සීමා මායිම් වැට කඩුළු බිඳගෙන යන්න ගෑණුන්ට තියෙන්නෙ මහ පුදුමාකාර හයියක්. අතේ පයේ හයිය වැඩි පිරිමින්ට උනාට ගෑණුන්ගේ හිතේ හයිය මහමෙරක්. හැබැයි උන් හරි හැඟීම්බරයි. අවේගශීලියි.
මං හරි කැමතියි ඒ වගේ හිත හයිය ගෑණුන්ට. මූණෙ ලස්සනට වඩා ගැහැණියකගේ ඒ හිතේ හයියට, මගේ තිබුනෙ හරි අරුමාකාර ආකර්ෂණයක්. ආං එහෙම කෙල්ලෙක් මට හම්බ උනා ජර්මනියෙදි. අපේ ආලයේ නොනවතින මිනිත්තු සති ගාණකට විතරක් සීමා උනාට, ඒ හැම තත්පරයකම බර තාමත් මගේ හදවතේ මුල්ලක තැන්පත් වෙලා තියෙනවා. ඒත් ඒ කෙල්ල මතක් වෙන වාරයක් වාරයක් පාසා අදටත් මගේ පපුව හිරවෙනවා. හුස්ම මොහොතකට නවතිනවා. ආයි හෙමීට හුස්ම වැටෙද්දී ඇහේ අග්ගිස්සට හීනි කඳුලක් මෝදුවෙනවා.
මං එවේලේ හිටියේ මට වෙන් වෙච්ච මිදි වැල් තීරු වල, පැහුනු මිදි පොකුරු කඩ කඩ.
පෝලන්තයේ ඉගෙන ගත්ත මම ජර්මනියට ආවෙ මට ලැබුන මාස තුනක ගිම්හාන නිවාඩුවට. මගේ හොඳම මිත්රයෙක් ජර්මනියෙ ෆ්රයිබර්ග් කියන නගරෙ ජීවත් වෙච්ච හින්දත්, ඔහුගේ උදව්වෙන් මේ මාස තුනේ ජර්මනියට ඇවිත් මිදි නෙලීම, ආපන ශාලා වල අත් උදව් දීම වැනි තාවකාලික සුළු රැකියා වලින් කීයක් හරි හොයාගන්න පුලුවන් හින්දත් මට ලැබුන මුල්ම ගිම්හාන නිවාඩුවට මං ෆ්රයිබර්ග් ආවා.
මිදි වත්තක මිදි නෙලීම මගේ හීනයක්. ඒ අත්දැකීමට මං කොච්චර ඇලුම් කරාද කියනවා නං, චිත්රපටියක මිදිවතු වල දසුනක් දැක්කත් මගෙ හිත අමුතුම නැවුම් ගතියකින් කුල්මත් වෙනවා. එහෙම බැලුවොතින් එවේලෙ හිටියෙ මං මගේ හීනෙක ජීවත් වෙමින්. ෆ්රයිබර්ග් වලට කිට්ටුව කයිශර්ෂ්ටූල් ප්රදේශය වයින් නිශ්පාදනයට ප්රසිද්ධ පැත්තක්. මේ ප්රදේශයේ අක්කර සිය ගාණක් පුරාවට පැතිරුණ මිදි වතු, ගිම්හාන හිරු එළියට දීප්තිමත් කොළ පැහැයකින් බැබලුනා. සමාන්තරව ඇඳපු තුනී රේඛා වගේ ඈතට පේන මිදි වැල් තීරු, ඒ මිදි වතු මැදින් වැටුනු වංගු සහිත පටු පාරවල්, නිර්මාණ ශිල්පියෙක් සීරුවට සංයමයකින් ඇඳපු රේඛා චිත්රයක හැඩ සිහිපත් කරා.
හදිසියේම මට මිදි වැල් තීරු දෙක තුනකට වගේ එහායින් හදිසි තැතිගැන්මකින් වගේ කෑගහන ගැහැණු කටහඬක් ඇහුනා.
“අනේ කරුණාකරලා කවුරුහරි මට උදව් කරන්නකෝ”
විදේශීය ඉංග්රීසි ඌරුවකින් තරමක් උස් හඬින් සහ ආයාචනාත්මක ස්වරයෙන් ඒ කටහඬ ඇහුනා.
ඉක්මන් ගමනින් මිදිවැල් තීරු වල එකින් එක සෝදිසි කරපු මට, මං හිටපු තීරුවට තීරු තුනක් විතර එහා තීරුවක ගැහැණු කෙනෙක්, කෝටුවක් දික් කරමින් මොකක්දෝ කරකර හිටියා. හරියට සතෙක් එලවන්න කරන උත්සහයක් වගේ.
“ඔයාට මොනව හරි උදව්වක් ඕනෙද ?”
මගේ හඬට තිගැස්සුන ඇය, හදිසියෙන්ම පිටිපස්ස හැරිලා මං දිහා බැලුවා. පැහැපත් දුඹුරු හම නිසාත්, එයාගේ වචන කීපයේ තිබ්බ විදේශීය ඌරුව නිසාත්, එයා ජර්මන් ජාතිකයෙක් නොවෙන්න ඇති කියල මට හිතුනා.
