2008 ලන්ඩන්
මම පුළුවන් තරම් හයියෙන් දොරට තට්ටු කලා. දෙයියනේ!!! කවුරුහරි මාව දැක්කද?? කවුරුහරි පොලිසියට කතා කරයිද??? ඩොක්ට ශිවා ගෙදර නැද්ද? පොලිසියෙන් කොහේහරි ඉඳන් මං දිහා බලාගෙනද ඉන්නේ?? නැහැ. නෑ. එහෙම වෙන්න විදියක් නැහැ. මම පැය ගානක් තිස්සේ හැංගිලා බලාගෙන හිටියා. මම දැං මොකද කරන්න ඕනි? දාහක් දේවල් මගේ හිතට එනවා. මම ජකට් එකේ තොප්පියෙන් ඔලුව තව ටිකක් කවර් කරගත්තා. දකුණු අතින් ලේ වැක්කෙරෙනවා. පපුව රේස් වෙනවා. වෙඩි සද්දේ තවමත් කං දෙක ඇතුලේ දෝංකාර දෙනවා. මම ආයෙත් දොරට ගහගෙන ගහගෙන ගියා. එකපාරටම දොර යන්තමට අඩවන් වුනා. වයසක මනුස්සයෙක්ගේ මූන දොරේ හිඩැසෙන් පෙනුනා.
වයසක මනුස්සයා පුදුමෙන් වගේ මං දිහා බලලා කතා කලා.
මගේ දෙයියනේ විනෝද්!!!! ඉක්මනට ගේ ඇතුලට එන්න.
වයසක මිනිහා දොර ඇරලා මාව ඇතුලට ගත්තා. මේ තමයි ඩොක්ට ශිවා. ලන්ඩන් යුනිවර්සිටි එකේ ලෙක්චර කෙනෙක්.
කවුරුවත් තමුසෙව දැක්කද?? ඩොක්ට ශිවා මගෙන් ඇහුවා.
නැහැ. මම රෑ වෙනකන් ඉඳලා ආවේ ඒකයි. මම දොරට හේත්තු වෙලා හති අරින්න පටන් ගත්තා.
මගේ දෙයියනේ..විනෝද් මොකද මේ වෙන්නේ? ලන්ඩන් පොලීසියෙන් අද මාව හොයාගෙන ආවා. ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකෙන් හවස මාව හම්බවෙන්න ආවා. උන් හැමෝම ඇහුවේ තමුසේ ගැන. තමුසේ මොකද්ද මේ කරගත්තේ??? ඩොක්ට ශිවා පුදුමෙන් වගේ මගෙන් ඇහුවා.
සර් මං කෙලවගත්තා. මං නිසා මගේ යාලුවෝ දෙන්නම මැරුණා. මම ඇස් දෙක පියාගෙන හති ඇරියා. උන් අපිට වෙඩි තිබ්බා. දෙයියනේ. මම අත් දෙකෙන් මූන වහගෙන ඉකි ගහ ගහ අඬන්න ගත්තා.
යං ඇතුලට… අපි හැමදෙයක්ම හෙමින් සැරේ කතා කරමු.
ඩොක්ට ශිවා මගේ උරහිසින් අල්ලගෙන ගෙදර සාලේ දිහාවට එක්කගෙන ගියා. ඩොක්ට ශිවා මේ ගෙදර තනියෙම ජීවත් වෙන්නේ. ඩොක්ට ශිවා යාපනේ යුනිවර්සිටි එකේ උගන්නපු ලෙක්චරර් කෙනෙක්. ශිවාට පුතෙක් ඉඳලා තියෙනවා. හැබැයි ඊලාම් යුද්දෙන් පුතා නැතිවුනා. මීට අවුරුදු දෙකකට කලින් ඩොක්ටගේ වයිෆ් කැන්සර් එකකින් නැති වුනා. ඊට පස්සේ තමයි මනුස්සයා ලන්ඩන් වලට ඇවිත් තනියම ජීවත් වුනේ. ශිවා මාව උඩ තට්ටුවේ තියෙන කාමරේකට එක්කගෙන ආවා. ඊට පස්සේ මිනිහා අල්මාරියක් ඇදලා රෙදි වගයක් මගේ අතට දුන්නා.
වොශ් එකක් දාගෙන එන්න. මම කන්න මොනවහරි දෙයක් හදන්නම්. එහෙම කියලා ශිවා පල්ලෙහට ගියා.
මම ඇඳුම් ටික ගලවලා දාලා වොශ් රූම් එක ඇතුලට ගිහින් ශවර් එක ඇරියා. උණු වතුර බිංදු ඔළුවට වැටෙන වාරයක් ගානේ පහුගිය පැය විසිහතරේ සිද්දවුනු දේවල් එකින් එක මැවිලා පේන්න ගත්තා. කවුන්ටර් ටෙරරිසම් යුනිට් එකෙන් අපි ඉන්න තැනට පැනපු හැටි. මගේ යාලුවෝ දෙන්නට වෙඩි තියපු හැටි. බෝම්බේ පුපුරපු හැටි. මම විසිවෙලා ගිහිපු හැටි. මේ හැම දෙයක්ම ෆිල්ම් එකක් වගේ මගේ ඉස්සරහා මැවිලා පෙනුනා. උරහිසේ තියෙන තුවාලෙට වතුර වැටෙනකොට පිහියකින් අනිනවා වගේ. සුදුපාට ටයිල් පොලොව දිගේ රතුපාට ලේ මිශ්ර වතුර ගලාගෙන යන හැටි දිහා මම බලාගෙන හිටියා. මම ඇස් දෙක වහගත්තා.
කොයිතරම් වෙලාවක් ශවර් එක යටට වෙලා හිටියද කියලා මම දන්නේ නැහැ. මම බාත් රූම් එකෙන් එලියට ඇවිත් ශිවා දීපූ ඇඳුම් ඇඳගෙන සාලෙට ගියා. පඩිපෙල බැහැගෙන යනකොට දැක්ක දෙයින්
මම එකපාරටම ගැස්සුනා. සාලේ මැද තියෙන සෝෆා එකේ මිනිහෙක් ඉඳගෙන ඉන්නවා. අවුරුදු හතලිහක් විතර වයස මිනිහෙක්. තැනින් තැන සුදු වුනු කොන්ඩේ. නරියෙක්ගෙ වගේ කපටි මූනක් ඒ මිනිහට තිබුනා. ඩොක්ට ශිවා මිනිහට එහා පැත්තෙන් ඉඳගෙන ඉන්නවා. මම ඩොක්ට ශිවා දිහා බැලුවා. මම අවුලෙන් ඉන්න විත්තිය ඩොක්ට ශිවාට තේරුම් ගියා.
