මිස්ටර් අනංගයා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මා ප්‍රියාදර රසික රසිකාවියනි , සීතල සුළං හමා යන මේ උදුවප් මාසයේ ශෘංගාරාත්මක උල්කා වැසි ඇද හැලෙමින් බ්‍රහස්පති, සෙනසුරු හා හමු වන මේ අති උත්කර්ෂවත් ප්‍රේමණීය යාමෙයේ මා හට සිහි කැදවන්නේ මල්සරාගේ හීය උදුරාගත් අපේ කාලයේ අනංගයෙකුගේ කතා වස්තුවයි. මතක ඇති කාලෙක හිටන් ප්‍රේමය හා මා, උලුදු වඩේ සහ අහස සේ සළකා, අදටත් තනිකඩව සිටිනා මට, කථානායක මිස්ටර් අනංගයා ඉස් ඉස්සෙලාම මුලිච්චිවෙන්නේ කෙමිස්ට්‍රි කලාස් එකේදි. සිරි ලංකාවේ අනංගයන් කොතෙක් ඇතත් මූ නං හරි වෙනස් එකෙකි. වෙනස් බව කෙසේද බලාන්ඩ පේමතෝ ජායතී සෝකෝ කියල කතාවට බහිමුකෝ ආයුබොවන්ඩ.

මේ සිද්ධි පොජ්ජ මන්දු වෙනකොට අපි උන්නෙ උසස් පෙල පන්තියේ. දවසක් දා සුපුරුදු ලෙසටම හද්ද උදේ පාන්දරක මං ගිහින් කෙමිස්ට්‍රි කලාස් එකේ වාඩිගෙන ඉන්නවා. කරුමෙක මහත. මගේ අපාය සහයක මිත්‍රවරුන් එකෙක්වත් ළග පාත හත් ගව්වක දුරින්වත් පේන්ට නෑ. මාත් ඉතින්  තමා හිසට තම අතමය සෙවණැල්ල කියාලා ඔන්න පොතක් බලන්ට ගත්තා. හෝ හෝ මේ මොනවැයි මේ.. සංචාරකයෙක් මාර්ග අත් පොතක් බලන ගානට ඔන්න පොත බලාගෙන බලාගෙන යනවා.  හෑහ් බොලේ එකපාරටම කොහෙන්දෝ මගෙ කකුල ගාවට පැන්සලක් කඩාපාත් වුණා කියහල්ලකො. “කවුද අඩේ මට පැන්සලෙන් ගහන්නේ”හීන් සැරේ ඇහැ කරකවල බලද්දී තමා දැක්කෙ කොළුවෙක් පැන්සල දැන් අරගන්නෙ කොහොමදෑ කියල අසරණව බලාගෙන ඉන්න හැටි. මගෙත් ඉතින් හදවත උණුවෙල දියාරු වෙල ගියා. පව් අසරණයා. “අපි ඔක්කොම රජවරු… ඔක්කොම වැසියෝ… තුන් සිංහලයම නෑදෑයෝ…” කියල මාත් බිම හොත්තා වූ පැන්සල් කොටේ අරන් දුන්නා මිත්‍රවරුනි. හී හී…හැබැයි ඔන්න පැන්සල් අයිතිකාර පිංවතාගෙ මූණු පොඩිත්ත හරිහැටි බලාගන්ඩ ඇහැක් වුන්නෑනෙ අපෙ ආයුබොවන්ඩ.

ඔය සිද්ධිය වෙලා දවස් ගානක් ගියයි කියමුකෝ. දවසක් මායි මගෙ  අතිජාත මිත්‍රයයි ක්ලාස් ඉවර වෙල ජීවිතය ජය ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කරමින් බස් එකට නගින්ඩ පයින්ම ගාටනවා. අපේ කතාව ඉතින් උගන්නපුව පාඩම් කොරගන්න විදිහ. හම්මේ ඉතින්. පන්තියේදි සෑර්ගෙ මෝටිවේෂන් ප්‍රහාරවලට ලක් වෙල අපි දෙන්නා ඉතින් ෆුල් මොරාල් එකේ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද කියල අපිත් ඉතින් ගෙදර ගිහින් උපරිම වැඩ කරනවමයි කියල මානසික වෙල හිටියෙ.”ඔව්.  පාඩම් උන්නැත්තන් අද නම් පොත කනවා යකෝ”

