“ඇති ඇති ඔය බොරුව කිසි පරිස්සමක් නෑ ඔහේට කිසිම දේක.මහ ලොකු ආදරේ ඒ උනාට වෙඩින් රින්ග් එක පරිස්සම් කරගන්න දන්නැ.කොහෙ හරි වට්ටගෙන.බූරුවා”
ඒ තමයි මගේ ආදරණීය බිරිඳ.රශ්මි. වෙඩින් එක දවසේ මගේ මූණ ඉඹලා අයි ලව් යූ කියලා හරි ආදරෙන් මගෙ අතට දාපු මුද්ද නැති කර ගත්තාය කියලා තමා දකින දකින සැරේට මට දෙහි කපන්නෙ.ඇත්තටම මම කොච්චර කිව්වත් මුද්ද නැති කරගත්තෙ නෑමය ඒක මං ගයාන්ට දුන්නාය කියලා රශ්මි නෙමෙයි පිළිගත්තෙ.
මටත් සිද්ධ උනේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ එකම තමයි.ගයාන් කියන්නෙ මගෙ හොඳම යාලුවා.දෙයියනේ කියලා මිනිහට කසාදයක් බැදගන්න, මනාලියක් හොයන තැන ඉදන් සපෝට් එක දුන්නෙ මංම තමයි.ඒ තරම් උගෙන් මට කරදර
“කෙල්ලෙක් නෑ තමයි බං.ඒත් උඹේ බේරුමට උඹ හොයන කෙල්ලොන්ට කැමති වෙන්න මට බෑනේ.චුට්ටක් බීලා කරලා හිටියට උඹ දන්නවනෙ අපි මල් වගේ හිත් තියෙන කොල්ලො.ඉතිං අපිට හරියන්නෙත් මල් වගේ අහිංසක කෙල්ලොම තමයි”
ඒ කතාවෙත් ඇත්තක් තියෙන නිසාම මමත් ෆුල් සීරියස් වෙලා ගයාන්ට කෙල්ලෙක්ව හොයන්න මහන්සි උනා.
ඔය අතරේ තමයි සුමාලි හම්බෙන්නෙ.ඔන්න යන්තම් ගයාන් නම් සුමාලිට කැමති උනා.මමත් කැමති උනා.අමාරුම වැඩේ උනේ සුමාලිව කැමති කරගන්න එක තමයි.කට්ට කාලා කාලා කොහොම හරි ඔන්න කෙල්ලවත් ගොඩ දාගත්තා.
ගයානයා වැඩ කළේ ප්රයිවට් කම්පැනි එහෙක.සුමාලිලාගේ ගෙදර අයට ඕන උනේ රජයේ ජොබ් එකක් කරන කොල්ලෙක්.ඔන්න ඔහොමයි ඒ ආදරේට බාධා වැටෙන්න පටන් ගත්තෙ.
“අනේ බං ඉදලා ඉදලා හිත ගිය එකම කෙල්ල.කවුරු අකමැති උනත් මට එකීව මැරි කරන්න ඕන.උඹ ඒ වැඩේ ගැන බලාගනින්”
ඔහොමයි ඒ කරදරෙත් මගෙ පිටට පෙරලුනේ.මම ඉතිං මගේ පරම මිත්රයා වෙනුවෙන් ඒ භාරදූර කාර්යයත් බාරගත්තා.මොනවා කිව්වත් සුමාලිලාගේ ගෙදරින් ගයානයාට කැමති උනේ නෑ.ඉතිං මම අන්තිම ප්ලෑන් එක ක්රියාත්මක කලා.දවසයි දිනයයි තීරණය කළේ ගයානයා.සාක්ෂියට අත්සන් කරන්න දෙන්නෙක් හොයාගත්තෙ මම.ඔව් ඔව් දෙන්නව හොරෙන් බන්ධන එක තමයි මගේ අන්තිම සැලැස්ම.
අදාල දිනය ආවා.දෙන්නා හොරෙන්ම මැරි කලා.ඊළඟට ආවේ මුදු මාරු කරන අවස්ථාව.ගයානයා සුමාලිගේ සුමුදු ඇගිල්ලට මුද්ද දැම්මා.දැන් සුමාලිගේ වාරේ.ගයානයා බලන් ඉන්නවා මුද්ද දානකන් සුමාලි ඒ අස්සෙ මං දිහා බලන් ඉන්නවා.
“සුමාලි ගයාන්ට මුද්ද දාන්න”
“මං ළඟ මුද්ද නැ රමේෂ්.මං හිතුවෙ ගයාන් ළඟ ඇති කියලා”
සුමාලිට ඇඩෙන්න ඔන්න මෙන්න.දැන් ඉතිං මොනවා කරන්නද.හරි මචං මේක උඹට කරන අන්තිම උදව්ව කියලා හිතන ගමන් මං මගේ ආදරණීය බිරිඳ බොහොම ආදරෙන් දාපු මුද්ද ගලවලා සුමාලිට දුන්නා.ගයාන්ට දාන්න කියලා.ඔන්න ඕකයි මගෙ මුද්දට උනේ.