“අනේ කරුණාකරලා. කරදරයක් උනා නම් සමාවෙන්න”
ඇය අසරණ කම හංගගෙන ආචාරශීලී කමක් පෙන්නුවා.
“ඇයි මොකද ප්රශ්නේ ?” මම ඇහුවා.
“අනේ අන්න අතන මකුලුවෙක් ඉන්නවා”
මගේ මූණට ඉබේටම පුංචි හිනාවක් ආවත්, මං එවේලෙම ඒක හංගගත්තා. ඒත් ඒක දැකලා එයාගෙ මූණ අඳුරු වුනේ, ඒක එයාට දාපු සමච්චල් හිනාවක් කියලා හිතපු හින්දා වෙන්න ඇති.
“මං මකුළුවන්ට දක්වන විශේෂ භීතිකාවක් (arachnophobia) තියෙනවා. ඒක සාමාන්ය තත්වයක් නෙමෙයි. ඒකයි මං මකුළුවන්ට එච්චර බය”
ඇය නිදහසට කරුණු කියන්නා සේ කියාගෙන ගියා. මට එවේලෙ මං ගැනම තරහක් ඇතිවුනා. මුකුත් නොකියම එතන හිටපු මකුළුවව මං කෝටුවකින් ඉවතට අරං ගිහිං විසිකරලා දැම්මා.
මං කෝටුව අසිපතක් වනනවා වගේ වන වන එයා ගාවට ආපහු ගිහිං,
“ඔන්න සුපර් මෑන් නපුරු ස්පයිඩර් මෑන්ගෙන් කුමාරිකාව බේරගත්තා” කියලා කිව්වා.
ඒක අහපු එයාට බකස් ගාල හිනා ගියා. බොරු සංකරකමක් නැති ඒ හිනාව හරි අව්යාජයි කියලයි මට එවේලෙ හිතුනේ.
“බොහොමත්ම ස්තුතියි ‘මගේ’ සුපර්මෑන්”
එයා මගෙන් අහන්නෙවත් නැතුව මාව එයාගෙ කරගත්තම මගේ හිතට අමුතු කිචියක් දැනුනා. ඒක විහිළුවක් බව නොදැනෙන්න තරං මං කෝඩුකාරයෙක් නොවුනත් , එදා දහවල් වරුවෙ මිදි නෙලන රාජකාරිය පුරාවටම, ඒ හිනාව මගේ හිතෙන් අතහැර ගන්න මට අමාරු උනා.
‘නෆීසා’…. ඒක හරි ලස්සන නමක්. එයාට තිබ්බේ තද කලුපාට ලොකු ඇස්දෙකක්, කෙටි නහය, හීනි තොල්, කැරළි කොණ්ඩෙ. හිනාවෙනකොට ඇස්දෙක දිලිසෙනවා. මම සාමාන්යයෙන් කැමති නිල් ඇස් ඇති සුදු හම තියෙන කෙල්ලන්ට උනාට, මේ ලා දුඹුරු අරුමැත්තිගේ අරුමාකාර ලස්සනක් මට දැනුනා. තොල උඩ තිතක් වගේ තිබ්බ උපන් ලපය නිසා හිනාවෙද්දි සරාගී කමක් කැලතිච්ච අමුතුම කෙලිලොල් කමකුයි දිස්වුනේ.
අපි එදා දවල් කෑම වෙලාවෙ හොඳ යාලුවො උනා. එයා මගේ විස්තර, අපේ රටේ විස්තර, මගේ පවුලේ විස්තර ඇහුවේ හරිම උනන්දුවකින්. ඒ ඔක්කොම එයාට අලුත් දේවල් උනා. මොකද එයාට ශ්රී ලංකාවෙ කෙනෙක් හමුවෙලා තිබුනේ ජීවිතේ පලවෙනි වතාවටලු.
නෆීසා ඇෆ්ගනිස්තානයේ කෙල්ලෙක්. වැඩි වයසක් නෑ, අවුරුදු දහනමයයිලු. ඒ උනාට හොඳ මුහුකුරා ගිය බුද්ධියක් තිබුන බව කෙටි කතාබහකින්ම මට තේරුනා. ඇය ජර්මනියේ ෆ්රයිබර්ග් විශ්වවිද්යාලෙ මනෝ විද්යාව ඉගෙන ගන්න ආපු ශිෂ්යාවක්.
“එතකොට ඔයා නැවතිලා ඉන්නේ ?”
මම ඇහුවා.
“යුනිවර්සිටි හොස්ටල් එකේ”
“ඔයාට මෙහෙ ඇෆ්ගන් යාලුවො හරි නෑයො හරි කවුරුත් නැද්ද ?”
“නැහැ. මං එයාලට වැඩිය කැමති නැහැ”
ඒ පිළිතුරත් එක්ක එයාගෙ මුහුණෙ නුරුස්නා හැඟීමක සේයාවක් ඇඳිල ගිය බව මම කියෙව්වා.
“එතකොට ඔයාගෙ පවුලෙ කට්ටිය ?”
