මෙහෙමත් ලැජ්ජාවක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම මාතර ඉගෙන ගන්න කාලයේ, අපි කාලයක් හිටියේ ඉසඩීන් ටවුමත් පාසලත් අතර අකුරැස්ස පාරේ හරස් පාරක. අපේ ගෙදරත් පාසලත් අතර වින්කලයක් තිබුනා. ඒක කලේ පැටි මහත්තයා කියල කෙනෙක්.
මිනිහ හොඳ වැඩකාරයා. රැලේ බයිසිකල් එක පේන්ට් කරනවා ඔරිජිනල් වගේ. ඉතින් මිනිහ හරි බිසී. ඒ වගේම පාට් ටයිම් ඩ්රයිවර් වැඩෙත් කරනවා. අපේ ගෙදර නමයයි, ආච්චියි, අපේ ගෙදර නැවතිලා හිටපු බාප්පගෙ දුවයි පුතයි හිටපු කාලෙ කොහේ හරි යන්න ඕන උනාම කාර් දෙකක්වත් ඕන. එතකොට උපසේන මහත්තයගෙ පජෝ 203 එක එවනවා අපේ ගමනට, පැටි මහත්තයා තමයි ඩ්රයිවර්. ඒ නිසා එයා අපේ පවුලෙ අයව හොඳට හඳුනනවා.
මිනිහ වැඩට දක්ශයා වගේම බොරු කියන්නත් පුදුම දක්ශයි. කිව්ව එක බොරුවක් මෙන්න. දවසක් කාර් එක ඩ්රයිව් කර ගෙන යනකොට ඉස්සරහින් ටයර් එකක් යනවලු. බලන කොට එයාගෙ කාර් එකේම වම් පැත්තෙ ඉස්සරහ ටයර් එකලු ගැලවීලා මේ ඉස්සරහින් යන්නෙ. ඒ පාර එයා කාර් එක ඇතුලේ හිටපු කාටත් කිව්වලු, දකුනු පැත්තට බරවෙන්න කියලා, පෑගුවලු ලෑල්ලටම ටයර් එක අල්ලගන්න. රෝද තුනෙන් ගිහිල්ලා ටයර් එක හරියටම ඇක්සල් එක එල්ලෙ උන ගමන් කාටත් කිව්වලු ආපහු වමට බර වෙන්න. ටක් ගාලා ටයර් එක ෆිට් උනා ලු. එහෙම කියලා අපේ මූන දිහා බලාගෙන ඉන්නවා. හිනා උනොත් තරහ යනවා. අපි කියන්න ඕන,
‘පැටි මහත්තයා, ඩ්රයිව් කරපු නිසා හොඳයි. වෙන කෙනෙක් උනා නම් කාර් එක පෙරලිලා කට්ටිය තුවාල වෙලා, එක කෙලියයි’
‘අන්න බලන්න, පොඩි ලමයි වෙලත් මහත්තයාට ඔය තේරෙන දේ මේ ලොකු අයට තේරෙන්නේ නැහැ නේ’
ඉතින් පැච් එකක් දාගන්න ගියොත්, වැඩේ ඉවර වෙන තුරු මිනිහගෙන් එන්ටටේන්ට්මන්ට්, මොකෝ ඒ කාලෙ ටීවි තිබුනයි.
අපි ඒ කාලෙ හැම හවසකම වගේ යාලුවො 6-7 දෙනෙක් සෙට් වෙලා මාතර බීච් එකට යනවා බයිසිකල් වලින්. ගෑල්ස්ලා බලන්න නෙවෙයි, පරිසරයෙ ලස්සන බලන්න. දැන් කාලෙ වගේ වෙරලෙ සෙනග නැහැ, මාතර ටවුමෙ අය විතරක් හවසට ඇවිදින්න එන්නේ. ඉතින් ඒ අතරින් පතර සැඟවුන ආදර කතාත් තිබුනා.
අපි බයිසිකල් කොටුවෙ ඔර්ලෝසු කනුව යට තියලා, බිමින් වාඩිවෙලා අපේ දැවෙන ප්රශ්න ගැන කතා කලෙමු. ගෙදර දෙමව්පියන්ගෙ අඩතේට්ටම්, ඇඩ්වාන්ස් ලෙවල් ෆේල් උනොත් අනාගතයෙ කල යුතු දේවල් යනාදියත් සමගම එදා හවස ආතල් එකට මොකක් කල යුතුද යන්නත්.