විනෝද්. බය වෙන්න දෙයක් නැහැ. මේ ඉන්නේ මිස්ට ප්රදීපන්. මෙයා අපේ සංවිධානෙට වැඩ කරන කෙනෙක්. මෙයාට ගොඩක් ලොකු සම්බන්ධතා ජාලයක් තියෙනවා. මෙයාට විතරයි තමුසෙව මේ අවුලෙන් බේරගන්න පුලුවන්. මොකද මට මේ වෙලාවේ සංවිධානේ කෙනෙක් කියලා සම්බන්ධ කරගන්න ඉන්නේ ප්රදීපන් විතරයි. හැබැයි තමුසේ හැම දෙයක්ම ප්රදීපන්ට කියන්න ඕනි. බය නැතුව ඇවිත් ඉඳගන්න විනෝද්.
මම සැකයෙන් වගේ සෝෆා එකෙන් ඉඳගෙන ප්රදීපන් දිහා බලාගෙන හිටියා. ප්රදීපන් කකුලක් උඩ කකුලක් දාගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මම ඩොක්ට ශිවා දිහා බැලුවා.
විනෝද්.. මම දන්නවා තමුසේ මේ පැටලිලා තියෙන්නේ ලොකුම ලොකු අවුලක කියලා. තමුසෙ හිතනවට වඩා මේ ප්රශ්නේ ගොඩක් සංකීණයි. තමුසෙට දැන් විශ්වාස කරන්න ඉතුරු වෙලා ඉන්නේ අපි දෙන්න විතරයි. අනික මමයි තමුසෙව මෙහෙට ගෙනාවේ. ඒ නිසා මමත් මේ අවුලේ පැත්තක හිරවෙලා ඉන්නේ. අපි දෙන්නවත් විශ්වාස නැත්තනං තමුන්ට මේ ගෙදරින් යන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න පොලිසියෙන් පාරක් පාරක් ගානේ තමුසෙව හොයනවා කියලා.
ශිවා කියන කතාව ඇත්ත. මට මේ වෙලාවේ විස්වාස කරන්න කිසිම කෙනෙක් නැහැ. මට වෙච්ච කිසිම දෙයක් තේරුම් ගන්නවත් බැහැ. ඩොක්ට ශිවා මට මේ වෙනකන් උදව් කලා. ඒ නිසයි මම ශිවාව හොයාගෙන ආවේ. මම ලොකු හුස්මක් පහලට පිටකලා. ඊට පස්සේ මම කෙලින්ම ප්රදීපන් කියන මිනිහගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.
මම හැම දෙයක්ම කියන්නම්. මුල ඉඳන්ම. එහෙම කියලා මම ශිවා දිහා බැලුවා. ශිවා පොඩි හිනාවක් දාලා සෝෆා එකෙන් නැගිට්ටා.
විනෝද් විස්තර ටික කියන්න. මම කුස්සියේ ඉඳන් අහගෙන ඉන්නම්. ඔක්කොටම කලින් තමුසෙට කන්න මොනවහරි හදාගෙන එන්නම්. තමුසේ දවස් ගානකින් හරියට කාලා නැති පාටයි. එහෙම කියලා ශිවා කුස්සිය පැත්තට ගියා. මමයි ප්රදීපන් කියන මිනිහයි සාලේ තනි වුනා. මම කතා කරන්න පටන් ගත්තා.
මගේ නම ඇට්නී විනෝද්. මම ඉපදුනේ තමිල්නාඩුවේ දර්මපූරී වල. මට වයස අවුරුදු විසි පහයි. මේ හැම දෙයක්ම පටන්ගත්තේ මීට මාස හයකට කලින්. ඒ වෙනකොට මම බැංගලෝර් යුනිවර්සිටි එකේ ඩ්ර්ග්රී එක කරන ගමන් හිටියේ. අන්තිම අවුරුද්දේ තියෙන රිසර්ච් සිම්පෝසියම් එකේදී තමයි මට මුලින්ම ඩොක්ට ශිවාව මුනගැහුනේ. සිම්පෝසියම් එකට මම දාපු රිසර්ච් එකට ඩොක්ට ශිවා ගොඩක් කැමති වුනා. ඉතිං එයා මට ලන්ඩන් යුනිවර්සිටි එකේ මාස්ටර්ස් එකක් කරන්න ස්පොන්සර් කරන්න පොරොන්දු වුනා. හැබැයි මේකේ යට තව කතාවක් තියෙනවා.
මට පොඩි කාලේ ඉඳන්ම ලංකාවේ යුද්දේ ගැන ලොකු උනන්දුවක් තිබුනා. මම කොටි සංවිධානෙට පිස්සු වැටිලා හිටියේ. මම කැම්පස් එකට එන්න අවුරුදු ගානකට කලින් ඉඳලම බ්ලොග් එකක් ලිව්වා. මේ බ්ලොග් එකේ තිබුනේ ලංකාවේ යන යුද්දේ ගැන විස්තර. ලංකාවේ ආමි එකෙන් කරන යුධ අපරාද ගැන ලොකු චෝදනා ගොඩක් මම බ්ලොග් එකේ ලියලා අතෑරියා. තව සංවිධානෙ වීරත්වය උලුප්පලා ලිපි ගොඩක් දැම්මා. ඒකට සැලකියයුතු ප්රතිචාරයක් ලැබිලා තිබුනා.
