මුලින්ම මම ගෑණු ළමයෙක් එක්ක මැසේජ් කරන්න කියලා සෙට් උනේ යාන්තම් වයස 16ක් වෙද්දි.
ඊට කලින් ඉතින් පංතියක, බස් එකක හායි කියනවා, නෝට් පොතක් පතක් ශෙයාර් කරගන්නවා, පංතියේදී චිට් එකක් යවනවා, කඩදාසි රොකට් එකක පණිවිඩයක් ලියලා යවනවා වගේ ඒවා තමයි අපේ ප්රකාශණ මාධ්ය වෙලා තිබුනේ.
සමහරු නම් නවකතා පොත් ඇතුලේ ලියුම් දාලා දුන්නා පංති වල කෙල්ලන්ට. මට නම් ඉතින් එහෙම කවුරුත් ඉඳලා නෑ.
ඒ කාලේ ඉතින් අපිට නම් ෆෝන් එකක් අරන් දෙනවා තියා හදිසියකට ගේම් එකක් ගහන්න තාත්තාගේ ෆෝන් එක අල්ලන්නත් තහනම්.
සාලේ මැද්දේ තිබුන ලෑන්ඩ් ෆෝන් ඒකෙන් තමයි ගන්න කෝල් එකක් ගන්න ඕනේ.
ඕකෙන් ඉතින් යාළුවෙකුගෙන් ක්ලාස් යන වෙලාව, හෝම් වර්ක් අහගන්න හෝ වෑන් අංකල්ට හෙට එන්නේ නෑ වගේ පණිවිඩයක් කියනවා ඇරෙන්න වෙන මුකුත් සිද්ධ වෙන්නේ නෑ. ගෑණු ළමයෙක්ට කතා කරනවා තියා යාලුවෙක් එක්ක වෙන ගෑණු ළමයෙක් ගැන කතා කරන්නවත් අමාරුයි ගෙදර අනිත් අයට නොඇහෙන්න.
දැන් ඉතින් මේ ගෑණු ළමයාම මැසේජ් කරන්න කියලා නම්බරේ දුන්නාම රෙද්දක් ඇඳන් කියන්න බෑනේ ෆෝන් එකක් නෑ කියාලා. ඒත් ලැජ්ජ නැතුව නම්බරේ පොතක් පිටිපසේ ලියාගෙන ආවා මිත්රවරුනි.
අපේ තාත්තාට ඒ කාලේ මට ෆෝන් එකක් අරන් දෙන්න නොහැකියාවක් නම් කිසි සේත්ම තිබුනේ නෑ.
හැබැයි ඒ කාලේ අපේ වයසේ ළමයෙකුට ෆෝන් එකක් ඕනේ නෑ වගේ දර්ශණයක තමයි අපේ දෙමවුපියෝ හිටියේ.
ෆෝන් එක කියන්නේ අපි සාමන්ය පෙල හොඳට පාස් වෙලා ඉල්ලන්න බලන් හිටපු තෑග්ගක්.
දැන් උන්ට නම් ශිෂ්යත්වේ පාස් උනත් ටැබ් අයිෆෝන් හම්බෙනවා ඔන්ලයින් ක්ලාස් කෙරුවාව පටන් ගන්නත් කලින් ඉඳලාම.
දැන් ඉතින් මැසේජ් කොටන්න ෆෝන් එකක් නොතිබුනු මම ඊලඟ දවසේ ඉස්කෝලේ ගිහින් ඒ කාලේ හිටපු ලඟම යාලුවෙකු වෙච්චි ගයාන් ට සීන් එක කිවුවා.
ඌ නම් දෙවියෙක්, ගෙදර පරන ෆෝන් එකක් තියෙනවා කියලා හවසට වරෙන් ඒක දෙන්නම් කිවුවා.
පොරත් හැබැයි ඉස්කෝලේ එද්දී උගේ ෆෝන් එකක් අරන් ආවේ නෑ. ශිෂ්ය නායකයෝ ඇවිත් අපේ හැමතැනම චෙක් කරලා ෆෝන් අරන් යනවානේ ඒ කාලේ
ගයාන්ට ආදරේට අපි කිවුවේ ගමා කියලා.
මම හරිම ආදරේ කරපු මිත්රයෙක්, හැබැයි මිනිහා උගේ ජීවිතේ හීන හඹාගෙන ගිය ගමනේදි මට ඌත් එක්ක ඉන්න බැරි උනා.
මේ විද්දි මිනිහා කොහේ ඉන්නවාද වත් දන්නේ නෑ.
හැබැයි හරිම හිත හොඳ, ලස්සන දර්ශණයක් තිබුන මනුස්සයෙක්.
