ඔබේ නහය උඩ ජීවත්වෙන මයිටාවෝ !

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔයාගේ මූණෙ තියෙන කෙස්, මයිල් වල මුල් වල ආරම්භයේ තියෙන ජිද්‍ර, එහෙමත් නැත්නම් සිදුරු, වලට පැලපදියම් වෙලා අනවසරයෙන් ජීවත්වෙන ජීවීන් කොට්ඨාශයක් ඉන්නවා කිව්වොත් ?!  ඔව් ඇත්තටම ජීවත් වෙනවා විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් කරනවා. ඔයාට හොරා ඔයාගේ මූණ පැලපදියම් වෙච්ච ඒ පුංචි ආක්‍රමණිකයෝ කවුද? ඔයාගෙ මූණ උඩ ඉදන් මොනවද එයාල කරන්නෙ???  අද ලිපිය ඒ ගැනයි .

මිලි මීටර් භාගයකටත් වඩා කුඩා (0.3mm) මේ මයිටාවන් ගැන මුලින්ම කතා බහට ලක්වුණේ, ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ මාධ්‍ය ජාලයක් වෙන KQED ආයතනය ප්‍රචාරය කරන ඇඟ කිලිපොලා යන වීඩියෝවත් එක්කයි. විද්‍යාඥයින් ඔවුන්ට ලබා දුන්න Demodex කියන ග්‍රීක නමේ ඇත්තම තේරුම “කම්මැලි මහත පණුවෝ” කියන එක උණත් Demodex කියන්නේ පණුවො විශේෂයක් නම් නෙමෙයි.

ඇරැක්නීඩාවන්, ඒ කියන්නේ මකුළුවන් සහ කිනිතුල්ලන් ගේ පරම්පරාවෙන් එන මේ demodex මයිටාවන්, හැඩයෙන් කිනිතුල්ලන්ට ටිකක් සමානයි. (ඉදිරි කොටස)

ඒ අමුතු ආගන්තුකයින් ගෙ කතාව තව තවත් රසවත් වෙන්නේ , ඔවුන්ගේ අපූරු දින චර්යාවත් එක්කයි. හොඳයි ‘දැන්’ අපි බලමු මේ කිසිම දෙයක් නොදන්න අහිංසක ‘ඔයා’, කොහොමද එයාලට ආගන්තුක සත්කාර කරන්නේ කියලා!!

කලිනුත් පැහැදිලි කළා වගේ demodex මයිටාවො, දහවල් කාලය ඔයාගෙ කේශ මූලය අවට, පුංචි සිදුරු ඇතුලේ ගත කරනවා. අපේ මුහුණ මත තියෙන සීබම් ආහාරයට ගන්න ඔවුන්, දහඩිය සහ මූනේ තියෙන සියුම් තෙල් තට්ටුවට පිං සිද්ධ වෙන්න, ඉර එළිය හමුවේ විජලනය වෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්නවා. මේ මොන දේ කළත්, මයිටාවන් ජීවත් වෙන්නේ සති දෙකක් තරම් හරිම පොඩි කාලයක් විතරයි. එතකොට ඊළඟ පරම්පරාවක් හැදෙන්නෙ කොහොමද? මයිටාවන්ගේ කතන්දරේ එතනින් ඉවර ද?

නැහැ! ඉවරයි කිව්වට ඉවර නැහැ. දවල් කාලෙම ඒ විදිහට හැංගිලා ඉන්න මයිටාවො ඔයා නින්දට ගියායින් පස්සේ සම මතුපිටට ඇවිත් තමන්ගෙ සහයකයා එක්ක සංසර්ගයේ යෙදෙනවා. එයින් පස්සේ ආයෙමත් වාසස්ථානයට ගිහින් දුසිම් ගණනක් බිත්තර දාලා තමන්ගෙ වර්ගයාගේ පැවැත්ම තහවුරු කරනවා.

ඔයා කොයි තරම් අකැමැති වුණත්, කොයි තරම් වාර ගණනක් දිනකට මුහුණ හේදුවත්,  ඒකට tv එකේ පෙන්නන්න ඒ මොන සබන් කැටය පාවිච්චි කලත්, demodex මයිටාවන්ට නම් ඒක අදාළම නැහැ! පර්යේෂණය කරන්න අවශ්‍ය සාම්පල ලබා ගන්න උණත්, වීදුරු කදාව උඩ විශේෂ ගම් වර්ගයක් ආලේප කරන්න පර්යේෂකයන්ට සිද්ධ වුණේ ඒ නිසයි.

