” ලලිත් තේ කොළ ගෙනාවද? “
උදේ පාන්දර මාගේ ප්රිය බිරිදගේ ප්රශ්න කිරීම හමුවේ මාගේ නිදි දෙව්දුව ක්ෂණිකව පලා ගියාය. “මොකක්ද ඇහුවේ.” මම දෑස් පිස දමමින් නැවත අැසීය. ” ඔයා ඊයේ තේ කොල ගෙනාවද?
“නෑ.. ඔයා තේ කොල ඉවරයි කියලා මට කිව්වද? ” මම පෙරලා පිලිතුරු දුනි. ” අැයි නැත්තේ, මම ඊයේ උදෙත් කිව්වා. ඊයේ හවසත් කිව්වා. කොහෙද ඉතින් සිහියක් තියෙන්නේ. නැගිටින්නේ පෝන් එක අල්ලගෙන. වැඩට ගිහින් ආවමත් කරන්නේ ඒක. ඉතින් මම කියන ඒවා ඇහෙනවද? දැන් ඉතින් මුදලාලිගේ කඩේට ගිහිල්ලා හොද එකකින් පනහේ පැකට් එකක්වත් ගේන්න . ඉක්මනට ගිහින් එන්න. වතුර රත් වෙලා තියෙන්නේ. මුදලාලි එක්ක කයිවාරුවට වැටෙන්නේ නැතුව.”
මම ඉතින් වරද පිලිගෙන විගස ටී ෂර්ට එකක් දමාගෙන මුදලාලිගේ කඩේට ගියෙමි. කඩේට යනවිට මුදලාලි මල් පහන් පූජා කරයි. ඔහුට එම කාර්යයට ඉඩදී මම මොහොතකට කල්පනා සයුරේ කිමිදුනෙමි.
අපේ නිවසට තේ කොල ගෙන එන්නේ සුනිල් ටී කරිමාන්ත ශාලාවේ ඇති ටී සෙන්ටර් එකෙනි. එය නැවුම් හා මිලෙන් අඩු BOPF තේ 400g පැක්ටුවකි. එහි රසය අපට හුරුය. පැකට්ටුවක් මාස එකහමාරකට ප්රමාණවත්වේ.
ඇත්තෙන්ම වජිරා මට ඊයේ තේ කොල ඉවරයි කියලා කිව්වද? මගේ සිහිය අවුල්වෙලා තිබුනද? ඒ පැකට් එක ගේන්න පෙර අවස්ථාවෙත් ඇය එලෙසම ඔහොමම දෙයක් කිව්වා මට මතකය. උදේ නැගිට්ටහම තේ හදනකම් හා සවස වැඩ ඇරී ආපසු බුකියේ ලැග මාගේ අපාය සහාය මිතු කැලගේ පොස්ටු හා කමෙන්ටු වලට ප්රතිචාර දැක්වූවත් හොද සිහියෙන් සිටි බව මා හට සීයට සීයක් විස්වාසයි.
“මහත්තයා මොනවද ඕනේ ?”
උදේ පාන්දර පහන තැබූ සැනින් තේ කොල පනහක් ඉල්ලා මේකගේ දවසම මස්ත බාල්දු කල නොහැකි නිසාත් උදේ ටී එක සමඟ මොනවහරි කන්නට ඇත්නම් යන පෙරේත සිතුවිල්ල පෙරදැරි කරගෙන “මුදලාලි මට තේ කොල පනහයි , ලොකු ක්රීම් කැකර් එකකුයි දෙන්න.”
කඩෙන් එන ගමනුත් මම කල්පනා කලේ මොකද මේකට කරන්නේ. කොහොමද මගේ නිර්දෝශී භාවය ඔප්පු කරන්නේ. හරි….. ඔලුවට ආවා…. මෙදා පාර තේ කොල පැකට් එක ගෙනාවම මීටරෙන් ඉන්න ඕනේ . ඔව් දවස ගානේ හරි චෙක් කරනවා…. බලමු මෙදා පාර මගේ සිහියේ තරම…
” ආ… ආවද? මේ… අදවත් ගිහිල්ලා තේ කොල පැකට් එකක් ගේන්න. ඔන්න අදත් මම කිව්වා. ” බිරිද, ඇගේ වදන් අනුව තෙවෙනි වරටත් මා දැනුවත් කලාය.
මම එදිනම සුනිල් ටී සෙන්ටර් එකෙන් තේ කොල පැකට්ටෙකක් ගෙනාවෙමි.