මම මීට මාස හයකට කලින් තමයි බැංගලෝර් යුනිවර්සිටි එකෙන් ඩ්ර්ග්රී එක සම්පූර්ණ කලේ. ඔහොම ඉන්නකොට එක දවසක් මට කෝල් එකක් ආවා. කෝල් එක ගත්ත මනුස්සයට තිබුනේ ලංකාවේ දෙමළ උච්චාරණයක්. එයා එයාව හැඳින්වුවේ අන්නා කියලා. එයා කොටි සංවිධානේ දේශපාලන නිළධාරියෙක් කියලා කිව්වා. සංවිධානේ කෙනෙක් මට කතා කලාම මං පිස්සු වැටුනා. මිනිහා ඉන්නේ මැලේසියාවේ. මිනිහ මගේ බ්ලොග් එකට ගොඩක් කැමතියි කියලත් කිව්වා. සංවිධානේ වෙනුවෙන් වැඩකරන්න කැමතිද කියලා මිනිහා මගෙන් ඇහුවා. සංවිධානෙට බැඳෙන එක මට තිබ්බ හීනයක්. ඉතිං මම එක පයින්ම හා කිව්වා. අන්නා තමයි ඩොක්ට ශිවා හරහා මට ලන්ඩන් යුනිවර්සිටි එකට එන්න ස්පොන්සර් කරලා තියෙන්නේ. ඩොක්ට ශිවා ලන්ඩන් වල ඩයස්පෝරා එකේ සාමාජිකයෙක්.
මේ අන්නා කියන මිනිහා ඔයාට මුනගැහිලා තියෙනවද??? ප්රදීපන් පළවෙනි වතාවට මගෙන් ප්රශ්නයක් ඇහුවා.
නැහැ. අපි ෆෝන් එකෙන් විතරයි කතා කලේ. මම උත්තර දුන්නා.
හරි ඉතිරි ටික කියන්නකෝ.
අන්නා කියපු විදියට සංවිධානෙට රසායන විද්යාව ගැන දැනුම තියෙන කට්ටිය ගොඩක් වටිනවලු. ඒ නිසා මට තිබුනේ ලන්ඩන් වලට ඇවිත් කෙමෙස්ට්රි වලින් මාස්ටර්ස් එකක් කරන්න. අන්නා ඒ හැම දේකටම සල්ලි වියදම් කරනවා. හැබැයි මේ හැම දෙයක්ම අතිශය රහසිගත විදියට වෙන්න ඕනි. අඩුම තරමේ ලන්ඩන් ඩයස්පෝරා එකේ කෙනෙක්වත් මං ගැන දැනගන්න බැහැ කියලා අන්නා මට කිව්වා. මොකද ඒක ඇතුලෙත් ලංකාවේ බුද්ධි අංශයට වැඩකරන ඩබල් ඒජන්ට්ලා ඉන්නවා කියලා අන්නා කිව්වා.
කොහොමහරි මීට මාස හතරකට කලින් මම ලන්ඩන් වලට ඇවිත් මගේ උපාධියේ වැඩ පටන්ගත්තා. අන්නා මට නතරවෙන්න තැනකුත් හදලා තිබුනා. ෆ්ලැට් එකක තියෙන කාමරයක්. ඒ කාමරේ තව කොල්ලෝ දෙන්නෙක් හිටියා. උන් දෙන්නවත් ලන්ඩන් වලට එවලා තියෙන්නේ අන්නාම තමයි. එක්කෙනෙක්ගේ නම සූර්යා. වයස විසි අටයි. මැලේසියාවේ ඉඳන් තමයි ලන්ඩන් වලට ඇවිත් තියෙන්නේ. අනිත් කෙනා ප්රකාශ්. ප්රකාශ් ලන්ඩන් වලට ඇවිත් තිබුනේ සෞදි අරාබියේ ඉඳන්. මිනිහට වයස තිස් දෙකයි. දෙන්නම සංවිධානෙට කැපවෙලා වැඩ කරපු අය. ඒ වගේම ඒ දෙන්නත් තමිල්නාඩු වල අයම තමයි. කොහොමහරි අපි තුන්දෙනා අපේ වැඩ කරගෙන හිටියා.
ඔහොම ඉන්න අතරේ මාස තුනකට කලින් ලන්ඩන් වල ඩයස්පෝරා එකෙන් ලොකු උත්ඝෝශනයක් සංවිධය කලා. ලංකාවේ එයාෆෝස් එකෙන් සිවිල් වැසියෝ ඉලක්ක කරලා බෝම්බ දානවා කියලා තමයි මේ උද්ඝෝෂණ කලේ. අපි තුන්දෙනත් මේකට ඉස්සරහින්ම සම්බන්ධ වුනා. මේක තිබුනේ ලංකාවේ එම්බසිය ඉස්සරහා. උද්ඝශණය කරන අතරේ අපේ කට්ටිය බලහත්කාරයෙන්ම එම්බසියට ඇතුල් වෙන්න ට්රයි කලා. ඒ වෙලාවේ පොලීසියෙන් අපිට ගහන්න පටන්ගත්තා. අපි තුන්දෙනත් බැහැලම පොලීසිය එක්ක ෆයිට් කරන්න ගත්තා. කොහොමහරි අන්තිමටම අපිව පොලීසියෙන් අල්ලගත්තා. ඊට දවස් දෙකකට පස්සේ ඩොක්ට ශිවා අපිව පොලීසියෙන් නිදහස් කරගත්තා.
පොලීසියෙන් නිදහස් වෙලා ඇවිත් සති දෙකක් විතර අපි අපේ වැඩ කරගෙන හිටියා. ඔහොම ඉන්නකොට එක දවසක් අපිට කුරියර් එකකින් ලියුමක් ආවා. ඒ ලියුමේ තුබුනේ ඩ්රොප් බොක්ස් එකක් ගැන විස්තරයක්. වෝර්ටලූ පැත්තේ තැනක හංගලා තියෙන පෙට්ටියක් ගැන ඩිරෙක්ශන් එකක් තමයි ලියුමේ තිබුනේ. අපි තුන්දෙනා මේ ඩ්රොප් බොක්ස් එක හොයාගෙන ගියා. ගහක් ඇතුලේ හංගලා තිබ්බ පෙට්ටියක්. ඒකේ තිබුනේ සැටලයිට් ෆෝන් එකක්. අපි සැටලයිට් ෆෝන් එකත් අරගෙන ෆ්ලැට් එකට ආවා. ඔහොම ටික දවසක් යනකොට අර ෆෝන් එකට කෝල් එකක් ආවා. එහා පැත්තෙන් කතා කලේ අන්නා. අන්නා ඒ වෙලාවේ කතා කලේ ගොඩක් ආවේගෙන්. අන්නා අපිට කිව්වා අපි ඉස්සරහට අඩියක් තියන්න ඕනි කියලා. බටහිර රටවල් වලට ලංකාවේ යුද්දේ ගැන කිසිම කැක්කුමක් නැහැ කියලා අන්න අපිට කිව්වා. ඒ නිසා අපි උන්ට අපේ බලය පෙන්නන ඕනි කියලා අන්නා කිව්වා. අන්නාගේ ප්ලෑන් එක තිබුනේ ලන්ඩන් වල තියෙන ශ්රී ලංකන් එම්බසි එකට බෝම්බයක් ගහන්න.
