2002 මැයි 16 වෙනිදා
ඇරිසෝනා ප්‍රාන්තය.
මේ කතාව පටන්ගන්නේ හුරුබුහුටි ගෙදරක ජීවත් වෙන බොහොම ආදරණීය තරුණ ජෝඩුවකගෙන්. මේ දෙන්නා, මේ ගෙදර අරගෙන වැඩි කාලයක් නැහැ. කොල්ලට අවුරුදු තිහක් විතර වයසයි. මිනිහා සෑහෙන්න කාලයක් කොටස් තැරැව්කාරයෙක් විදියට, කොටස් වෙළඳපලේ වැඩකරලා ජොබ් එක අතෑරලා දාපු කෙනෙක්. ඉතිං කොල්ලා පුරුදු විදියටම එදත් උදේ තමන්ගේ කාමරේට වෙලා කම්පියුටරයෙන් කොටස් වෙළදපලේ තොරතුරු ගැන අධ්‍යනය කරමින් හිටියා. සෑහෙන්න කාලයක් කොටස් තැරැව්කාරයෙක් විදියට වැඩ කරලා, අවසානයේදී තමන්ගේම කියලා කොටස් ආයෝජනයක් හදාගන්න මිනිහට පුලුවන් වෙලා තිබුනා. ඔය අතරේ කොල්ලගේ පෙම්වතිය, කොල්ලා ලඟට ඇවිත් හාදුවක් දීලා මේසේ උඩින් උණු තේ කෝප්පයක් තියලා යන්න ගියා. කොල්ලා තමන්ගේ පෙම්වතී ගෙනත් දීපු තේ කෝප්පයත් රස විඳින ගමන් කොටස් වෙළඳපලේ තොරතුරු ගැන අධ්‍යනය කරමින් හිටියා. මේක තමයි මිනිහා මගබලාගෙන හිටපු ජීවිතේ. ලස්සන ගෙදරක්, ආදරේ කරන්න ලස්සන කෙල්ලෙක්, හොඳ වාහනයක්, කොටස් වෙලදපලේ දාපු ආයෝජන වලින් එන ලාභ, මේ හැමදෙයක්ම කොල්ලගේ ජීවිතේ සම්පූර්ණ කරලා ඉවරයි. කොල්ලා ඉන්නේ සෑහෙන්න සතුටින්.
ඒත් හදිස්සියේම ඒ සතුට සුනු විසුනු කරගෙන, එකපාරටම කංඅඩි ගැලවෙන්න පිපිරුමක් ගේ ඇතුලෙන්ම සිද්දවුනා. ඒ පිපිරුමත් එක්ක ආපු දෙදරුමට, කොල්ලා පුටුවත් පෙරළගෙන බිමට වැටුනා. . ගේ ඇතුලෙන් ඝන දුමාරක එනවා. කිසිම දෙයක් හරියට පැහැදිලි නැහැ. කන් දෙකෙන් කීං ගාන සද්දේ විතරයි ඇහෙන්නේ. කොල්ලා අමාරුවෙන් ඇස්දෙක ඇරලා වටපිට බැලුවා. හැමදෙයක්ම පේන්නේ බොඳවෙලා. තත්පර කීපයක් ගෙවිලා ගියා. කොල්ලගේ පෙනීම සහ ඇසීම යතා තත්වය පත් වුනා. කොල්ලා පළවෙනි වතාවට ඔළුව උස්සලා වටපිට බැලුවා. දැක්ක දෙයින් කොල්ලා එක මොහොතක් ගල් ගැහුනා. කළුපාට ලෙදර් කිට් ඇඳගත්ත, මිනිස්සු කණ්ඩායමක් කොල්ලව වටකරලා තුවක්කු දික්කරගෙන ඉන්නවා. කොල්ලට මේ කිසිම දෙයක් හිතාගන්න බැහැ. කොල්ලා අමාරුවෙන් නැගිටින්න උත්සාහ කලා. ඒ එක්කම කළු ලෙදර් කිට් එකෙන් සැරසිලා ඉන්න එක මිනිහෙක් කොල්ලා ළඟට ඇවිත් මාංචු කූට්ටමක් එලියට ඇදලා ගත්තා. මේ මිනිහගේ කළු කිට් එකේ ඉංග්‍රීසි අකුරු තුනක් ගහලා තියෙනවා. FBI. කෙලියා!!!! බිම වැටිලා ඉන්න කොල්ලට නිකම්ම කියවුනා. කළුපාට ලෙදර් කිට් එක ඇඳගෙන ඉන්න මිනිහා කොල්ලගේ එක අතකට මාංචුව දැම්මා.
