මයි සෙල්ෆ් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම වනාහී ගැහැණු ළමුන් දෙදෙනෙකු අතර මැද⁣ට වන්නට ඔවුන්ගේ දෙමව්පියන්ට දාව ඉපදුනු එකම කුලුඳුල් පිරිමි දරුවාය.
පවුලේ එකම පිරිමි දරුවා වූ නිසා මා හට දෙමව්පියන්ගේ වැඩි ආදරය නොමදව ලැබුනි..! කියා ඔබ සිතනවා නම් කීමට ඇත්තේ ඔබ දන්නා මගුලක් නැත කියාය.
මගේ මව හුරතලයට මා අමතන්නේ “නොසන්ඩාලයා” කියාය. කුඩා කල මට බත් කවන විට ඇය “පුතේ කටවල් 5 ක් කන්න” යැයි ඇවිටිලි කලද, 5 ක් නම් කන්නේම නැති බවත් උපරිම කන්නේ කටවල් 6 ක් පමණක් බව මා පැවසූවේ යැයි නිතර මා දැනුවත් කරන්නේ අක්කාය. කුඩා කලදීම මෙතරම් ගණිත ඥාණයක් පිහිටන්නේ මා අයින්ස්ටයින් ගේ නැවත ඉපදීමක් විය හැකි බව ඔවුන් සිතී යැයි අක්කා පවසයි.
මට බත් කැවීම අම්මාට කෙතරම් පහසු වීද යත්, බත් පිඟාන කවා අවසන් වීමට පෙර මා දෙවරක්වත් වැසිකිළි යයි. ඒ කාලයේ ඇය ඇඳුම් මැසීම, රෙදි වේලීම වැනි සුලු රාජකාරී ඉටුකර ගනී.
මා මුලින්ම පෙර පාසැල් ගිය දිනය අදටද මට මතකය. මට වඩා වසර දෙකකින් බාල නංගී ද මා සමඟ එල්ලී පෙර පැසැල් පැමිණි අතර ඇයට පෙර පාසැලේ පසුපස අසුනක අසුන් පනවා තිබිණි. අප දෙදෙනා පෙර පාසැලේ දමා අම්මා පිටව යෑමට සූදානම් වූ අවස්තාවේ මා “අම්මේ යන්න එපෝඕඕඕ” යැයි හඬ තලමින් කෑ ගසා හැඬූ නමුත් නංගී නම් හැඬුවේ නැත. වගකීම් සහගත අයියලා එහෙමය.
බත් යනු මාගේ පරම හතුරා වූ අතර කිරි යනු මාගේ ගජ මිතුරාය. පහ වසරට යනතෙක් මා සූප්පුවෙන් කිරි බීම නැවැත්වීමට මොන ජගතෙකුටවත් නොහැකි විය.
ප්රාථමික අවධියේ මා පන්තියේ ලබා ඇති ඉහළම ස්ථානය විසි වෙනියාය. පහ ශ්රේණියේ දෙවන වාරයේ දී මා පන්තියේ නව වැනියා වී තිබුනි. මේ ආශ්චර්යය ගැන සැක සිතූ සිසුන් එය පන්ති භාර ගුරුතුමාට සැලකළ පසු ඔහු කිසිඳු වග විභාගයකින් තොරව නවය ඉදිරියට දෙකේ ඉලක්කමක් දමා රිපෝට් කාඩ් එක සංශෝධනය කරන ලද්දේ ඒ තරම් මාගේ හැකියාවන් පිළිබඳ තිබූ විශ්වාසය නිසාය.
පහ වසරේ දී මා වත්සලාට පෙම් කල අතර එතරම් පාරිශුද්ධ ප්රේමයක් ලොවෙහි කොතැනක හෝ තිබුනි දැයි සැක සහිතය.
මා මුලින්ම ඇයට ප්රේමය ප්රකාශ කල දින ඇයගේ දෙනෙත් දීප්තියෙන් බැබලී “ මමත් ඔයාට ආදරෙයි හෝම්ස්” කී අයුරු දෑසින් රෑරා වැටෙන කඳුලු අතරින් මට සිහිපත් වේ. ඇය සමඟ පෙම් කිරීමට තිබූ අවස්ථාව මගේ මව විසින් පිට මැදට හෙලූ එක් අත් පහරකින් මගේ සුන්දර සිහින ලොව කඩා දමා “නැඟිටපං අද ඉස්කෝලේ යන්නේ නැද්ද” යැයි පවසා බිඳ දැමීය.
ශිෂ්යත්වය අසමත් වූ දින මා හැඬූයේ මන් දැයි අදටත් මා දන්නේ නැත. මා හැඬිය යුතුව තිබුනේ සමත් වූයේ නම්ය.
මා හත වසරේදී ගයාත්රීට පෙම් කලෙමි. ඒ මගේ උවමනාවට නොවේ. රංගගේ උවමනාවටය. රංග චාපාට පෙම් කලේය. ඔහුත් ගැහැණු ළමයෙකුට පෙම් කල නිසා ඔහු සිතුවේ මාත් එහෙම කල යුතුය කියාය. සුදුසුකම් අනුව ගයාත්රී ඊට තේරී පත් වූ නමුත් අද වන තුරුත් ගයාත්රී මේ සම්බන්ධව හාංකවිසියක් දන්නේ නැත.
නවය වසරේ සිටි ගයනිට මා පෙම් කලේ දහය වසරේදී ය. මා ගයනිට පෙම් කල අතර ගයනි මාව බයිට් කලාය. මා එනු දකින විට ඇය පන්තියේ අසුනින් නැගිට මා වෙත “කෝල බැලුම්” හෙලූ නමුත් මට කෙදිනකවත් “හා” කීවේ නැත.
පසු කලෙක මම උසස් පෙළ පන්ති යන විට ඇය බඩක් ඔසවාගෙන ක්ලිනික් ගියාය. ඇය අපේ පන්තියේම ප්රේමරත්නගේ අයියා සමඟ පැනගිය බව මට කීවේ ප්රේමරත්නමය. ගයනි වෙනකෙකු හා යාළු උවහොත් ඌවද මරාගෙන මැරෙන බව මා කීවේද ඒ ප්රේමරත්නටමය.
උපුටා ගැනීම: Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!