මොකද්ද ඒකේ අරමුණ??? ඒක සංවිධානෙට අවාසියක්නේ. ප්රදීපන් මගේ කතාව මැදින් පැනලා ඇහුවා.
ඔව් ඒක ඇත්ත. අන්නා කියපු විදියට අපිට ඉන්නේ අපි විතරයි . බටහිර රටවල් කරන්නේ අපිව රවට්ටන එක. උන් හැමදාම අපිට බොරු කලා. උන් ඉස්සරහටත් අපිට බොරුව විතරයි කරන්නේ. නමුත් මේ වැඩෙන් ලංකාවේ යුද්ද කරන සංවිධානේ කාඩර්ලට ලොකු මොරාල් එකක් ලැබෙනවා. සංවිධානේ ශක්තිය ලෝකේ පුරාම පැතිරිලා තියෙනවා කියලා ඒකෙන් ඔප්පු වෙනවා. මුලු ලෝකෙම අපි ගැන බයවෙන්න පටන් ගන්නවා. මේකෙන් මුලු ලෝකෙම, එක මොහොතකට හරි අපේ සංවිධානේ කරන යුද්දේ ගැන දැනගන්නවා. අපිට ඕනි ලංකාවේ යන යුද්දේ දිනන්න විතරයි. ඒකට මේ වැඩේ කරන්න ඕනි. බටහිර රටවල් අපි ගැන කොහොම බැලුවත් අපිට වැඩක් නැහැ. අපිට ඕන තැනක ඕන විදියකට ක්රියාත්මක වෙන්න ප්ය්ලුවන් කියලා මේකෙන් ඔප්පු වෙනවා. මිනිස්සුන්ට සංවිධානේ ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා. ඒ නිසා ප්රධාන අරමුණ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න වෙනවා. එකට තමයි යුද්දේ කියන්නේ. අන්නා මේ වැඩේ ගැන අපිට පැහැදිලි කලේ එහෙමයි.
හරි ඊට පස්සේ මොකද වුනේ????
අපි මේ වැඩේට කැමති වුනා. අන්නාගේ ප්ලෑන් එක තිබුනේ ශ්රී ලංකන් තානාපතිගේ ස්කොඩ් එකට කාර් බෝම්බයක් ගහන්න. ඒක කරන්න ඕනි හැම දෙයක්ම අන්නා අපිට දෙනවා. හැබැයි අපිට මේකට ට්රේනිං එකක් නැහැ. ඒ නිසා අපි තුන්දෙනාට ලංකාවෙදී වෙනම ට්රේනිං එකක් දෙන්න වැඩක් අන්නා හදලා තිබුනා. ඒ නිසා මීට මාස දෙකකට උඩදී අපි ලංකාවට ගියා. අපි ඩිරෙක්ට්ම ලංකාවට ගියේ නැහැ. මුලින්ම ඉන්දියාවට ගිහින් එහේ සේෆ් හවුස් එකක සතියක් ඉඳලා තමයි ලංකාවට ගියේ.
ලංකාවේ එයාපෝට් එකේදී අපිව ගන්න කෙනෙක් ඇවිත් හිටියා. මිනිහගේ නමක් ගමක් කිසිම දෙයක් දන්නේ නැහැ. අපි මිනිහට කතා කලේ චීෆ් කියලා. මිනිහා අපිව හොරොව්පතාන කියන පැත්තට එක්කගෙන ගියා. එහේ කැලෑවක් ඇතුලේ තමයි අපිට ට්රේනිං එක දුන්නේ.
ඔයාලා තුන්දෙනා විතරද ඔය ට්රේනිං කෑම්ප් එකේ හිටියේ??
ඔව්. අපි තුන්දෙනයි චීෆ්නුයි විතරයි. හැම තැනම චෙක් පොයින්ට තියෙන නිසා අපිට උතුරට යන්න අමාරුයි. ඒ නිසා තමයි කොළඹ ඉන්න සාමාජිකයෙක් අපිව ට්රේන් කරන්න එවලා තිබුනේ.
ඔය චීෆ් කියන මිනිහා කොයි වගේ කෙනෙක්ද??? ප්රදීපන් ආයෙත් මගෙන් ඇහුවා.
මිනිහා ස්නයිපර් කෙනෙක්. වැඩිය කතා බහක් නැහැ. මිනිහා හැම දෙයක්ම කලින් ලෑස්ති කරලා තිබුනා. චීෆ් සති දෙකක් විතර අපිට වෙපන් ට්රේනිං එකක් දුන්නා. ගොඩක්ම පිස්ටල් තමයි ට්රේන් කලේ. ඊට අමතරව බෝම්බ හදන්න ට්රේනිං එකක් දුන්නා. මට කෙමෙස්ට්රි ගැන මට හොඳ දැනුමක් තිබ්බ නිසා චීෆ් බෝම්බ හදන ට්රේනිං එක මාව ෆෝකස් කරලා තමයි කලේ. අපි පිපිරුම් අරය අඩු කරලා බෝම්බ කීපයක්ම හදලා ටෙස්ට් කලා. මට ඒ වැඩේ සෑහෙන්න හිතට ඇල්ලුවා. මම ඉක්මනට හැම දෙයක්ම ඉගෙනගත්තා. කොහොමහරි අපි සති දෙක ඉවර කරලා ආපහු ලන්ඩන් වලට ආවා.
ඊළඟට අපිට තිබුනේ තානාපති ගැන ඔත්තු බලන වැඩේ සහ බෝම්බේ ගහන එක ප්ලෑන් කරන්න. අපි තුන්දෙනා මාස එකහමාරක් තිස්සේ තානාපතිගේ දවසේ චර්යාව අධ්යනය කලා. මිනිහා ගෙදරින් එන වෙලාව, වැඩට යන වෙලාව, සති අන්තේ යන එන තැන් මේ හැම එකක්ම අපි එකින් එක අධ්යනය කලා. අපේ ප්ලෑන් එක තිබුනේ එම්බසිය ලඟ තියලම බෝම්බේ ගහන්න. මොකද එහෙම උනොත් තමයි මේ ඇටෑක් එකේ බලපෑම වැඩිවෙන්නේ. ඒකට හරියටම් ගැලපෙන්නේ කාර් බෝම්බයක්.
