ස් ඉස්සෙල්ලාම මොන්ටිසෝරියට, ඉස්කෝලෙට ගිය දවසෙ මතක අපි හැමෝටම විශේෂයි නේද. එදා හිතුනු දේවල්, වෙච්චි දේවල් මතක අය ඉන්නවද?
මොන්ට්සෝරි ගියපු කාලෙ, මගෙ ජීවිතේ මහ අමුතු කාලයක්. (අනික් කාලවල් අමුතු නැතුවා කියනවා නෙවෙයි. මම හිතන්නෙ මේ කාලෙ ඉඳල තමා සේරම අමුතු වෙන්න පටන්ගත්තෙ.)
මට හොඳට මතකයි මොන්ටිසෝරි ගියපු පළවෙනි දවස. සුදුපාට අත් කොට ශර්ට් එකයි, රතු පාට කොට කලිසමයි, රතුපාට බෝ එකයි.ආ තව රතුයි සුදුයි ඉරි ඉරි මේස් දෙකයි. මම ඕක ඇඳගෙන කන්නාඩිය ඉස්සරහට ගිහින් මහ ගොඩක් ඇඬුවා,
“අම්මේ මම නිකම් පන්සලේ පෙන්නපු නාට්ටියෙ හිටිය නන්නානේ වගේ (බහුබූතයා)..l මට වෙන එකක් ඇඳන් යන්න ඕනේ” කියලා.. හත් ඉලව්වෙ සිරාවටම අර කිව්වත් වගේ තව ඉරි ඉරි උල් තොප්පියක් දාලා, නහය රතුපාට කරානම් මට පාර අයිනෙ ඉඳලා නටලා කීයක් හරි හොයාගන්න තිබුනා! ඒ උනාට මම කොච්චර ඇඬුවත් අම්මගෙ හිත වෙනස් කොරගන්න බැරිඋනා ඉතින්. ඒපාර කරබාගෙන අන්දපු විකට ඇඳුමත් ඇඳගෙන මම එළියට ආවා. දැන් ඉතින් තාත්තත් එක්ක මෝටර් සයිකලේ නේ යන්න වෙන්නේ. අම්මා ඒ අස්සෙ රතුපාට ජැකට් එකකුත් ගෙනල්ල, මට දාගෙන යන්න. යකූ ඒක දාගත්තට පස්සෙ මම නිකම් අර කැලේ ඉන්න ආච්චිට කෑම අරන් ගියපු පුංචි රතු හැට්ටකාරි වගේ!
එන්න එන්නම තත්වෙ අවුල් යනවා.මට දැන් ගෙදරින් එළියට බහින්න මොකද්ද මොකද්ද වගේ.. ගමේ යාළුවො සෙට් එක දැක්කෝත් එහෙම! ආයෙ සෙල්ලම් කරන්නවත් එන එකක් නෑ! අනික එතන ඉන්න අනික් අය වෙන ඇඳුම්නම් ඇඳන් ඉන්නෙ, මම විතරක් උනොත් එහෙම මේ බහුබූතෙ ඇඳන් ඉන්නෙ! අපේ අම්මලට වැරදිලා නම් එහෙම? දැන්නම් යන්න බෑ කියලමයි හිතෙන්නෙ.
“අම්මේ,මම ගිහින් එනකල් අම්මා විතරනේ තනියම ගෙදර!! අම්මා පව්නේ. ඔන්න ඔහෙ මට මොන්ටසොරි යන්න ඕනෙ නෑ.මම ඉන්නම්ද?” මම එකනම් ඇහුවෙ ඇත්තටම අම්මා ගැන ඇතිවෙච්චි අණුකම්පාවක් හින්දමයි.
“අනේ.. චූටි පුතා මගෙ ගැන කරදර වෙන්න ඕනෙ නෑ.ඔයා මොන්ටිසෝරි ගිහින් ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙන්නකො ඈ..!!”
“අම්මෙ මට… මොන්ටසෝරි යන්නෙ නැතුවත් ලොකු වෙන්න පුලුවන්න්!! ඇත්තමයි!!”
“මේහ්, තාත්තට කියන්නද?” අම්මට තේරුණා මම වැඩේ අලකරන්න යන්නෙ කියලා.
“හරි හරි යන්නම්කො ඉතින්.මොකෝ අර ටයිගරයා ලොකු උනේ..ඌ මොන්ටසොරි ගියාවැයි.කිව්වට අහන්නෙ නෑනෙ.” මට මතක් උනේ අපේ ගෙදර උන්නු බලුගෙඩියව.
කොහොමින් කොහොම හරි, දෙපාරක් විතර ලැට් එකටත් ගිහින්, මහරින්න පුලුවන් තරම් ට්රයිකරලා, බැරිම තැන මම එළියට ආවා.
මල හත් ඉලව්වට බල්ලො පැනපි කිව්වලු.මෙන්න එළියෙ පෝළිමට ඉන්නවා මහගෙදර ආච්චී, සීයයි, බාප්පයි, නැන්දයි, ගොළු ආතයි, තව ගමේ දන්න දන්න සැට් එකකුයි! කට්ටිය පෝළිමට, තාත්තගෙ බයිසිකලේ ලඟට යනකල් හිටගෙන ඉන්නව.මට දැන් වස ලැජ්ජයි. සුවර් කට්ටියටම ඇහෙන්න ඇති මම යන්න බෑ කියල අඬනවා! ඒපාර මම ටක්ගාලා තාත්තා ගෙනත්දීලා තිවුනු පොඩි හෙල්මට් එක දාගත්තා ඔළුවට!හා! දැන් පොඩ්ඩක් සේප්!
“ශා බලන්නකො චූටිගෙ ලස්සන!” “දැන් ඉතින් චූටි රාළාමි ලොකුයි නේහ්?” “ගජ ඉළන්දාරියෙක් නොවැදැන්!” “චූටි පුතේ පරිස්සමින් ගිහින් හොඳ ළමයෙක් වගේ ඉඳලා එන්න ඕනේ!”
කට්ටිය හෝගාලා මට සුබපතනවා.. මම ඉතින් තාත්තගෙ අතින් අල්ලගෙන බයිසිකලේ ගාවට ගියා සෙනග මැද්දෙන්. මට මතක් උනේ නීල් ආම්ස්ට්රෝන් හඳට යන්න රොකට් එකට නගින්න යන ජවනිකාව.. බයිසිකලේ තමා රොකට් එක. මම තමා ආම්ස්ට්රෝන්! ඒපාර ඉතින් කොහෙවත් නැති ධෛර්යක් හිතට අරන් මම බයිසිකලේ ගාවට ඇවිදගෙන ගියා තාත්තගෙ අතත් අතෑරලා! හෙන උජාරුවෙන්, වටේ හිටපු අයට අත වන වන! එක කෝලමයි.
“මයෙ පුතා අද ඉඳලා හොඳට ඉගනගෙන කවද හරි තාත්තා වගේ ඉන්ජිනේරු මහත්තයෙක් වෙන්නෝනෙ..” කව්ද කියනව ඇහුනා, හෙල්මට් එක නිසා හරියට පේන්නෙ නෑනෙ. ආ! ආච්චි අම්මනේ!
“අනේ බෑ ආච්චි අම්මෙ, මට සත්ව විඥ්ඥාඥියෙක් (සත්ව විද්යාඥයෙක්/සූලොජිස්ට්) වෙන්නනෙ ඕනෙ!” චූටිකාලෙ ඉඳලා සත්තු ගැන ඉගෙනගන්න මට පුදුම ආසාවක් තිබුනෙ, ඉතින් අම්මයි තාත්තයි මට ගෙනත්දුන්නෙ සත්තු ගැන තියෙන ලොකු පොත්. මම ඉතින් සත්තු හොයන්න යාළුවො සැට් එකත් එක්ක වත්තෙ ඇවිදින්න යනවට එහෙම ආච්චි අම්මා කොහෙත්ම කැමති උනේ නෑ. “ඔය ඔය.. මදුරුවො කවා ගන්න යනවා!” ආච්චි අම්මගෙ හිතේ මම මදුරුවො බලහත්කාරෙන් ඇඟේ තියාගන්නව කියල කන්න! කොච්චර එහෙම නෑ කිව්වත් අහන්නෙ නෑනෙ!
