නපුරු ඇල්වින් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තරු පිරුණු අහස දිහා බලාගෙන මම අදත් කල්පනා කරනවා…ටික වෙලාවක් අහස දිහා බලාගෙන ඉද්දි හැමදාම වගේ මම මට පේනමානේ වැඩිපුරම දිලිසෙන තරුව මෙන්න මේක කියලා එක තරුවක් හිතින් වෙන්කර ගන්නවා…ආයේ ටිකකින් වැඩිපුරම දිලිසෙන තරුව කියලා මට වෙන එකක් පේන්න ගන්නවා..ඔහොම බලාගෙන ඉද්දි ඒකත් නෙවෙයි මෙන්න මේක කියලා වෙන එකක් පේන්න ගන්නවා..ඔහොම මම එළි වෙනකම්ම අහස දිහා බලාගෙන හිටියොත් වෙලාවෙන් වෙලාවට මට අහසේ හැම තරුවක්ම වැඩිපුරම දිලිසෙන තරුවක් විදියට පෙනෙයි කියලා මටම හිතෙනවා…ඉතින් මම ටිකකින් වැඩේ අතැරලා දාලා වෙන මොකක්මහරි දේකට අවදානය යොමු කරන්න ට්රයි කරනවා…
ජීවිතේ මට මුණගැහුන ආදරණීය මිනිස්සු, ඒ මිනිස්සුගෙ මතක සටහනුත් හරියට මේ අහස වගේ….
අපි ජීවිතේ වැඩිපුරම කරලා තියෙන්නෙ තේරුමක් නැති දෙයක් කියලා දැනගෙන හැමදාම රෑට වැඩිපුරම දිලිසෙන තරුව හොයන්න ට්රයි කරා වගේ ජීවිතයට ආව ගිය මිනිස්සුන්ගෙ අරයට වඩා මෙයා හොදයි..ටිකක් බලාගෙන ඉද්දි අපෝ එයා හොඳ නෑ ඊට වඩා අරයා හොදයි වගේ බැඳීම්වල එල්ලෙන එක නේද..?
ඔය අතරේ සමහර වෙලාවට තිබුනා හැමදාම එකම විදියට දිලිසුණ ඈතට වෙලා හරි හැමදාම බලාගෙන ඉන්න හිතුන තරු..ඔව් ජීවිතේ හිටපු මිනිස්සුත් එහෙමයි..!
එයා දැන් අවුරුදු 5ක් තිස්සෙ මම ඈතට වෙලා බලාගෙන ඉන්න එකම විදියට දිලිසින තරුවක්.. ඒත් මම දන් නෑ අද එයා කොහේ ඉන්නවද, මේ වෙලාවෙ මොනවා කරනවද කියලා..මේ අහස යට කොහේමහරි තැනක ඇති..ඔව් මම එහෙම හිතනවා..
මීට වසර 5කට වැඩි අවුරුද්දක ඉතා සුන්දර ප්රේම කතාවක්..අවසානයේ අසීරුවෙන් සුහඳව සමු ගෙන ඔහුනොව්න්ගේ පාරවල්වල ගමන් ගත් අපරාජිත ප්රේම වන්තයන් දෙදෙනෙක් මම මනසේ ඇද ගන්නව…පිහි තුඩකින් පපුවට අනිනවා වගේ දැනෙන කොටම මකලා දානවා…!
මීට අවුරුදු 4කට වැඩි වෙතත් අඩු නැති අතිතයක් දිගේ ඇවිදගෙන යනවා…සුන් බුන් වෙලා තියෙන නටබුන් අතරින් අසීරුවෙන් අඩි තියනවා…
එකෝමත් එක කාලෙක ජීවිතේ බොහෝ අසීරු දවස්වල පවා අතින්වත් අත නොඅල්ලා හමුවෙන සෑම මොහොතකම හිස අතගාල “හැමදේම ඉක්මනින්ම හරියයි..!” කියූ ආදරණීය පෙම්වතෙක් හිතේ මවා ගන්නවා…
“ඇයි අපිට මෙහෙම උනේ..?, ඇයි අපි වෙන් උනේ..?, අනේ මට තාම ඔයාව මතක් වෙනවා” වගේ අඳෝනා නොකියාම, නොසිතම කිසිදු හැගීමකින් තොරව මම මතක මාවත දිගේ ඇවිදන් යනවා…ආදරණීය තප්පර වල ඉබේම නවතිනවා…
කාලකට කලින් මම කැමති කිවද කියලා මටවත් මතක නැති පොත් දෙකක් උස්සගෙන ඇවිත් “අහ් මෙන්න ගන්න..” කියලා විසික් කරලා වගේ දීලා ගිය නපුරු මනුස්සයෙක්,
අසාධ්ය වෙලා අප්පච්චි රෝහලේ හිටපු එක දවසක අප්පච්චි ළඟ සිනාහ වෙලා ඉදලා එලියට ඇවිත් රෝහලේ කොරිඩෝවේ සිමෙන්ති කණුවක් බධාගෙන බිම වැටී හැඩුව කෙල්ලෙක් දිහා හොරෙන් බලාහිඳ ඇය ගෙදරට පැමිනෙන තෙක්ම ඇයව තනි නොකර ඇයටත් හොරෙන් පසුපසම ඇවිත් අනතුරකට ලක් වී තුවාල වීත් ඇය හඬාවියැයි බියෙන් හඬන්නට එපායැයි කියා යෑමට පැමිණි ප්රේම වන්තයෙක්,
“අත ගොඩක් රිදෙනවද..?”