කාර් බෝම්බයක් ගැහුවොත් ඒකෙන් සිවිල් වැසියොන්ටත් හානි වෙන්න පුලුවන්නේ??? ප්රදීපන් ආයෙත් හරස් ප්රශ්නයක් ඇහුවා.
මේක යුද්ධයක්. මානුශීය වෙලා යුද්ධ කරන්න බැහැ. අනික අපි මේ යුද්දේ දිනනවා. ඒ නිසා සුද්දෝ හිටියත් එකයි නැතත් එකයි. කවදහරි උන් අපිව ත්රස්තවාදී සංවිධානයක් විදියට නම් කරයි. අපිට තියෙන්නේ කාලය ගැන ප්රශ්නයක් විතරයි. ඒ නිසා අපි මේ ඇටෑක් එකට සම්පූර්ණයෙන්ම ප්ලෑන් එකක් හැදුවා. හැබැයි අපිට ප්රශ්ණ කීපයක් තිබුනා. පළවෙනි එක කාර් එකක් ඕනි. දෙක බෝම්බයක් හදන්න ඕනි C4 සහ අනිත් දේවල්. තුන්වෙනි ප්රශ්නේ තමයි ඔපරේශන් බේස් එකක් ඕනි. අන්නා මේ හැම ප්රශ්ණයක්ම අපිට විසඳලා දුන්නා.
මම කතා කරන අතරේ ඩොක්ට ශිවා කෑම පිඟානක් අරගෙන සාලෙට ආවා. ඊට පස්සේ මිනිහා කෑම පිඟාන මගේ අතට දීලා විස්කි වීදුරුවකුත් ටීපෝ එක උඩින් තිබ්බා. ඩොක්ට ශිවා තව විස්කි වීදුරු දෙකක් අරගෙන ඇවිත් එකක් ප්රදීපන්ට දුන්නා. මම හාමත් වෙලා හිටියේ. පිඟානේ තිබුනේ සැන්වීච් එකකුයි චීස් ඔම්ලට් එකකුයි. මම සැන්වීච් එක, එක කටට කාගෙන කාගෙන ගියා. ඩොක්ට ශිවා විස්කි උගුරක් බොන ගමන් මං දිහා බලාගෙන හිටියා. මම සැන්වීච් එක කාලා ඔම්ලට් එකත් කාගෙන කගෙන ගිහින් හයියෙන් හති ඇරියා. ඊට පස්සේ ටීපෝ එක උඩු තිබ්බ විස්කි වීදුරුව අරගෙන විස්කි උගුරු දෙකක් ගිලලා දැම්මා. විස්කි වල සැරට උගුරු කඩාගෙන යනහැටි මට දැනුනා.
තමුසේ කොහෙන්ද බෝම්බෙට ඕන බඩු ටික හොයාගත්තේ??? ඩොක්ට ශිවා විස්කි උගුරක් තොලගාන ගමන් මගෙන් ඇහුවා. මම ආයෙත් කතා කරන්න පටන් ගත්තා.
එක දවසක් අපිට ආයෙත් කුරියර් එකෙන් ලියුමක් ආවා. ඒ ලියුමේ තිබුනේ මැප් එකක්. මැප් එකේ තැනක් මාක් කරලා තිබුනා. ලිවපූර් පැත්තේ කැලෑවක් තමයි සලකුණු කරලා තිබුනේ. කුරියර් එක ඇතුලේ තව යකුරකුත් තිබුනා. අපි පහුවදා මැප් එකේ ලකුණු කරලා තියෙන තැන හොයාගෙන ගියා. එතන තිබුනේ පරණ ටොයෝටා කාර් එකක්. ඩිකිය ඇරලා බලනකොට අපිට ඕන හැම දෙයක්ම ඒකේ තිබුනා. බෝම්බේ හදන්න ඕනි C4, සල්ලි තුවක්කු, හැමදෙයක්ම ඒකේ තිබ්බා. කාර් එකේ නම්බර් ප්ලේට් එක රෙජිස්ටර් කරලා තිබුනේ මැරුණු සුද්දෙක්ගේ නමට. ඒ නිසා ප්රශ්ණයක් නැහැ.
තුවක්කු කොහෙන් ආපුවද??? ඩොක්ට ශිවා මගෙන් ඇහුවා.
මම හිතන්නේ IRA ගරිල්ලා සංවිධානේ පාවිච්චි කරපු ඒවා වෙන්න ඕනි. ඒ ගැන අන්නා අපිට මුකුත් කිව්වේ නැහැ. ඊලඟට තිබ්බේ බෝම්බෙ හදන්න ඕනි තැනක් හොයාගන්න එක. ඒකට අපිට රිච්මන්ඩ් පැත්තේ තියෙන ගෙයක් සෙට් වුනා. මේ ගෙදර අයිතිකාරයා ලංකාවේ මිනිහෙක්. මිනිහගේ අම්මා මැරිලා නිසා පවුල පිටින්ම ලංකාවට ගිහින්. මාසෙකින් තමයි ආයේ එන්නේ. අපේ වැඩේට ඒ කාලේ හොඳටම ඇති. ඒක සූර්යා වැඩකරන තැන ලොක්කගේ ගෙදර. අපේ වැඩේට නියමට ගැලෙපනවා. අපි කාර් එකත් අරගෙන ගෙදරට ගියා. මෙතනින් එහාට ගේම් එක තියෙන්නේ අපේ අතේ. අන්නා ආයේ අපිව සම්බන්ධ කරගන්නේ ඇටෑක් එකෙන් පස්සේ. ඒ නිසා අපි අන්නා කතා කරපු ෆෝන්, එවපු මැප්ස් හැම එක තේම්ස් ගඟට විසි කලා. අපි මීට දවස් පහකට කලින් බෝම්බේ හදන වැඩේ පටන් ගත්තා. කාර් එකේ චැසියට බෝම්බේ සෙට් කරන්න තමයි මගේ ප්ලෑන් එක තිබුනේ. බෝම්බෙට ඕනි කරන හැම දෙයක්ම තිබ්බ නිසා ඉක්මනට වැඩේ ඉවර කරන්න පුලුවන් වෙයි කියලා මම හිතුවා.
