මෝහිනී… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මම අටම්පහියට ලියන පළවෙනි කතාව.මේකෙ ඉන්න උන්ට වෙලා තියෙන ඇබැද්දි වල හැටියට මට වුන දේවල් මොනවද කියල හිතල ඔන්න ඔහෙ ලියල දානව කියල හිතුව…
අනිත් එක මේක මටම උන දෙයක් නෙවි ඒ ඇබැද්දිය උනෙ අපේ හස්බන්ඩට. උන්දැ මේකෙ නැති නිසා හිතේ බයක් සැකක් නැතුව ලියන්නත් පුලුවන්නේ
මුලින්ම අපි එයාගෙ නම සිරිමල් කියල හිතමු.. ඔය සිරිමල් ඉන්නව නේද එයා අඩි හයයි අගල් හතරක් උස මුලු රටම දන්නා හදුනන අභීත රණවිරුවෙක්.
ඉතින් අපි බැදපු අලුත නිකන් බීච් එක පැත්තෙ රවුමක් දාල ගෙදර එන ගමන් සිරිමල් ඇහුව අපි නැන්දලගෙ ගෙවල් පැත්තටත් ගිහින් එමුද කියල. කරන්නත් මහලොකු වැඩක් නැති එකේ මාත් කිව්ව එහෙනම් යමු කියල. අපරාදෙ කියන්න බෑ ඒ වෙනකොටත් වෙලාව රෑ දහයත් පහුවෙලා. අපි එහේට යනකොට ඒ මිනිස්සු කාල බීල නිදියන්න හදනව. අපි දැකපු ගමන් නිකන් පිස්සන් කොටුවට ග්රෙනේඩ් එකක් ගැහුව වගේ වුනා. නැන්දල හිතුවෙ අපි වෙඩින් විසිට් ඇවිත් කියල. නැන්ද නයිටියට උඩින් දාන්න හවුස්කෝට් එකක් හොයනව, අන්තිමට කොහොමහරි නිදාගෙන හිටපු උනුත් කබ කඩ කඩ නැගිටල ආවෙ අපේ මවු ගුණ සිහිකර කර වෙන්න ඇති. මම එවෙලෙ හිතාගත්ත යන ගමන් ෆාමසියක් ඇරල තිබුනොත් අම්මට පෙරිටන් පෙත්තකුත් අරන් යනව කියල. කොහොමින් කොහොම හරි දොරවල් අස්සෙ ඉදන් කරපු සතරකන් මන්ත්රන ගනනාවකින් පස්සෙ අපිට තේ පැන් සංග්රහයක් වගේම එලියට බහිද්දි මොකක්දෝ පාර්සලේකුත් බලෙන්ම දුන්නෙ අපි ආපු එකට හරිම සතුටුයි කියන ගමන්. ඒ සතුටනම් අපරාදෙ කියන්න බෑ මූනෙනුත් පෙනුන.
දැන් ඉතින් මට කුතුහලේ අරක ඇතුලෙ තියෙන්නෙ මොනවද බලන්න. ඉතින් මම මෝටසයිකලේ එන ගමන්ම හදුනාගැනීමේ කර්තව්යය පටන්ගත්ත. ඇනල බැලුවම එබුනට එක පැත්තක් හයියයි. පිටිමුට්ටෙ වගේ පිටිපස්සෙ ඉදන් දගලල බයිසිකලේ පෙල්ලන්නෙ නැතුව ඉන්න කියල සිරිමල් විසින් කරන ලද කාරුණික ඉල්ලීමට කන්දීල මම මගේ විමර්ශනය තාවකාලිකව නැවැත්තුව .
ගෙදර ආපු ගමන් කලෙ අරක කඩල බලපු එක. මට සාරියකුත් එක්ක සිරිමල්ටත් ෆර්ෆියුම් බෝතලයක් තිබුන. ෆර්ෆියුම් එකෙන් ටිකක් අඩු වෙලා වගේ තිබුනට සාරියනම් අලුත්.
