කතාවෙ හෙඩිම මේම දාන්නෙ ඇත්තටම ඒ ටයිප් බුෆේ අයිටම් එකකට කියන නම දැන් මතක නැති නිසා. මේක ඇවිල්ල චාරිකාවක වෙච්ච සීන් එකක්. අපි ඒ අවුරුද්දෙ තෝරගත්තෙ ටිකක් දුර හොටෙල් එකක්. ගමන් කාලය ටිකක් වැඩී. හොටෙල් එකට යද්දි රෑ 11 විතර වෙලා. මගදිම හොටෙල් එකට කෝල් කරල අපි එනකල් බුෆේ එක වහන්නෙපා රත්තරනේ කියල තමා ආවෙ. ගමං මහන්සියටයි මග දිගට බීපු එකටයි නිකං බාගෙට මැරිල වගේ සෙට් එක හොටෙල් එකට යද්දි. ඊටත් වඩා බඩගින්න. ගිහිල්ල බෑග් රූම් වල තියල කෙලින්ම දිව්වෙ බුෆේ එකට. අපි තමා ඩිනර් එකට හිටපු අන්තිම සෙට් එක. රෑ 11 ට මොන ඩිනර්ද, ගියපු ගමන් සෙට් එකම යුද්දෙට යන්න වගේ බඩගිනි මරු විකාරෙ පිගං නිකං පලිහවල් වගේ අල්ලගෙන, හැඳි ගෑරුප්පු කඩු හෙල්ල වගේ අල්ලගෙන දත්මිටි කාගෙන කන්න බෙදාගන්න පෝලිමේ බලාගෙන ඉන්නව. අපේ එවුං කෑම දිහා බලං ඉන්නෙ නිකං රෝස්ට් කරපු කිකිළියෙක් බාර් ඩාන්ස් එකක් දාන දිහා බලං ඉන්න නරි සෙට් එකක් වගේ. කටවල් වලිං දියලුම ඇලි වැටෙන්නහේ කෙල බේරෙනව. ඒතරමට සාගතේක ආව වගේ. බුෆේ එකේ මුලිංම තිබ්බෙ පාට පාට අයිටම් වෙන වෙනම ලස්සනට කෑලි කපල මස් ජාති, කොල ජාති වගේ දේවල්. ලස්සන වගේම රසත් ඇතිය කියල ඒවම බෙදාගත්ත සකන්ඩ් රවුන්ඩ් එකේ අනිත් කෑම වලට වගකියන්න හිතාගෙන. මොනව උනත් ඩීසන් විදියට පිලිවෙලට එකා එකා තිබ්බ ඔක්කොම ජාති මොනවද කියලවත් නොබල හිමාල කඳු අනුරූ වගේ පිඟං වලට ටිපර් කරගෙන ටේබල් වලට ආව. කලබල අස්සෙ එකෙක් කෑම එකක නම ගහල තිබ්බ නේම් බෝඩ් එකත් බෙදං ඇවිල්ල. බුෆේ එකට අනිත්පැත්තෙ කෝකියො සෙට් එක කොර වෙලා බලාගෙන සීන් එක දිහා. අපි ඇවිල්ල වාඩිවෙලා කන්න පටංගත්ත.
