මගේ වෙලාවට බොරුවක් මතක් වෙන්නෙත් නෑ.”ආ අපේ සර් කැමතිද දන්නෑ ඒකට….” මට වෙන කියන්න දෙයක් නැතුව නිකන්ම කියවුණා.
“ඒක ප්රශ්නයක් කරගන්න එපා.මම එයාට කථාකළා.මුලින් නම් කැමති වුනේ නෑ.මම මේකට ගොඩකාලෙක ඉඳන් එනහින්දා ඒ ඇඳුනුම්කමටයි එක්කන් යන්න කිවුවෙ.”
“ඉවරයි…..”මට නිකන්ම කියවුණා.වෙලාවට මහත්තයට ඇහුණෙ නෑ.යන තැන කොහොමද දන්නෙත් නෑ.බොසුත් කිවුවනම් ගිහින් බලනවා.බැරිවුනොත් පැනලා එනවා මේකටම.මම ඔය ප්ලෑන ඔළුවෙ ඇඳගත්තා.මොකෝ මමත් මේ අවුරුදු 21ම හැදුණෙ තනියමනෙ.අන්තිමට මමත් කැමති වුණා.මොනවා කරන්නද.තිබුණ ඇඳුම් දෙකතුන බෑග්එකට දාගෙන වේටර් ඇඳුම මාරුකරන් ලියනගේ හෝටලයටත් සමුදුන්නා.ඒත් බලංගොඩ අතෑරලා එද්දි දැනුනට වඩා දුකක් නම් දැනුණා.මගේ ජීවිතේ වෙනස් කලේ මෙතන.ඒකට මං ගමේ කඩේ මුදලාලිටත් පිංදෙනවා.එයානිසයි හැමදේම ලැබුණෙ.කාර්එකේමයි එක්ක ගියෙ.මාරයි.ජීවිතේටම පළවෙනි වතාව ඒසී වාහනේක යන.යනගමන් සර් මට ගෙදර විස්තර එහෙම කියකිය ගියා.මම හිතුවෙ හැමදේම කිවුවා කියලා.එහෙම නෑ.ගියාමයි තේරුණේ.
“දුවේ දොර අරින්න…” කාර්එකෙන් බැහැලා ගෙයිදොරකඩට ගිය සර් කථාකළා.එතකොටයි දන්නෙ එයාට දුවෙක් ඉන්නවා කියලා.මමත් සර්ට පිටිපස්සට වෙලා බෑග් එකත් එල්ලගෙන හිටියා.
“පොඩ්ඩක් ඉන්න තාත්තා….” එහෙම කියපු එයා දොර ඇරියා.
“අද තාත්තා හොඳටම ප……” එයා කියන්න ගිය දේ ගිලගත්තේ මාව දැකලා මං හිතන්නෙ.
“මේ කවුද මේ….” එයා කතාකරපු ශෛලිය වෙනස් වුනා.කුතුහලයෙන් කතාකලේ.එතකොටයි මං එයාගෙ මූණ දිහා බැලුවෙ.
“කුමාරිකාවක්ද මේ….”මට හිමීට කියවුණා.
ඒත් එක්කම මගේ හිතට මොකක්ද දැනුණා.මට තේරුණා අනිවාර්යෙන් එයා අක්කා කෙනෙක් කියලා.ඒත් ලොකු වයසක් නැතුව ඇති.
“එන්න ළමයා ගෙට….”සර් මට කථාකළා.සර්ගෙ දුව බලන් ඉන්නවා තාම පුදුමයෙන් මම කවුද දන්නෑනෙ.
“ආ දුව මේ අපේ ගෙදර වැඩට එක්ක ආව ළමයා.අර මං කිවුවෙ මගේ පර්ස් එක…..”
“ආ එයාද මේ.කමලා මේ තාත්තිට එහෙම මොනව හරි හදන්න.” ටිකක් සද්දෙන් එහෙම කියලා එයා ගියා උඩට.
“තාත්තී මෙහෙට එන්න පොඩ්ඩක්.”උඩ ඉඳන් සර්ට දුව කථාකළා.” සර් උඩට ගියා.ශුවර් එකට මංගැන කතාකරන්න වෙන්න ඇති ඒ මිස් කතාකලේ.
ටිකකින් වැඩට ඉන්න ගෑනුකෙනා වෙන්න ඇති මටත් එක්ක බීම දෙකක්ම අරන් ආවා.සර් එනකල් මම බොන්නෙ කොහොමද.අතට අරන් බීම එක නොබී තියන් හිටියා.
“මොකද ඔය බීම එක අතේ තියන් ඉන්නෙ.බොන්න දුන්නෙ.”
සර් උඩ ඉඳන් හිනාවේගෙන ආවා.ඒත් මොකක් හරි අවුලක් තියෙනවා කියලා මට තේරුණා.සර් ආවට මිස් ආවෙ නෑ පහලට.