“එයාල කාබුල්වල”
කෙටි උත්තරයක් දීලා, එයා එයාගෙ ජංගම දුරකථනය හදිසියේ පරීක්ෂා කරේ ඒ කතාව නවත්තන්න වගේ.
එයාගෙ පවුලෙ ගැන විස්තර කියන්න අමුතු අකමැත්තක් තියෙන වග තේරුන හින්දා, පහුවෙන් පහු ඒ ගැන කතා නොකරන්න මං හිතාගත්තා.
ඒ සතියෙ අපි නැවතිලා හිටියේ මිදිවතු අයිතිකාරයා දීපු ගෙදරක. මැසිඩෝනියන්, ජෝර්ජියන්, රොමේනියන් ජාතික තරුණ තරුණියො ටිකකුයි, අපි දෙන්නයි තමයි අපේ මිදි නෙලීමේ කණ්ඩායමේ හිටියේ. අනිත් හැමෝටම වගේ රුසියන් භාශාව හෝ ජර්මන් භාශාව පුලුවන් උනාට, ඉංග්රීසි හරියකට බෑ. මටයි නෆීටයි ඒ භාශා දෙකම බෑ, හැබැයි ඉංග්රීසි පුලුවන්. ඒ හින්දා කට්ටිය එක්රොක් උන වෙලාවල අපි දෙන්නා ඉබේටම කොන් උනා. ඒකෙන් උනේ අපි දෙන්නා දෙන්නට තවතවත් කුළුපග වෙච්ච එක.
අපි නානාප්රකාර දේ ගැන කතාකරා. වාද විවාද කරා. අවුරුදු දහනමයක් උනාට ඒ කෙල්ලගෙ දැනුම, බුද්ධිය මාව මවිත කරපු වාර අනන්තයි. බෞද්ධ දර්ශනය ගැන මගෙන්ම ඉගෙන ගෙන එයා ආපිට මගෙන් අහපු ප්රශ්න, පුංචි කාලෙ ඉඳං ඉගෙන ගත්තු බුද්ධාගමේ අපි නොදැකපු අළුත් මාන හොයන්න දකින්න මාව පෙලඹෙව්වා.
සාම්ප්රදායික මුස්ලිම් කෙල්ලෙක් විදියට ඉපදිලා හැදිලා වැඩුනට, ජර්මනියෙදි නෆී නිතඹට හිරවුන කොට කලිසම් ඇන්දා. වයින් බිව්වා. කොල්ලන්ට විහිලු කරා. තමන්ගෙම ආගමේ, සංස්කෘතියේ පවා වැරදි නොබියව විවේචනය කරන මේ විප්ලවවාදිනිය, බය මකුළුවන්ට විතරක්ම නොවේද කියලා මට හිතුනා.
නෆීසාගෙ තිබ්බ දඟකාර කෙළිලොල් කතාබහයි වැඩයි හින්දා මටත් අපේ සමාගමය කම්මැලි එකක් උනේ නෑ. ඒ දාංගලේ වෙලාවකට හරී හුරතල්, වෙලාවකට ආදරණීයයි, වෙලාවකට විහිළුයි. තවත් වෙලාවකට හරි බුද්ධිමත්. හැබැයි සමහර වෙලාවකට නම් ඒකිගේ වැඩ වලට මට කේන්තිත් යනවා. එහෙම කේන්ති ගත්ත වෙලේට මගේ රැවුල කොණකින් ඇදල හරි, තට්ටම කොනිත්තලා හරි ටිකක් දුර දුවන් ගිහිං මට ඇද කරන්න ඒකි පුරුදු උනා. ඒකි හරියට නෙල්ලි ගෙඩියක් වගේ. එක එක වෙලේට එක එක රස. ඒත් කොයිම වෙලේකවත් එපා වෙන්නෙ නැති.
හමුවෙලා සතියක්වත් ගිහින් නොතිබුනාට, ඒ වෙනකොට අපි දෙන්න හොඳ යාලුවො වෙලා තිබුනා. හැබැයි මිතුදමට එහා ගිය අමුතු උණුහුමක් අපේ සම්බන්ධෙ ඇතුළට කාන්දු වෙමින් තිබ්බ බව මට නොතේරුනාම නොවෙයි.
අපි නැවතිලා හිටපු ගෙදර ගෑණු පිරිමි නිදාගත්තෙ වෙන වෙනම. පස්වෙනි දවසෙ රෑට කාල ඉවර වෙලා අපි කවුරුත් නිදාගන්න ගියා. දවසෙම මිදි වත්තෙ වැඩ කරලා මහන්සියට නින්ද යාගෙන එනවත් එක්කම මගේ ජංගම දුරකථනය කණ ගාව දෙදරන්න ගත්තා. දුරකථනය මම සවනට ළංකරේ නිදිමරගාතෙම, මූණත් නොරොක් කරගෙන.
“තීකා, ඔයා නිදිද ?” ඒ නෆී.
“නෑ මං මේ රෝලර් කෝස්ටර් පදිනවා”
මට නහුතෙට කේන්තියි.