මිස්ට ශෝන් ඇට්වුට්ස්!!! මුදල් විශුබ්ධීකරණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම කියන චෝදනා යටතේ FBI එකෙන් තමුසෙව අත්අඩංගුවට ගන්නවා.
……………………………………………….
ශෝන් ඇට්වුට්ස්. අද අපේ කතාවේ නායකයා. මේක කියවන්න වටින කතාවක්. රායිට්. කතාවට බහිමු. ශෝන් ඇට්වුට්ස් ඉපදෙන්නේ 1968 ඔක්තෝබර් 18 වෙනිදා එංගලන්තයේ ලිවර්පූර් කියන ප්‍රදේශයේ ගමක. ශෝන්ගේ තාත්තා කුඩාප්‍රමාණයේ රසායනද්‍රව්‍යය කර්මාන්තශාලාවක අයිතිකාරයෙක්. කොහොමහරි ශෝන්, අම්මගෙයි තාත්තගෙයි ආදරය මැද ටිකෙන් ටික ලොකු මහත් වෙනවා. තාත්තගේ කර්මාන්තශාලාව නිසා මිනිහට ලොකු සල්ලි අහේනියක් තිබුනේ නැහැ. කාලය හෙමින් හෙමින් ගතවෙලා ගිහින්, ශෝන් කොලේජ් එකට ඇතුල් වෙනවා. පොඩි කාලේ ඉඳන්ම ශෝන්ට කොටස් වෙළඳපල ගැන ලොකු උනන්දුවක් තිබුනා. ශෝන්ට අවුරුදු පහළොව වෙනකොට, ශෝන්ගේ ආර්ථික විද්‍යා ගුරුවරයා ශෝන් අතට කොටස් වෙළඳපල ගැන ලියවුනු පොත් කීපයක් දෙනවා. එතනින් පස්සේ මෑන්ස් පිස්සෙක් වගේ දිගට හරහට කොටස් වෙළෙඳපොළ ගැන හොයන්න සහ ඉගෙනගන්න පටන්ගත්තා. ආච්චි දෙන පොකට්මනී එකතු කරලා පළවෙනි වතාවට ශෝන් කොටස් වෙළඳපලේ ආයෝජනයක් කරනවා. ඒ වෙනකොට පොරට යන්තං අවුරුදු 16ක් ලැබුවා විතරයි. කොහොමහරි වැඩේ ගොඩයනවා. මිනිහා දාපුසල්ලි ඩබල් වෙනවා. මේ අතරේ කාලය ටිකෙන් ටික ගතවෙලා ගියා.
දැන් ශෝන් AL ඉවර කරලා කොලේජ් එකෙන් අවුට් වෙලා ඉන්නේ. ඔහොම කාලයක් ගෙදරට වෙලා නිකං ඉන්නකොට, එකදවසක් ශෝන්ගේ බැජියෙක් ශෝන්ව පාටියකට එක්කගෙන යනවා. ශෝන් මීට කලින් නයිට් ක්ලබ් වල තියෙන පාටි වලට ගිහින් නැහැ. ඒ නිසා මිනිහා මුලින්ම ටිකක් බය වෙලා පැත්තක තමයි හිටියේ. ඒත් බැජියා ශෝන්ව අයිනකට එක්කගෙන ගිහින් පැකට් එකක් සාක්කුවෙන් ඇදලා අරං ශෝන අතට දෙනවා. ශෝන් ඒ පැකට් එක ඇරලා බලනකොට, ඒක ඇතුලේ තියෙන්නේ පෙත්තක්. ශෝන් ජීවිතේ පළවෙනි පාරට එක්ස්ටසී පිල් එකක් පාවිච්චි කරන්නේ එදා. මේක තමයි මිනිහගේ ලයිෆ් එක උඩුයටිකුරු වෙන තැන. පිල් එක දාපු ගමන් ශෝන්ගේ ඇස් නිලංකාර වෙලා යනවා. ජීවිතේ කිසිම දවසක් දැනුනේ නැති ලල් එකක් මිනිහට දැනෙන්න ගන්නවා. දකින දකින කෙල්ල එක්ක නටන්න පටන්ගන්නවා. දකින දකින එකාට කතා කරන්න ගන්නවා.
