මේකත් හයිවේ කතාවකි.
මම අවුරුදු පහේ සිට හැදුනේ වැඩුනේ ආච්චි සහ අත්තා ලගය.ඈත හද්ද පිටිසර ගමක් වූ මගේ ගමට ලගම නගරයට කිලෝමීටර් 25කට ආසන්න ප්රමාණයක් තිබුණි.දිනකට බස් හතර පහකට වඩා නැත.අත්තාගේ ගෙදර සිට බස් පාරට කිලෝමීටර් දෙකකි. මා කුඩා කාලයේ එය කැලෑ අඩි පාරකි. ගෙවල් ඉතා අතලොස්සකි.තවද අපේ ගම කන්දක් මුදුනේ තිබු අතර හතර වටෙන්ම ඊට වඩා ලොකු කදු කිහිපයකින්ද දෙපැත්තකින් මහා මූකලන් කැලයෙන්ද වට වී තිබුණි.ඒ නිසා එය ස්භාවසෞන්ද්යයෙන් සහ ගැමිකමින් නම් පරිපුර්ණව තිබුණි.
ඉස්කෝලේ නිවාඩු දවසට, උදේ පාන්දර මමත් අත්තා සමග අවදි වෙයි.සීතල මීදුමට වෙව්ලද්දී දෙන්නම මිදුල සහ ගෙදර පාර අතු ගායි.කොළ එකතු කර ගොඩ ගසා ගිනි ගොඩක් ගසයි.දෙන්නම එකට ගිනි තපියි.ගිනි තපින ගමන් අත්තාගේ පරණ රස කතා කියයි.අත්තා සමග වත්තේ ඇති අල, බතල හාරයි.ආච්චි එව්වා තම්බා දෙයි.හොද කොච්චි සම්බෝලයකුත් සමග දෙසා බායි.ගොඩක් දවස් වල අත්තා සහ ආච්චි, ගෙදර වත්තෙන්, ගමෙන් හෝ අසල පිහිටි කැලයෙන් හෝ සොයා ගන්නා ලද කිසියම් විශේෂ දෙයක් මට උයා තබයි.
දිනක් මම ගමේ කොල්ලන් සමග රෝන්දේ ගසා ගෙදර පැමිණියේය.මට පට්ට බඩගිනිය.
“ආච්චි මොනවද කන්ට තියෙන්නේ “ඒ මමය.
“සුදෝ, අන්න මුව මස් ටිකක් හදලා තියෙනවා ආච්චි උබට,මීට කලින් කාලා නෑනේ.බෙදා ගෙන කාපන්” අත්තාගේ කටහඩය.
“අත්තේ මුව මස් කොහෙන්ද? ” මම ඇසුවෙමි.
“මද්දකට අහුවෙලා” අත්තා කිවේය.
මම මීට කලින් මුව මස් කා නැත.මුව මස් කෑමට කෘරපෙරේත කමක් ඇති විය.සුටුස් ගා කුස්සියට ගියෙමි.බත් ටිකක් වැඩිපුර බෙදා ගත්තෙමි.තවත් මාලු තිබුනද එකක්වත් බෙදා ගත්තේ නැත.කෙලින්ම ගියේ මුව මස් හැලිය ලගටය.හට්ටිය ඇරියෙමි.අහෝ….දුටු දෙයින් මගේ මුව….දිව.. දෙකම මස් විය.
……මේ කෙහෙල්මුවය.
උපුටා ගැනීම: Isanka Darmadasa