ඔහු විසින් ලියවූ අපේ ප්‍රේමය කියවූවෙමි. හඬා වැළපුනෙමි. අද මාද ලියමි. ඔහු මිස මා දක්ශ කතා ලියන්නට නොවේ. කවි ලියා ඔහු වෙනුවෙන් ඉතුරු වූ දුක පිට කරන්නට ගිවිසගෙන වෙන්ව ආ මගක ඔහුට මේ ලියමන හඬා වැටෙමින් ලියා තබමි. වැඩිපුරම ආදරය කළ හොඳම ප්‍රේමයට ප්‍රථම හා අවසාන වතාවට ලියාතබමි. කැලන්ඩර දින තිහක අපගේ කතාවෙ සම අයිතිකාරිය වු මා මාගේ කොටස මෙහි ලියා තබමි.
“ඔබ කියවූ වගක් ඉඟියකින් හෝ මෙහි තබා යන්න. කියවා හැඬූ බව පමණක් සඟවාගන්න”
ආදරේ බවක් නොකියා උන්නත් ආදරේ බව පපුවෙන් පපුවට මාරු වූ අතිශය සුන්දර දවස් කිහිපයක් මාසෙ මැද දිනෙක ගෙවෙමින් තිබුනි. ඉනුත් ඔහු පිළිබඳ වූ අතිශයම සුන්දර රිදෙනසුළු මතකය කිරින්දේ වෙරළ මත සිදුවිය. පපුවෙ තැන තැන රිදවූ හැඟීමක ප්‍රථම විසිවීම මගෙනි.
“මට ඔයා එක්ක මූදු යන්නෝනි”
“යමු”
“මට කඩල නම් එපා”
“එහෙනම් අඹ මල්ලක්”
“එපා”
“සොසේජස් කූරක්”
“එපා, මටෝනි මාළු”
“විකුණමු”
“ඔව් පොලේ ගිහින්”
ඔහු කොතරම් සිනාසෙන්නට ඇත්ද? නොදනිමි, ඒ සියල්ල අතින් පිරිමැද හුවමාරු වූ කෙටි පණිවිඩ මිසක මා එතෙක් ඔහුගේ පිරිමි හඬ වරක් වත් අසා නොතිබුනි.
“ඔයා ඉන්නව නම් මට මාලුත් එපා”
“හ්ම්ම්, මට මූදවත් එපා”
ඒ ඔහුය. ඔහු මට හුඟක් දේ විය. මාද ඔහුට එසේම බව ඔහු කීය. ඒ හුඟක් දේ මගේ වචනින් අසන්නට ඔහු ප්‍රිය විය. නමුත් අසම්මතයේ ඔහු මටත් වැඩිපුර හිරවිය. ඔහුට මා පිළිබඳ මහා වගකීමක් ඇත්තෙක් සේ හැසිරීම අද මතක්වීමද එකවිට රිදෙන සැනසෙන හැඟීමකි. ඔහුගේ වැඩිමල් සිතත් මාගෙ කෙළිලොල් සිතත් කාගෙ කාගෙත් වයස් වලට වැටී විසිවී ප්‍රේමවන්ත විය.
මා ඔහු සොයාගද්දි ඔහු අපූරු කතා ලියන්නෙක්ව උන්නෙකි. මා සතුව ඔහු පිළිබඳ වූ එකම තොරතුර ඔහුගේ කතා සතුව මට හුරු හුඟක් දේ තිබූ බව පමණකි. ඔහු හා මා සතුව වූ අන්තිම බැඳීමට තියා පළමු බැඳීමට හෝ නමක් නොවීය. ජීවිතයේ මා ලද සාර්ථකම අසන්නා ඔහු බව මා අදත් කියමි. ඇහුම්කන්දීමට ඔහු මා වෙනුවෙන්ම ඔහුව හුරු කරගත් තරම තුළ මට ඔහු හමුවේ විවෘත නොවී සිටීමට බැරි විය. කියවන ඔබ විශ්වාස නොකරන තරමට සිදුවූ පළමු දෙය නම් 24 වියැති කෙල්ලක වූ මා ඒ කියූ ලෙස වූයේ නමක් වත් රූපයක් වත් නොදන්නා නිර්නාමික පිරිමියෙක් තුළය. ප්‍රකාශිත හිතවත්කම සේම අප්රකාශිතව කළ ආදරය තුළ පවාත් මා ඔහුගේ නමවත් නොදැන උන්නෙමි. ඔහු කවර උස පළලකින් යුක්ත පිරිමියෙක්ද හෝ නොදැන උන්නෙමි. මට එහා අට වසරක් ජීවත්ව උන්නෙකිය, අතිශය පරිණත සුන්දර පිරිමියෙකිය යන්න තවත් දුරකට දැන උන්නෙමි.