පාටි එක ඉවරවෙලා ගෙදර ගිය ශෝන්ට ඒ ගත්ත ෆන් එක අමතක කරන්න බැහැ. මිනිහා ඊළඟ දවසෙත් යාළුවා හොයාගෙන ගිහින් එක්ස්ටසී පිල් එකක් අරගන්නවා. මේ විදියට හැමදාම ක්ලබ් බැහැලා පිල් දානඑක ශෝන්ගේ පුරුද්දක් බවට පත්වුනා. නයිට්ලයිෆ් එක ඔහොම යනකොට ශෝන් කැම්පස් ගිහින් ව්‍යාපාර අධ්‍යාපනය ගැන ගෞරව උපාධියක් අරගන්නවා. උපාධිය ගත්තට ශෝන්ට තවම ජොබ් එකක් නැහැ. ලන්ඩන් වල තියෙන ජොබ් වේකන්සි එකක්වත් පොරට හරියට සෙට් වෙන්නේ නැහැ. මෙහෙම අනාත වෙලා ඉන්න අතරේ ශෝන්ට, ඇමෙරිකාවේ ඇරිසෝනා වලට යන්න චාන්ස් එකක් වදිනවා.
පළවෙනි පාරට ඇමෙරිකා වලට බහින ශෝන් පිස්සු වැටෙනවා. ඕන තරම් රස්සා, පට්ට කෑලි, නයිට් ක්ලබ්, ඩ්‍රග්ස්, මේක තමයි ශෝන් හිතේ මවාගෙන හිටපු සිහින දේශය. හැබැයි ශෝන්ට ප්‍රශ්නයක් තියෙනවා. ශෝන්ගේ වීසා එකෙන් ඇමෙරිකාව ඇතුලෙදී කිසිම රස්සාවක් කරන්න බැහැ. ඒ නිසා ශෝන් හොර ලියකියවිලි හදන එකෙක් මාර්ගයෙන් ජොබ් වීසා එකක් හොරට හදාගන්නවා. එතනින් නොනැවතී කොහොමහරි කට්ටක් කාලා අවසානයේදී කොටස් තැරැව්කාරයෙක් විදියට අලුත් රස්සාවක් හොයාගන්න ශෝන්ට පුළුවන් වෙනවා. හැබැයි මෑන් පොඩිකාලේ ඉඳන්ම සිහින දැකපු සුපිරි ජීවිතේ එතන ගෑවිලාවත් තිබුනේ නැහැ. මිනිහෙක්ට දරාගන්න බැරි තරම් අධික වැඩ රාජකාරි ප්‍රමාණයක් ශෝන්ට කරන්න සිද්වෙනවා. දවසකට කෝල් 500කට වඩා ප්‍රමාණයකට උත්තර දෙන්න ඕනි. රැයක් දවාලක් නැතුව එක දිගට වැඩ. හරියට කෑමක් කන්න වෙලාවක් නැහැ. හරියට නින්දක් නැහැ. අනිත් මිනිස්සුන්ගේ සල්ලි එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා පොඩ්ඩ ඇත්නම් කතන්දර කෝටියයි. එන්න එන්නම ශෝන්ගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. හැබැයි ශෝන් ගේම අතාරින්නේ නැහැ. කරන දේ බැහැලම කරනවා. මේ විදියට අවුරුදු පහක් කොටස් තැරැව්කාරයෙක් විදියට ශෝන් නොකඩවා වැඩ කලා. අවුරුදු පහ ඉවර වෙනකොට ආයතනයේ වැඩිම කොමිශන් එක ලබන තැරැව්කාරයා විදියට ශෝන් පත් වෙලා ඉවරයි. පොරට මේ රස්සාවෙන් අවුරුද්දකට ඩොලර් 500,000 විතර ආදායමක් උපයගන්න පුලුවන් වුනා. ඒත් කොච්චර සල්ලි හම්බකරත් රස්සාව නිසා ශෝන් හිටියේ පට්ටම ස්ට්‍රෙස් එකකින්. ඉතිං මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න පොරට තිබුනේ එකම විසඳුමයි. පාටි සහ පිල්.
හැම සති අන්තෙකදිම ශෝන් නයිට් ක්ලබ් බැහැලා පිල් දාලා ස්ට්‍රෙස් එක පිටකරනවා. සාමන්‍යයෙන් ශෝන් එක්ස්ටසී පිල් පනහක් විතර එකපාරට සල්ලි දීල අරගෙන තියාගන්නවා. අහුවෙන වෙලාවට වැලේ වැල් නැති යාලුවෝ දෙන්නෙක්ට තුන්දෙනෙක්ට පිල් විකුණලා කීයක් හරි ලයින් කරගන්නත් ශෝන් අමතක කලේ නැහැ. මේ විදියට ශෝන්ගේ ඩබල් ලයිෆ් එක ගෙවිලා යද්දී 1997 අවුරුද්දේ එක දවසක් ශෝන් තීරණය කරනවා කොටස් තැරැව්කාර රස්සාව නතර කරන්න. පොර තමන්ගේ බඩුමුට්ටුත් ඔක්කොම අයින් කරගෙන, පරණ රස්සාවට ආයුබෝවන් කියලා ගෙදර එනවා. ඒ වෙනකොට ශෝන්ට සැලකියයුතු ධනයක් එකතු වෙලා තිබුනා. ශෝන් ඒ ධනය අළුතෙන් නැගීගෙන එන තාක්ශණික වෙළෙඳපොළට ආයෝජනය කරන්න පටන් ගත්තා. මේ අතරේ ශෝන් තමන්ට හිතෙන හිතෙන තැන් වලින් ගෙවල් අරගෙන මෙච්චරකල් මිස් වෙලා තිබුනු ලයිෆ් එකේ ආතල් එක උපරිමෙන්ම විඳින්න පටන්ගත්තා.