ඔන්න දැන් ඉතින් අපි මෝටර්බයිසිකලේ නැගලා යනවා.ගමේ ඉඳලා ප්රධාන පාරට ටිකක් දුරයිනේ. ඒකාලෙ ඉතින් වල ගොඩැලි තිබ පස් පාරක් ඒක.ප්රධාන පාර පේන්න ඔන්න මෙන්න තියෙද්දි මට යන්න බෑම කියලා හෙන කුජීත පීලිං එකක් ආවා! ප්රධාන පාරට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි පත වලක් තියෙනවා.ඔතන තාත්තා පොඩ්ඩක් ස්ලෝ කරා.
“තාත්තෙ තාත්තෙ, මගෙ සපත්තුවෙ ලේස් එක ලෙහිලා.. ඉන්නකො ගැටගහගන්නකල්” කියලා මම තාත්තා නැවැත්තුවට පස්සෙ එහෙම්ම බයිසිකලෙන් පැන්නා.
“තාත්තෙ ඇත්තමයි කියන්නෙ! මොකක් හරි හෙන නපුරු දෙයක් වෙන්න යනවා! මට යන්න බැරියෝ!!” කියාගෙන මම පස්ස බලන්නෙ නැතුව දුවන්න ගත්තා අපේ ගම පැත්තට. විනාඩි දෙකයි මට දුවන්න පුළුවන් උනේ අර හෙල්මට් කබලයි, ජැකට් මගුලයි එක්ක. එව්වා නැති උනානම්, තාත්තා ඉතින් මාව කොහෙ අල්ලගන්නද, හැරෙන්න වත් බෑ! වෙරලු ගහ වංගුවෙන් කැලේට පැනගත්තානම් ආයෙ ඇල්ලිලි බොරු.ඒක තමා මගෙ එකම උවමනාව උනේ.කොහෙද ඉතින්,තාත්තා බයිසිකලෙන්ම ඇවිත් මාව අල්ලගත්තා කියන්ඩකො!
“දැන් එතකොට යන්න බැරිද?” තාත්තා ඇහුවෙ මගෙ බෙල්ල මුලින්ම අල්ලගෙන.
“බෑ!!” මම නහයෙන් පිඹ පිඹ උත්තර දුන්නෙ නිකම් නයි පැටියෙක් වගේ.
“ හා එහෙනම් යමංකො.විලියොං අය්යගෙ කරත්තෙට බඳින්න හරකෙක් අඩුයි කිව්වා.අද ඉඳලා කරත්තෙ අදින්න පුළුවන් නේද?” තාත්තා බයිසිකලේ නවත්තලා මගෙන් අහනවා. මට මතක් උනා විලියොං අය්යව. උකුස්සෙක්ගෙ වගේ වක් වෙච්චි නහයයි, පොර කරත්තෙ පටවන් අදින පොල් ලෙලි වගේ ඇවිස්සිච්චි සුදුපාට කොන්ඩෙයි, නිතර දෙවේලෙ අඳින කලුපාට සරමයි, කරේ දාන් ඉන්න නිල්පාට අමුඩ ලේන්සුවයි. රාස්සයෙක්ගෙ වගේ ඇස් දෙකයි.මකරෙක් වගේ දුම් පිටවෙන කටයි!! හම්බෝව්!! මට මැවිලා පෙනුනා පත පොල් ගොඩක් පිරිච්චි තඩි කරත්තයක් ඇදගෙන යන්න දත කාගෙන මම ට්රයි කරනවා.විලියොං අය්යා කරත්තෙ උඩට නැගගෙන අලි කසයකින් ගගහා
“බුහහහහහහහහා!!” ගාලා යකෙක් වගේ හිනාවෙනවා!! මට හීන්දාඩිය දැම්මා.
“කමක් නෑ.විලියොං අය්යා හරකෙක් හොයාගන්නකල් මම මොන්ටසෝරි යන්නම්කො”
මම හෙමීට මුමුණ මුමුණ බයිසිකලේට නැග්ගා..