ලෝකයටම අසම්මත තැනකින් වුවත් ප්‍රේමයේ හිඩැසකින් නූනු තැනකින් අපි ප්‍රේමවන්තයන් උනෙමු. යමෙක් හරි හෝ තවකෙක් වැරදි යැයි හඳුන්වා දෙන අසම්මතයේත් ප්‍රේමයම පමණක් තිබිය හැකි යැයි මං දිවුරා කියමි. පළමු ප්‍රේමය හිඟ නූනු තැනක දෙවන ප්‍රේමයක් නූපදින බව ඔබ තර්ක කරනු ඇත.
“හැඟීම් සමඟ තර්ක කළ නොහැකි”
බවට මා මගේ නොව ඔහුගෙන් උගත් පිළිතුරක් මීට දෙමි.
“අයිය”
“අයියාහ්”
“අයියාආආආ”
“අයිය මෝඩය”
ඔහු නැත. මා කිපෙමි. දුක්වෙමි. නැවත පණිවිඩ නොබලමි. ඒ මාය.
“බබා”
“මල”
“හා පැටියාතරහ වෙලාද”
……………………………………
“මේ දැන් ගෑනු ළමයෙක් හාද බ්ල බ්ල බ්ලා”
ඒ අවසන් කෙටි පණිවිඩය නම් මට දුරකතන තිරයෙන් හොරට බලා සිටිය නොහැකි විය. ඔව් ඔහු මා අව්ස්සා ඉරිසියාකර කෙල්ලක කොට යාළුකරගත් දින එදවස බොහෝ විය.
මා සිතන්නට කියන්නට පෙර ඔහුට මා කියවීමටත්, ඔහු කරන්නට යන දේ මගේ හැඟීමක් මෙන් මට දැනෙන්නටත් වූ සිත් දෙකෙහි අරුම අසනීපය කෙටි පණිවිඩ වලින් විසිවගොස් දිගු ඇමතුම් වලදී තවදුරටත් සෑහෙන තරම් දැනුනි. ලොවට අසම්මත වූ අපේ ආදරය ලෝකෙන් අප්රසිද්ධිව අපට ප්රසිද්ධිව හුවමාරු වෙන දවස් එදවස එසේ ඇරඹිනි. මා ඔහුගේ ඡායාරූපයක් හෝ දුටුවේ ඔහුට හිතවත්ව පහළොස් දවසකට පසුවය. ප්‍රේමියක් වන්නට රූපයක් අනවශ්‍ය බව විශ්වාස කළ තැනකට ඔහු මා ගෙන ආ හැටි එදවස සේම අද පවා මා පුදුමයෙන් සිතමි. ඔහු පවා එය පුදුමයෙන් සිහිපත්කරනු ඇති බව විශ්වාසයෙන් ලියමි. ඔහු මට නොඉල්ලාම එවු ඔහුගේ රූපය අතින් පිරිමැද කම්මුලකට තදකරගතිමි. ඉනුත් දෙදිනකින් ඔහුගේ පිරිමි හඬ මා ඇසුවෙමි. ඒ මා අසා ඇති වඩාත්ම ආදරණීය කඩවසම්ම පිරිමි හඬ බවට මං අදද දිවුරා කියමි. විටෙක ආදරණීයසුළු වූත් විටෙක බිඳෙන සුළු වූත් ඒ පිරිමි හඬ මා මත් කළා යැයි ඔහුගෙන් සඟවන්නට මට වුවමනාවක් තිබුනේම නැත. ඒ හදවතේ වූයේ මා කෙරේ ප්‍රේමයම පමණි. ඔහු කළ එකම දේත් මා ලද හොඳම දේත් ඔහුගේ ප්‍රේමයම පමණි. එකවරම ඔහු ප්‍රේමණීයව ‘මැණික’ ලෙස ඇමතූ විටක මා ඇවිලී ගිය දවස්ද ඔහුගේ හඬ බිඳී මගේ ඉකිබිඳුම් තුළ අසම්මතයේ අප අසරණ උනු වාරද ඉතින් එහි හිඟ නොවිනි.