ශෝන් හැමදාම වගේ පිල් පාටි ඕගනයිස් කලා. හිතේ හැටියට කෑලි උස්සගෙන ආවා. අහල පහළ තිබුනු ස්ට්‍රිපර් ක්ලබ් වල අංක එකේ පාරිභෝගිකයා වුනේ ශෝන් ඇට්වුට්ස්. ශෝන්ගේ ලයිෆ් එකේ දැන් තියෙන්නේ නීති දෙකයි. සෙක්ස් සහ ඩ්‍රග්ස් විතරයි. හැබැයි කාලයක් යනකොට පොරට මේ ලයිෆ් එක විඳින්න ලොකු බාධකයක් එනවා. තමන් එක්ස්ටසී පිල් අරගන්න ඩීලර්ගේ බඩු එන්න එන්නම කොලිටි අඩුවෙනවා. ශෝන් ඩීලර්ස්ලා මාරු කරල බැලුවා. වැඩේ හරියන්නේ නැහැ. තමන් හොයන කික් එක ඒ කිසිම කෙනෙක්ගේ පිල් වලින් ලැබෙන්නේ නැහැ. දැන් කරන්න තියෙන්නේ එක දෙයයි. වටේ යන්නේ නැතුව තමන්ට ඕනි බඩුටික කෙලින්ම ගෙන්නන එක. පහුවදාම ශෝන් ලොස් ඇන්ජලීස් වලට ගිහින් කාටේල් එකක් සම්බන්ධ කරගෙන කෙලිම්ම ගනුදෙනු කරලා එක්ස්ටසී පිල් 1000ක් සල්ලිවලට ගන්ත්තා. පොර මේ එක්ස්ටසී පිල් ටික ඇරිසෝනා වලට පන්නගෙන ඇවිත් ෆුල් ටයිම් බිස්නස් එකට බහිනවා.
ශෝන් මේ එක එක්ස්ටසී පිල් එකක් ගන්නේ ඩොලර් 10ට. විකුනන්නේ ඩොලර් 30ක්ට. මේ විදියට එක්ටසී බිස්නස් එක දිගටම කරගෙන ගියත් පාටි දාන වැඩේ මිනිහා මිස් කලේ නැහැ. හැමදාම වගේ පොරගේ ගෙදර පාටි එකක් වැරදුනේ නැහැ. එක දවසක් මේ විදියේ පාටි එකක් තියෙන අතරේ හයේ හතරේ සද්දන්ත මිනිහෙක් පාටි එකේ පැත්තක ඉන්න හැටි ශෝන් දකිනවා. මේ අමුතු මිනිහාගේ ඇඟ පුරාම පච්ච කොටලා තිබුනා. බැලූ බැල්මටම මිනිහට තිබුනේ ස්වදේශික ලුක් එකක්. මේ අමුතු මිනිහා ශෝන් ලඟට ඇවිත් තමන්ගේ විස්තර කියන්න පටන් ගත්තා. මිනිහගේ නම G- Dog. මේක ගැන්ග් නේම් එකක්. G-Dog මෙක්සිකන් කාටේල් එකක ලුතිනන් කෙනෙක්. G-Dogගේ කාටේල් එක බිස්නස් කරන්නේ කොකේන් සහ ක්‍රිස්ටල් මෙත් විතරයි. ඒ නිසා එක්ස්ටසී වලට අවුලක් නැහැ. කොහොමහරි G-Dog සහ ශෝන් දෙන්නා ලොකු කයියකට වැටිලා ඉන්න අතරේ හදිස්සියේම පාටි එක මැදට පොලීසියෙන් පනිනවා. හැමෝම තමන් ඉඳපු තැන් වල. පොලිස් නිළධාරියා පිස්තෝලේ ඇදලා අරගෙන ශෝන් දිහාවට දික්කරා කෑගැහුවා. හැබැයි ඊට කලින් ශෝන් ලඟ හිටපු G-Dog ඉනේ තිබ්බ රිවෝල්වර් එක ඇදලා අරගෙන පොලිස් නිළධාරියට දික් කලා. දැන් වැඩේ පැකට් වෙලා ඉවරයි. පාටි එකේ හිටපු ගෑනු පිරිමි බෙරිහන්දීගෙන සී සීකඩ දුවන්න පටන් ගටන්ගත්තා. ඔය අතරේ ශෝන් G-Dogවත් ඇදගෙන ලඟ තිබුනු ගෙදරක් ඇතුලට රිංගුවා. එදා රෑ එලිවෙනකන් දෙන්නා ගේ ඇතුලේ හැංගිලා හිටියා. ඔය අතරේ පොලිසිය මුලු පලාතෙම ගෙවල් වලට ගිහින් G-Dog හොයමින් හිටියා. හැබැයි වාසනාවකට මේ ගෙදර්ට පොලිසියෙන් ආවේ නැහැ. පහුවදා උදේම ශෝන් G-Dogව එක්කගෙන ගිහින් ගෙදරට ඇරලුවා. මේ වෙලාවේ G-Dog ශෝන්ව තමන්ගේ ගැන්ග් එකට අඳුන්වලා දෙනවා. මෙයාලා තමයි මේ කියන ප්‍රදේශයේ කොකේන් බිස්නස් එක පාලනය කරන්නේ. දැන් ශෝන්ට මෙක්සිකන් මාෆියා එකෙන් ආරක්ශාවත් ලැබෙනවා.
ශෝන් තමන්ගේ එක්ස්ටසී බිස්නස් එක දිගින් දිගටම ව්‍යාප්ත කරන්න පටන්ගත්තා. දැන් පොරට මෙක්සිකන් මාෆියා එකේ ආරක්ශාවත් තියෙන නිසා කිසිම අවුලක් නැහැ. හැමදාම මේ විදියට අතරමැදියෝ හරහා පිල් ගන්න එක හරියන්නේ නෑ කියලා කාලයක් යනකොට ශෝන්ට තේරුම් යනවා. ඒ නිසා ශෝන් කෙලිම්ම එක්ස්ටසී නිශ්පාදකයන් එක්ක සම්බන්ධ වෙලා නිශ්පාදකයෙක් හරහා එක්ස්ටසී මිලට ගන්න තීරණය කරනවා. මේ එක්ස්ටසී නිශ්පාදනය කරන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර. හැබැයි ශෝන්ගේ හොර වීසා එක නිසා ඇමෙරිකාවෙන් එලියට යන්න බැහැ. ඒ වෙනුවට ශෝන් වෙනම සේවකයෝ කණ්ඩායමක් අරගෙන ඇම්ස්ටර්ඩෑම් වලට යවලා බඩු ටික ගෙන්නගන්න පටන්ගත්තා.
පළවෙනි පාර ශෝන් ගෙන්නගත්තේ එක්ස්ටසී පිල් 5000ක් විතර ප්‍රමාණයක් විතරයි. මුලින්ම ශෝන්ගේ මිනිස්සු ජර්මනියට යනවා. එතනින් කෝච්චියක් නැගලා ඇම්ස්ටර්ඩෑම් වලට ගිහින් බඩුටික අරගන්නවා. ඊටපස්සේ කෙලිම්ම ප්ලේන් එකක නැගලා මෙක්සිකෝවට එනවා. මේක්සිකන් බෝඩර් එකෙන් පිල්ටික ඇමරිකාවට ජාවාරම් කරනවා. විටමින් බෝතල්, කම්පිටුටර් වගේ දේවල් අස්සේ ගහලා තමයි එක්ස්ටසී පිල් ඇමෙරිකාවට පන්නන්නේ. පළවෙනි ගේම සාර්තක නිසා ශෝන් ඊළඟපාර ඉඳන් පිල් 40000 ගානේ ගේන්න පටන්ගත්තා.