“කමලා මේ ලමයට අර එළියෙ කාමරය පෙන්නන්න.ඔයා එකෙ ඉන්න.උදේට කමලා කරන්න තියෙන වැඩටික කියයි.මම පාන්දර ඔෆිස් යන්න ඕනි වොෂ් එකක් දාලා නිදාගන්නවා මං දැන්.ඔයා එළියෙ තියෙන ෂවර් එකෙන් නාගෙන නිදාගන්න මොනවා හරි කාලා එහෙම.”සර් එහෙම කියලා ආයිත් උඩට ගියා.
“නැගිටින්නෙ නැද්ද ඔය ළමයා.දැන් දවල් වෙලා.අහිංසා බේබිගෙනුයි ලොකුසර්ගෙනුයි බැණුම් අහන්න වෙන්නෙ මට.”
ගෙදර වැඩකරන කමලා ඇන්ටි දොරට ගහද්දි මට ඇහැරුණා.ඔයකියපු සේරමත් මට ඇහුණා.
“ආ මේ එනවා..”මං එහෙම කියලා දත්බුරුසුවට දත්බෙහෙතුත් දාගෙන මූණ හෝදගන්න ෂවර් එක ළඟට ගියා.මූණ හෝදන් එන්න හැරුණා විතරයි අහිංසා මිස් ආවා.
“තමුන් දන්නවද දැන් වෙලාව කීයද කියලා.ආ..මෙහෙමද වැඩට ආවම වැඩකරන්නෙ.ඉන්නවා තාත්ති ආවම හෙටම මම තමුන්ව මෙහෙන් එලවනවා.හුරතල්වෙන්න හදන්න එපා මෙහේ.දැන් ඉක්මනට ගිහින් වැඩපටන් ගන්නවා…”
අහිංසා මිස් බැණගෙන බැණගෙන ගියා.මට කටඋත්තර නෑ.මං වැරදී තමයි.ඒත් පළවෙනි දවසෙම මෙහෙම බනිනවද.ලොකුසර්ගෙ මනුස්සකම ගෑවිලාවත් නෑ.මං එහෙම හිතහිතමයි යන්න ගියෙ මගේ කාමරේ පැත්තට.
කෑම කනගමන් මං මෙහේ විස්තර ඇහුවෙ වැඩකාර කමලා ඇන්ටිගෙන්.
“කමලා නැන්දෙ මේ ලොකුසර් මොකද කරන්නෙ.කොහෙද වැඩකරන්නෙ.එතකොට අහිංසා මිස් එහෙම….”
“මොකද අහිංසා මිස්ගැන අහන්නෙ.”ඒක මගෙන් ඇහුවෙනම් කේන්තියෙන්.
” ලොකුසර්නම් වැඩකරන්නෙ කිරුලපන ලොකු කම්පැනියක.ඒකෙ ලොක්කා අපේ ලොකුසර්.අහිංසා බේබි ලෝයර් කෙනෙක්.හොඳට ඉගෙන ගත්තා පත්වීම හම්බවුනේ මාස පහකට විතර කලින්.
“එතකොට අහිංසා මිස්ට වයස කීයක් විතර වෙනවද.” මං ඇහුවා නෙවෙයි නිකන්ම ඇහුණා.ඒත් වැරදි අදහසකින් නෙවෙයි.
“වයස 25යි.මොකද අහිංසා බේබි ගැනම අහන්නෙ.සෙල්ලංකරන්න ලෑස්තිවෙන්න එපා පුතෝ හරිද.ආවවැඩේ විතරක් කරගෙන ඉන්නවා.” කමලා නැන්දා එහෙම කියලා මට වැඩටිකකුත් පවරලා කුස්සියෙන් එලියට ගියා.ගේනම් මාලිගාවක් වගේ.
ඇවිල්ලා දැන් දවස් දෙකක් වුනත් මට තාම බෑ මේ ගෙයි කාමර හරියට හොයන්න.අතුගාන්න එහෙමත් වෙනදවස්වලට මට පිස්සු වගේ.එච්චරට කාමර.හදිස්සියෙම කමලා නැන්දා කිවුවා ටවුන් එකට ගිහින් එන්න කියලා ත්රීවිල් එකකින්.
“මේ ටවුම කිරුලපනද අයියේ.?” මං ඇහුවෙ ත්රීවිල් එකේ අයියාගෙන්.
“අැයි මල්ලි ඔයා මෙහේ නෙවෙයිද.මේ කිරුලපන තමයි.”
මම මේ කිරුලපන කියලා දැනගත්තෙ බිල්ඩින් වල බෝඩ්වල තියෙන නිසා.සුපර් මාකට් එකට ගියා.ඒවා පුරුදුයි මට.එකඑක අයට බඩුගේන්න බලංගොඩදිත් සුපර්මාකට් ගියා ඕනතරම්.බඩුත් අරන් මම එලියට ආවා විතරයි තරුණ ගෑනුලමයෙක් එකපාර කෑගහන්න ගත්තා……