කැම්පස් යන කාලේ හය හත් දෙනෙක් වටේ තියාගෙන බොරු හැලීම මගේ රාජකාරි වලින් කොටසක් උනා. දේශන අතරතුර අපේ නවාතැන උනේ වූස් කැන්ටිමට එහා පැත්තේ තියෙන දිග කොරිඩෝව. ඒක හරියට ඉස්පිරිතාලෙක ඇතුලේ යනවා වගේ. මෙතන පළල සිමෙන්ති බැංකු එකිනෙකාට මුණ දාල තියෙන්නේ මැද්දෙන් යන්නත් පුළුවන් වෙන්න ඉඩ තියලා. දෙපැත්තේ වාඩිවෙලා ඕන තරන් වෙලා ඉන්න පුළුවන්. බොරුම ඇහිලද කොහෙද මේ බoකු අතර සිමෙන්ති පොලව හොදටම පැලිලා. මේ වගේ පටු සමාන්තරව යන දිග කොරිඩෝ දෙකක් තියෙනවා දෙකම ගිහින් වැටෙන්නේ වලට. එහා පැත්තේ කොරිඩෝවේ බැංකු වල වැඩිපුර ඉන්නේ කපල්. මේ පැත්තේ ඔය මොකටත් නැතුව කයි වාරු ගගහ ඉන්න උන්. අපිත් එක්ක හිටපු ගයාන්, කෙල්ලෝ නං හය හද් දෙනෙක්ගෙන් අහන්න ඇති, එත් කවුරුත් කැමති උනේ නෑ. මේ පැත්තේ වාඩි වෙලා ඉන්දැද්දී, එහා පැත්තේ බංකු වල අයගේ ප්රේමය දකින ගයාන් හැමදාම කියන්නේ
“උබලා බලපන්කො, මම කවදාහරි උබලට පෙන්නත් එක්ක කෙල්ලෙක්ගෙ අත අල්ලගෙන කතා කර කර ඉන්නවා”.
අපිත් කිව්වේ නැති උනාට අපිට තිබ්බෙත් ඒ හීනෙම තමයි. එහෙම කිව්වට ගයාන්ට ඒ හීනෙ කවදාවත් කැම්පස් කාලේ හැබෑ කරගන්න බැරි උනා. ගයාන්ගේ හීනෙ කල් ඉකුත් වෙන එකක් නෙවේ. කවදාටත් වලංගු, දින වකවානු නැති හීනයක්. කැම්පස් අවුට් වෙලා අවුරුදු පහ හයක් ගිහින් යෝජනාවකින් බැන්ද ගයාන් මට පොටෝ එකක් එව්වා දෙන්නගේ ඒ බoකුවේ වාඩි වෙලා ගත්ත.
ඔය කොරිඩෝ දෙකයි තට්ටු තුනේ කොම්පුටර් තියෙන බිල්ඩිමයි අතර තියෙන්නේ පොත් කඩයකුයි ඒකට අල්ලපු සැලුන් එකකුයි . කැම්පස් එකේ කවුරුත් කොන්ඩේ කපන්නේ මෙතන.
ගාන හරි අඩුයි. මේකේ කොන්ඩේ කපපු අය්යා හරිම සමාජශීලි ප්රියජනක කෙනෙක්. ඔලුව දිගටි, පොඩි බඩක් එක්ක කොන්ඩේ කපන්න දාන රෙද්ද එක්ක හැම වෙලේම කඩිසරව එහෙ මෙහෙ දුවනවා. කොයි වෙලෙත් “හා මල්ලි ” කියලා හිනා වෙනවා. නම නං දැන් මතක නෑ. තාම සමහරවිට එතනම කොන්ඩේ කපනවා ඇති. නවකයෝ මුලින්ම කොන්ඩේ කපන දවස හරි අමුතු එකක්. රැග් කාලේ හැමෝම තට්ටේ පෙන්න සැරයක් කොන්ඩේ කපන්න ඕන. මෙයා කරන්නේ හිස් මුදුනේ මුලින්ම රව්මට තඩි කොණ්ඩ පලුවක් අයින් කරනවා. ඊට පස්සේ වටේ කැරකි කැරකි එකේ කැත බලනවා.කණ්නාඩිය අල්ලලත් පිටිපස්සේ කැත පෙන්නලා නක්කලේට හිනා වෙනවා.
