විශාල ධනවතෙක් ඔහුගේ මුදල් ඔබට පරිත්යාග කරන්නට හදන්නේ නම්, ඔබට කුමක් සිතෙන්නේද? ඒ ධනවතා රුපියල් බිලියනපතියෙක් නොව, ඩොලර් බිලියනපතියෙක් හෝ, මයික්රෝසොෆ්ට් වැනි සංවිධානයක් විසින් ඔබව හඳුනා ගත්තේ නම්, ඔබට කුමක් සිතෙන්න ඉඩ ඇත්ද ? කෙනෙක්ට ආඩම්බර වීමට තවත් දෙයක් වන්නේ ඒ බිලියනපතියා ලොවම හඳුනන කෙනෙක් නම්ය.
මට ඒ ආකාරයේ කෙනෙක් ලිපියක් ඒවා තිබිණි. එසේ මෙසේ කෙනෙක් නොවේ. ඉරාක ජනාධිපතිගේ එකම දියණිය වන “අයේෂා ගඩාෆි” ගෙන් විය.
එය සුළු පටු මුදලක් නොව, ඩොලර් මිලියන විසි හතකි. අවසානයේ වාසනාව උදාවූ බව දැන ගතිමි. කොහොමත් මගේ හඳහනේ අන්සතු ධනයක් ලැබෙන බව කියා තිබේ. ඔව්,..! ..මේ ඒ අවස්ථාවයි. ලංකාවම ආවරණය වන ආකාරයේ කුඩා විදුළි අහස්යානා කොම්පැනියක් දැමීමට බොහෝ කල්පනා සිතට පැමිණියේය. සල්ලි ඉතිරි වුනහොත් ලංකාවේ සෑම නගරයකම සූර්ය බලයෙන් ක්රියාත්මක වන වාහන ආරෝපණ මධ්යස්ථාන දැමීමද, එමගින් විදුළි ත්රී වීල් රටපුරා ව්යාප්ත කිරීමද මට කල හැක…
ඔව් !..!!
නමුත් පොඩි ගැටලුවක් මට තිබිණි. ඩොලර් මිලියන 27ක් ඇති කෙනෙක්ට මා ඉන්නා තැන සොයා ගැනීමේ කිසිම අපහසුවක් නැතිව, ඊ මේල් පණිවිඩයක් පමණක් එවන්නේ ඇයි ? කෝකටත්, ”පොඩ්ඩක් නැවතී සිටිමි”… යයි සිතුවෙමි. මාස ගණනාවක් ගියද අද වනතුරුත් දුරකථන පණිවිඩයක් නම් ලැබුනේ නැත.
ඊළඟ අවස්ථාව වූයේ “මයික්රෝසොෆ්ට් ආයතනයෙන්” ලිපියක් ලැබීමය. සියළුම ඊ මේල් සහ, ඒවා සමඟ එන PDF ෆයිල් නවත්වා දමන බව කියා තිබිණ. එහෙම වුනොත් නම් වසලා හමාරය. රැකියාවද නැතිවන කරුණකි. එම තත්වය වළක්වා ලීමට නම්, එම පණිවිඩයේ ඇති “ Cancel request & verify” යන්න තෝරා ඒ අනුව මගේ පුද්ගලික විස්තර සැපයිය යුතුය. මේක නම් බොහෝ දුරට සත්යයක් වන්නට ඉඩ ඇත.
ඊ මේල් පණිවිඩය CC කර තිබුනේද, මයික්රෝසොෆ්ට් ආයතනයේ තවත් අංශ වලට විය. කෝකටත් කියා තව ටිකක් ඊ මේල් පණිවිඩය වැඩි දුර පරීක්ෂා කර බැලුවෙමි. එය ඒවා ඇත්තේ පුද්ගලික ඊ මේල් පණිවිඩයක් හරහා විය. “බිල් ගේට්ස්” ට මා මෙතරම් වැදගත් පුද්ගලයෙක්ද ?
දුරකථන පණිවිඩයක් මගින් ඒ ආකාරයේ ස්වීප් එකක් ලැබෙන්නටද ගියේය. එය නම් සිදු වූයේ ඩුබායි හිදීය. යම් නොම්මර කීපයක් ඇති SMS හෙවත් කෙටි පණිවිඩයක් ලැබුණි, ඒ හා සමඟම පොලීසියෙන් යයි කෙනෙක් කතා කළේය. මගේ දුරකථන නොම්මරය අන්තර්ජාතික ත්රස්තවාදී සංවිධානයකට අයත් නිසා, දැන් ලැබුණු අංකය නැවත SMS කරන්න හෝ කියන්න යයි අණ ලැබිණි.
