මුවාගේ කතාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ පොසොන් මාසෙනේ. ඉතිං පොසොන් මාසෙ කිව්වහම අපි කාටත් මතක් වෙන්නේ දේවානම් පියතිස්ස රජතුමාගෙයි, මිහිඳු හාමුදුරුවන්ගෙයි කතාව. මේ කතාවට මුල් වුණේ මුවෙක්නෙ. හැබැයි මං අද කියන්න යන්නේ ඒ මුවා ගැන නම් නෙමෙයි. මේ වෙන මුවෙක් ගැන හරි අපූරු කතාවක්.
ඔන්න දවසක් උඩට කමිස කෑල්ලක්වත් නැතිව පිජාමා කලිසම පිටින්ම උදේ මිදුලේ සෙල්ලම් කර කර සිටිය වයස අවුරුදු හය හතක විතර පුංචි කොලු පැටියෙක් හොල්මනක් දැකලා වගේ බය වෙලා විදුලි වේගෙන් ගේ ඇතුලට දුව ගෙන ආවා. සාලයේ මේසය ළඟ වාඩි වෙලා මොකක්දෝ කවරයකුත් දිග ඇර ගෙන ලොකු වැඩක නිරත වෙලා සිටිය මේ දරුවාගේ තාත්තා තමන්ගේ පුතා කාමරය පැත්තට දුව ගෙන යනවා ඇස් කොණෙන් දැක්කා.
ටික වෙලාවකින් නිවසේ සීනුව නාද වුණා. තාත්තා ලොකු වැඩක නිසා මේ දරුවාගේ අම්මා ගිහින් ගෙයි දොර ඇරියා. තමන්ගේ පුතාගෙම වයසේ විතර තවත් පිරිමි දරුවෙකුයි, ඒ දරුවාගේ දෙමව්පියන් දෙන්නයි දොර ළඟ හිටගෙන සිටියා.
“මේ යසිත්ගේ ගෙදරද?”
ආගන්තුක කාන්තාව මවගෙන් විමසුවා.
“ඔව්, එන්න ඇතුලට. ඇවිත් වාඩි වෙන්න.”
ඇය එහෙම කියලා අමුත්තන්ව ගේ ඇතුලට කැඳව ගෙන ආවා.
ආ ගිය විස්තර කතා බස් කරන කොට දරුවාගේ මව දැන ගත්තා මේ ඇවිත් ඉන්නේ තමන්ගේ පුතාගේ පන්තියේ ඉගෙන ගන්න යාළුවෙක් කියලා. ආපු කාරනය ගැන කතා කරන්න කළින් පුතාට මේ ගැන කියලා අමුත්තන්ට සංග්රහ කරන්න හිතුව ඇය නැගිටලා ටිකක් ගේ ඇතුලට ගියා. ඇය තමන්ගේ දරුවාව හැම තැනම සෙව්වත් කොලු පැටියා පේන්න හිටියේ නැහැ.
“මේ, ඔයා අපේ පුතාව දැක්කාද? අන්න එයාගේ පන්තියේ යාළුවෙක් ඇවිත් පුතාව බලන්න.”
අම්මා තාත්තාගෙන් ඇහුවා.
“ඔව් ඔව්, ඔන්න මං දැක්කා පුතා හීයක වේගයෙන් කාමරය පැත්තට දුවනවා.”
එහෙම කියලා ෆයිල් කවරය වසා දැමූ තාත්තා අමුත්තන් සිටි තැනට ගියා.
සැමියා කී හැටියට කාමරය තුලට කර පොවා බැලුවත්, පුංචි පුතු එහි සිටියේ නැහැ. ටික වෙලාවක් ඇය හොඳින් සෝදිසි කර බලන විට ඇඳ යටින් මතු වුණු පුංචි කකුල් දෙකක් යන්තමට පෙණුනා.
“පුතේ එන්න එළියට. මොකද මෙතන කරන්නේ? අන්න ඔයාගේ යාළුවෙක් ඇවිත් ඔයාව බලන්න.”
අම්මා ඇඳ යටට එබිකම් කරමින් එසේ කියන ගමන් හෙමින් සැරේ දරුවාව කකුල් දෙකෙන් ඇදලා එළියට ගත්තා.
“දැන් මොකද කරන්නේ? මුවෙක් නැහැනේ.”
ඇස් දෙකේ කඳුළු පුරව ගෙන පුතා එහෙම කියන කොට අම්මා කුතුහලයෙන් දරුවා දිහා බැලුවා.
“මොකක්ද පුතේ ඔයා මේ කියන්නේ?”
අම්මාට මේ මුකුත් හිතා ගන්න බැහැ.
“අනේ අම්මේ, මං ඒ යාළුවාට කිව්වා ඉරිදාට අපේ ගෙදර එන්න කියලා මුවෙක් දෙන්න.”
පුතා අඬන්න පටන් ගත්තා.
“මොකක්? මුවෙක් දෙන්න?”
අම්මා ආයෙත් ඇහුවා.
“ඔව්, මං කිව්වා අපේ ගෙදර ලස්සන මුව පැටියෙක් ඉන්නවා, මං ඒ මුව පැටියාව එයාට දෙන්නම් කියලා.”
කොලු පැටියා නාසයෙන් වැගිරෙන සොටු දියර අතින් පිස දමමින් ඇඬුම අතරින් කතා කලා.
අම්මාට සිදුවී ඇති දෙය වැටහුණා. ඇය කොහොම හරි වදෙන් පොරෙන් දරුවාව අමුත්තන් සිටි තැනට කැඳවා ගෙන ගියා. පුතා කී පුංචි බොරුව නිසා සිදු වුණු අපහසුතාවයට ඇය ඔවුන්ගෙන් බැගෑපත්ව සමාව ඉල්ලා සිටියා.
“අනේ ඒකට කමක් නැහැ. පුංචි ළමයි ඔහොම තමයි. හිතට එන දේ කියනවා.”
ඒ දරුවාගේ දෙමව්පියන් ඒ කරුන වැඩි ගණනකට ගත්තේ නැහැ.
කොහොම වුණත් ආයේ කිසි දවසක බොරුවක් නොකියන්න ඒ පුංචි පුතා
තමන්ගේ යාළුවා ඉදිරිපිටම අම්මාට පොරොන්දු වුණා.
උපුටා ගැනීම: Asanthi Ruwanmani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!