කොහොම හරි එදා හවස මම මුගේ ඇල්කටෙල් වර්ගයේ බොත්තම් ඔබන, කළු සුදු තිරයක් තියෙන ෆෝන් රාජයා අරගෙන ගෙදර ආවේ නිකන් ඔලිම්පික් පදක්කමක් අරන් ලංකාවට එන මලල ක්රීඩකයෙක් වගේ උජාරුවෙන්.
ෆෝන් එකක් ගත්තාට මදි නේ බොල, ඒ කාලේ සිම් එකක ගාන මතකද?
රුපියල් එක්දාස් පන්සීයක් ද කොහේද.
ඊටත් පස්සේ ආපු, “කිට්” විනිවිද පේන සිම් එක දෙදාස් ගාණක් උනා මම හිතන්නේ.
මතක හැටියට,
ගන්න කෝල් එකක් විනාඩියකට රුපියල් 13යි,
එන කෝල් තත්පර 30ක් ෆ්රී, එතනින් එහාට විනාඩියට රුපියල් හයක් හරි දහයක් හරි කැපුනා.
මැසේජ් එකක් නම් රුපියක් දෙකයි පනහයි.
මයි ෆයිව් දාගත්තොත් මැසේජ් එක රුපියලයි මම හිතන්නේ.
අම්මා තාත්තාගෙන් ලැබුන පොකට් මනී වලින් ජීවත් උන අපිව මේ යක්කු හූරන් කාපු හැටි මතක් වෙද්දි ඇඬෙනවා.
පුදුම කාලෙකට පස්සේ තමයි මුන් එන කෝල් ෆ්රී දෙන්න ගත්තේ.
ඒ කාලේ අපිට කෝල් කරන එකාගේ නම්බරේ බලාගන්නත් කොම්පැණියට ගානක් ගෙවලා සී.එල්.අයි ඇක්ටිවේට් කරගන්න ඕනේ. නැත්නම් මිස් කෝල් එකක් තිබුනොත් මොකා කතා කරාද කියලා හිතා ගන්න බෑ.
දැන් මේක කොටන මටවත් එහෙම කාලයක් ගෙවුවාද කියලා හිතාගන්න අමාරුයි.
ඒක පුදුම කාලයක්.
ගෙදරින් පංති යන්න, ඉගෙන ගන්න, කෑම කන්න දෙන සල්ලි වලින් ෆෝන් කාඩ් දානවා කියන්නේ අපා ගත වෙන අකුසලයක්.
සාමන්ය පෙළ පංති ගියේ මාසෙටම රුපියල් දෙසිය පනහක් හෝ තුන්සීයක් ගෙවලා.
හැබැයි සීයේ කාඩ් එක දැම්මාම පැය කාලක්වත් කෝල් ගන්න බෑ.
මැසේජ් නම් හතලිහක් වගේ යවන්න පුළුවන්.
ඒ මදිවට එක මැසේජ් එකකට ගහන්න පුළුවන් අකුරු ගාන සීමිතයි.
එක අකුරක් හරි වැඩියෙන් ගැහුවොත් තව දෙකයි පණහක් කැපෙනවා.
ඉතින් ඒ කලේ ගෑල්ලමයෙක් එක්ක මැසේජ් කරනවා කියන්නේ වෙනස්ම ආතල් එකක්.
ආදරේ ටෝක්ස් දෙන්න බෑ, ගෙදර අය මැසේජ් දැක්කොත් කේස්.
යාළු කම සහ බෝයි ෆ්රෙන්ඩ් කම අතර මැසේජ් තමයි දවල් කාලේට යන්නේ.
අම්මලා නිදා ගත්තාම ටිකක් යාළු කම අඩු වෙනවා.
හැබැයි ඒ කාලේ අපිට කාමයෙන් මිදුන ලස්සන කතා තිබුනා කතා කරන්න.
ඉස්සර ගෙදර කවුරුත් නැති වෙලාවට ලෑන්ඩ් ෆෝන් ඒකෙන් එයා කෝල් කරනවා.
හැබැයි තත්පර තිහෙන් තිහට කට් කර කර ආයි ගන්නවා ඉන්කමින් වලට මගේ සල්ලි කැපෙයි කියලා.
ඒ කාලේ තත්පර තිහක් කියන්නේත් ලොකු කාලයක්.
ආයි ඒක දැනෙන්න ගත්තේ කොරෝණා මගුලට තත්පර විස්සක් අත් දෙකේ සබන් ගාන්න ගත්තාම. ගානවා ගානවා තත්පර විස්ස යන්නේ නෑ.
තව සීන් එකක්.