සවල් පාරක් ආමාශගත වෙද්දි එක එකාගෙ මූනු ටික ටික අමුතු වෙනව. ඒත් එකෙක්වත් ඒක පෙන්නන්න කැමති නෑ. කෑම අස්සෙන් මූනු පේන්නෙ නිකං අප්පිරියාවෙ කනව වගේ. මමත් කටක් කාල බැලුව. හුටා යකෝ මේව අමුයි නේද. අමුද නැත්තං කෑමවල හැටිද. නොදන්න රෙද්ද ලස්සන නිසා බෙදං ඇවිල්ල නෝන්ඩි වෙන්න බෑනෙ කියල සේප් එකේ මම දෙපැත්ත බැලුව. දෙපැත්තෙ එවුං කනව නිකං එළුවො කොස් කොල කන්න වගෙ. උංට බඩගින්න දරාගන්නම බැරුව. අමුයි කියල නෑ ගෝත්රිකාකාරව කනව. මම හිමීට එකෙක්ට ලං කරල ඇහුව ඒ බං මේව අමුයිවගේ නේහ් කියල. ඌ කියනව කාපු පලවෙනි කටෙන්ම මට ඒක තේරුනා යකෝ. කරකියාගන්න දෙයක් නැතුව මේ කන්නෙ කියල. පේන විදියට බඩගින්න වැඩිකමට හදිසියෙ බෙදං ඇවිල්ල සෙට් එකම අමුවෙන් කන සීන් එකක් තියෙන්නෙ. හැම එකාම අමුයි කියල දැන දැනත් කියන්න ලැජ්ජාවෙ හපන්නෙත් නැතුව ගිලිනව. ඊටපස්සෙ තමා තේරුනේ බුෆේ එකට අනිප්පැත්තෙ හිටපු කුක්ල කොරවෙලා බලං හිටියෙ ඇයි කියල. මේක ඇවිල්ල අපිට කැමති අයිටම් බෙදාගෙන ඇව්ල්ල කුකාලට කියල කොත්තුව වගේ හදාගන්න ඕන. බඩගින්න වැඩිකමට අපි එකෙක්වත් උං ලඟට නොගිහිං වාඩිවෙලා පිළිවෙලට අමුවෙං කනව දැකල උංටික බලාගෙන ඉන්නව ඇසුත් ලොකු කරං. අපි පරිනාමයෙ මුල් අවධියෙ කියල උංට හිතෙන්න ඇති. අමුවෙං කාල බඩත් කොරවෙලා වගේ. කටවල් දෙකට වඩා කන්නත් බෑ. මම හරිම අසරණ මූනක් හදාගෙන ලැජ්ජාව ගුලි කරල සයිඩ් ප්ලේට් එකක් උඩ තියල කෝප්පෙකින් වහල අනිත් සෙට් එක එක්ක ඉතුරු අමු කෑම ටික අරං කුක් කෙනෙක් ලඟට ගියා. ලාවට කට කොනකිං හිනාවෙලා ඇස් හීං කරං ප්ලේට් එක ඌට දික්කලාම ඌ අහනව සර් කොහොමද කෑම රසයිද කියල. වලක් කපං වැලලෙන්න තරං ලැජ්ජයි ඌ අහපු විදියට. නෝන්ඩී කියල පෙන්නන්නෙ නැතුව මමත් කිව්ව කෑමනං රසයි ටිකක් තැම්බිලා මදි වගේ, අනික කෑම සීතල වෙලා. ඒකයි මේ ඔයා ලඟට ආවෙ රත්කරගන්න කියල. හා දෙන්න සර් කියල ඉතුරු අමු කෑම ටික අරං මෑන්ස් කොත්තුව හදල දැං කාල බලන්න කියල අතට දුන්න. සෙට් එක බෙදාගත්ත පිලිවෙලටම කුක්ල ලඟට ගිහිල්ල හදාගත්ත. හදං ඇවිල්ල මුකුත් උනේ නැති ගානට කෑව. අපේ වාසනාවට අපි රෑවෙලා හොටෙල් එකට ගියේ. අපි විතරයි ඩිනර් එකට ඒ වෙලාවෙ හිටියෙත්. ගෙස්ට්ල ඉන්න වෙලාවක මේක උනානං ජාත්‍යන්තරය ඉදිරියේ සෙට් එකම පදිරි වෙන ආකාරය බලාගන්න තිබ්බ. ඇත්තටම දන්නෙ නැති කමටයි, නොදන්න කම පෙන්නන්න ලැජ්ජකමටයි තමා අමුවෙං කෑවෙ. ඒම කන එකත් ඇඟට ගුනයි කියල බෙදාගත්ත එක අමුවෙං බාගයක් විතර ගිලපු අපේ එකෙක් කාල යනගමං කිව්ව. හැබැයි රූම් එකට ගිහිල්ල එලිවෙනකල් ඌ කොමඩ් එක උඩ ඒ කෑම වල ගුන වැමෑරුව. සාමූහුකව අපි අපි අතරේම කිච උනා එදා.
එදායිං පස්සෙ නිවුස් වලට මොංගෝලියාව කියල කිව්වත් බඩ පෙල්ලවනව. ඒතරමට නෝන්ඩි උනා එදා අමුවෙං කාල. ඔයාලත් අමුවෙං කාල බලන්න. ඇඟට ගුනයි සිරාවටම.
උපුටා ගැනීම: Kasun Gimhana