“හිකි හිකි හිකි” ඒකිට හිනා.
“මට රෑ කෑම වෙලාවෙදි කියන්න අමතක උනානේ. හදිසි වැඩක් තියෙනවා. ඔයාට පුලුවන්ද මට උදව් කරන්න ?”
එයා කොඳුරන හඬකින් ඇහුවේ අනිත් කට්ටිය නිදි නිසා.
“මොකක්ද ඒ ?” මං ඇහුවා.
“තව විනාඩි පහෙන් ඉස්තෝප්පුව එපිට පොකුණ ගාවට එන්නකෝ. මං කියන්නං”
එහෙම කියපු ගමං, මට වචනයක් කියන්න ඉඩ තියන්නැතුව ඇමතුම විසන්ධි කරා.
“වයස දහනමය උනාට, මේකිගේ මායං නං….”
කේන්තිය අස්සෙම ආශාවක පුළිගුවක් හංගගෙන මං ඒ ගෙදර ඉස්සරහ තිබ්බ වේලිල ගිය පොකුණ ගාවට වෙලා අහස දිහා බලං හිටියා. දොර සීරුවට අරින සද්දෙ ඇහුනට මං ඒ පැත්තවත් බැලුවෙ නෑ. හොරෙන් අඩි තියමින් ආපු නෆී පැනපු ගමන් මගේ කරේ එල්ලුනේ, පොඩි එකෙක් ලුණු ගෙනියන්න පිටේ එල්ලෙනවා වගේ. හීන්දෑරි හැඩ ඇඟක් තිබ්බ නෆී, හැඩි දැඩි මට ඒ හැටි බරක් උනේ නෑ.
“ආවට බොහෝම ස්තූතියි”
එහෙම කියල මගේ කම්මුලට හරි රස්නෙට හාදුවක් දුන්නා. ඒකෙන් මගේ ඇතුලාන්තයම කිළිපොලා ගියත්, මං ඒ බවක් නොපෙන්වා මගේ ඉඟ වටා එතුණු එයාගෙ කලවා තදින් මිරිකලා අල්ල ගත්තා. කොට කලිසමක් ඇඳල හිටපු නිසා නග්නව තිබුන ඒ කලවා වල සියුමැලි උනුහුම, ගොරෝසු අත්ලෙන් මං උකහා ගත්තා.
“අපි යමු අර ගැරේජ් එක ගාවට”
මාව එලියෙ තියලා මඩුව ඇතුලට රිංගපු කෙල්ල ආපහු එලියට ආවෙ ගෙදර පෙරපු වයින් බෝතල් දෙකක් අරගෙන.
“ඔයාට පිස්සුද කෙල්ලෙ ? අහු උනොත් එහෙම හිරේ යන්නත් වෙයි”
මට කියවුනේ ඉබේටම.
“නීති තියෙන්නෙම කඩන්න” (Rules are meant to be broken)
විප්ලවවාදී ඇෆ්ගන් කෙල්ලගෙ කටේ කොයි වෙලෙත් තිබ්බ කියමන එවේලෙත් කියලා මට ඇහැක් ඉඟි මැරුවා.
එක වයින් බෝතලයක් මට දීලා, මගේ අතින් ඇදගෙනම සීරුවට ඒකි මිදි වත්ත මැදින් වැටුණු පටු පාරෙන් ඉදිරියට ඇදුනා. මං ප්රශ්න ඇහුවෙ නෑ. කීකරුව මේ පොඩි ඇච්චි පස්සෙන් ගියා මිසක්. පටු පාර අන්තිමේ අඩි පාරක් වෙලා, මිදි වතු මැද පුංචි කඳුගැටයක් උඩට ඇදුනා. ඒ කඳු ගැටේ මුදුනේ ඇපල් ගහක් තිබුනා. ගිම්හානය හින්දා ඒ වෙද්දිත් යන්තමට දසත පැතිරිලා තිබුන මන්දාලෝකයෙන්, ගහ රතුපාට ඉදුණු ඇපල් වලින් පිරිලා තියෙන හැටි දිස්වුනේ අපැහැදිලිවට. එතන පහල ලෑලි වලින් හදපු පොඩි හතරැස් වේදිකාවක් තිබුනා. හරියට කුඩා රඟමඩලක් වගේ. නෆී පොඩි බැක්පැක් එකේ දාගෙන ගෙනාපු බ්ලැන්කට් එක එලල, අපි දෙන්නත් එක්ක ඒකෙ වාඩි උනා.
“අපි දැන් මොකක්ද සමරන්න යන්නෙ ?” මං ඇහුවා.
“ඒක මං තව පැය දෙකකින් කියන්නංකෝ”
“මොනවා, හෙට ඔයාගේ උපන්දිනේද ?”
මගේ සහජ බුද්ධිය මට ඉඟියෙන් මෙන් කිව්වා.
“අපි දැන්ම සමරන්න පටන් ගමු” නෆී හිනැහෙමින් කිව්වා.
