“මචං අපි ගෙට් එකක් සෙට් කරා.උබත් එනව නේ”
” මං”
” ඇයි, බැරිද”
අපේ පංතියෙන් මුලින්ම අස් වූ ළමයා මමය.
ඒ එකොළහ පංතියට සමත්වූ විගසමය. මම එකොළහ වසර දැක නැත්තෙමි. මට මේ ඇරයුම් කරන්නේ මා පසුකර තවත් වසර තුනක් පාසල් ගිය මිතුරියකි. මා මිතුරන් එකොළහ , දොළහ, දහතුන පංතිවල එකට හිද සරසවි වරම් ලැබුවෝ හෝ, සමාජයට අවතීර්ණ වූවෝය. ඔවුන් සමාජය පිළිගත් නොයෙක් රැකියාවල නියුතු අයය. නැතිනම් සමාජයේ ඉහල රැකියාවල නියුතුවී සිට හොඳ අතු අල්ලාගෙන නතරවූ අයය. ඔවුන් අතරට මා කවරකු ද? දහය වසරෙන් අධ්යාපනය නිමා කරමින්, නිවසක හිරවූ මා නිකම්ම නිකමෙකි. ඉදිරියට යාමට වඩා සැඟවී සිටීමම මා හට වඩාත්ම ගැලපේ..
” මට එන්න වෙන්නෙ නෑ බං , උඹල පලයල්ල”
” අනේ මැට්ටි,, උඹ කියන්නෙ උඹ නැතුව මට තනියම යන්නද, මාත් එක්ක හැමදාම අත් අල්ලන් ඉස්කෝලෙ ගියපු උඹ නැතුව මට තනියම ගිහින් වැඩක් තියෙනව ද”
මා නිහඬ වීමි.
” දෙදාහෙ O/l , A/l දෙගොල්ලොම සෙට් වෙනව බං , උඹට එන්න දෙනඑකක් නැත්නම් මං ගෙදරට ඇවිත් කතා කරන්නම්, ලේස්ති වෙලා ඉදපං”
” ඒත් බං………”
” ඒත් මේත් නෑ,, ලේස්ති වෙයන්, සාරි ඇඳල විච්චූරණ නෑ, සැහැල්ලු ඇදුමින් නෝ(ර්)මලි තමයි සෙට් වෙන්නෙ. බය වෙන්න එපා”
මට බේරුමක් නම් නැති හැඩය.
නිල්පාට ඩෙනිම් කලිසමට දණහිස තෙක් දික් වූ සුදු සහ රතු ඉරි ටොප් එකකින් සැරසුන මා උදෑසනින් අදාල ස්ථානයට පියමැන්නේ කාංසාවෙනි. එහි මා නොදත් මිතුරන් බොහෝ විය. A/l පංතියට අලුතින් පැමිණ තිබූ සාමාජිකයන්ට මා අමුත්තකුම උවත් මගේ පැරණි මිතුරන් ඇසුරේදී ඔවුන් හඳුනා ගැනීමටත් කුළුපග වීමටත් යන්තම් පුළුවන් විය.
මේ අතරේ අපට වඩා වසර තුනක් පමණ වැඩිමල් 2000 A/l අයියලා අක්කලාද පැමිණ තිබුණි . කාගෙත් ආගිය තොරතුරු විමසමින් කාලය ගතවෙද්දී නොයෙක් විශේශාංග වලින් හැඩවුන සුහද හමුව මා සිතූ තරම් කම්මැලි තැනක් නොවන බව පසක් වෙමින් තිබුණි .
වයසින් මුහුකුරා ගියද පෙරසේම තිබූ ඇතැම් මිතුදම් තව තවත් ශක්තිමත් වෙද්දී, ඇතැමුන්ගේ පෙන්වන්නට තිබෙන ලොකුම ලොකු දෙයක් අන් අයට පෙන්වීමට කරණු ලබන උත්සාහය ද මටත් මිතුරියටත් බලා විනෝද වීමට කදිම ජවනිකාවක් විය.
මේ අතර අප දෙස බලා හිනැහුන ඒ නෙත් මා අතීනතයට ගෙනගියේ මිතුරියටත් රහසේමය.