සංසාරයේ යළි ඉපදීමක් එතෙක් අවිශ්වාස කළ ඔහු සමඟ මා පවා ඇස් ඉඹින හිත් හදන ආදරයක මානසික අයිතිකාරයන්ව අදට සෑහෙන දවසකි. මානසික අයිතිය මනසේ දරා ඔවුනොවුන්ගේ ලෝකවලදි අපි අපව මගහැරි දිනද අදට සෑහෙන දවසකි. මා ඔහුත් ඔහු මාත් එකිනෙකා මුණගැසුනු දිනයක්, තුරුළුවූ දිනයක්, සිපගැනුම් ගෙනා දිනයක්, අතිනතින් වෙළී රස්තියාදු වූ දිනයක් ගෙන නොදුන් ජීවිතය තුළ මැදියම් රැයෙත් ඔහු සිහිව ඇහැරුනු, දීර්ඝ ඇමතුම් වල අතිශය ආදරය පිරුණු, පණිවිඩ පිට පණිවිඩ ලැබුණු අස්පර්ශ ඉඩක් පමණක්ම මා ඔහු නමින් ඔහු මා නමින් තබා සිටියෙමු. සති හතරක් තුළ අපි හඬ හඬා පෙම් කළෙමු, සිනාසී දරාගත්තෙමු, ජීවිතේ කිසි දිනක නොකළ ප්‍රේමයක් ඉතුරු කරනොගෙනම කෙරුවෙමු. දෑස් තෙත හංඟගත් ඔහු මා සැනසූ, ‘මැණික මං ආදරෙයි’ පැවසූ දින ළං ළංව හිඳ ගෙව්වෙමු. සිනාසුනු දවස් වල හඬා වැටි දවස් වල ලෝබකම් කළ හවස් වල පෙම්වතුන් නොවී අපි ප්‍රේමයම කළෙමු.
මේ අසම්මතයේ වේදනීය ප්‍රේමය කියවන ලෝකයා මේ ලියමන කියවන තුරා පවතින තුරා චෝදනා ගෙන ඒවි. අසම්මතයේ මගේ ප්‍රේම හිමිකාරයාටත් නොයෙක් අවලාද නගාවි. පාලනයකින් තොර වී උපදින හැඟීම් නූපන් සේ මරාගන්නට නොහැකි වූ තැනක මේ හැඟීම් උපදින්නේ කොතනදැයි මා අසමි. එතැන ඒ තැන නොදැන උන් ඔහුත් මාත් කළ කී දේට සාප නොකරන්නයි ඉල්ලමි.
රාමුවේ සිටීමට නොහැකි වූ නන්නාඳුනන්නා මා හා එක්ව ගිය හැම ගමනක්ම තිබුනේ අපේ හිත් තුළය, කෙටි පණිවිඩ තුළය. ඇමතුම් තුළය. එතෙක් මෙතෙක් මා හමු නොවූ, අවම වීඩියෝ ඇමතුමකින් හෝ හමුනොවූ අපේ ප්‍රේමය මෙසේ ලියා තබමි.
ඔහුව නොදන්නා දැනගන්නට ප්‍රිය කළ දහසක් අතර, නමක් නොදන්නා නමුත් අසාසිටින්නන් දහසක් අතර, නමින් ගමින් රූපයෙන් හා හඬින් මා වෙත පමණක්ම විවෘතව රහසේ කළ ප්‍රේමය අද ලෝකයට කියමි. අදත් තව කතා ලියමින් හිඳින ඔහු හෙටත් සුන්දරව ලියමින් සිටිනු ඇත. ඔහු ලියන දේ කියවන්නට මාද මෙහි හිඳන බව ඔහු දන්නේද හෝ මා දන්නේ නොවේ.
ඔහු මගේ ප්‍රාණ සම ප්‍රේමයේ රහස් හිමිකරුවාය. සදාතන ප්‍රේමයේ මානසික හව්ල්කරුවාය. දුශ්කරම දිනෙක පවා තනිකමක් නොදැනෙන්නට මා ශක්තිමත් කළ හිතවතාය. ලස්සනම හදවතක් හිමි රාගයෙන් තොර පෙම්වතාය. මා තුළම මා රකින ඔහු මගේ සංසාරයේ සහකාරයාය.
ලෝකෙටම නන්නාඳුනන ඔහු, මා මෙලොව හොඳින්ම අඳුනන්නාය.
හමුව හමුනූන සේ යන හිත් අතර,
හමුව හිමි උවත් අහිමි සේ ඉන්න හිත් අතර, හිමිකරන් වෙන්වන්න හිතන හිත් අතර,
හිමිවෙලා වෙන්වෙලා යන්න ගිය හිත් අතර,
හමුව හිමිවී අහිමිකරගත්ත හිත් අතර
හමුනූනු හිමිනූනු අහිමිනූනූ ලස්සනම මගෙ ආදරේ ඔහු වගත්..
අද පරිපූර්ණ මිනිසෙක්ව සිටිනා ඔහුගේ ජීවිතයේ අතරමැදියෙකු නොවී, ඔහු ප්‍රාර්ථනා කළ සේම මා දිනුව වග කියන්නට වරක් ඔය හදවතට මේ හදවතින් අමතන වගත් පපුව අතගා මෙහි ලියා තබමි. රහසේ පිසදාගත් කඳුළකින් ඔහුව සිහිකර රිද්දගමි. සිනාවක් දී යන්න යමි.
අසම්මතයේ මැණික
උපුටා ගැනීම: ඇය මාය