එක්කෙනෙක් යෝජනා කලා, අපි යන ගමන් පැටි මහත්තයලගෙ ගෙදර ඉස්සරහ බයිසිකල් නවත්තලා, කලුවරේ ඉඳගෙන ‘පච පැට්ටෝ’ කියලා කෑ ගහමු කියලා. ඒ වයසෙදි ඒ අවස්ථාවෙදි ඒක අගනා යෝජනාවක් කියලයි කාටත් හිතුනේ, ඒ නිසා ඒ යෝජනාව ඒකමතිකව සම්මත උනා.
අපි ආපහු එනකොට හවස් වෙලා, පේන නොපෙනන තරමට කලුවර වෙලා. අපි පැටි මහත්තයාගෙ ගෙදර ඉස්සරහ නැවතිලා, එක දෙක තුන කියලා ‘පච පැට්ටෝ’ කියලා කෑගැහුව අපි කතාකරගත් විදියටම. පැටි මහත්තයාගෙ ගෙදර ඉස්සරහ ලයිට් වැටුනා, අපි බයිසිකල් වලට නැගලා පුලුවන් තරම් හයියෙන් පැදලා ගියා ගෙවල් වලට එයාට අපේ වල්ගෙවත් අල්ලන්න බැරි වෙන්න.
ඊට දවස් තුනකට විතර පස්සෙ, මගේ බයිසිකලේ ටයර් එකේ හුලං බැහැල හොඳටම. මම ඉතිං බයිසිකලේ අරගෙන ගියා පැටි මහත්තයාගෙ වින්කලේට.
‘ආ මහත්තයා, මොකද මේ පැත්තෙ?’
‘මම හිතන්නෙ පස්සෙ රෝදේට පැච් එකක් දාන්න වෙයි පැටි මහත්තයො’
‘බලමු බලමු’
කියලා, එයා ටයර් එකෙන් ටියුබ් එක එලියට අරගෙන ඒක වතුර බාල්දියක ඔබ ඔබා බලනවා හුලං බුබුලු එනවද කියලා. අන්තිමේදී හොයා ගත්තා ටියුබ් එකේ හිල තියෙන තැන.
ඊට පස්සෙ එයා එතන රෙදි කෑල්ලකින් පිහදාලා, බංකුවේ වාඩි වෙලා පීර අරගෙන එතන පීරි ගාන ගමන් කතාව පටන් ගත්තා.
‘බලන්නකො මහත්තයා, දැන් කාලෙ හැදෙන කොල්ලො කමකට නැහැ නේ’
‘ඇයි පැටි මහත්තයා එහෙම කියන්නෙ?’
‘නැහැ, මේ දවස් දෙක තුනකට කලින් කොල්ලො වගයක් අපේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා පච පැට්ටෝ කියලා කෑ ගැහුවනේ’
‘නෑ’
‘නැහැ නෙවෙයි ඔව්’
‘කලුවරේද උන් හිටියෙ’
‘ඔව්, ලයිට් දාලා එලියට එන කොට උන් බයිසිකල් වලට නැගලා ගියා නේ’
‘ඉතින් පැටි මහත්තයාට ගලකින් හරි ගහන්න තිබුනනේ එකෙකුගෙ ඔලුව පැලෙන්න’
‘ඔව් මට හිතුනා, ඒත් ඉතින් ඒක කොහොම කරන්නද මහත්තයට වැදුනොත් එහෙම, මම කොහොමද ප්රින්සිපල් සර්ට මූන දෙන්නෙ කියල හිතල නිකං හිටියා. ඒ වෙලාවෙ මම කලුවරේ මල් කඩ කඩා හිටියෙ ගේට්ටුව ලඟමනේ’
කියලා මගේ මූන දිහා නොබලම පීරී ගානවා. මට පොලව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් ආවා. හැංගෙන්න තැනකුත් නැහැ, දුවන්නත් බැහැ ඉතින් බිම බලාගෙනම ඉඳලා. මම ආයෙත් කතා කලේ පැච් එක දැම්මට පස්සෙ ගාන කීයද කියලා අහන්න විතරයි.
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!