1999 වෙනකොට ඇරිසෝනා ප්‍රාන්තයේ හිටපු නොම්බර එකේ එක්ස්ටසී ඩීලර් වුනේ ශෝන් ඇට්වුට්ස්. ඒ වෙනකොටත් ශෝන් යටතේ සේවකයෝ සියගාණක් වැඩ කලා. එක්ස්ටසී බිස්නස් එකෙන් ඩොලර් ලක්ශ ගාණක් එක දවසකදී ශෝන් හම්බ කලා. ඒ අතරේ තමන්ගේ ආරක්ශාවට මෙක්සිකන් මාෆියා එකක් ළඟ තියාගන්නත් ශෝන් අමතක කලේ නැහැ. ශෝන් මේ සල්ලි, කොටස් වෙළඳපලේ ආයෝජනය කරලා, ඒවා සම්පූර්ණයෙන්ම විශුබ්ධීකරණය කරන වැඩ සටහනකුත් පවත්වගෙනත් ගියා. හැබැයි අධික ධනය සහ මත්ද්‍රව්‍ය නිසා ශෝන්ගේ ජීවිතේ එන්න එන්නම පිස්සුවක් වෙන්න පටන්ගත්තා. ඒ වෙනකොට කසාද දෙකක් ඉවර වෙලා තිබුනු ශෝන් තුන්වෙනි පාරටත් කසාදයක් කරගන්නවා. ඒ කාලේ නැගීගෙන ආපු පෝන්ස්ටාර් කෙනෙක්ව තමයි ශෝන් තුන්වෙනි පාරට කසාද බඳින්නේ. ශෝන් ඇමෙරිකාවේ හැම තැනකම ගෙවල් අරගත්තා. ඒ විතරක් නෙවෙයි සුපිරි වාහන එකතුවක් ශෝන්ට තිබුනා. තමන්ටම කියලා රෙදි කඩ, ඔරලෝසු කඩ පවා ශෝන් සල්ලි වලට අරගන්නවා. කොටිම්ම, තමන්ට පාවිච්චි කරන්න එක්ස්ටසී ටෙස්ට් කරන්න වෙනම ලැබ් එකක් පවා ශෝන්ට තිබුනා. ශෝන් සාමාන්‍යයෙන් එක දවසකට එකටසී පිල්10ක් විතර ගන්නවා. එතනින් නතර නොවී, LSD, GHB ක්‍රිස්ටල් මෙත්,Valium,XANAX වගේ හැම ජාතියකම මත් ද්‍රව්‍ය වලට ශෝන් දරුණු විදියට ඇබ්බැහි වෙලා හිටියා. ශෝන් එහෙම් පිටිම්ම මත්ද්‍රව්‍ය වලින්ම දුවන ශරීරයක් බවට පත්වෙලා හිටියා. මොන මගුල තිබ්බත් හැමදාම පාටි දාන්නත් ශෝන් අමතක කලේ නැහැ.
කාලයක් යනකොට ශෝන්ගේ ජීවිතේ මත්ද්‍රව්‍ය එක්ක එන්න එන්නම දරුණු පැත්තට හැරෙන්න ගත්තා. ශෝන් දවසින් දවස් ප්‍රචන්ඩකාරී වුනා. මානසික ආතතිය එන්න එන්න වැඩි වෙන්න ගත්තා. ඔහොම යනකොට තුන්වෙනි කසාදෙත් නැතිවෙලා ගියා. මේ අතරේ ශෝන්ගේ කොටස් වෙළෙඳපොළ ආයෝජන වල වටිනාකම දිගින් දිගටම පහළ බහින්න ගත්තා. අවස්තා කීපයකදී ශෝන්ගේ එක්ස්ටසී තොග මොක්සිකන් දේශසීමාවෙදී DEA එලට අහු වුනා. මේ අතරේ ශෝන්ගේ හිතවත් මෙක්සිකන් මාෆියා එක ඇතුලේ ලොකු අර්බුධයක් ඇතිවෙන්න පටන්ගන්නවා. මේ හැම දෙයක් එක්කම ශෝන්ට කිසිම දවසක නොවුනු තරම් පීඩනයක් එල්ලවෙනවා. මෙහෙම ජීවිතය සම්පූර්ණයෙන්ම අගාදයකට වැටිලා ඉන්න අතරතුරේ ශෝන්ට ඇත්ත ආදරය මුනගැහෙනවා. ශෝන්ට, ක්ලෝඩියා කියන අළුත් පෙම්වතිය මුනගැහීමත් එක්ක ජීවිතේ වෙන පැත්තකට තල්ලු වෙනවා. ක්ලෝඩියාගේ බලකිරීම නිසා ශෝන් ටිකෙන් ටික මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න පටන්ගන්නවා. ඒ වෙනකොට මෙක්සිකන් මාෆියා එක තනි අවුල් ජාලයක් වෙලා තිබුනා. ශෝන් හෙමින් සැරේ මාෆියා එකෙනුත් ගැලවෙලා පැත්තකට වුනා. තමන් ගෙවපු පිස්සු ලයිෆ් එක නතරකරන්න ශෝන්ට සෑහෙන්න ලොකු උවමනාවක් තිබුනා. ශෝන් තමන්ගේ එක්ස්ටසී රාජධානිය හෙමින් හෙමින් අකුලලා දාලා ක්ලෝඩියා එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න වැඩ කටයුතු සැලසුම් කලා. හැබැයි ඒ වෙනකොට ශෝන් ගිහින් තිබුනු දුර වැඩියි. DEA සහ FBI එක අවුරුදු පහක් තිස්සේ ශෝන් පස්සේ වැටිලා හිටියබව ශෝන් දැනගෙන හිටියේ නැහැ. ඒ වෙනකොට පොලීසිය අන්ඩකවර් ඒජන්ට්ලා හරහා ශෝන්ට විරුද්ධව ඇතිතරම් සාක්ශි එකතු කරගෙන තිබුනා. ඒ අනුව 2002 මැයි 16 වෙනිදා ශෝන්ව FBI අත්අඩංගුවට පත්වෙනවා.