අපි වයින් බෝතලේ කට තියාගෙනම උගුරින් උගුර බොමින් කතාබහ කරන්න ගත්තා. සුදු වයින් වලින් දෙන්නම සීරුවට මත් වෙද්දි, වචන වලින් කතාබහ අඩු වෙලා ඇස් වලින් කරපු කතාබහ වැඩි උනා. එංඩින්ගන් ගමේ පල්ලියේ ඔරලෝසු කණුවේ මැදියම් රෑ දොළහ කණිසම වැදෙන සද්දෙ මුළු කයිශර්ෂ්ටූල් මිටියාවතේම රැව් දුන්නා. ඒත් එක්කම නැගිටල අර ලෑලි වේදිකාව උඩට නැගපු මම,
“සුබ උපන්දිනයක් නෆීසා…. !!!”
කියල මොර දුන්නෙ, මේ නිර්භීත කෙල්ල වෙනුවෙන් මගේ හිතේ තිබ්බ ලෙංගතුකම මධුමතට දෙගුණ තෙගුණ වෙලා තිබ්බ හින්දයි.
ඊට පස්සෙ ජංගම දුරකථනයෙන් සින්දු දාලා, අපි පැය භාගයක් විතර එක දිගටම නැටුවා. කැරකි කැරකි නැටුවා. උඩ පැන පැන නැටුවා. නෆී මට Belly dance කරලා පෙන්නුවා. මේ කෙල්ල ඒ ඉඟ බඳ නලවපු අපූරුව අද වෙනතුරු මම චිත්රපටියක නැටුමකවත් දැකලා නෑ.
“මගේ belly dance එක දැකපු මේ ලෝකෙ එකම පිරිමියා ඔයා”
අන්තිමේ අපි දෙන්නම ලෑලි වේදිකාවෙ වාඩි වෙලා හති ඇරියා. ඒත් අපේ මූණුවල හිනාව නං මැකුනෙම නෑ.
“බොහොම ස්තූතියි තීකා මගේ ජීවිතේ හොඳම උපන්දිනේ මට දුන්නට. මෙච්චර නිදහසෙන් විනෝද උන මගේ මුල්ම උපන්දිනය මේක”
එහෙම කියපු නෆීසා, මාව තදින් බදාගත්තා. මගේ සර්වාංගයම එක පාර ගිනියම් වෙන්න පටං ගත්තා වගෙයි මට ඒ මොහොතේ දැනුනේ. එයා තව තවත් තදින් මාව වැළඳ ගනිද්දි, මං ඇස් දෙක පියා ගත්තා. අපි විනාඩි දෙක තුනක් එහෙම ඉන්න ඇති. අපි අපේ ග්රහණයෙන් මිදෙද්දි කෙල්ලගේ මූණෙ හිනාව මැකිලා ගිහිං. අපේ ඇස් එකිනෙක පැටලිලා. නෆීගේ දිලිසෙන ඇස්දෙක දිහා මොහොතක් බලා හිඳපු මම, ක්ෂණයකින් එයාගෙ නිකටින් ඇදල අරං අපේ ලවන් පෙති එකිනෙක යා කලා.
තත්පර දෙක තුනක් ගතවෙන්න ඇති. විදුලි වේගෙන් මාව ඉවතට තල්ලු කරපු නෆී, අකුණක් පුපුරනවා වගේ සැරට මගේ කම්මුලට ගැහුවා. මට එකපාර තරහ ගියේ නෑ. මාව තුශ්නිම්භූත වුනා විතරයි. මං එයාගේ දිහා ඕනෑකමින් බැලුවා. එදා ඒ මොහොතේ ඒ ඇස්වල තිබුනෙ හරි අපැහැදිලි හැඟීමක්. මගේ ඇස් දෙක දිහා එක එල්ලේ තවත් නිමේශයක් බලං ඉඳපු ඒ පුංචි කෙල්ල, මගේ දෙතොල් මතට පැන්නේ උමතුවෙන් වගේ. ඒ ලෑලි වේදිකාව උඩ මාව පෙරල ගත්ත මේ රාගිනිය, ඊලඟට ගෙවුනු රමණීය මිනිත්තු කිහිපයේදී එයාගෙ මුළු ආත්මයේම බර, මගේ උකුළ මත සැතපෙව්වා.
පහුවෙනිදා දහවලේ අපි අතරෙ ඒ හැටි කතාබහක් සිද්ධ උනේ නෑ. එයා ඕනැකමින්ම මාව මගහරිනවා වගේ දැනුන හින්දා, මම මගේ හැඟීම් තද කරං හිටියා. රෑ කෑම වෙලාවෙදිත් අපි එක ළඟ ඉඳං හිටියත් වැඩි කතාබහක් සිද්ධ උනේ නෑ. මගේ ඔලුව ඇතුල යකාගෙ කම්මල වගෙයි. කට්ටිය නින්දට යනකං ඉඳලා මං නෆීට කෙටි පණිවිඩයක් යැව්වා.
“Barn house එක පිටිපස්සෙ තියෙන බංකුව ගාවට එන්න”
ඒක ඉල්ලීමක් නෙමෙයි, විධානයක්.