දැන් මට ඕක අල්ලපු ගෙදර ඉන්න අපේ අම්මට, අක්කට , නෑනට පෙන්නනකන් ඉවසිල්ලක් නෑ. හෙට එලිවෙනකන් ඉන්න කියල සිරිමල් කිව්වට පෙන්නපු ගමන් සුටුස් ගාල එන්නම් කියල මම පිටිපස්සෙ දොරෙන් බැහැල ගියා. සිරිමල් මොනවදෝ කුටු කුටු ගගා දොර වහන සද්දෙත් ඇහුන. සුටුස් ගාල එන්න ගියාට මොකද අක්කල නෑනල එකතුවෙලා සාරියේ නූලක් නූලක් ගානෙ බලල නැන්ද මාමත් එක්ක පැනල යනකොටත් ඇදන් ගියෙ මේවගේම සාරියක් කියල අම්ම කියල ඉවර වෙනකොට රෑ දොලහත් පහුවෙලා. ඉතින් මම සාරියත් අකුලගෙන නැන්දගෙ පරණ සාරියක් මට දුන්නාදෝ කියන සාදාරණ සැකේකුත් එක්ක ගෙදරට සේන්දු වෙනකොට අපේ මිනිහ දොර ලොක් කරල මදිවට පිටිපස්සෙ ලයිට් එකත් ඕෆ් කරල සින්දුවකුත් කියකිය බාත් රූම් එකේ නානව.
ආයිත් දොරට ගහල කතාකරොත් කර කර හිටිය වැඩෙත් නවත්තල ඔය මනුස්සය එන්නෙ මහසෝන වැහිල නිසා මම මගේ ගණ දෙවි නුවන මෙහෙයවල නාල කියල ඇවිත් දොර අරිනකන් සද්ද බද්ද නැතුව දොර ලගට වෙලා ඉන්න තීරනේ කලා.
ඉන්නව කියල හිතුවට කලුවරේ ඉන්න බැරි නිසා ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරගත්ත. ඔය ඔක්කොම උස්සගෙන මදුරුවොත් තලන්න අමාරු නිසා මම බඩුටික පහසු ආකාරයට ස්තානගත කරගත්ත. දැන් හරියට පරාක්රමබාහු රජ්ජුරුවො අර පැපොල් කෑල්ල අල්ලන් ඉන්නව වගේ සාරිය අල්ලගෙන ලේසියට ෆෝන් එකත් ඒක උඩින්ම තියාගත්ත. ෆෝන් එකේ ලයිට් එක මගේ මූනට වැටිල අමුතුම මෙව්ව එකක් තියෙන්න ඇති .
දැන් මට ඇහෙනව සිරිමල් බාත් රූම් එකේ දොර ඇරන් එලියට එනව. අර සිංදුවේ අන්තිම ටිකත් කිය කිය පිටිපස්සෙ දොර පැත්තට එනව ඇහුන නිසා මම ඉතින් අමුතුවෙන් කතාකරන්න හිතුවෙනෑ. කොහොමත් දොර පැත්තටනේ එන්නෙ .මොකද අපි වචනෙකින්වත් සුවාමිපුරුශයින්ට කරදර නොකරන භාරියාවො නිසා සද්ද නැතුව හිටිය. දැන් සිරිමල් අර සිංදුවත් කිය කිය ඇවිත් දොර මදක් විවර කලා. මමත් ඉතින් සුන්දර භාර්යාවක් වගේ මද සිනහවක් පෑව. එක පාරටම බුදු අම්මෝ කියල දඩබඩාන් ගාල සද්දෙකුත් එක්ක කුනුහරුප වරුසාවකුත් ඇහුන. අනේ බැලින්නම් අර සද්දන්ත පුරුශය කපාහෙලූ කෙසෙල ගහක් වගේ එතන බිම පතිතවෙලා. ඇදන් හිටිය තුවායත් ගැලවිල…
බලන්නකෝ අනේ..අච්චර සුන්දරව මද සිනහ පපා හිටිය මට මේ මිනිහ බයවෙලානෙ මෝහිනී කියල..
කවුරුත් සිරිමල්ව දන්නෙ නැති නිසා හොදයි. අදුනගත්ත කෙනෙක් හිටියොත් හොද හිතින් කට වහගෙන ඉදපල්ල..
උපුටා ගැනීම: Yashoda Mandodari

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!