“අඩේ ලිට්ල් ජෝන් වගේ බo මල්ලි “
එදා ඉදන් කැම්පස් එකෙන් එලියට බහිනකම්ම දිගටම අපි අය්යාගේන් කොන්ඩේ කපාගන්න ගනුදෙනුකරුවෝ.
ඒ කාලේ ෆෝන් එකක් ගන්නවා කියන්නේ හීනයක්. ඒ එක්ක මම වාසනාවන්තයෙක් කියන්න පුළුවන් N70 ෆෝන් එකක් තිබ්බ හින්ද. මේ කාලේ ඒක රුපියල් 40000 වගේ වටිනවා. මේ ෆෝන් එකක් අතේ තියන් ඉන්දැද්දී කෙල්ලෝ බලන්නේ හොරෙන්. එච්චරට බලවත් බහණ්ඩයක්.
වූස් කැන්ටිම පිටිපස්සේ තියෙනවා වැසිකිලි පේලියක්. පේලි දෙකට ගෑනු පිරිමි. දැන් නං වැසිකිලි යන්නේ කොමඩ් එක උඩ වාඩි වෙලා, ෆෝන් එක ටිකක් ඔබල, නිදහසේ ටිකක් සැනසිල්ලේ ඉඳලා යන්නත් එක්ක. එත් ඒ කාලේ ගියොත් නං ඉතින් දාන්නමයි. වල කක්කුස්සි වල වැඩි වෙලා වාඩි වෙලා ඉන්නත් බෑ. කකුල් රිදෙනවා. මෙදා මම ගියෙත් එහෙම. වැඩේ ඉවර වෙලා වතුරත් ගහලා කලිසම අදිනකොට එකපාරටම
“දඩස්”
මගේ අර වටිනා එන් 70 වැටුනා කක්කුස්සි වලට
ඔලුව දාල බැලුව.
අනේ.. දුකේ බෑ….. ෆෝන් එක පේන්න තියෙනවා වතුරත් එක්ක අඩියේ. බලන් ඉන්න වෙලාවක් නෑ. කුඩේ දාගන ආපු සිලින් බෑග් එක අත වටේ ඔතල දැම්ම අත වැසිකිලියට. ගත්ත ෆෝන් එක උඩට. කෙලින්ම ගියේ සින්ක් එක ලගට. සින්ක් එකේ පඩිය උඩින් ෆෝන් එක තියලා සිලි මල්ල විසි කරා. දැන් ඔන්න අත් හෝදනවා දමාගෙන. ඒ අතර හිතනවා දැන් ෆෝන් ඒකට මොකක්ද කරන්නේ කියලා.
ඔන්න එක පාරටම සැලුන් අය්යා ටොඉලට් අවා . ඇවිල්ල කොනේම එකේ චු දානවා. මමත් සින්ක් ඒකට නැවිල හිටිය පෙන්නේ නැතිවෙන්න. හරිගියේ නෑ, චු දාන ගමන්ම ඔලුව හරවපු අය්යා අහපි.
“මොකෝ මල්ලි උනේ” අය්යට එච්චර දුර ඉදලත් ෆෝන් එක පෙනිලා.
මම එක පාරට කිව්ව
“බලන්නකෝ අය්යේ ෆෝන් එක වැටුනනේ සින්ක් ඒකට “
එහෙම වැදගත් බොරුවක් කොහොම කටට ආවද මන්ද. මම ඇත්ත කිව්වනං අය්යා හතර අතේ කියයි
“අන්න සයන්ස් එකේ එකෙක් ගූ ගොඩට අත දාලා ෆෝන් එක අරන් ” කියලා.
