” මිනිස්සු බඳින්නම ඕනේ ද අම්මා ? ” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” මිනිස්සු බඳින්නම ඕනේ ද අම්මා ? “
ආදරේ ගැන තිත්තම හැඟීමක් දැනෙද්දී මං අම්මගෙන් ඇහුවේ අම්මගේ උත්තරේ දැන ගන්න නෙවෙයි මේ දැනෙන හැඟීම නිසා රිදෙන හිත සනසවගන්න.
” ඇයි දැන් එහෙම අහන්නේ ? “
මාව තේරුම් අරන් වගේ අම්මා අහද්දී මට පුදුම හිතුන්නෑ. ජීවිතේ මාව කියවන්න පුලුවන් එකම මනුස්සයා අම්මා කියලා මං දන්නවා.
” ආදරේ , කසාදේ මේ හැමදේම ආත්මාර්ථකාමී හැඟීම් කියලා හිතෙන්නේ නැද්ද අම්මා ? “
මං එහෙම අහද්දී අම්මා හිනා උනා.
” ඒ හැම හැඟීමක්ම ආත්මාර්ථකාමී තමයි. හැබැයි අපි අපේ කියලා පපුවටම තියාගන්නේ ඔය ආත්මාර්ථකාමී හැඟීම තමයි “
හිනාවෙන්ම අම්මා කිව්වේ සන්සුන් විදිහට. ඒත් මට ඕනේ උත්තරේ ඒක නෙවෙයි. සත්තකින්ම මට ඕනේ මේ දැනෙන හැඟීමෙන් පලා යන්න.
මිනිස්සු ජීවත් වෙන්න ආදරේ කරන්නම ඕනේ ද ?
මං ආයේම මගෙන් ඇහුවා. එහෙම ආදරේ ඕනේ නම් ඉතින් මං මෙච්චර කල් මෙහෙම ජීවත් වෙන්නෑනේ කියලා හිත ඊට පස්සේ කෑගැහුවා.
” දෝණී….”
අම්මා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා ඇවිත් මගේ ලඟින් වාඩි වෙන ගමන් ආපහු මට කතා කරේ දිග කතාවක් හිතේ තියන් කියලා දන්න නිසාම වචනයක්වත් නොකියා මං අම්මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.
” ආදරේ කියන්නේ ජීවිතේ වැදගත්ම කොටසක් හැබැයි ඒක එක කොටසක් විතරයි. ඉතින් ඕවා ගැන හිතන්න කලින් ඔයාගේ හීන පස්සේ දුවන්න එතකොට ආදරේ වෙනුවෙන් නතර වෙන්න , අඬන්න වෙලාවක් ඔයාට නැති වෙයි…”
අම්මා එහෙම කියද්දි ඇස් වල හිර වෙලා තිබ්බ කඳුලක් හෙමිහිට අම්මගේ ඔඩොක්කුව තෙමුවා.
” මං ආදරෙයි කියලා කිව්වා…”
මෙච්චර කල් හංගගෙන හිටපු රහසක් අම්මට කිව්වා. මට හිතුනෙම අම්මා බනියි කියලා. ඒත් බැනුම් අහන්න හරි අම්මට කිව්වාම සැනසීමක් දැනෙනවා කියලා දන්න නිසාම බැනුම් ගැන බයක් හිතුනේ නෑ.
” ඉතින් ආදරෙයි කිව්වා නම් ඇයි ඔහොම හිතෙන්නේ ?
අම්මා කලින් විලාසෙන්මයි ඇහුවේ.
” මට බයයි මං ගත්ත තීරණේ හරි ද කියලා ? “
ආපහු කඳුලු කැට තුන හතරක් බිමට වැටුනේ එයාගේ රූපේ ඇස් වල ඇඳිලා බොඳ වෙලා යද්දී.
” අවුරුදු ගානක් ඔයා එයාව දන්නවනේ… “
අම්මා එහෙම කියද්දි මං කල්පනා කරේ අම්මට තාම මං එයා කව්ද කියලා නොකිව්වට අම්මා කොහොමද ඒක දැනගත්තේ කියලයි.
” ඔයාගේ ඇස් වලට රහස් හංගන්න බෑ දෝණී..”
ඒ කියන්නේ අම්මා කෙනා කව්ද කියලා දැනගෙනම ඉඳලා.
” ඔයාගේ තීරණේ ගැන විස්වාස කරන්න. උපරිමේ ආදරේ කරන්න , ආපහු ලැබුනත් නැතත් ආදරේ කරන්න. බලාපොරොත්තු නොවී ආදරේ කරන එක තමයි දෝණී කරන්න අමාරුම. හැබැයි එහෙම ආදරේ කරාම රිදෙන්නේ නෑ. ගෙවෙන දවස් ආපහු එන්නේ නෑ…”
ඒ වචන එක්ක මං ඔලුව ඉස්සුවේ අම්මගෙන් මං එහෙම වචන බලාපොරොත්තු නොවුණ නිසයි.
” ආදරේ කරන එක වරදක් නෙවෙයි දරුවෝ…”
ප්රශ්නේ අහන්න කලින්ම අම්මා ආපහු මාව කියෙව්වා.
” ඒත් අම්මා නතර වෙලා බලාගෙන ඉන්න එක හරි අමාරුයි නේ. “
මං ආපහු අම්මගේ ඇහුවේ එයාගේ ආදරේ වෙනුවෙන් බලන් ඉඳලම මට මහන්සී කියලා හිතුන නිසයි.
” බලන් ඉන්න එකයි , නතර වෙන එකයි දෙකක් දෝණී… මං කලිනුත් කිව්වේ, ඔයාගේ හීන පස්සේ දුවනකොට ඔයාට නතර වෙලා දුක් වෙන්න වෙලාවක් නෑ ඔයාට… අනිත් එක තමයි ඔයාට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් නම් ඔයා බලන් ඉන්නේ ඒක තමයි ඔයා කරන ලොකුම මෝඩ වැඩේ”
අහන්නේ නැතුවම අම්මා හිතේ තියෙන ප්රශ්න වලට උත්තර දෙද්දි මං ආපහු අම්මට තුරුල් උනා. ජීවිතේ මනුස්සයෙක්ට සම්පූර්ණයෙන්ම නිවෙන්න පුලුවන් එකම තැන අම්මා ළඟ විතරයි කියලා මං හැමදාම විස්වාස කරා. ඒක හරියටම හරි.
අමාරුම තැනක උනත් බය නැතුව වාරූ වෙන්න පුලුවන් එකම තැන මෙතන.
” ඔයාට රිදෙන දේවල් කරන්න එපා දෝණී… ආදරේ කියන්නේ රිද්දන්න එක නෙවෙයි…”
අම්මා එහෙම කියලා වේදනාව නැති කරන හාදුවක් නලලෙන් තියලා මාව තුරුල් කරගත්තා.
අම්මා හරි ඇති. නෑ හරි ඇති නෙවෙයි අම්මා හරි. මං එහෙම හිතන ගමන් ඇස් පියාගෙන අම්මට තව ටිකක් ගුලි වෙලා ඇස් පියාගත්තා.
උපුටා ගැනීම:     ~ තාරා ~

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!