මෙතෙක් ජීවිතේ මං ලබපු ලස්සනම අගය කිරීම කලේ මං නාදුනන කෙනෙක්. සීතල දියතලාවේ සේවයේ යෙදෙද්දී මා නමට තැපෑලෙන් එවපු ඒ නිසදැස අවුරුදු ගනනාවක් පරන උනත් තවමත් සුරැකිව තියෙනවා මා ලග..
හමුදා සේවයෙදි භාවිතා කරන්නෙ අපේ මුල් නම නෙවෙයි. අවසාන නම. ඒ නිසා බොහෝ අයට කතා කරන්නෙ වාසගමින්. පෙරේරා, සිල්වා, දිසානායක, අතුකෝරළ වගේ නම්. නමින් අදුනගන්න බෑ ගැහැනු පිරිමි බව.
ඉතිං මගෙ නම උනෙත් වාසගම. එම නම යොදා දියතලාව හමුදා රෝහලට ලිපියක් එවා තිබුනා. එහි තිබුනෙ මේ නිසදැස පමණමයි. ඔහුගේ සිවිල් ලිපිනය කොලය පසුපස සියුම්ව ලියා තිබුනා .නමවත් සදහන් කර තිබුනේ නෑ..
එය එවා තිබුනේ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබපු කෙනෙකු වන්නට බොහෝ ඉඩ තිබෙන නිසා, වාට්ටුවට ඇතුලු වන විට පුරවන පෝරම වල අකුරු හා ලියවිල්ලේ අකුරු සසදා බැලුවා.සතියක පමණ කාලයක් පිටුපසට යනවිට එම අකුරු වලට සසැදෙන අකුරු හමුවුනා..
මට ඔහුව මතක තිබුනා. ශරීර උෂ්ණත්වය ඉතා ඉහල ගොස් තිබුනා ඔහු රෝහලට එනවිට. වාට්ටුවට ඇතුලත් කිරීමේ කටයුතුද කලේ මමයි. දවස් තුනක් පමණ නේවාසිකව ප්රතිකාර ලබා පිටව ගියා. ඔහු ලුතිනන් කෙනෙක්. උස, තළෙලු තරුණ නිලධාරියෙක්. වැඩි කතාබහක් නැති කෙනෙක්. සමහරෙක් දවස් කීපයක් නේවාසිකව සිටින විට අප සමග සුහදව කතා බහ කර අපගේ නම ගම අසා හිතවත් වූවත් ඔහු එසේ කතා කලේද නෑ. නමුත් සෑම කෙනෙකුට මෙන්ම ඔහුටද කාරුණිකව සැලකුවා. ඔහුගෙ නම මට දැන් මතක නෑ.
මේ නිසදැසට මා බොහෝ ඇලුම් කලා. නමුත් නැවත කවදාවත් මට ඔහු මුණගැහුනෙ නම් නෑ. ඇතැම්විට ඔහුට අවශ්ය වූයේ මා ඇගයීමට පමණක්ම වන්නට ඇති. එහි තිබූ ලිපිනයට ලියන්නට මා සිතුවේද නෑ. මෙතරම් කල් ගොසිනුත් මට මේ නිසදැස ඉවත දැමීමට සිතකුත් නෑ. හොදම දේ නම් මෙම නිසදැසෙහි ඔහු මගේ හමුදාවේ භාවිත වූ නමද ගලපා ලියා තිබීමයි..
පන්හිද හැසිරවූ – සියුමැලි දෑත් මඩිමින්..
ගිනි අවිය හුරුකොට – රට රකිනු වස් පෙරටම..
නයිටිංගේල් වරම ගෙන – ගිලන් වූ සෙබල මුලු සුවපත් කරන්නිය..
යෞවනය අභියස – තවම නුඹ හිදිනා ..
කැපකොට සිනා බස් – පියතෙපුල් නිහඩකොට..
රැයම නිදි වරමින් – උදම්වන දිරිය දියණිය..
සීත කදුරට පිපුණු – රත් රෝස කුසුම් මැද..
නුඹේ රැව කැලුම් දැක – පොසොන් සද සැනසේවි…
රුපුන් දහසක් මැඩ – නොලත් ඒ කිසිදිනෙක..
නියම ජය නුඹ ලැබුම – රත්නයක් වූ කුසුම..
අදරැති හදකින්.
උපුටා ගැනීම: Adhithi Jayasekara