මම බංකුවේ වාඩි වෙලා විනාඩි දහයක් විතර බලං හිටියා. මගේ පණිවිඩය දකින්නැතුව නින්ද ගියාවත්ද ? නැත්තං තාමත් ‘ඊයෙ රෑ’ මට පැහැදිලි කරන්න වෙයි කියලා මාව දිගටම මග හරින්න තීරණය කරලාවත්ද ?
තෙරක් නොපෙනන සිතිවිලි සාගරේ මං අතරමං වෙලා ඉන්නකොට, මගේ පිටුපසින් නෆීගේ හඬ ඈසුනා.
“තීකා…” ඒ හඬේ තිබ්බෙ බිඳුන ස්වරයක්.
“කරුණාකරල මෙතනින් වාඩි වෙන්න”
මං මුහුකුරා ගිය සන්සුන් ස්වරයකින් කිව්වා.
“සුබ උපන් දිනයක් නෆී. මට ඔයාට තෑග්ගක් ගන්න යන්න විදියක් තිබුනෙ නෑනේ. ඒ හින්දා ඔයා ආස කරපු මගේ පුංචි අලියගෙ මාලෙ මං ඔයාට දෙනවා”
එහෙම කියල මම බෙල්ලෙ පැළඳගෙන හිටපු ලංකාවෙ අලියෙක්ගෙ පුංචි රුව සහිත මාලය එයාගේ කරට දැම්මා. ඒ මාලයට නෆී කොයි වෙලෙත් හරි ආසාවෙන් හිටියේ. “මගේ ශක්තිමත් ශ්රී ලංකානු අලියා” මාලෙට මුවාවෙන්, මා වෙනුවෙන් එයාගෙ තිබ්බ ලෙංගතු කම නොකියා කිව්වෙ එහෙම.
“ඒත්… ඒත් මේක ඔයාගෙනේ”
“නෑ, දැන් මේක ඔයාගේ. ඔයා කැමති නැත්තං වීසිකරලා දාන්න”
මං නෝක්කාඩුවකින් ඉවර කරා.
“නෑ. මගේ ශක්තිමත් ශ්රී ලංකානු අලියව මං මගේ හදවත ගාවින් හැමදාටම තියාගන්නවා”
එහෙම කියපු නෆී හෙමීට මට තුරුළු උනා. විනාඩි කීපයක් එහෙම හිටපු එයා හෙමීට හඬ අවදි කරා.
“තීකා… මට සමාවෙන්න”
“මොකටද සමාව ඉල්ලන්නේ ?”
“ඔයාගේ කම්මුලට ගැහුවට. සහ ඊට පස්සෙ වෙච්ච හැමදේටම”
වාක්යය ඉවර කරද්දි කෙල්ලට ඉකි බිඳුනා.
“ඔයා සමාව ගන්න ඕනෙ නෑ. මං දන්නවා ඔයා මට නොකී කතාවක් තියෙනවා. ඊයෙ රෑ පුපුරල ගියේ ඒ පීඩනය. එහෙම නේද?”
“මෙච්චර කාලෙකට ඔය තරම් අපූරුවට මාව තේරුම් ගත්ත එකම කෙනා ඔයා. මං හිතුවෙ නෑ ජීවිතේ කවදාකවත් පිරිමියෙක් මාව තේරුම් ගනීවි කියලා. විශේෂයෙන්ම, මං කවදාවත් හිතුවෙ නෑ මං මාව තේරුම් ගන්න පිරිමියෙකුට ඉඩ දේවිය කියලා.”
“ඒ කිව්වේ ?”
ඒකිගේ අන්තිම වාක්යය මට වටහා ගන්න බැරි උනා.
“මං මෙච්චර කල් හිතං හිටියෙ මං ලෙස්බියන් කියලා”
“මොකක්?” ඒක ඇහෙද්දි මාව තිගැස්සිලා ගියා.
“ඔව් තීකා. එහෙනම් මං ඔයාට මගේ සම්පූර්ණ කතාව කියන්නම්.
මං හැදී වැඩුනේ සාම්ප්රදායික ගතානුගතික මුස්ලිම් පවුලක. අපේ පවුල් වල පිරිමි හරි දරදඬුයි. එයාලගේ නීතියට ගැහැණු අපි හැමතිස්සෙම නතු වෙන්න ඕනෙ. පුංචි කාලෙ ඉඳලම මං ඔය ගැන වාද කරා. රණ්ඩු කරා. තාත්තගේ යාලුවෙක්ගේ පුතෙකුට මාව බන්දන්න පොරොන්දු වෙන කොට මට අවුරුදු 13යි. මං ඇඬුවා. බඩු පොලවේ ගැහුවා. නොකා නොබී හිටියා. ඒත් වැඩක් උනේ නෑ. මගේ තාත්තයි, සහෝදරයොමයි මාව මරන්න පවා තර්ජනය කරේ. මට එදායින් පස්සෙ පිරිමි එපාම උනා. ඒත් මං ඉවසං හිටියා.”
බර හුස්ම කීපයක් හෙලලා, නෆී මගේ ඇඟිලි අතර එයාගෙ ඇඟිලි පටලවා ගත්තා.