“හොස්පිටල් එකේදී එකියක් අඬනව දැක්කාම හිත රිදුන තරම් මේක රිදෙන් නෑ..!”
එදා ඒ මැසේජ් එක මම කී සැරයක් කියෙව්වද කියලා මට මතක නෑ..
ප්රේම කතාව අවසානවී බොහෝ කලකට පසුත්, කිසිම දෙයක් හිතා ගන්නවත් කර කියා ගන්නටවත් නොතියා බස් එක අනතුරකට ලක් වෙනවා..හීරීමකින්වත් තුවාලයක් නොව්නට හිතට දැනුණ කම්පනය නිසාම ගල් ගැහිලා හිටි වනාම ඉද්දි කව්දෝ මගෙ නම කිය කියා හොයනවා..
ඒත් නෑසුනා වගේ ඉද්දි ඒ කෙනාව තව කෙනෙක් මං ලගට එක්කගෙන එනවා..
“ඔයාට අව්ලක් නෑ නේද නංගී..?”
“නෑ මට මොකුත් නෑ..”
“අහ් මේ ඔයාට කෝල් එකක්..”
පෝන් එක කනට ලං කරන්නත් කලින් එහා පැත්තෙන්,
“මොකද්ද වුණේ..?ඔයාට මොකද..?”
“බස් එක හැප්පුනා”
“දන්නවා ඒක මම..තමුසෙට මොකද කියනවා..මට දැනගන්න ඕන ඒක..”
“මට මොකුත් නෑ..මම හොදින් “
කනට ගැහුවා වගේ කෝල් එක කට් වෙනවා…ප්රේම කතාව අවසානයේ පවා එසේ සොයා බැලීමට තරම් සමීප ඇසුරක් අපට තිබුනාද..?මමම කල්පනා කරනවා…
ඊටත් බොහෝ කලකට පසු ගෙදරින් පිට සිටි බොහෝ අසීරු කාලයේ නිතර දෙවේලෙ අසනීප වෙමින් ඔහුගෙන් පසු ජීවිතයට පැණිමි ව්යාජ මිනිස්සුන්ගෙ සැබෑ ස්වරූපය දරා ගන්නට ප්රයාස දැරූ කාලයේ අසනීප වී රෝහල්ගත කරා කියලා යාළුවා තියපු මැසේජ් එකට පිළිතුරු කෝල් එකක් එනවා..
මම යාළුවාටම පෝන් එක දෙනවා..
“කොහෙද ඉන්නෙ..?මොකද වුණේ..?”
“අයියේ නංගී හොස්පිටල් “
“කොහෙ හොස්පිටල්ද..?මොනා වෙලාද එයාට..?”
යාළුව මං දිහා බලලා ටික වෙලාවක් ඉදලා මොනවද කියන ගමන් ටිකක් ඈතට යනවා..ඇය නැවත පැමිනි මොහොතේ පවා මට මොනද කිව්වේ කියලා අහන්න ඕන උනත් මම කිසිවක් නොඅසා ඉන්නවා..මම මොකුත්ම නොඅසන තැන ඇය
“අන්න මිනිස්සු..!” කියා පමණක් ඒ කතාව අවසන් කරනවා..සැබැවින්ම ඔහු කෙතරම් මනුස්සකම් ඇති මිනිසෙක්ද කියලා මම ඈට වඩා දන්නවා..
ඊට පස්සෙත් දවසේ තුන් වේලටම බෙහෙත් බොන්න එලාම් එකක් තිබ්බා වගෙ දවසෙ එක වෙලාවකට කෝල් එකක් එනවා,
“වෙලාව හරි නේද කාලා බෙහෙත් බීලා බෙහෙත් බිව්වා කියලා මැසේජ් එකක් තියන්න..”