ඇරිසෝනා අධිකරණය, ශෝන්ගේ සියලුම වත්කම් සහ ධනය රාජසන්තක කරලා අවුරුදු 7ක් සිරදඬුවමකට යටත් කරනවා. ඒ අනුව ශෝන්ව ඇරිසෝනා බන්ධනාගාරයට ඇතුල් කෙරෙනවා. ඊළඟ අවුරුදු හත ශෝන්ට ගතකරන්න සිද්දවෙන්නේ පුංචිම පුංචි අඳුරු කාමරයක් ඇතුලේ.
ශෝන්ගේ හිරගෙදර ජීවිතේ
අන්තිම බිහිසුනු එකක් වුනා. හිරගෙදර බලය තියෙන්නේ පාතාල කණ්ඩායම් අතේ. මේ කණ්ඩායම් තමයි හිරගෙදර ඇතුලේ මත්ද්‍රව්‍ය ජාවාරම සිද්දකරන්නේ. ඒ නිසා පාතාල කණ්ඩායම් අතරේ නිතරම ගැටුම් ඇතිවුනා. ඒ විතරක් නෙවෙයි, හිරගෙදර ඇතුලේ බොහොම දරුණු විදියට ලිංගික අපයෝජනයන්ට ලක්වෙන්න ශෝන්ට සිද්දවෙනවා. ඒ වගේම, දරුණු විදියට පහරකෑම් වලට පවා ශෝන් ගොදුරු වෙනවා. ශෝන්ගේ ජීවිතේ එන්න එන්නම කඩාගෙන වැටෙන්න පටන්ගත්තා. ශෝන් දිගින් දිගටම මානසිකව වැටෙනවා. මේ මානසික ආතතියෙන් ගොඩ එන්න ශෝන් තමන්ගේ හිතට එන හැමදෙයක්ම ඩයරියක ලියන්න පටන්ගත්තා. හිරගෙදර ජීවිතේ ගැන, හිරගෙදර සංස්කෘතික ගැන, ඇමෙරිකන් බන්ධනාගාර පද්ධතියේ තියෙන දූශිතභාවය ගැන, මත්ද්‍රව්‍ය ජාවාරම ගැන, මේ හැම දෙයක් ගැනම ශෝන් තමන්ගේ ඩයරියේ ලියන්න පටන්ගන්නවා. එකදවසක් ශෝන් මේ ඩයරිය කාටත් හොරා තමගේ නැන්දට හොරෙන් බාරදුන්නා. ශෝන්ගේ නැන්දා මේ ඩයරියේ තියෙන සටහන් වලින් අලුත් බ්ලොග් අඩවියක් පටන්ගත්තා. මේ බ්ලොග් අඩවිය නම් කරන්නේ jon’s jail jurnal කියන නමින්. ටිකෙන් ටික මේ බ්ලොග් අඩවිය ජනප්‍රිය වෙලා ගිහින් අවසානයේදී ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වල පවා අවධානය යොමු වෙනවා. ශෝන් මේ බ්ලොග් අඩවිය ලියන්නේ anonymous විදියට.
මේ අතරේ ශෝන්, හිරගෙදර පුස්තකාලයේ වැඩට යොදවනවා. මෙතනදී ශෝන් පොත් කියවන්න ආපහු පටන්ගන්නවා. මුලින්ම ඉංග්‍රීසි සාහිත්‍ය පොත් කියවන ශෝන් ටිකෙන් ටික කියවීමේ පරාසය වැඩි කරනවා. මනෝවිද්‍යාව සහ දර්ශනය කියන විශයන්ට අදාල පොත් වැඩි වශයෙන් කියවන්න ශෝන් පෙළඹුනා. මොකද ශෝන්ට ඕන වුනා තමන්ගේ අවට ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම හරියටම තේරුම්ගන්න. ශෝන් කියනවිදියට මිනිහා අවුරුදු 6ක් ඇතුලත් පොත් 1000ට අධික ප්‍රමාණයක් කියවලා ඉවර කරලා තියෙනවා.
