මිටි ගැහැණිය (හොල්මන් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මගේ අත්දැකීමක් නොව මගේ පියාගේ අත්දැකීමකි.
ස්වභාවයෙන් මගේ පියා තරමක රළු ගති පැවතුම් ඇත්තෙකි. ස්වශක්තිය සහ ආත්මවිශ්වාසය ගුරු කොට ගෙන දිවි ගෙවයි. ග්රහදෝෂ, මිථ්යාදෘෂ්ටික ඇදහිලි, දේව විශ්වාස බැහැර කරයි. හොල්මන් කිසිසේත් විශ්වාස කරන්නේ නැත.
හැකි සෑම විටකම ආත්මවිශ්වාසය සහ ස්වශක්තිය මුල්කොට ගෙන දිවි ගෙවන ආකාරය අප හට පුරුදුකරවයි.
අදින් දශක තුනකට පමණ පෙර, එනම් 1990 දී පමණ අප ජීවත් වූයේ ගල්ගමුව ප්රදේශයේ මීගලෑව නමැති ගමේය.. උපන් ගම් ගම්පහ පලාත වුවත් මවගේ සහ පියාගේ රැකියා ස්ථානමාරු හේතුවෙන් එම කාල වකවානුවෙදී අප මීගලෑවෙහි ජීවත් විය. අති දුෂ්කර දිවිපෙවෙතකි.
රැකියා අවශ්යතාවය මත වසර 4ක පමණ කාලයක් නිවසක් කුලියට ගෙන වාසය කරන්නට සිදුවිය.
එම නිවස තරමක අද්භූත ස්ථානයකි. මවට සහ පියාට මෙන්ම අප හා සමඟ ජීවත් වූ මිත්තණියටද නොයෙක් අපල උපද්රවයන් වලට මුහුණ පෑමට සිදු විය. යතුරු පැදි අනතුරු, අත්පා බිඳවැටීම් වැනි නොයෙක් ආකාරයේ උපද්රවවලට පවුලේ සාමාජිකයන් හට මුහුණපෑමට සිදුවින..
කෙසේ හෝ වසර 4ක පමණ කාලයක් එම නිවසේ වාසය කොට.. මාපියන් ගේ ගම් ප්රදේශයට ස්ථානමාරු ලබාගෙන එන්නට සූදානම් වී ඇත..
අප පවුලේ අයද, නිවසේ බඩුබාහිරාදියද සියල්ල පිටත් කොට නිවස හිමි අයට යතුර භාරදීම සඳහා මාගේ පියාට එක් දිනක් තනිව එම නිවසේ රාත්රිය ගත කිරීමට සිදු විය.
එදින ඔහු ලද අත්දැකීම මෙසේය.
එම නිවස නිදන කාමර දෙකකින් සහ සාලයකින් සමන්විත විය. එය අති විශාල සාලයකි. පාරට යාබදව පිහිටා ඇති බැවින් කඩ කාමරයක් ලෙසට භාවිතා කිරීමේ අරමුණින් සාදන ලද්දක් විය හැක.
පසු දින නිවසේ යතුර භාර දී ගම්රට බලා පැමිණීමට අවශ්ය බැවින් මාගේ පියා රෑ වීමට ප්රථම නින්දට යෑමට තීරණය කලේය.
විදුලිබලය නොමැති එම කාලයේ කුප්පි ලාම්පු එලිය පමණක් භාවිතා විය. නිවසේ දොර සහ ජනෙල් පියන් වසා දමා කාමරයේ එලාගත් පැදුරෙහි ඇලවී මදවේලාවක් ගතවී ගත වූ පසුව…
වසා දැමූ නිවස තුල කවුරුන් හෝ පියනගන ශබ්දයක් කඩින් කඩ ඇසෙන්නට වී ඇත. සුරතල් සතෙකු හෝ එම නිවසේ නැත. පියා තම පැදුරෙහි
උඩුබැලි අතට හැරී ඇත්තේ එම ශබ්දයට තවත් හොඳින් සවන්දීමටය. කාමරයේ කොට බිත්ති හතරම පෙනෙන බැවින් කුප්පිලාම්පුවේ මද එලිය එම බිත්ති හතරට වැටී ඇත.. පියවර හඬත් සමඟම බිත්තියේ ලාම්පු එලි සෙවනැලිද අසාමාන්ය අයුරින් ඒ මේ අත සෙලවේ..
හාත්පස සියල්ල අඳුරේය. ඉන්පසුව දුටු දර්ශනය මගේ පියා එක්වරම විශ්වාස කොට නැත.
කොණ්ඩය හිස දෙපසට කඩාගත් මිටි ගැහැණියක් කාමරයේ බිත්තිය උඩ ඇවිදිමින් සිටියි. උස් වහලය සහ සිවිලිම සඳහා ඉඩ ඉතිරි කර බැඳ ඇති බිත්ති කොටස අතර ඉඩෙහි එම ගැහැණිය ඇවිදිමින් සිට එක් වනම නැවතී මහ හඬින් සිනාසෙන්නට පටන්ගෙන ඇත.
දැඩි සිතක් තිබූ මගේ පියා එම අවස්ථාවේ දී ජීවිතයේ ප්රථම වතාවට බෙහෙවින්ම තැතිගෙන ඇත.
වියරුවෙන් විකෘති ශබ්දයෙන් නැඟි සිනහව නැවතූ කාන්තාව බිත්තිය මත වාඩිවී, කකුල් දෙපසට දමා පද්දමින්.. එක එල්ලයේ පියා දෙස බලා “ආහ්.. තොපි හෙට යන්ට නේද හදන්නෙ” කියමින් නොපෙනී ගොස් අතුරුදන් වී ඇත. අදටද එම සිදුවීම මතක් කරන විට පියාගේ දැත් වල රෝම ඉලිප්පෙන අයුරු අප දැක ඇත. නමුත් අදටත් මගේ පියා හොල්මන් විශ්වාස නොකරයි.
පසුකාලයකදී දැනගත් පරිදි එම නිවස ගොඩනඟා ඇත්තේ දේවාල භූමියකය. ඉන් පෙර ද එම නිවසේ ජීවත් වූ පවුල් වල අයටද නොයෙක් ආකාරයේ ගැහැට විඳීමට සිදුව ඇත.
උපුටා ගැනීම:  Buddhika Thihawa

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!