දැන් මගේ වාරයයි. මම දැන් මීටරෙන්. පනහ ඉවරයි මිත්රවරුනි. අලුත් පැකැට්ටුව කැඩුනා.ඉන් භාගයක් බෝතලයට හැලුනා. ඉතිරි භාගය ඔතා තැබුවා. බෝතලේට දමපු භාගේ ඉවරයි. පැකැට්ටුවේ ඉතිරි භාගේ බෝතලයට හැලුනා. වාව්… දවසින් දවස ටික ටික අඩු වෙනවා. දැන් මම හැමදාම තේ හදන වෙලාවට කුස්සියේ. පෝන් එක අතින් අල්ලන්නැහැ.
දැන් බෝතලේ තව දවස් දෙකකට ප්රමාණවත් තේ කොල. මම දැන් බලා ඉන්නවා , දැන් කියයි, දැන් කියයි ” ලලිත්, තේ කොල ඉවරයි” කියලා.
ආව් අද තමයි දවස. නැගිට්ටේ නෑ ඇදෙන්. හිටියා කුස්සිය දෙසට කන් යොමා ගෙන. අද තමයි මගේ හොද සිහිය පෙන්වන්නේ. හැම දාම බොරු චෝදනා දම දම, මටම වරද පටවන එකට දෙන්නම් අද කනේ ඇගිලි ගහගන්න.
“ලලිත්”
“අැයි”
“තේ කොල ඉවරයි ගෙනාවද?”
“ඉවරයි කියලා මට කිවිවෑ ගේන්න. ඉවරවෙනකොට කියන්න එපැයි…”
“මොකද නැත්තේ, ඊයේ උදෙත් කිව්වේ. කොහෙද ඉතින් සිහියක්….”
ඒ වාක්යය නිම වීමට පෙර මා කුස්සියට කඩා පැන්නේ ජයග්රාහි විලාසයිනි.
“මේ වජිරා …. බොරු කියන්නෙපා. ඊයේ ඔයා එහෙම කතාවක් කිව්වේ නෑ. මේ දවස් ටිකේම තේ හදන වෙලාවට මම හිටියේ කුස්සියේ. ඔයා හැමදාම කියන්නේ මට සිහිය නෑ කියලනේ. ගිය වතාවේ , ඊට කලින් වතාවේ දෙකේම ඔයා කිව්වේ , ඔයා මතක් කලා මට සිහියෙන් හිටියේ නැති නිසා මට ඇහුන්නෑ කියලනේ. මේ පාර පැකට් එක ගෙනාවම මම හොද මීටරෙන් හිටියේ. දවස ගානේ චෙක් කලා. මම දැනගත්තා ඊයේ හවස හැදුවම තේ කොල ඉවරයි කියලා. අනික ඔයා මේ පැකට් එකත් ඉවරවුනාම අර වගේ බොරු දෙසාබාන බව හරියටම දැනගන්න තමයි මම එහෙම මීටරෙන් හිටියේ. සිහිය නැත්තේ මගේ නෙමෙයි ඔයාගේ”
මම එක දිගට පවසා සිටියේ ඇයට වචනයක් හෝ පැවසීමට ඉඩ නොතබාය. මොහොතක් පරාජය බාර ගෙන නිහඩව සිටි ඇය.
“දැන් එතකොට තේ කොල ගෙනාවද?” යැයි පහත් ස්වරයෙන් පැවසූයේ මම තේ කොල ගෙන ඇතැයි සිතාය.
මල කෙලියයි ජූලි හතයි. යකෝ බෝතලේ ගැන මීටරෙන් හිටපු මට ඒක මීටර් උනේ නෑනේ.
“නෑ”….
“ඕකනේ ,ඕකනේ මම කියන්නේ මෙලෝ සිහියක් නැහැ කියලා. බෝතලේ තේ කොල ඉවරයි කියලා ඔයාම හොදට දන්නවනම් ඒක මම ම කියන්න ඕනද? ගෙනත් තියන්න දැන ගන්න එපෑයැ. මෙතන එනවා….. මගේම වැරදි හොය හොය.”
ක්ෂණිකව ඇය පහත් ස්වරයෙන් උච්ච ස්වරයට මාරු වූ අතර , මාස එකහාමාරක පමණ කාලයක් පුරා මා කල විමර්ශනයෙන් පරාජිතයකු වී , මම මුදලාලිගේ කඩය දෙසට පියමැන්නෙමි.
උපුටා ගැනීම: Lalana Lalith Wijekoon