ඩුබායි පොලිසියත් සමඟ සෙල්ලම් බැරිය. එනිසා මෙය ලුහුඬින් ගන්නටද නොහැක. කෝකටත් කියා කතා කරන අතරේ, මගේ අනෙක් දුරකථනයෙන් පොළිසියට කෝල් කරන්න කියා එහි සිටි හිතවතෙක්ට කීවෙමි. කෙසේ හෝ මා කරන්න උත්සාහ කල දේ ගැන ඉව වැටුණු නිසා හෝ, දුරකථන පණිවිඩය අනෙක් පැත්තෙන් විසන්දි කළේය.
පොලිසියෙන් කියා සිටියේ ඒ උත්සාහය ක්රෙඩිට් කාර්ඩ් තොරතුරු සොරා ගැනීමට කියාය. අවාසනාවට ඩුබායි පොලිසිය ඒ ගැන කෙලින් ක්රියාමාර්ග ගන්නේ නැත. චෝදනාව කිසියම් සයිට් එකකට යොමු කරන්න කියා අවවාද ලැබිණි.
මේ ආකාරයේ මගඩි අද දින ඊ මේල් පණිවිඩ, දුරකථන ඇමතුම් හරහා මෙන්ම, SMS, Whatsap පණිවිඩ හරහා මේ කාලයේ ලැබීම සාමාන්ය දෙයකි. පලවන නීතිය වන්නේ කලබල නොවීමයි. දෙවන නීතිය වන්නේ ඒ පණිවිඩය හොඳින් පරීක්ෂා කර බැලීමයි.
මෙපමණක් නොව, මුහුණු පොත හරහා ලැබෙන වෙළඳ දැන්වීම්ද පට්ට බොරු කාරයන් විසින් ප්රචාරය කරන ලද මගඩි විය හැක. කිසියම් රටක හඳුනාගත් සංවිධානයක් හරහා මිසෙක, යමක් අන්තර් ජාලයෙන් ආනයනය කිරීම, හොඳ ගාණක් නිරපරාදේ වියදම් වීමක් විය හැක.
මේවා වර්තමානයේ පමණක් වන දේවල් නොවේ. අතීතයේද සිදු විය.
දශක කීපයකට පෙර ලංකාවේ සිදු වූ එක දෙයක් වන්නේ … “ඇඳ මකුණන් වඳ කිරීමේ නොවරදින ක්රමය”… ලබා ගැනීම සඳහා රුපියල් දහයක මනි ඔර්ඩරයක් සහ මුද්දර ගැසූ කවරයක් එවන සේ පත්තරයකද දමන ලද වෙළඳ දැන්වීමක්ය. … “අසාර්ථක නම් මුදල් නැවත ගෙවනු ලැබේ”,..යයිද කියා තිබිණ. එකළ ක්රෙඩිට් කාර්ඩ්, ඩෙබිට් කාර්ඩ් නොතිබිණි. ඒ අනුව මුදල් සහ කවරය යැවූ විට, හැරෙන තැපෑලෙන් “එම ක්රමය” සහ මකුණන් වඳ කිරීමේ උපදේශ ලැබිණි.
ගිණි පෙට්ටියක පමණ පාර්සලයක් හරහා, කුඩා ලී කැබලි දෙකක් සහ උපදේශයක් ලැබිණි. උපදේශයේ මෙසේ ලියා තිබිණ. … “මකුණා අල්ලා, ලී කැබලි දෙක අතර තබා තද කරන්න”… “අනිවාර්යයෙන්ම මකුණා මිය යයි”…. !… !!
කතාව ඇත්තය. ඔබට ඒ ගැන නඩු මඟට පවා බැසීමට ක්රමයක් නැත.
ලොව පටන් ගත් දිනයේ සිටම මගඩි කාරයෝද බිහි විය. හෙටද ඒ අය අප අතර සංසරණය වනු ඇත. දක්ෂතාවය වන්නේ කපුටන්, හිවලුන් සහ උකුස්සන් වැනි ඔවුන්ගෙන් බේරී ජීවත් වීමය.
උපුටා ගැනීම: Lalith Karunaratna