පොම්පේ ඉවර කරපු අය්යා කෙලින්ම ආවේ මන් ලගට. මිනිහා නියම බක පණ්ඩිත.
“අය්යෝ මල්ලි මොලයක් නැද්ද? ෆෝන් එක වට්ටගන්න. බලන්න කොච්චර වටින ෆෝන් එකක්ද. ඔන් කරන්න එපා. අව්වේ තියන්නත් එපා.”
ඔන්න එක පාරට අය්යා කක්ක ෆෝන් එක අතට අරන් බලනවා. හොලවල බලනවා වතුරද ගිහින්ද කියලා. මට අප්පිරියාවෙ බෑ. ඒත් දැන් කොහේ කියන්නද. මමත් සද්ද නැතුව හිටිය. දැන් ගසනවා වතුර යන්න. ඊළගට ඇදන් ඉදපු රෙද්දේ පිහිදනවා. පපුවේ ගා ගන්නවා. කොටින්ම අය්යා කක්කා නානවා. මමත් බයේ ඉන්නවා ගදක් අවොත් ඉවරයි. දැනගත්තොත් අය්යට වෙන්නේ වමාරන්න.
එතනින් ඉවර උනේ නෑ.
“මල්ලි යං, නියම වැඩක් තියෙනවා”
අය්යා මාවත් එක්කගන ගියේ සැලුන් එකට.
අය්යා ගත්තෙ කොන්ඩේ වේලන ඩ්රයර් එක. ෆෝන් එකේ හතර අතේ ඇල්ලුවා ඒක. දැන් නං හරි වගේ. වතුර සේරම ගිහින් අය්යා කිව්වා. ෆෝන් එක ඔන් කරා. මෙන්න ඒක වැඩ. අය්යට හරි සතුටුයි. ඒ වෙද්දීත් කොන්ඩේ කපන්න ආපු හය හත් දෙනෙක්. අය්යා හැමෝටම කියනවා අය්යාගේ වික්රමය.
” වෙලාවට මං ආවේ මල්ලි, නැත්තන් ඔයා වඩේ වන කරගන්නවා. වතුර වැටුනට පස්සේ ඒක පාර ඔන් කරන්න හොද නෑ. සේරම වතුර යවන්න ඕන මුලින්”
ඇත්තටම අය්යා හරි. වෙලාවට නේන්නං අය්යා ආවේ නැත්තන් කව්රු මේ ජරා ගොඩ ගා ගන්නවද. මම කරන්නේ මොකක්ද කියලා හිත හිත අසරණ වෙලා හිටියේ.
මම අය්යට කට පුරා ස්තුති කරා.
අය්යා මට ෆෝන් ඒක දික් කරනවා. දැන් නං අල්ලන්නම වෙනවා. මම නොකියා බොක 70 ලාවට අල්ලලා සාක්කුවේ ඔබාගත්තා.
……………………
කැම්පස් කාලේ සුන්දර මතක එක්ක යාලුවෙක් වගේ මාත් එක්ක හිටපු නොකියා බොක 70 මගෙත් එක්ක රටත් අවා. පස්සේ කලෙක ඉන්ටෙර්නෙට් කෝල් ගන්න බැරි හින්ද වෙන ෆෝන් එකකට මාරු වෙන්න සිද්ධ උනා. ඒ ආදරණිය බොක 70 තාම මගේ ළග තියෙනවා. කක්කා පොඩ්ඩක් ගියත් ඒක තාම හොදට වැඩ කරනවා. මං හින්ද කක්කා ගාගත්ත සැලුන් අය්යව දකින්නත් ආසයි. සමහර විට එයා තාම වූස් එකේ කොන්ඩේ කපනවා ඇති. අය්යා මේ කතාව දැක්කොත් නං පොලව පලාගන යයි.
උපුටා ගැනීම: Sajith Karunarathne