ඒ කාලේ ෆෝන් වල මැසේජ් තියාගන්න පුළුවන් බොහෝම සීමිත ගානයි.
ඉතින් හරි අමාරුවෙන් ආපු මැසේජ් වලින් කීපයක් ඩිලීට් කරනවා. ආයි මෙමරි පිරුනාම මැසේජ් එන්නේ නැතුව හිර වෙනවා. ඊට පසේ හොට්
කාලයක් ගියා මැසේජ් දාහක් විතර තියාගන්න පුළුවන් සිම්බියන් වර්ගයේ ෆෝන් එකක් එන්න.
ඇන්ඩ්රොයිඩ් ආවාට පස්සේ ෆෝන් එකේ මැසේජ් කොච්චර තියාගන්න පුළුවන්ද කියලා සීමාවක් අපි දන්නේවත් නෑ නේද?
දැන් අතේ තියෙන දෙදාස් දහ අටේ ගත්තු ෆෝන් එකේ වයිෆ්ට යවපු මැසේජ්ම දහ දාහකට වඩා ඇති. බැඳලා අවුරුදු හතරකටත් ලං වෙනවා, හැබැයි තාම මැසේජ් කරන පිස්සුව නම් අපි දෙන්නාටම අඩු වෙලා නෑ.
ඊට අමතරව රටේ ඉන්න හැම ප්රොමෝශන් කාරයාගෙන්ම එන වැඩකට නැති මැසේජ් සිය දහස් ගානකුත් මේකේ ඇති.
ඒ කාලේ අවම පහසුකම් එක්ක මැසේජ් ගහපු අපි ඒ චූටි ෆෝන් කට්ටත් එක්ක ගොඩාක් සතුටින් ජීවත් උනා.
ෆොටෝ, වීඩියෝ ශෙයාර් කරනවා කියලා ජාති මුලින් අපේ ලෝක වල තිබුනේ නෑ.
කැමරා ෆෝන් කරලියට ආවාට අපි කවදාවත් ෆොටෝ හුවමාරු කරේ නෑ.
මැසේජ් එකකින් ගොඩාක් ලොකු අදහසක් කියන්න අපිට හැකියාව තිබුනා.
අනිත් එක ෆොටෝ එකක් යවන්න පිරිමි ළමයි තුලත් පොඩි සබකෝලයක් තිබුනා.
වීඩියෝ කෝල් ඇවිත් අවුරුදු ගානක් ගියත් ගෑල්ලමයෙකුට වීඩියෝ කෝල් ගන්න අපිට උවමනාවක් ඇවිත් නෑ.
කෙල්ලෙක් නම් ඒ කාලේ ෆොටෝ එකක් ශෙයාර් කරන්න තියා තමගේ පුද්ගලික තොරතුරක් වත් ශෙයාර් කරන්නේ නෑ ප්රශ්ණ ගෙදරට එයි කියන බයට.
ඒකට යකෝ දැන් හැදෙන උන් මුළු ලෝකෙටම පේන්න ටික් ටොක් නටන හැටි දැක්කාම ඉදිරි පරම්පරා ගැන බයත් හිතෙනවා.
ඊට කලින් ලියුම් ලියපු පරම්පරාවේ අය, එයාලාගේ ලේඛන හැකියාවෙන් අනිත් කෙනාගේ හිත ඇද බැද තියාගන්න ගොඩාක් දක්ෂ වෙන්න ඇති. අනිත් එක ලියුමක් යවලා පිලිතුරක් එනකන් කොච්චර කල් බලන් ඉන්න ඇතිද.
දැන් වෙනකොට මැසේජ් එකට එහා ගිය, වොයිස් රෙකෝඩින් එක, ෆොටෝ එක, ලයිව් වීඩියෝ එක අත ලඟ..
හැබැයි දැන් හැදෙන කොල්ලෝ ලග පුංචි කාලේ අපි ලඟ තිබුන හිත් කීරි ගැහෙන, කාමය මිශ්ර නොවෙච්ච, ලාමක, බොළඳ හැබැයි ගැහැණු ළමයාට අසීමිතව ගරු කරන, නිරුවත නොඉල්ලන, ආදරේ විතරක්ම ඉල්ලන ගතිය තියෙනවාද?
දැන් ඔය ෆෝන් වල ටොක්කි ගහන, ටික් ටොක් නටන සක බඹර කෙල්ලෝ ලඟ ඉස්සර කෙල්ලෙක් ලඟ තිබුන පිවිතුරු ලස්සන ආදරේ, ගරු සරුව සහ මවුවත් ගතිය තියෙනවාද?