“මගේ පලමු ආදරය නූර්. නූර් මට වැඩිය අවුරුදු දෙකක් වැඩිමහල් කෙල්ලක්. අපි අසල්වැසියෝ. එයාව හම්බවෙද්දි මට වයස දාහතයි. එයා මුණ ගැහුණු දවසෙ ඉඳලා එයාගෙ තිබුන සුවිශේෂි පෞරුෂත්වයට තමයි මං ආකර්ෂණය උනේ. හරියටම ඔයාට ආකර්ෂණය උනා වගේම. කෙල්ලෙකුට ආදරේ හිතෙන්න හිතෙන්න, ඒ හැඟීමට මං පුදුම විදියට බය උනා. ඒත් එයාගෙත් මං ගැන ඒ වගේ හැඟීමක් තියෙනව කියල දැනගත්තම මට ලොකු අස්වැසිල්ලක් දැනුනා. අපි ආදරය කරා. හිතින් වගේම ගතිනුත්. ඒක හරි ලස්සන වගේම හරි අහිංසක ආදරයක්. හැබැයි අපි පරිස්සම් උනේ පුදුම විදියට. මොකද අපේ ආදරය ගැන අංශු මාත්රයක් හරි මිනිස්සු දැන ගත්තා නං, අපි දෙන්නටම අත්වෙන්නෙ මරණය.
ජර්මනියට එන්න අපි දෙන්නා හොරෙන් සැලසුම් කරා. එහෙම කරද්දි තමයි නූර්ලගෙ ගෙදරින් එයාව හදිසියෙම කසාද බන්දලා දුන්නේ. අපිට අපේ ආදරය රැකගන්න කිසිම දෙයක් කරගන්න බැරිව අසරණ උනා. නූර් අන්තිමේ එයාට ලැබුන ජීවිතය සටනකින් තොරව පිලිගත්තා. හැබැයි මම නූර් වගේ පරදින්නෙ නෑයි කියලා මටම දිවුරගත්තා. ජීවිතේ පරදුවට තියලා පවුලේ හැමෝටම හොරෙන් තමයි මං ජර්මනියට පැනගත්තේ.
මං දැන් බය නෑ. මාව මැරුවත් මං ආයි කාටවත් පරදින්නෙ නෑ”
මේ පුංචි කෙල්ලගේ ඒ වාක්යයේ මහා එඩිතරකමක් ගැබ්වෙලා තිබුණා.
“මං හිතං හිටියේ මං ගෑණුන්ට ආදරේ කරන ගැහැණියක් කියලා. හැබැයි නූර්ගෙන් පස්සෙ කෙනෙකුට මගේ හිත ඇදිලා ගියා නං ඒ ඔයාටයි තීකා. ඒත් ඒක රොමාන්තික ආකර්ෂණයක් කියල මං කොහොමටවත් හිතුවෙ නෑ. ඔයාගේ කතාබහට, තේරුම් ගැනීමට, විවෘත මනසට, විහිළුවලට මගේ හිත ඇදිල ගියා. ඉඳහිට ඔයා කරන ස්පර්ශයටත් මං යටිහිතින් ආශා කරපු බව මට තේරුම් ගියේ ඊයෙ රැයින් පස්සෙයි.
මම ඔයාට කම්මුල් පාර ගැහුවේ මට මාවම තේරුම් ගන්න බැරුව. මං හිතං හිටියෙ මං ලෙස්බියන් කියලා. ඒක ඔයා සිපගත්ත වෙලාවෙ මාව පාලනය කරන්න දක්වපු ස්වයංක්රීය ප්රතිචාරයක්. හැබැයි ඊට පස්සෙ තත්පර කීපයෙදි ඔයාගෙ ආකර්ෂණයෙන් මිදෙන්න මට ශක්තියක් නැති උනා.
මං දැන් දන්නවා හරියටම මං කවුද, මගේ රොමාන්තික තේරීම මොකක්ද කියලා”
” ඒ මොකක්ද ?” මං ඇහුවේ කුහුලකින්.
“මම Pansexual. ඒ කියන්නෙ මං ආදරය කරන්නෙ ගැහැණුකමටවත්, පිරිමිකමටවත් නෙමෙයි. කෙනෙක්ගේ පෞරුෂයට. ඒක හැබැයි සාමාන්ය bisexuality වලට එහා ගිය දෙයක්”
නෆී ආත්ම විවරණය අවසන් කරා.
“ඔයා දහවලේ මාව මග හරින කොට, මං මිලියනක් විය හැකි හේතු හිතුවා. හැබැයි මේ හේතුව හැර”
මං එහෙම කිව්වම නෆීගේ මුහුණේ තිබ්බ බැරෑරුම් සේයාව සැනෙක අතුරුදහන් වෙලා සිනහ රැල්ලක් මතුවුනා.