ඒ ඔහුය, මා හට ඇරයුම් කලද , වචනයක් නොදී සැඟවී යාමට සිදුවූ මගේ ප්රථම පාසල් පේමයය. මා සිතා සිටියේ ඔහුට මා අමතකව ඇතැයි හෝ මා ගැන ඔහුට හැඟීමක් නෑ හෝ ඔහුතුළ මා ගැන තරහ සිතක් ඇත හෝ කියාය. නැත ඔහු මා හා සුහද සිනාවක් පෑවේය. පෙර සේම අන් අයට නොදෙන, මට පමණක් ලැබෙන ඔහුගේ සිනාව මට අදද ලැබිණි . ඔහුගේ වලිගය මෙන් සිටි මිතුරා වෙනුවට අද සිටියේ වෙනත් මිතුරෙකි. ඔහු වයසට සරිලන සේ වෙනස් වී ඇත.
අපට ආ ගිය තොරතුරු කතා කිරීමට හැකි වූයේ බොහොම ස්වල්පයකි. පෙර සේම ඇයි නම් හොඳයි පමණකි.
” හැමෝගෙන්ම අවසරයි, අපි අලුත් වැඩසටහනක් පවත්වන්න බලාපොරොත්තු වෙනව. මට හිතනව මෙතන අපේ අයියල, අක්කල, සහෝදර , සහෝදරියො කවුරුත්ම අපිට සහයෝගය දේවි කියල . සහයෝගය දෙනව නේද……..?” මයික්රපෝනය ශබ්ද නැගීය.
හැමෝම ඒ දෙස අවධානය යොමු කරද්දි මාත්, මගේ මිතුරු සමාගමත් අපගේ අවධානය ද යොමු කරන ලද්දේ ඕපාදූප දෙඩීමට ලද අවස්ථාව මගහැරී යාම පිළිබඳව නොරිස්සුමද සමඟිනි.
” මේකයි වෙන්න ඕන , මෙතන ඉන්න අය තමන්ට කෙනෙක්ව තෝරගෙන කපල් වෙන්න ඕන.. අදට විතරයි හැබැයි. තරඟ ටිකක් තියෙනව, හොඳම කපල් එක තෝරනව අපි.”
” හරි දැන් කපල් වෙන්න “
සියල්ලෝම තම තමන්ගේ පැරණි මිතුරන්, හොඳම යහළුවන් යනාදී ලෙසින් තෝරාගන්නා ලදි. අපගේ ලඟම මිතුරකු මගේ මිතුරියට ඇරයුම් කරන ලදින් මා තනි විය.
” මේ ආරාධනාව මගේ පාසල් ජීවිතයේ සිහිනයට, දුඹුරු ඇස් තියෙන , තඹ කොණ්ඩයක් තියෙන සුදු කෙල්ලෙක්ට මං ආදරෙයි කිව්ව. ඒත් මට වචනයක් නොදී එයා හැංගිලා ගියා, ඉතින් මං කැමතියි අද මගේ සහයට එයා එනව නම්”
ඒ ආරාධනාව මටය. ඔහු මා ඔහුවෙත එනතුරු බලා හිදී. ඔහුගේ මිතුරනුත් මාදෙස බලා සිටී. අනෙක් අය ඔහු වෙත දෑස් දල්වා සිටී. ලැජ්ජවකින් උවද සිහිනයෙන් මෙන් මා ඔහු වෙත ඇදුනෙමි. අද මාගේ සහයකයා ඔහුය.
තිබූ පළවෙනි තරඟය බැළුම්බෝල ඩාන්ස් එකකි. පුම්බන ලද බළූනය මුහුණු අතර රඳවාගෙන තාලයට නැටිය යුතුය. ඉතින් ඔහු උසය. මා මිටිය. මාගේ තරමට පහත් වීමට ඔහුට මහත් වෙහෙසක් දරන්නට විය. අපගේ ඇස් කතා කරන්නට විය. නැටුමේ රිද්මය අමතක වී ගියේය. අවසර ලත් බැළූනය අප හැර ගියේය. අප තරඟයෙන් ඉවත් විය.
අපිට අපි ගැන කතාකරන්නට හැකි විය, පාසලේදී ඔහු මා ආරක්ෂා කළ අයුරු, පාසලෙන් අස් වූ පසුව ඔහු මා සොයා පැමිණි අයුරු, මා විවාහ වී ඇති බව අසා ඔහු හිත හදාගත් අයුරු, අපි කතා කලෙමු. මා හට ඔහුගේ ආරක්ෂාව ආදරය දැණුන අයුරු, ඔහුට වචනයක් දීමට කල් ගැනීමට හේතු වූ කරුණු, හදිසියේ පාසල හැරයාම මා ඔහුට පැහැදිලි කලෙමි. අපිට අප හිමි නොවීම අහිමි වූ අයුරු අපි කතා කලෙමු.