කොහොමිං කොහොමහරි අපි මොන්ටිසෝරියට ගියා.මම ඉතින් අර හඳට බැහැපු ආම්ස්ට්රෝන් වගේ බයිසිකලෙන් බැහැලා ඉනට අත්දෙක තියාගෙන වටේටම බැළුවා.කටු කම්බි වැටකුයි, පරන පාට හත්රැස් ගේට්ටුවකුයි එක්ක, බොරලු පිරිච්චි මිදුලක් පේන්න තිබුනා. ඊටපස්සෙ හෙල්මට් එක ගැලෙව්වාම තමා දැක්කෙ ඒ මිදුල කෙලවරේ අන්දකාර ගුහාවක් වගේ පේන්න තිබ්බ මොන්ටිසෝරි ගොඩනැගිල්ල. ඒකට පිටිපස්සෙන් තිව්න ගස් ගොඩැල්ල නිසාද මන්දා එතන හරිම අඳුරු, හොල්මන් පාටක් මටනම් පෙනුනෙ. මම හෙමීට තාත්තා දිහා බලලා බොහොම අසරණ විදියට “තාත්තේ..” කිව්වා විතරයි.තාත්තා රවල මගෙ දිහා බැළුවා! හම්බෝ ඒ ඇති ඉතින්!! ලොවෙත් ගැලවීමක් නෑ.
ඔය අව් අස්සෙ, සුදු මිටි ටීචර් කෙනෙක් ආවා ගේට්ටුව ගාවට මාව එක්කරන් යන්න. මට එයාව දැක්ක ගමන් මතක් උනේ හා හා හරිහාවාව! එයාට ඒ වගේම ලස්සන සුදුපාට, ඉස්සරහට ආව දත් දෙකක් තිව්නා. මට ගත් කටටම අහන්න හිතුනෙ,
“ටීච, හා හා හරිහාව ඔයාගෙ කවුරුහරිද?” කියලා.පස්සෙ මට මතක් උනා අපේ අම්මා මට එහෙම දකින දකින අයගෙන් හිතට එන පළියට එක එක ඒවා අහන්න එපා කියලා කියනවා.ඒක නම් උනේ මගෙ වරදින්.දවසක් අම්මයි මමයි බස් එකේ යද්දි අපි ගාවින් වාඩි උනා තොප්පියක් දාගත්ත, බස්තමක් අරගත්ත පොරක්. මිනිහගෙ මූණෙ දුඹුරුපාට වෙච්චි රැවුල ලස්සනට දෙපැත්තට පීරලා තිව්නෙ.මට දැක්ක ගමන් මතක් උනා චරිතයක්! ඒ මනුස්සය ටිකට් ගන්නකොට කටහඬ ඇහුනා.ඒකත් අර චරිතෙ වගේමයි.ඒ උනාට පොර ඒ චරිතට වඩා ටිකක් වයස පාටයි.. මට දැන් මේක පට්ට ප්රශ්නයක්! මම ඉතින් හැරි හැරි හිටියෙ නෑ,සටස් ගාලා ඇහුවා පොරගෙන්,
“මාමෙ මාමෙ.. ඔයා පිස්සු පූසගෙ තාත්තද?” කියලා!! මම ඉතින් ටිකක් සද්දෙට අහපු හින්දා වටේම අය අපි දිහා බැළුවා! පොරත් රැව්ල කරකව කරකව බැළුවා මගෙ දිහෑ!
කොහෙද ඉතින් අම්මා මාවත් ඇදගෙන බස් එකෙන් බැස්සනෙ ඒ මනුස්සයා උත්තර දෙන්න කලිම්! අම්මගෙ මූනෙ ලොකූ ලැජ්ජාවක් ලියවිලා තිව්නා.මට එතකොට තමා තේරුනෙ පිස්සු පූසගෙ මූණ ඊටවඩා පැතලී, කහපාටයි කියලා! මම හිතන්නෙ නැතුව කරපු වැඩෙන් අම්මටත් ලැජ්ජයි අන්තිමට!
ඔය කේස් එක මතක්වෙලා, මම ඉතින් අර ටීචගෙන් අනම් මනම් අහන්න ගියෙ නෑ.
“ආ එන්න බබා.. අපි යමූ” කිව්වාම එයාගෙ අතින් අල්ලගෙන.අර අපේ ටයිගරයව කූඩුවට දාන්න ඇදගෙන යනකොට වගේ කකුල් අද්ද අද්දා මොන්ටිසෝරිය දිහාවට ගෑටුවා.
ඔන්න ඔහොමයි උනේ ඉතින්. අන්තිමට මට මොන්ටිසෝරියට යන්නම උනා.
උපුටා ගැනීම: Janitha Yatawaka