ඊළඟ දවසේ මම උදෙන්ම ගියෙ ගයාන්ලගෙ ගෙදරට ගිහින් තේ එකක් එහෙම බීලා මුද්ද දෙනකන් බලන් උන්නා.ඒත් දෙන පාටක් නෑ.අත බලද්දි මගේ මුද්ද තියෙනවා දිලිසි දිලිසි.යන්න ලෑස්ති වෙද්දි දෙයි කියලා මමත් කයියක් දාගෙන පැයක් විතර ඉදලා යන්න ලෑස්ති උනා.
“මචං මං යන්න කියලා”
“හරි බං හෙට හම්බෙමු”
“හරි බං එහෙනම් ඔන්න මං යනවා”
“ඕකේ මචං එල”
ගයානයට මුද්ද අමතක වෙලා වගේ.කෙලින්ම ඉල්ලන එකත් හරි නෑ.පොඩ්ඩක් ඒ ගැන මතක් කරන්න කියලා හිතලා,
“මොනවා උනත් ඊයේ මුදු මාරු කරද්දි සුමාලි බය උන විදිහට නම් ඒකී අහිංසකයි කියලා තේරෙනවා නේද බං”
කියලා කියද්දිම ගයානයා,
“අඩේ උඹ කියද්දි මට මතක් උනේ තව ටිකෙන් අමතක වෙනවා “
කියාගෙන මගෙ ලගට එද්දි මට මාර හැපී.මුද්ද නෑ කියලා රශ්මි දැනගත්තොත් කනක් ඇහිලා ඉන්න නෑ කියලා මම දැනන් උන්නා.
“තෑන්ක්ස් මචං.උඹ නම් එළ යාලුවෙක්.තෑන්ක්ස් අගේන්.මගෙ කෙල්ල දාපු මුද්ද.මං මැරුණත් මේක ගලවන්නැ බං.”
මුද්ද දෙන්න ලගට ආවා කියලා හිතුවත් ඒ තෑන්ක්ස් කරපු විදිහෙන් මට තේරුණා ඒ මුද්ද අයෙ ලැබෙන එකක් නෙමෙයි කියලා.මුද්ද දීපං යකෝ කියන්න හිතුණත් ඕක මොකක්ද බං කියලා මම ගෙදර ආවා.රශ්මි අත දකින්න කලින් ඒ වගේම මුද්දක් ගන්න එක තමයි මගෙ ඊලග සැලැස්ම උනේ.
ඒත් මුද්ද නෑ කියන එක රශ්මි එක දවසින් හොයාගත්තා.ඉතිං මං ඇත්තම කතාව කිව්වත් රශ්මි නෙමෙයි ඒක පිළිගත්තෙ.සතියක් තිස්සෙ දකින දකින තැන මුද්ද ගැන මතක් කර කර බනින එක තමයි රශ්මිගෙ රාජකාරිය උනේ.ඔය අතර ගයානයයි සුමාලියි අපේ ගෙදර ආවා.කයියෙන් කයිය මුද්දෙ කතාවත් කියවුනා.ඔන්න ඒ පාර මගේ ආදරණීය බිරිඳ සමාව ඉල්ලීමේ ලීලාවෙන් මං දිහා බලාන ඉන්නවා.මමත් ගණන් ගන්නෙ නැතුවම ඔරවලා අහක බලාගත්තා.ඇයි අප්පා අපිත් ටිකක් ගෑස් පෙන්නන්න එපැයි.නැත්තම් අගේ නැති වෙනවා.
“මේ රමේෂ්.සොරි අනේ.මං අය නම් ඔයා එක්ක රණ්ඩු කරන්නැ.මුද්දකට පුලුවන්ද අනේ අපේ ආදරේ අඩු කරන්න.අපිට බැරැයි ඉතිං වෙන මුද්දක් ගන්න නේද අනේ”
අම්මේ ඇති යන්තම් සතියක් තිස්සෙ තිබ්බ දෝෂ ඉවරයි.හිත සැහැල්ලු කරගෙන මම නිදාගන්න ඇස් පියාගත්තා විතරයි,
“ඒත් රමේෂ් කොහොමද අප්පා ඔයා මං ආදරෙන් දාපු මුද්ද එච්චර ලේසියෙන් ගැලෙව්වෙ.තමුසෙ මට ආදරේ නෑ මිනිහෝ”
ඉවරයි කියලා හිතුවට ඉවර උනේ නෑ.තවත් මොන මොනවදෝ කියෙව්වා කොට්ටෙට පිං සිද්ධ වෙන්න ඒ මොකුත් මට ඇහුණේ නෑ.
නිමි
උපුටා ගැනීම: Hirusha Wijerathna