“මෙන්න මේ සැහැල්ලු ගතියටයි මං ඔයාගේ ආදරේ”
එහෙම කියමින් නෆී මගේ ඔඩොක්කුවට ගොඩවුනා. ආදරණීයව මගේ තොල්පෙති සිපගත්තා. උණුහුමට උණුහුමක් යාවෙද්දි අපි එකිනෙකාගේ සුවඳින් මත් උනේ කිසිම මධුවිතක බලපෑමක් නැතුවමයි. ගිම්හාන නල රැලි පිස එන මිදිවතු වලට මායිම් වුනු පාලු barn house එක පිටුපස ලෑලි බංකුව අපේ දෙවෙනි ප්රේමාලිංගනයේ සාක්ෂි දැරුවා.
ඊට පස්සෙ සති කිහිපයේ අපි ෆ්රයිබර්ග් නගරයෙදි නොයෙක් වර හමු උනා. එලිපිට අපි පෙම්වතුන් විදියට නොහැසිරුණත් ලොවට හොරෙන් අපි අපේ පහස සොයා ඇදුනා. අපි බයිසිකල් පැද්දා, ඇවිදින්න ගියා, රාත්රී සාද කරා, මගේ යලුවොත් එක්ක කෑම ඉව්වා, සින්දු කිව්වා. අපි දෙන්න විතරක් තනිඋන මොහොතවල් වල එයා මට belly dance කරල පෙන්නුවා. ඒ හැම රංගනයක්ම අවසාන උනේ අපි දෙන්නට දෙන්නා අපේ වෙලා. ඒ ඉඟ සුඟ පැද්දිල්ලෙන් වෑහුන නුරාව උපේක්ෂා සිතින් විඳගන්න තරම් සන්සුන් මනසක් මට තිබුනේ නෑ. හැබැයි මගේ ඒ නොඉවසුම් ගතියට නෆීසාත් අකැමැති උනේ නෑ.
අපේ මේ සම්බන්දෙ අනාගතයක් ගැන හිතන එක අපි ඕනෑකමින්ම මගහැරියා. හැබැයි ඒක Vacation Romance එකකට වඩා හුඟාක් ගැඹුරට ගිය එකක් බව නං අපි දෙන්නට දෙන්නා අවබෝධ කරගෙන හිටියේ.
මං ෆ්රයිබර්ග් නගරයෙන් පිටත් වෙන්න දවස් දෙකකට කලින් නෆීගෙන් හදිසි කෙටි පණිවුඩයක් ආවා.
“තීකා, මගේ පවුලේ උදවිය මං ගැන සොයාගෙන. මම ෆ්රයිබර්ග් වලින් හදිසියේම පිටවෙනවා. ඔයාගෙත් මගෙත් ආරක්ෂාව වෙනුවෙන් කරුණාකරල මං ගැන හොයන්න වෙහෙසෙන්න එපා. මට ඉඩක් ලැබුන හැටියෙම මං ඔයාට ලියන්නම්. ඔයාගේ ශ්රී ලංකානු අලියා මගේ හදවත මුරකරාවි.”
සැනෙකින් ආපිටට ඇයට ඇමතුමක් ගත්තත් ඒ වෙනකොටත් ඇයගේ දුරකථනය විසන්ධි කරලා. දවසක් හරි ලෙංගතු වෙච්චි කෙල්ල වෙනුවෙන් කිසිම දෙයක් කරකියා ගන්න බැරුව මම අසරණ උනා.
ඉන්පසු ගෙවුනු මාස එකහමාරක කාලය මට නෆීසාව මතක් නොවුන මොහොතක් නැති තරම්. හැමදාම උදේ නින්දෙන් ඇහැරෙන්නෙ එයා ගැන හිත හිත. “මේ කෙල්ල කොහේ ගියාද මොනව උනාද ?” කියන ප්රශ්න මගේ හිතට නිරන්තරයෙන්ම වධ දුන්නා. පවුලේ බල කිරීමට නැවත මව් රටට යන්න ඇතියි කියන නිගමනය මං හිතට ඒත්තු ගන්නවන්න උත්සාහ කරේ ඒකෙන් මට යම්කිසි හෝ සහනයක් ලැබෙන නිසා.
හැබැයි මගේ හිතේ උභතෝකෝටිකයට ස්ථිර විසඳුමක් ලැබුනේ මගේ ජර්මනියෙ හිටපු යාළුවා මට එවල තිබුන ප්රවෘත්තියක් දැක්කට පස්සෙ.
“පවුලේ ගෞරවය වෙනුවෙන් ජර්මනියෙදී මරා දැමුණු ඇෆ්ගන් යුවතිය”
(“Honor killing of an Afgan girl in Germany”)
සිරස්තලයට යටින් පින්තූරයේ තිබුනේ ඒ ලොකු කලු ඇස්, කෙටි නහය, ගැටිත්තෙ පුංචි උපන්ලපයක් තුබුන හීනිතොල්, කැරළි කොණ්ඩෙ !!!
අවට පරිසරය මගේ හිස වටේ කැරකෙද්දි, දෑස කඳුලු ගුලි වලින් බරවෙද්දි, ඒ මකුළුවන්ට විතරක්ම බය විප්ලවවාදිනියගෙ හඬ මගේ ආත්මය පුරාවට දෝංකාර දුන්න හැටි මට අදටත් මතක් වෙනවා.
“මාව මැරුවත් මං ආයි කාටවත් පරදින්නෙ නෑ”