පොලීසියෙන් පැන්නේ කොයි වෙලාවෙද??? ප්රදීපන් මගෙන් ඇහුවා.
පෙරේදා හවස මම සුපර්මාකට් එකට ගියා බඩු වගයක් ගේන්න. දිග පෝලිමක් තිබුනු නිසා මට බඩු ටික අරගන්න සෑහෙන්න පරක්කු උනා. බඩු ටිකත් අරගෙන අරගෙන එනකොට අපේ ගෙදර ඉස්සරහා ජීප් දෙකක් නතර කරලා තිබුනා. කලු කිට් ඇඳගෙන හිටපු මිනිස්සු සෙට් එකක් ගෙදර වට කරලා ඉන්න හැටි මම ඈතින් දැක්කා. කවුන්ටර් ටෙරරිසම් යුනිට් එකෙන් බැහැලා අපේ ගෙදර වට කරලා. මම අතේ තිබ්බ බඩු ටික අතෑරලා ගේ පැත්තට දුවන්න හදනකොටම උන් ගෙදරට දිගට හරහට වෙඩි තියන්න පටන්ගත්තා. ඒ වෙලාවේ මම පුලුවන් උපරිම දෛර්ය අරගෙන ගේ දිහාවට දිව්වා. ඒත් එක පාරට ගේ ඇතුලෙන් ලොකු පිපිරුමක් සිද්දවුනා.
ඒ පිපිරුමට මම විසිවෙලා ගිහින් කාර් එකක වින්ස්ක්රීන් එකක් කඩාගෙන ඇතුලට වැටුනා. මම කොච්චර වෙලාවක් සිහි නැතුව හිටියද කියන්න දන්නේ නැහැ. මම අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා. කන් දෙකෙන් ඇහුනේ කීං ගාන සද්දේ විතරයි. පොලීසියේ මිනිස්සු කීපදෙනෙක් තැන තැන වැටිලා හිටියා. වටේ පිටේ ගෙවල් වල මිනිස්සු එලියට බැහැලා වෙන්නේ මොකද්ද කියලා බලාගෙන හිටියා. සයිරන් නලා සද්දේ හතර වටේට දෝංකාරදෙන්න ගත්තා. මම අමාරුවෙන් එලියට ඇවිත් වට පිට බැලුවා. පොලිසියෙන් ගෙට යන්න කලින්ම සූර්යා බෝම්බේ පත්තු කරගෙන. මම පුලුවන් තරම් ඉක්මනට එතනින් පැනලා ආවා. ඒ විදියට තමයි මම මෙතට ආවේ. මට වෙන එන්න තැනක් තිබුනේ නැහැ. අපි ගැන කොහෙන්හරි ලීක් වෙලා තියෙනවා. කවුරුහරි අපි ගැන පොලීසියට කියලා තියෙනවා. එහෙම කියලා මම ටීපෝ එක උඩ තිබ්බ විස්කි වීදුරුවේ ඉතිරි ටිකත් එක හුස්මට බීලා දැම්මා.
වෙලාවට පොලීසියේ කවුරුවත් බෝම්බෙන් මැරිලා නැහැ. වටේ පිටේ හිටපු අයටත් හානියක් වෙලා නැහැ. ඇතුලේ ඉඳපු උන් දෙන්නම බෝම්බේ නිසා මැරිලා. ශිවා මං දිහා බලලා හිනා වෙන ගමන් කිව්වා.
මගේ ඔලුව එන්න එන්නම බර වෙන්න ගත්තා. මම දකුණු අතෙන් නළල අතගාන ගමන් වුනේ මොකද්ද කියලා කල්පනා කරන්න ගත්තා. කවුද අපිව පාවලා දුන්නේ??? මේ ගැන දන්නේ හතරදෙනෙක් විතරයි. කොහොමද මේක වුනේ?? ශිවා මේ කිසි දෙයක් දන්නේ නැහැ. මම කල්පනා කරන්න ගත්තා.
ඔය අතරෙ ප්රදීපන් විස්කි වීදුරුව ටීපෝ එක උඩින් තියලා සෝෆා එකෙන් නැගිට්ටා. ඊට පස්සේ මිනිහා මං දිහා එක එල්ලේ බලාගෙන හිටියා. අපි දෙන්නගේ ඇස් එකට මුනගැහුනා. ඒ ඇස් වල මොකද්දෝ තේරුම් ගන්න බැරි අමුත්තක් හැංගිලා තිබුනා.
උඹ මහ මෝඩයෙක් !! ප්රදීපන් කට කොනකින් හිනා වෙලා කිව්වා.
මොකක්??? මොකද්ද මූ මේ කියන්නේ?? මම ශිවා දිහා බැලුවා.
මට සමාවෙන්න විනෝද්! මේ යුද්දේ පොඩි එවුන්ට සෙල්ලම් දාන්න තියෙන සෙල්ලම් ගෙයක් නෙවෙයි! ශිවා මගේ දිහා බලාගෙන කිව්වා.
මොන මගුලක්ද මුන් මේ කියන්නේ?? මම නැගිටින්න හැදුවා. දෙයියනේ!!! මට නැගිටගන්න බැහැ. කකුල් දෙක පණ නැහැ. මම ආපහු සෝෆා එක උඩට කඩාගෙන වැටුනා. විස්කි වීදුරුව!!!!! ශිවා!!! කලු තිර රෙද්දකින් මාව වැහිලා යනවා වගේ දැනුනා. ශිවා !!!. උඹ මාව පාවලා දුන්නා. ශිවා
…………………………………………………..