අවුරුදු 5 ක් සිරදඬුවම ඉවර කරලා 2007 දෙසැම්බර් මාසේ දවසක ශෝන් හිරගෙදරින් නිදහස් වෙනවා. ඇමරිකන් රජය ශෝන්ව එක්සත් රාජධානියට පිටුවහල් කරනවා. ආයේ කිසිම දවසක ශෝන්ට ඇමෙරිකාවට එන්න බැහැ. ශෝන්ට ආයෙත් තමන්ගේ පවුලත් එක්ක එකතු වෙන්න පුළුවන් වුනා. හැබැයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශෝන්ව හොයාගෙන එන එක නතර වෙන්නේ නැහැ. බ්‍රිතාන්‍ය කොකේන් රාජධානියේ කොටස්කාරයෙක් වෙන්න කියලා ශෝන්ට නිතර දෙවේලේ ආරාධනා එන්න ගත්තා. ඒත් අතෑරලා දාපු ජීවිතේට ශෝන් ආයේ ඇතුල් වුනේ නැහැ. ඒ වෙනුවට මත්ද්‍රව්‍ය වලට විරුද්ධව මතයක් ගොඩනගන්න ශෝන් වැඩකරන්න පටන්ගත්තා. හිරගෙදරදී තමන් ලබපු බිහිසුණු අත්දැකීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදියට ලැබුනු අත්දැකීම්, ඒ වගේම ජීවිතේ සිද්දවුනු බිඳවැටීම් ගැන ශෝන් පොත් කීපයක් ලියලා මුද්‍රණය කලා. කවුරුවත් හිතපු නැති විදියට මේ පොත්, තරුණ ප්‍රජාව අතරේ උණුකැවුම් වගේ විකිනෙණ්න පටන්ගත්තා. ශෝන් එතනින් නොනැවතී මත්ද්‍රව්‍ය නිසා වෙන හානිය ගැන තරුණ ප්‍රජාව දැනුවත් කරන්න ලොකු වැඩසටනක් ආරම්භ කලා. බොහෝමයක් පාසැල් සහ විශ්වවිද්‍යාල වල ආරාධිත දේශන පවත්වන්න ශෝන්ට දිගට හරහට ආරාධනා එන්න ගත්තා. ඒ වගේම යහපත් බන්ධනාගාර පද්ධතියක් සහ සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ශෝන් නිතරම සටන් කලා. Ted talk වගේ අන්තර්ජාතික වේදිකාවල පවා ශෝන්ට කතාකරන්න අවස්තාව ලැබුනා. Party Time, Prison Time, Pablo Escobar, the Cali Cartel, The Mafia Philosopher කියන්නේ ශෝන්ගේ ප්‍රසිද්ධ පොත් වලින් කීපයක්. මේ වෙනකොට ශෝන් වෘතීමය ලේඛකයෙක් සහ දේශකයෙක් විදියට කටයුතු කරනවා. ඊට අමතරව තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය වලින් මුදවගන්න ක්‍රියාකාරී විදියට මැදිහත්වෙලා කටයුතු කරමින් ඉන්නවා.
ඉතිං මිත්‍රවරුණි හැම මිනිහෙක්ගෙම ජීවිතේ එක්තරා නන්නත්තාර, පිස්සු විකාර, කාලපරිච්ඡේදයක් තියෙනවා. ඒ කාලපරිච්ඡේයේ මොනතරම් පිස්සුවක්ද කියලා තේරුම්ගන්න අපිට සෑහෙන්න කාලයක් ගතවෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න්න ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවගන්න, එකම එක චාන්ස් එකක් හැම මිනිහෙක්ටම ජීවිතේ කවදහරි දවසක ලැබෙනවා. ඒ හම්බවෙන චාන්ස් එක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕනි තමන් විසින්මයි. මිනිහෙක්ට ජීවිතේ නන්නත්තාර කාලපරිච්ඡේදයක් අනිවාරෙන්ම තිබිය යුතුයි. එහෙම තිබ්බේ නැත්නම් ඒ මිනිහා මෙලෝ රහක් නැති එකක් වෙනවා. හැබැයි ජීවිතේ අනිත් පැත්ත හරවන්න හම්බවෙන චාන්ස් එක මිස් කරගන්න එපා. ඒක පට්ටම අපරාධයක්. මේ කතාව නතර කරන්න එමිනම්ගේ රැප් එකක කෑල්ලක් ගන්නම්.
“You only get one shot, do not miss your chance to blow This opportunity comes once in a lifetime”
උපුටා ගැනීම: Nisal Ekanyaka / කතන්දරකාරයා