අපේ දේහය තියෙන ස්වභාවික ප්‍රතිදේහ පද්ධතිය, මයිටාවන්ගේ ප්‍රමාණය අපිට හානිකර මට්ටම ඉක්මවා යන්න දෙන්නේ නැහැ. කලාතුරකින් ඒඩ්ස් හෝ, ඒ වගේ ප්‍රතිදේහ ශක්තිය අඩු කරන රෝගයක් තිබෙන කෙනෙක් ගේ මුහුණේ මයිටාවන් සංඛ්‍යාව අසාමාන්‍ය වෙන්න ඉඩ තියෙනවා. Demodicosis කියලා හඳුන්වන ඒ තත්ත්වය ඒ තරම් දරුණු එකක් නෙමෙයි කියලයි පර්යේෂකයින් කියන්නේ. උපරිම වශයෙන් කැසීම, රතු වීම වගේ තත්ත්වයකට හේතුවෙන demodicosis, සරල ප්‍රතිකාර ක්‍රමවලින් සුව කරන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් සහතික වෙනවා.

කතාව එතනින් ඉවර වෙන්නෙත් නැහැ.

Demodex ලා ගේ ආගිය තොරතුරු හොයන්න ගත්ත පර්යේෂකයින්ට හරි අපූරු පොටක් පෑදුනා.  දෙදහසකට අධික පිරිසකගේ මුහුණේ  උන්නු මයිටාවන් පරීක්ෂා කළාම, විවිධ රටවල් රටවල් වලට ආවේනික ප්‍රභේද කිහිපයක් අඳුනගන්න පර්යේෂකයින්ට පුළුවන් වුණා.

අලුතින් උපදින දරුවෙකුට මේ මයිටාවන් දායාද වෙන්නේ එයාගේ දෙමාපියන්ගෙන්. විශේෂයෙන්ම අම්මගෙන්. අම්මට අත්තම්මා ගෙන්, අත්තම්මාට මුත්තම්මා  ගෙන්, ඉතින් ඒ විදිහට පරම්පරා දස දහස් ගණනාවක් ඔස්සේ ඇවිත්, ඔයාගේ මුහුණ උඩ මේ වෙලාවේ පදිංචි වෙලා ඉන්න එකම එකම demodex මයිටා වෙක් පරීක්ෂාවට ලක් කලොත්….? ඔව් ඔයා ගේ භූගෝලීය සම්භවය, එහෙමත් නැත්තන් හරියටම ඔයාගේ මුතුන් මිත්තෝ ආර්‍යයෝද ග්‍රීකයින් ද රෝමානු ජාතිකයෝද කවුද කියන එක කියන්න පුළුවන්!!

ඒ සියල්ලටමත් පස්සේ කියන්න එක සුබ ආරංචියක්  තියනවා.  කෙනෙක් අහන්න පුළුවන් අපේ හම මත ඉඳගෙන ඒ විදිහට මයිටාවෝ  ගන්න කෑම වලට මොකද වෙන්නේ ඒවා අපේ මුහුණ  උඩම ඔවුන් මලපහ කරනව නේද කියලා!  අනේ නැහැ , හිත හොඳ මයිටාවෝ තමන් ගන්න කෑම ජීර්ණය වුණායින් පස්සේ තමන් මැරෙනකන්ම ඒ මලපහ ඇඟ ඇතුළේ ම තියා ගන්නවා. සති දෙකක ජීවිත කාලයෙන් පසු අවසන් ගමන් යන මයිටාවන්ගේ දේහය ඇතුළු ඉතිරි  සුන්බුන්, අපේ මැරුණු හමත් එක්ක සදහටම අයින් වෙලා යනවා..

පැතුමි තත්සරණි

මූලාශ්‍රය : අපේ මුහුණ මත රෑට සංසර්ගය‌ේ යෙදෙන මයිටාවෝ I Demodex Mites – YouTube

 

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!