අපේ අම්මයි තාත්තයි වැඩ කරේ පොලීසියෙ යාලොස්. තාත්ත දැන් පෙන්ෂන්. අම්ම තාම වැඩ. දෙන්න කසාද බැන්දෙ අනූ එකේ. එතකොට මේ සිදුවීම් මාලාව අසූ නමයෙ හෝ අනූවෙ සිද්ද උනා කියල හිතන්න පුළුවන්.
දැන් මේ දෙන්නම එකට තමයි මුල්ම පත්වීම අරං එකට, අදාළ පොලීසියට අනුයුක්ත වෙලා තියෙන්නෙ. ඒ කාලෙ පොලීසියෙ රස්සාව දැන් කාලෙ තරමටම කිච නෑ. පොලීසියක වැඩ කරනව කිවුවම ගමේ හෙන රෙස්පැට්. මම මේ ජීවත් වෙන වැඩිපුරම ධීවර ප්රජාව ඉන්න ප්රදේශයක ඕක තවත් වැඩී. මොකද මේ පැති වල ඉන්නෙ ගොඩක් දුරට විධිමත් අධ්යාපනයක් තියෙන මිනිස්සු නෙවෙයි. ධීවර රැකියාවට ඒක අවශ්යත් නෑ. මෙහෙ ඉන්න පවුල් වල ගොඩක් දුරට සිද්ධ උනේ යන්තං අට පාස් වෙද්දි එක්කො වැල්ලට බහිනව නැත්තං පාරට ත්රී වීල් එකක් දාගන්නව. ඉතිං ඔහොම සන්දර්භයක පොලීසියෙ නෙවෙයි ඕනම රජයේ රස්සාවකට යනව කිවුවම හෙන ප්ලේස්. මොකද අධ්යාපන සුදුසුකම් තියෙන්න එපැයි ඕවට යන්න.
දැන් ඔය දවස් වල ගෙවල් වල ඉන්න ගෑනු ළමයිනුත් අද කාලෙ තරම්ම රස්සා කරපු කාලයක් නෙවෙයි නෙ. ඉතිං අපේ අම්මත් මොනාද මොනාද කෝස් වගයක් කරල ටයිපිං අනං මනං ඉගෙන ගෙන කොහොම හරි පොලීසියට සිලෙක්ට් වෙලා. ඔය අපේ අම්මත් එක්ක ටයිපිං කෝස් එක කරපු සෙට් එකෙන් අන්තිම විභාගෙට වාඩි උනේ කිහිප දෙනයිලු. ඒ අයගෙනුත් විභාගෙ පාස් උනේ අපේ අම්මයි තව කෙල්ලෙකුයි විතරලු. ඒ අනිත් කෙනා අද රජයෙ දෙපාර්තමේන්තුවක විධායක ශ්රේණියේ රැකියාවක් කරනව. ඉතිං ඔය කාලෙ කෙල්ලෙකුත් වෙලා රජේ රස්සාවකුත් හම්බුනා කියන්නෙ පවුල් වල හෙන ප්ලේස්. අඩි අටහමාරක් උඩින් යන්නෙ ගෑනි.
දැන් කොහොම හරි පොලීසියට ඇවිල්ල අලුතෙන් රස්සාව කරනකොට අපේ තාත්ත ඉතිං ශේප් එකේ ඇහැ දානවලු අම්මට. අම්මත් ඉතිං අදටත් සුදුයි. උසයි. කොන්ඩෙ දිගයි. ඒ දවස් වලත් කිරි කෑල්ල වගේ. තාත්තගෙත් ඉතිං කිසි අවුලක් නෑ. ඇත්ලටික් බොඩි එකක් අදටත් තියෙන්නෙ ඩයල්ස් එකට. දැන් ඔහොම ලයින් පාර දාල තාත්ත දවසක් සෙට් කරගත්තලු අම්මව කළුතර බෝධි එක්කං යන්න. බෝධියට එක්කං ගිහිල්ල එතනදි කැමතිද කියල අහන්න.
දැන් එක්කං ගියාලු තාත්තට තිබ්බ අර යමහ ගිඩි ගිඩි ගාන බයික් එකේ නග්ගගෙන. දැන් එක්කං ගිහිල්ල ගානට වදන් ටික රෝල් කරල වචනෙ දැම්මලු !
දැන් අපේ අම්මට මේකට උත්තරයක් දෙන්න බැරිලු. මොකද මිනිහව දැකල තියෙන්නෙ පොලීසියේදි විතරයි. මිනිහගෙ ගෙවල් දොරවල්, මිනිහ කොහෙද ඉන්නෙ අනං මනං කිසි දෙයක් දන්නෙ නෑ. ඕව බලන්නෙ නැතුව වචනෙ දෙන්න තරම් ගෑනි මෝඩත් නෑ. දැන් ගෑනි ටිකක් පස්ස ගහනව කියල තේරිච්ච ගමන් තාත්ත කිවුවලු,
“අනූ, ඔයාට කිසි අඩු පාඩුවක් වෙන්නෙ නෑ. මම තමයි පවුලෙ එකම පුතා. අපේ ගෙදර ටීවී එකක් තියෙනව. අපේ ගෙදර ෆෑන් තියෙනව. අපේ ගෙදර ෆ්රිජ් එකකුත් තියෙනව. තව මොනාද ඔයා බලාපොරොත්තු වෙන්නෙ ?” කියල.