ඒ කෝල් එක එනතුරුම බලාගෙන ඉදලා බෙහෙත් ටික බීලා මම මැසේජ් එකක් තියනවා..
“මම බෙහෙත් බිව්වා “
කිසිම පිළිතුරක් නෑ..ආයේ බෙහෙත් බොන වෙලාවට කෝල් එකක් එනවා..ආයෙමත් අර ටිකම කියලා කෝල් එක කට් වෙනවා..ඔහොම බෙහෙත් ඉවර වෙනකම්ම පුරුද්දක් විදියට කෝල් ආවාත් එක දවසක් උදේ කෝල් එක එන් නෑ..බෙහෙත් නොබීම මම බලාගෙන ඉන්නවා..”ඇයි මට අද බෙහෙත් බොන්න නොකීවේ?” කියලා අහන්න ඕන උනත් අහන්න කිසිම අයිතියක් හෝ බැඳීමක් නෑ නේද කියලා මතක් වෙලා මොකුත්ම නොකර ඉන්නවා..
ඊට පැය දෙකකට විතර පස්සෙ කෝල් එකක් එනවා..
“බෙහෙත් බිව්වාද? මම පෝන් එක හදිස්සියට ඔෆිස් එකේ දාලා ගිහින්..මගට ගිහින් ආයේ ආවේ බෙහෙත් බොන්න කියන්න අමතක උනා කියලා මතක් වෙලා…”
“මම බෙහෙත් බිව්වා”
“අහ් එහෙනම් එච්චරයි”
ඒ වෙනකම්ම බෙහෙත් නොබී කෝල් එක එනකම් බලාගෙන හිටියත් මට ඒක කියන්න බෑ කියලා හිතුණා..ඊටත් දවසකට විතර පස්සෙ මගේ බෙහෙත් ඉවර වීගෙන එනව කියලා මට දැනුණා..
“හෙට රෑ වේලෙන් මගෙ බෙහෙත් ඉවරයි…හෙටින් පස්සෙ බෙහෙත් බොන්න කියලා කෝල් කරන්න ඕන නැති වෙයි..”
“හරි..ආයෙ කෝල් කරන්න වෙන, බෙහෙත් බොන්න වෙන වැඩ කරගන්න එපා..ඉස්සර වගේ චිල් එකේ ඉන්නවා..”
ඒ වචන හිතේ ගැඹුරුම තැන ඇනී අදද මසිත රිදවාලනවා මෙන්ම සනසාලනවා…
මීට දවස් දෙකකට තුනකට කලින් එක්තරා පේජ් එකක “රාගයෙන් තොර ප්රේමයක් තියෙන්නම බැරිද?” කියලා අහපු පෝස්ට් එකකට “පුළුවන්..තියෙනවා ” කියලා සරල පිළිතුරක් දුන්නා මට මතකයි..ඒ කමෙන්ට් එකට අද වෙද්දි හා හා රියෑට් 264ක් මෙන්ම
“රාගය නැති ප්රේමය හොදයි ලාදුරු හැදුන එව්න්ට” වගේම “එහෙම පිරිමි ඉන්නෙ ටැමිල් ෆිල්ම් වල විතරයි..” යනුවෙන් කමෙන්ට් අත් දෙකේම ඇගිලි ගණනටත් වඩා තිබුනා…මම මගේ කමෙන්ට් එක මකාගෙන හැරිලා ආවා….
හිතවතුණි, ඔබලාට පුළුවන් මේකටත් හිනා වෙන්න..ඔබේ අදහස් ප්රකාශ කරන්න…නමුත්, ලෝකයම හිනා වුණත් රාගයෙන් තොර ප්රේමය මෙලව ඇති බව මා ඉදුරාම මේ මොහොතේ පවා කියනවා…
ඉතින් නපුරු ඇල්වින්…, නුඹට ලාදුරු තිබුණාද…?? මේ අහස පීරලා මට නුඹව සොයාගෙන ඇවිත් කිසිම දවසක රළුද, සිනිඳුද කියාවත් නොදන්න නුඹේ අත තදින් අල්ලගෙන සැබෑ ජීවිතය තුළ ටැමිල් ෆිල්ම් එකක නළුවෙක් ඌවාට ස්තූතියි කියා කියන්න හිතෙනවා….
ඇත්තමයි මට හිතෙනවා…!!
උපුටා ගැනීම: නදී තේනුවර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!