ඔය යන අතරෙ මං තරම්වත් උස නැති මුණ පුරා සිංහරාජෙ වගේ රැවුල වැවිච්ච කෙසග කොලු ගැටයෙක් අපෙ ඉස්සරහට පැන්නයි කියමුකෝ. ක්ලාස් එකට පාර අහන මල්ලි බබෙක් වෙන්ටැති කියලා අපිත් ඔන්න කිමද කාරණා ලීලාවෙන්  බලාගෙන ඉන්නවා. “මේ මේ පොඩ්ඩක් ඉන්නවද? මට ඔයාට කියන්ට දෙයක් තියෙනවා. අනේ ප්ලීස් යන්ට නම් එපා. අහන්නකෝ” අම්මෝහ් මුන්දැ එන පොට හොද  නෑ. අපෙන් පාරක් අහන්ට නෙවේ අපිට පාරක් කියන්ට කතා කරනවද කොහෙදො. මායි යාළුවයි දැන් කකුල් දෙකට වැද නමස්කාර කොට දුවන්ට පාරවල් හොයනවා. තොල කටත් එක්කල වේලිල. අපි හරක් වගේ පාර පුරා දුවනවා. මූ කරත්තය සේ පස්සෙන් පන්නනවා. “අනේ ඉන්නකො ටිකක්. මං මේක ඔයාට කියන්නෙ කොහොමද කියල හිටියෙ. මං ඔක්කොම මේ ලියුමෙ ලිව්වා. මුකුත් කියන්න එපා. මේ ලියුම විතරක් ගන්න. ලියුම ඇරගෙන ඔයා බෑ කිව්වත් මට කමක් නෑ. ලියුම විතරක් ගන්න.” මොකාක්!! ලියුමකුත් ලියලලු. මාත් දැන් ඇස් දෙකත් ලොකු කොරාන පිස්සි වගේ බලාන ඉන්නවා. අනේ දෙයියනේ ලියුමක් ලිව්ව නම් පෝස්ට් ඔෆිස් එකට දෙන්න පුතාහ් … මට දීල හරියනවයෑ. “සොරි මට එපා”කටේ කෙළත් හිදිල තිබ්බට මොකෝ මටත් එකපාරට කියවුනා. කියපු ගමන් මායි යාළුවයි දුවනවා හෝ ගාලා. කරුමෙට බස් එකකුත් නෑ. මිස්ටර් අනංගයාත් දැන් එයාගෙ මල්සර හීයෙ ලියුමකුත් අමුණ ගෙන පස්සෙන් පියඹා ගෙන එනවා. අනේ ලියුම් එපා මට. ලියුමට මුද්දරයක් ගහලා තැපැල් කරනවකො අප්ප මට දෙන්ට එන්නේ. ඒ වෙලේ තමා මට මීටර් වුනේ මේ අර පැන්සල් අයිතිකරුවා නොවෙයිද කියල. අම්මෝ ඒ පැන්සලෙන් වෙන්ටැති ලියුමත් ලියන්ට ඇත්තෙ. දැන් නම් මට හීනියට දාඩියත් දාල. දුක යනු යාළුවා එක් බසයකත් මං වෙනත් බසයකත් යාමයි. නියමයි. මං දුවගෙන ඇවිත් බස් එකට නගින ටිකට අනංගයත් ඇවිල්ල බස් එකේ. අයියෝ කොහොම ගැලවෙන්ටද දැන්? තියරියට අනුවම අනංග‍යත් මට එහායින් ඇවිත් වාඩිගත්තා. “අනේ ලියුම ගන්නකෝ” මුන්දැ නිකං අඩනවත් වගේ. දෙයියනේ මොන වදයක්ද මේ.. මං දැන් ආපහු නැගිටින්ටත් බැලුවා. මොන… මූන්දැ නෙවෙ මට නැගිටල යන්ට දුන්නෙ. මූණත් ඇඹුල් කරන් රැව්වා රැවිල්ලක් දැවිල අළුවෙල යන්ඩ කියල හිතාගෙන. අනේ අපෙ අනංගයා සැලුන්නෑ මගෙ මිතුවරුනි. ඔන්න ඉතින් උන්දැ මං ගැන වරුණාව පටන් ගත්තා. ” මට ඔයාව දැක්ක ගමන් තේරුණා අහිංසක හොද වැදගත් ළමයෙක් කියලා.” හම්මේ මං අහිංසකයිලු. දුකේ බෑ..

අනංගයා මොනවදෝ කියවනවා. මං ජනේලෙ දිහා බලාගෙන ඉන්නවා. හරියට නිකං ජෝඩුවක් වලියක් දාගෙන වගේ. ඔය අස්සෙ කොරේ පිටට මරේ කියල හුලගෙ පාවෙලා ආව රොඩ්ඩක් ගිහින් මගෙ ඇහැට. මං අත් දෙකෙන්ම ඇහැ වහගත්තා. කදුලු වැටෙනව සට සට ගාල. ඕක දැක්ක අනංගයා බය වුණා නොවැ. උන්දැ හිතල මං වදේ ඉවසගන්ට බැරුව අඩනවය කියල. “අනේ සොරි සොරි අපෝ මං යනවා වදයක් වුණා නම් සොරි හොදේ”

මාත් ඉතින් ඇහැ පොඩි කර කර හොරා වගේ  බොරූවට බිම බලාගෙන ඉන්නවා. ඒ අස්සෙ හිනා යන්ටත් එනවා කියහල්ලකො. “ආන් අර කොල්ලා මොනාද කියල කෙල්ල අඩනවා” බස් එකේ මිනිස්සුන්ටත් අය ඉතින් මැජික් වගේ.  ඇයි ඔයැයිල දැකල නැද්ද කෙල්ලො අඩනවා. ඔය අස්සෙ මිස්ටර් අනංගයත් ශේප් එකේ ලිස්සලා ගියා නොවැ. පොරටත් ලැජ්ජා හිතෙන්ටැති. හූ…. හනේ ඉතින් ඒකත් හරි ආදරයක් තමා. අනේ හොදා.. මයෙ අහිංසක හිතට ඔය ඉලව් ලව් දරාගන්ඩ පුළුවනෑ ඉතිම්. හුම්…

කියවූ ඔබ සැමට ස්තූතියි.
මෙය මගේ කතාවකැයි සිතා කියැවූ මාගේ අපාය සහයක මිත්‍රවරුන් සිටිත් නම් ඔබට මාගේ සාතිශය සංවේගය…!!!

චතුරිකා අබේසේකර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!