දැන් මචං උඹල ඔලුවට ගන්න ඕනෙ මේ අසූ අට අසූ නවය කාලෙ. මේ කාලෙ ගෙවල් වල ඔය වගේ ඉලෙක්ට්රික් බඩු සුලභ නෑ. ගොඩක් ගෙවල් වලට කරන්ට් එක අරගෙනවත් නෑ. ලාම්පුවෙන් තමයි රෑට ගේම ගහන්නෙත්. දැන් මේක කියවන උඹ කොළඹ නං උඹලගෙ ඒ කාලෙ තත්වෙ මීට වඩා දියුණු ඇති සමහර විට. නමුත් කොළඹින් පිටට යනකොට තත්වෙ මේකයි. මේක එදා නෙවෙයි සමහර පැති වල අදටත් මෙහෙමනෙ.
දැන් අපේ අම්මගෙ පවුලෙ සිබ්ලින්ස්ල පහක් ඉන්නව. අම්මලගෙ මචන් ගෙවල් දොරවල් ලොකුවට තිබ්බට ඔය වගේ ඉලෙක්ට්රොනික් බඩු ලොකුවට තිබ්බෙ නැල්ලු පාවිච්චියට. ඉතිං ඕව තියෙනව කියන්නෙ අද කාලෙ ලොකු සීන්නෙකක් නෙවෙයි උනාට ඒ කාලෙ ලොකු සීන්නෙකක් ලු. පොශ්ලු. දැන් අම්ම කල්පනා කරාලු,
“අම්මටසිරි ! ටීවි එකකුත් තීනව. ගෙදර ෆ්රිජ් එකකුත් තීනව කියන්නෙ පවුලට හොඳට සල්ලි තීන පාටයි. මේකට සෙට් උනාට නං වරදක් නැති වෙයි. මමත් ඉතිං පිළිවෙලක් වෙන්න එපැයි. දැන් වයසත් හරිනෙ. හැමදාම මේ ගේ අස්සෙ ඉන්නද. අනික මගේ මොනාද අඩු පාඩු. පෙනුමද රස්සාවද චරිතෙද”
ඔහොම හිතල ඔන්න ගෑනි ගෝ එක දුන්නලු. දීල අම්ම අම්මලගෙ ගෙදෙට්ට කිවුවලු. දැන් ඔන්න අම්මලගෙ ගෙදරින් තාත්තලගෙ ගෙදර එන දවස ආවලු. දැන් ඔන්න හොඳට ඇඳ පැළඳගෙන, අම්මගෙ අයියල මල්ලිලයි, ඒ පරම්පරාවෙ වැදගත් නෑයො සෙට් එකයි, වැඩිහිටියොයි ඔක්කොම ටික වාහනේකින් ආවලු.
දැන් ඇවිල්ල බලද්දි,
අර කිවුව ටීවි එකත් තීනවලු.
අර කිවුව ෆ්රිජ් එකත් තීනවලු.
අර කිවුව ෆෑන් එකත් තීනවලු.
ඉන්න ගෙයක් නෑලු !!
පොඩි ලී වලින් ගහගත්ත දර මඩුවක් වගේ ලෑලි ගෙදරක, අර ටීවි එකයි, ෆ්රිජ් එකයි, ෆෑන් එකයි, වාඩි වෙන්න පුටු දෙකකුයි, ඔක්කොම එක කාමරේ, මීටර බාගෙ බාගෙ වගේ පරතරෙන් තියල තීනවලු !!
අපේ සීය ඉස්සර කඩයක් කරාලු. ඒ කඩේ බීම දාන්න කොකා කෝල කම්පැනියෙන් තියල ගිහිල්ල තිබ්බ ෆ්රිජ් එකලු අර ෆ්රිජ් එක !
අපේ අම්මට ආයි ගෙදර දුවන්න හිතුනලු ලැජ්ජාවට. ගෙදර ගියාට පස්සෙ අම්මගෙ අයිය කිවුවලු “අපේ එකීව කෑලි කපල ගඟේ මුහුදෙ දැම්මත් ඕකට නං දෙන්නෑ” කියල.
අම්මට “වහාම ඕක නවත්තපන් ආයි මේ අම්ම නොකිවුවයි කියන්නෙපා” කියල අපේ ආච්චි කියල. අම්මගෙන් රෙස්පොන්ස් එකක් නැති පාර පස්සෙන්ද වැඩට යන්න බත් උයල දුන්නෙ නැල්ලු උඹ ඕන විදිහකට කාපං මේ ගෙදරින් බත් නෑ කියල.
ඉතිරිය ඉතිහාසය !
කොහොම හරි අවමන් නින්දා අපහාස විඳගෙන, උත්සාහය අත නොහැරගෙන කොහොම හරි ගේම ගහපු මිනිහෙක්ගෙයි ගෑනියෙක්ගෙයි ප්රථිපලයක් තමයි ගායිස් අද මේ පෝස්ට් එක ලියන මම.
ඉතිං මම උඹලට කියන්නෙ. ගෙදර තීන අනුන්ට අයිති ෆ්රිජ් එක මාකට් කරල ගේම ගහල ගෑනු ගෙනාපු මිනිස්සුත් ඉන්නව.
උඹලට අපිට මොනාද නැත්තෙ ?
උපුටා ගැනීම: Kalana Shalitha