තවත් තරඟ දෙකක් පමණ තිබුන අතර අපි මිතුරන්ගෙන් ඈත්ව අපිම වී සිටියෙමු.
” ඔයා ඇයි මට ආදරේ කලේ ඒ දවස්වල” මම ඇසීමි.
” ඔයාගෙ තිබුණ අහිංසක කමට” ඔහු මගේ දෑස් දෙසම බලා පිළිතුරු දුනි. ඒ බැල්ම මට දරා ගත නොහැකි තරම් ය.
” ඇයි ඔයා මට කැමති උනේ” මට ප්රශ්නයකි.
” ඔයාග තිබ්බ දඟකාර කමට, පුදුම විසයක්නේ තිබ්බෙ ඔයාට ඉතින් “
මා තවමත් ඒ දඟකාර කමට කැමතිය.
දිවා ආහාර වේලාව පැමිණියේය. කපල් වූ අය වෙන් වූවාදැයි බලන්නට අපට උවමනා වූයේ නැත. සැරින් සැරේ ඔහුගේ මිතුරන් පැමිණ විහිළුවක් කර අතර වෙනත් විශේෂ දෙයක් නොවුණි. අපි කෑම ගත්තේද එකටමය.
” මැණික , පළවෙනි වතාවටයි, අන්තිම වතාවටයි බත් කටක් කවන්නද”
“බෑ, ඒක හරි නෑ නේ”
“ඇයි හරි නැත්තෙ, එහෙනම් මං කන්නෙම නෑ”
කීවොත් කීවාමයි. ඔහුගේ හැටි එහෙමයි.
” මට බයයි, හරි නෑ නෙ”
ඒ කෑම පිඟානේ පළමු බත්කට ඔහු අතින් මගේ කටට ලැබුණි. ඉතින් මගේ පළමු බත් පිඬ ඔහුට විය යුතුය. මා ඉතා ඉක්මනින් බාගෙට ඇනූ බත් පිඩක් ඔහු මුවතුලට අතැරදැමුවේ ලැජ්ජාව සහ බය නිසාය.
එයට ලැබුනේ ඉහල ප්රතිචාරයකි. පිටුපසින් සිටි ඔහුගේ මිතුරන් හුරේ කියමින් අත්පොලසන් දෙන්නට විය. මම බිම බලා ගතිමි. අතින් සන් කර මිතුරන් නිහඬ කිරීමට ඔහු වගබලා ගත්තේය. කෑම පිඟානෙන් බාගක් හෝ කන තැනට ඔහු මා උනන්දු කලේය. නමුදු ඔහුද බාගෙට හෝ කෑවේ නම් නැති බව මා දනිමි.
සවස් වරුවේම ඔහු මා ආරක්ෂා කලේය, ආදරෙන් රැකබලා ගත්තේය. මා හට අහිමි වී ඇත්තේ මෙලොව මා හට ලැබීමට තිබූ වටිනාම ආදරය බව මට දැනී තිබුණි . එය නීති රහිතය, බලාපොරොත්තු රහිතය, මගෙන් කිසිවක් ඔහුට ඇවැසි නැත. සවස විසිර යාමෙන් පසු අපට අප නැවත හමුවන්නේද නැත. නමුත් ඔහු මගේ සිතිවිල්ලකට පවා හොඳින් සවන් දේ.
” මැණික අදින් පස්සෙ ඔයා මේ හැමදේම අමතක කරන්න ඕන. ගෙදර ගිහින් ආයෙත් ගෙදර අය එක්ක සතුටින් ඉන්න ඕන. තේරුණා නේ”
එය කෙසේ සිදුවේ දැයි නොදනිමි. නමුදු නිවසක වගකීම් ලඟ මා හදවත ගලක් කරගත යුතුය.
” ඔයා දන්නවද, මගේ ජීවිතේ මං පාර්තනා කරපු හැමදේම මට ලැබුන අද, ඒ ඔයා අද ආව නිසා. මං තව කොච්චර කල් ජීවත් උනත්, මට අද දවස ඇති ඒ හැම මොහොතකම ජීවත් වෙන්න”
මට කීමට කිසිවක් සිතට නොයේ.. ඇත්තෙන්ම මා දැන් ඔහු දමා යා යුතුද?…. කෙසේ නම් පා ඔසවන්නද….. මගේ හදවත හැදින ගන්නට ඔහුට හැකි නම් ඔහු කොයි ලෙසකින් මා දමා යාවිද?