දැන් ආදර කතාවල ලොකු තැනක් තියෙන්නේ මිනිස්සු තේරුම් ගන්න නෙමෙයි, සෙක්ස් වලට.
මාසෙට දෙකට තුනට ආදරේ කරලා,
“පලවෙනි මාසේ ඇනිවර්සරි” සමරන, කටේ කිරි සුවඳ යන්නත් කලින් හෝටල් කාමර අස්සේ සිල්ලර ආදරේ හොයන,
වාසගමවත් හරියට නොදන්න කොල්ලෙක් අතින් ජීවිතේ වටිනාම දේ නැති කරගන්න, යන රෙද්ද අස්සේ ඔක්කොම වීඩියෝ කරගෙන ලීක් කරගෙන මැරෙන්න යන ආදර කතා වල කින්ග්ස් ලාට ක්වීන්ස් ලාට වයසක අපිව ගොන් ජෝක්ස් එකක් කියලා හිතෙයි..
හැබැයි දුවේ පුතේ,
ගන්න කෝල් එකක විනාඩියට බර ගානක් ගත්තත්, මාසේට සීයේ කාඩ් තුනක් දාන්න නම් එක පංතියක් සම්පූර්ණයෙන් කට් කරන්න වුනත්, ඒ කාලේ එක මිනිත්තුවක් කතා කරන්න ලැබෙනවා කියන්නේ අපිට ගොඩාක් ලොකු දෙයක් උනා.
ඒ කාලේ කොල්ලෙක් එක විනාඩියක් කෙල්ලෙක් එක්ක කතා කරලා වින්ද ආදරේ දැනෙන්න නම් උඹලාට දැන් පැය ගණන් කතා කරන්න වෙලා.
කතා කරලා කරලා ඇති වෙලා ශාරීරික අවශ්යතාවනුත් මතු වෙලා.
ඒවත් සම්පූර්ණ උනාම කවුරුත් නොදකින්න ඕනේ ඒවා වීඩියෝ කරන්නත් ඕනේ වෙලා.
ඒකත් ටික කාලයක් කරලා එපා උනාම තව කෙනෙක්ගෙන් අදරේ හොයාගෙන යන්න වෙලා.
මොකද උඹලාගේ ශාරීරික අවශ්යතාවන් සම්පූර්ණ උනාට මානසික නිදහස, සතුට දැනෙන විදියට ආදරේ හොයන්න හෝ ආදරේ කරන්න උඹලගේ පරම්පරා දන්නේ නෑ.
මුහුණු පොතේ උඩට පහලට යනවා වගේ උඹලාගේ ජීවිත වල ආදරවන්තයෝ, ආදරවන්තියෝ එන්න යන්න ගන්නවා.
තව මෙහෙම කාලයක් ගියාම උඹලාට පස්සේ එන පරම්පරා බල්ලෝ පූසෝ වගේ මහ මග “ආදරේ” කරන ගානට එනවා.
ඒ වගේම ආදරෙ බෙදා ගන්න බැරුව හෝ ආදරෙන් පැරදිලා සත්තු වගේ මහ පාරේ රණ්ඩු වෙන්න, ගහ මරා ගන්නත් පටන් ගන්නවා..
මේ සමාජේ පොත් ලියන උනුත්, කතා කියන උනුත්, ටෙලිඩ්රාමා, ෆිල්ම් හදන උනුත් උඹලාගේ හිත් වලට දාන අදහස් සහ යෝජනා වලින් තමයි උඹලාගේ අනාගතේ තීරණය වෙන්නේ.
ලෝකේ හරි වේගෙන් දියුණු වේගන යද්දි අපිට කලින් පරම්පරාවේ උන් පටන් ගත්තු මැසේජ් කෙරිල්ල ටික ටික අභාවයට ගිහින් උඹලෑ අඩ නිරුවත් විඩීයෝ කෝල් සහ ටික් ටොක් නැටිල්ල ආදරවන්තයන්ගේ එකම ප්රකාශණ මාධ්ය බවට පත් වෙනවා.
අපි අහපු දැකපු, යොවුන් ආදරේ ගැන උඹලාට කියවන්න නවකතාවක් වත් ඒ කාලේට නැති වෙනවා..
වයස පහලවෙන් දාසයෙන් කලබලේට ආදරේ “ඔක්කෝම ටික” කරලා, වීඩියෝත් කරලා, ලීක් කරගෙන ඉවර කරගන්න එපා.
නැත්නම් උඹලාට අපේ වයසට ආවාම සතුටු වෙන්න දෙයක් නැතුව කුඩු ගහන්න විතරයි ඉතුරු වෙන්නේ.
උපුටා ගැනීම: Charithe V. Gallage