මම අමාරුවෙන් ඇස් ඇරියා. කොහෙද මේ ඉන්නේ?? මේක කැලෑවක්ද කොහෙද. මම බිම වැටිලා ඉන්නේ. මුලු පරිසරය අඳුරුයි. මට මගේ අත පය හොල්ලන්නවත් බැහැ. ඒවා බැඳලා. මගේ පිටිපස්සෙන් ලොකු එලියක් වැදුනා. ඔලුව පුපුරන්න කැක්කුම් දෙනවා. මම අමාරුවෙන් පිටිපස්ස හැරිලා බැලුවා. වාහනයක් නතර කරලා තියෙනවා. වාහනේ හෙඩ් ලයිට් පත්තු වෙලා තියෙනවා. හදිස්සියේම ඈතින් ඉන්න මිනිහෙක්ගේ චායාවක් මට පෙනුනා. චායාව ටිකෙන් ටික මගේ ගාවට ලං වුනා. වාහනේ ලයිට් එලියට, ඒ මිනිහගේ මූන පැහැදිලිව පේන්න ගත්තා. ඒ ප්රදීපන්!! මොකද්ද මේ වෙන්නේ???
ප්රදීපන් මගේ ලඟට ඇවිත් නතර වුනා. උගේ එක අතක පිස්තෝලයක් තියෙනවා. අනිත් අතේ පත්තරයක් තිබුනා. ඌ මගේ මූනට පත්තරේ දික් කලා. මම පත්තරේ තියෙන අකුරු එක එක ගලපවගන්න උත්සාහා කලා.
“යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය ත්රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරීමට තීරණය කරයි.”
උඹ ඌට ඕනි දේ හරියටම කරලා දුන්නා. ප්රදීපන් පත්තරේ බොනට් එක උඩට විසි කරන ගමන් කිව්වා.
මොකාට ඕනි විදියටද??? මම අමාරුවෙන් ඇහුවා.
ප්රොෆෙසර් හුසේන්ට ඕනි විදියට.
මොකා?? කවුද හුසේන් කියන්නේ? මොකද්ද මෙතන සිද්දවෙන්නේ? ඒ ප්රශ්නෙට ප්රදිපන් මං දිහා බලලා හිනා වුනා.
උඹට කතා කරපු, උඹලා පිස්සුවෙන් විස්වාස කරපු, උඹලව හැන්ඩ්ල් කරපු අන්නා වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි ප්රොෆෙසර් හුසේන්. ලංකාවේ කවුන්ටර් ඉන්ටලිජන්ස් ඩිරෙක්ටර්! තොපි මෙච්චර දවසක් සංවිධානෙට කියලා වැඩ කලේ හුසේන්ට. ඌ සංවිධානෙට හොරෙන් සංවිධානේ නම පාවිච්චි කරලා ලන්ඩන් වල බෝම්බයක් ගහන්න ප්ලෑන් කලා. මෙච්චර දවසක් යුරෝපා සංගමේ කොටි සංවිධානේ තනනම් කරන්න වැනි වැනී හිටියේ. මේ වැඩෙන් ඒකට අන්තිම තල්ලුවත් හම්බවුනා. මේ තහනම නිසා, යුරෝපේ පුරාම විසිරිලා තියෙන, සංවිධානෙට අයිති ඩොලර් කෝටි ගාණක අකවුන්ට්ස් දැන් හෝල්ඩ් කරලා තියෙන්නේ. සංවිධානෙට ඒකෙන් වෙන හානිය කොයි තරම් ලොකු එකක්ද කියලා උඹට තේරෙනවද? උඹලා වගේ කොල්ලොන්ව පොළඹවන්න හරිම ලේසියි. උඹලා කවුරුහරි එකෙක් කියන ඕන මගුලක් ඔලුව උඩින් පිලිගන්නවා. උඹට කෙලවුනේ ඒ නිසා.
ඒ කතාව අහපු ගමන් මගේ බඩ ඇතුලෙන් සීතල වෙලා ගියා. මූ මේ කියන්නේ ඇත්තක්ද?? දෙයියනේ!!! කොහොමද එහෙම වෙන්නේ??
ඒත් ඇයි උඹ මට මෙහෙම කරන්නේ?? උඹ සංවිධානේ මිනිහෙක්. මේකේ ඇත්ත අපිට එලි කරන්න පුලුවන්. අපි එහෙම කරමුකෝ. අපිට තවමත් පුලුවන් හුසේන්ට කෙලවලා දාන්න. මම ප්රදීපන්ගෙන් ආයාචනා කරන්න ගත්තා.
කොල්ලෝ. උඹට මේක තේරෙන්නේ නැහැ. මම කාලෙකට කලින් හුසේන්ට වැඩ කලා. පස්සේ මම උගේ මිනිහෙක්ව සංවිධානෙට අල්ලලා දුන්නා. එහෙම කරලා තමයි මම ලන්ඩන් වලට ආවේ. මම ඒ හැම දෙයක්ම අතෑරලා අලුත් ජීවිතයක් පටන්ගන්න තමයි මෙහෙට ආවේ. ඒත් හුසේන් මගේ සෙල්ලම දැනගත්තා. ඌ මගේ ගෑනිවයි ළමයවයි ලංකාවේ තියාගත්තා. ඒ දෙන්නව ලංකාවෙන් රිලීස් කරන්න ඕනිනම් මට මේ වැඩේ කරලා දෙන්න කියලා හුසේන් මගෙන් ඉල්ලුවා. මට වෙන කරන්න දෙයක් නැහැ. මම වැඩේට කැමති වුනා. මම තමයි උඹලට ඕනි වාහන, තුවක්කු, බෝම්බෙට ඕනි කරන C4 හැමදෙයක්ම අරගෙන දුන්නේ. මම ඒ හැම දෙයක්ම ගත්තේ සංවිධානේ නම විකුණලා. හුසේන් වෙනුවෙන් ලන්ඩන් වලදී මේ ඔපරේශන් එක හැන්ඩ්ල් කලේ මං. මේ සෙල්ලම එලි වුනොත් සංවිධානේ උන් මාව හොයාගෙන ඇවිත් මරලා දානවා. උඹටට තේරෙන්නේ නැහැ සංවිධානෙට මේකෙන් වුනු හානිය කොයි තරම් ලොකු එකක්ද කියලා. උන් මේක ගෑවුනු හැම එකෙක්වම මරලා දානවා.