” අපිට නැති උන ජීවිතේ සතුට සැනසීම බලාපොරොත්තුවෙන් ගෙදර අපේ දරුවො ඉන්නව නෙ මැණික , ඔයා එයාලව ආදරෙන් බලා ගන්න. දවසක ඔයාට පුළුවන් වෙයි එයාල දිහා බලාගෙන සැනසෙන්න. ඔයාගෙ හෙවනැල්ල වගේ මං ඉන්නව, ඒත් ඔයාට පේන්න එන්නෙ නෑ. හරිද?”
මම ඔහුගේ මුහුණ දෙස බැළුවෙමි.
ඔහු කියනාදෙයක් අහනවා හැර කිසිවක් නොකීවෙමි.
නැවතත් මයික්රපෝනය ශබ්ද කරන්නට විය.
” ඔව් දැන් අපි අපේ සුහද හමුවේ අවසාන අංගයට ඇවිත් ඉන්නෙ. අපිට පුළුවන් කට්ටිය එක්ක පොඩ්ඩක් ඩාන්ස් කරල කියල විසිරිල යන්න.
ඊට කලින් පොඩි දෙයක් තියෙනව කියන්න , අපේ හොඳම කපල් එක තේරීමේ තරඟය අවසන් වෙලා තියෙනව . ඉතින් මං කැමතියි ඒ ජයග්රාහක යුවලට මෙතනට ආරාධනා කරන්න”
ඔව්. ඒ ජයග්රාහක යුවල වූයේ අප දෙදෙනාය. සියල්ලන්ගේම අත්පොලසන් හඬ මැදින් අපි ඉදිරියට ගියේ මනාල යුවලක් පොරුව අසලට යනවාක් මෙනි.
අපට අදහස් දැක්වීමට අවස්ථාව ලැබිණි . මුලින්ම අවස්ථාව ඔහුටය.
” ඇත්තටම හරිම සතුටුයි මේ අවස්ථාව ගැන, ගොඩක් ස්තූතියි සංවිධායක මණ්ඩලයට. මම හරිම කෙනා තෝර ගත්ත නිසා ජයග්රහණය කරන්න පුළුවන් උනා කියල හිතනව. ස්තූතියි ඇයටත් මට ලබා දුන් සහයෝගය වෙනුවෙන්.”
ඔහු බොහොම සැහැල්ලුවෙන් කතාව අවසන් කළේය . ඊ ලඟ අවස්ථාව මටය.
” පළමුවෙන්ම ගොඩක් ස්තූතියි සංවිධායක මණ්ඩලයට වගේම මට ආරාධනා කරපු මගේ මිතුර මිතුරියන්ට.
මට මටත් වඩා මාව තේරෙන, දැනෙන කෙනෙක්ගෙන් ආරාධනාවක් ලැබුන මීට වසර ගණකට කලින් පාසලේදි. නමුත් ඒ දේ රහසේ හෝ පිළිගන්න තරම් ශක්තියක් මට එදා තිබුණෙ නෑ. නමුත් අද මට ඔබ සියළු දෙනා ඉදිරියේ ඒ ආරාධනාව පිළිගන්න ශක්තිය තියෙනව . ඒත් එදා හිටපු ඔහු වත්, මම වත් අද මෙතන නැහැ. අපි අපිට අයිති ලෝකය සොයා යා යුතුයි. I miss you sudu ayiyee…”
මලානික අත්පොලසන් හඩක් මැදින් මා මිතුරිය අසලට පැමිණීමට පියවර එසවීමි. මයික්රපෝනයට සම්බන්ධ කර තිබූ වයරක සපත්තුවක් පැටළුන බැවින් මා විසිවී ගොස් කපා හෙළූ කෙසෙල් කඳක් මෙන් පොළව සිප ගතිමි..
මට සිහිය එද්දී මගේ මහත්තයාත් දරුවනුත් මා රෝහලට රැගෙන යාමට සූදානම් කර තිබුණි . ඇඳ අසල තිබූ කණ්නාඩි මේසයේ වැදුන නලල තුවාල වී බොහෝ සේ ලේ ගලා ගොස් තිබුණි .
ක්රීං, ක්රීං,….
” හෙලෝ”
” හෙලෝ මචං , මං අද උඹලයි ගෙදර එන්න හිතන් ඉන්නෙ අරක ගැන අහන්න”
” එපා බං , අපි දැන් හොස්පිටල් යන්න හදන්නෙ, මට එන්න වෙන්නෙ නෑ “
( නිමි )
උපුටා ගැනීම: Lakmali P Gurugee