තුති කරන්නද මන්දා මේකරපු දේට.” ඒ මහත්තයාගෙ ඇස් පුදුමයෙන් මංදිහාට හැරිලා තිබුණෙ.
“සමාවෙන්න සර්.පර්ස් එක එදා මං දැක්කෙත් පස්සෙ.එතකොට සර් ගිහින්.සර් ආයිත් එයිනෙ කියලා මං ඒක අරන් තිබ්බා පරිස්සමට.බලන්න සර් මං සතපහක්වත් ගත්තෙ නෑ.”මං එහෙම කිවුවෙ මං ගැන සැකකරයි කියලා.
“ඔය ළමයා බොහොම අවංක ළමයෙක්.තෑන්ක් යූ සෝ මච්.ආ මෙන්න මේක තියාගන්න.”
ඒ මහත්තයා මගේ අතට රුපියල් පන්දහක් දික්කලා.”අනේ සර් සල්ලි එපා.මං මනුස්සකමට…….” “හරි එහෙනම් මගෙන් උදවුවක් ඕනිඋනොත් කියන්න.”ඒ මහත්තයා මගෙ උරහිසට තට්ටුවකුත් දාලා එහෙම කියාගෙන යන්න ගියේ හෝටලේ කරවන කෙනාටත් මංගැන හොඳකියලා.
කොහොමහරි ඒ සිද්ධිය වෙලා දැන් දවස් හතරක්.හදිස්සියෙම වෙනදා උදේ එන ඒ මහත්තයා මේ හවස මොකද කියලා මං බැලුවෙ.හවස 5ට විතර ඇති දැන්.
“ඔය ළමයා කැමතිද අපේ ගෙදර වැඩට යන්න.ලොකු ලොකු වැඩ නෑ.ගෙදර වත්තෙ වැඩකරගෙන ඉන්න තියෙන්නෙ.තව වැඩකරන ගෑනුකෙනෙක් ඉන්නවා.එයාට උයන්නයි ගෙයි අනිත් වැඩකරන්නයි වත්තෙ වැඩකරන්නයි බැරිනිසා මේ දවස්වල කෙනෙක් හොයහොය හිටියෙ.අවංක කෙනෙක් වෙන්න ඕනි.ඒකයි මං ඔයාව එක්ක යන්න හිතුවෙ.”
“මාරයි.පුදුම චාන්ස් එකක්නෙ මේ.එ්ත් මං කොහොමද මගේ ජීවිතේ ගොඩගිය තැන දාලා යන්නෙ.”බොරුවක් හරි කියන්න ඕනි කියලා මං හිතාගත්තා.කරුමෙට බොරුවක්වත් මතක් වෙන්නෑනෙ.