මේ හැම දෙයක්ම මුල ඉඳලම හුසේන්ගේ ප්ලෑන් එකට සිද්ද වුනේ. ලන්ඩන් වල තිබ්බ උද්ඝෝශනේ මතකද?? මමයි එදා මුලින්ම එම්බසියට බලෙන් ඇතුල් වෙන්න හැදුවේ. එදා ඉස්සෙල්ලාම පොලීසිය ගහුවේත් මමයි. ඒ හැම දෙයක්ම කලේ හුසේන්ට ඕනි විදියට. කොටිම්ම මම එදා උද්ඝශණේ සංවිධානය කලෙත් හුසේන්ගේ ඕන කමට. හිතපු විදියටම උඹලා ෆෝම් වෙලා පොලිසිය එක්ක ඇරගත්තා. අන්තිමටම උඹලා පොලිසියට අහු වුනා. එතකොට ලන්ඩන් පොලිසියට උඹලගේ විස්තර යනවා. උඹලාගේ සේෆ් හවුස් එක ගැන විස්තරේ මම හුසේන්ට දුන්නා. හුසේන් ඒක MI6 එකට දුන්නා. හැබැයි නොහිතපු විදියට උඹ විතරක් එතනින් බේරුනා. කොයි වෙලාවක හරි සංවිධානේ උඹ ගැන දැනගෙන උඹේ පස්සෙන් එනවා. උඹව සංවිධානෙට අහු වුනොත් ඒක අනවශ්ය ප්රශ්ණයක් වෙනවා. ඒ නිසා සාක්ශි ඉවරයක් කරලා දාන්නම මම හිතුවා. උඹ ශිවා හම්බවෙන්න එන විත්තිය මම කලින් ඉඳන්ම දැනගෙන හිටියා.
එතකොට ශිවා කියන්නේ හුසේන්ගේ මිනිහෙක්ද?? හෙන ගහපන්. මට කලන්තේ හැදීගෙන ආවා.
ඔව්. ශිවාගේ පුතා යුද්දෙන් මැරුනා. ඇත්තම කතාව සංවිධානේ ප්රශ්නයක් නිසා ශිවාගේ පුතාව මැරුවා. හුසේන් මේක පාවිච්චි කරලා ශිවාව නම්මගත්තා. ශිවා වැඩ කරන්නේ හුසේන්ට. ශිවාට සංවිධානේ ගැන තියෙන්නේ වෛරයක් විතරයි. පලිගන්න අවස්ථාවක් ලැබෙනකන් හිටියේ. ශිවා දැනටමත් ලංකාවට යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ අපි දෙන්නා විතරයි. මට සමාවෙයං කොල්ලෝ. අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරයි ඉන්න පුලුවන්. මට උඹ එක්ක කිසිම පෞද්ගලික තරහක් නැහැ. උඹ ඉන්න එක මට ප්රශ්ණයක්. එහෙම කියලා ප්රදීපන් පිස්තෝලේ මගේ ඔළුවට දික් කලා
එපා… එපා… මම කියන දේ අහ…. මට එච්චරයි කියන්න පුලුවන් වුනේ. හෙනගෙඩියක් පුපුරන සද්දේ පිටිපස්සෙන් දෝංකාර දුන්නා. මගේ ඇස් ඉබේටම පියවුනා. මූන පුරා උනු ලේ පාරක් විසිවුනා. මං ඉවරයි..
මම මැරුනද??? නැහැ. මම තවම හුස්ම ගන්නවා. මම ඇස් ඇරලා බැලුවා. ප්රදීපන් බිම වැටිලා ඉන්නවා. මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා. ප්රදීපන් ගොඩට දාපු මාලුවෙක් වගේ දඟලනවා. නහයෙන් කටෙන් ලේ වැක්කෙරෙනවා. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හම්බ වුනු අවස්ථාවෙන් මම අමාරුවෙන් පොලොව දිගේ බඩගාන්න පටන් ගත්තා. කැලෑවෙ ඇතුලට ගියොත් බේරෙන්න පුලුවන්. මම ඇඟේ තිබ්බ සම්පූර්ණ හයිය අරගෙන බඩගාන්න පටන් ගත්තා. හදිස්සියේම මම ඉස්සරහින් බූට් සපත්තු දෙකක් මතු වුනා. මම අමාරුවෙන් ඔලුව උස්සලා බැලුවා. රයිෆල් එකක් එල්ල ගත්ත මිනිහෙක් මගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. දෙයියනේ!
චීෆ්!!!! මට ඉබේටම කියවුනා. ලංකාවෙදි අපිව ට්රේනිං කරපු මිනිහා!!!
චීෆ් බිමට නැවිලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. ඊට පස්සේ කතා කරන්න පටන් ගත්තා.
මගේ ඇත්ත නම සාජන් ධම්මික රත්නායක. ප්රදීපන් එක්ක මට පරණ ගනුදෙනුවක් විසඳගන්න තිබ්බා. එහෙම කියලා චීෆ් මගේ ඔළුවට පිස්තෝලයක් තිබ්බා. මේක තමයි උඹ හීන මවපු යුද්දේ විනෝද්.
අනේ මාව මරන්න එපා!! මම අහිංසකයි. මම මෝඩයි. මම චීෆ්ට ආයාචනා කරන්න ගත්තා. මම චීෆ්ගේ බූට් එක උඩින් ඔලුව තියාගෙන ඉකි ගහ ගහ ඇඬුවා. ඒත් වැඩක් වුනේ නැහැ.
යුද්දෙට ආස කිසිම එකෙක් අහිංසක නැහැ. යුද්දෙට පක්ශ හැම එකෙක්ම මිනී මරුවෙක්. උඹත් මිනී මරුවෙක්. මමත් මිනී මරුවෙක්. අපි හැමෝම දෙපැත්ත බෙදිලා මරාගන්න මිනීමරුවෝ. ඒක තමයි යුද්දේ හැටි.
මට සමාවෙයන් විනෝද්. හුසේන් කිව්වා උඹට ගොඩක් ස්තූතියි කියන්න කියලා.
(මේක තනිකරම ප්රබන්ධයක් විතරයි. කතාවේ නම් ගම් සිදුවීම් හැම එකක්ම මනංකල්පිතයි. යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කලේ 2006දී. මේ කතාව යන්නේ වෙන ටයිම් ලයින් එකක. Spy thriller එකක් විදියට විතරක් රසවිඳින්න කියලා ඉල්ලා සිටිනවා. කතාව ගැන අදහසකුත් කොටාගෙන යන්න අමතක කරන්න එපා)
උපුටා ගැනීම: Nisal Ekanyaka / කතන්දරකාරයා