නරක වචන (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ ලඟදි දවසක අපේ දෝණියැන්දා ඇහුවා බී එකෙන් පටන්ගන්න වචනයක අකුරු කියලා (බී. අයි. සී. ටී. එච්.) ඒක නරක වචනයක් නේද කියලා. මමත් චීන වයිරසේ හින්දා අමතක වෙච්ච අනික් වසංගත පුදුමෙන් බලන් ඉන්නව වගේ දෝනි දිහා බලලා ඇහුවා “ඔව්, කොහොමද දන්නෙ?” කියලා. මොකද ඒ වචන පාවිච්චි කරන තැනක්වත් නැති නිසා.
එයා කිව්වා ” ජස්ටින් බීබර්ගෙ සිංදුවකින්” කියලා.
ජස්ටින්ගෙ සිංදුවක තිබ්බ පලියට ඒක නරක වචනයක් කියලා දැනගන්න ඕක කොහෙන් හරි ඇහෙන්න එපායැ. ඒත් ඒක අහන්න කලින් මෙයා ආයෙ අහනවා “මමී කොයිතරම් නරක වචන තියනවද” කියලා.
“ඒ මොකටද” අහපුවම එයා කියනවා “මම පොරොන්දු වෙනවා ආයෙ ජස්ටින් බීබගෙ සිංදු අහන්නෙ නෑ කියලා, ඒත් දැනගෙන හිටියොත් ඒවා මගාරින්න පුලුවන්නෙ” කියලා.
ඒකත් ඇත්ත නේද නොදන්න එකක් ඇහුනොත් තැන්ක්යූ කියන්න බැරි නැති නිසා මම ගෘහමූලික මවින්දගෙන් ගිහින් ඇහුවා “මම ලමයට හරුප ටිකක් කියලා දෙන්නද” කියලා.
එයා කම්මුලට අත තියාගෙන මේ මොන ජාතියේ අම්ම කෙනෙක්ද කියලා මගෙ දිහා බලාගෙන හිටියෙ වැරදිලා වැදිච්ච අකුණක් හින්දා මූණ කලුවෙච්ච චිම්පන්සියෙක් දිහා බලන් ඉන්නවා වගේ.
එදා ඕක කියල දෙන්න නොගියට ආයෙ ඉස්කෝලෙ යද්දි දෝනි මට කිව්වා “මම එදා නොකිව්වට නරක වචන වලින් මම එෆ් අකුරෙන් පටන් ගන්න වචනෙයි, එස් අකුරෙන් පටන්ගන්න වචනෙයි, ඒ අකුරෙ එකයි අහලා තියනවා කියලා.
ඒ කොහොමද කියල ඇහුවම එයා කිව්වා “එෆ් එක ඇනා මරී ගෙ සිංදුවලයි, අනික්වා ජස්ටින් බීබර්ගෙ ඒවගෙයි තියෙනවා” කියලා.
මම ඇහුවා “ඒත් ඒව තිබ්බට නරක වචන කියන්න ඔයා දන්නෙ කොහොමද” කියලා.
එයා කියනවා “පන්තියේ ලමයි කතා වෙන එකෙන් දන්නෙ” කියලා.
අම්මෝ අම්මෝ කියලා හිතනකොටම එයා කියනවා “බය උනාද, ඉස්කෝලෙ ඕව කියන්නෙ නෑ, ලමයි හොරෙන් කතා වෙන්නෙ” කියලා.
එයා ඉන්නෙ 6 වසරෙ. නරක වචනයක් ඉස්කෝලෙ ඇහුනොත් එයාලට බංකුවේ ඉඳගන්න වෙනවලු. ඒක තමයි දඬුවම. ලමයි බය නිසා එහෙම කරන්නෙ නැතිලු.
බංකුවේ ඉඳගන්න වෙන එක නිකං කටු ඉඹුලෙ යනවා වගේ හැඟීමක් තමයි එයා කියද්දි ඔලුවට එන්නෙ. සතියටම එකම එක ගෙදර වඩක් දෙනවා සිකුරාදට, ඒක නොකර ආවොත් අඟහරුවාදට බංකුවේ ඉඳගන්න වෙනවා. ගෙදර ගෙනත් කියවන්න දෙන පොත අඟහරුවාද වෙද්දි ගෙනිච්චෙ නැත්තන් ඒත් බංකුවේ ඉඳගන්න වෙනවා. ඒත් බංකුවේ ඉඳගන්න වෙනවා කියන්නෙ නිකං බංකුවක ඉඳගන ඉන්න වෙන එක. හැබැයි ඒක කරන්න වෙන්නෙ එයාලගෙ ප්ලේ ටයිම් එකේ. අනික් ලමයි සෙල්ලම් කරන දිහා බලාගෙන බංකුවට වෙලා හූල්ල හූල්ල ඉන්න එක තමයි දඬුවම.
ඉතින් ඒකට ලමයි අකමැති නිසා ඒක කරන්නෙ නෑ.
ඒත් දෝනි කියනවා “ඒක මහලොකු දඬුවමක් නෙවෙයි, හොඳට ඉඳගෙන ඉන්නනෙ තියෙන්නෙ” කියලා.
එයාගෙ පන්තියේ ඉන්න ජොශුවාගෙ ආච්චි ජොශුවා නරක වචනයක් කිව්වොත් එදාට ජොශුවගෙ එක්ස්බොක්ස් එක දෙන්නෙ නැතිලු සෙල්ලම් කරන්න.
ජැක්ගෙ අම්මා ජැක්ට කලින් නිදියන්න කියනවලු ඒව තමයි දඬුවම්.
ඉස්සර අපේ ගෙවල් ලඟ හිටියා පොඩි ලමයෙක්, මම 6 වසරෙ ඉන්නකොට එයා ගියේ මොන්ටිසෝරි. එයාගෙ තාත්තා බීගෙන ඇවිල්ලා හරුප වපුරද්දි හදිස්සියෙවත් අපේ ගෙදර කවුරුහරි ඉන්නව දැක්කොත් වැරදිලා මේ පැත්තෙ ආවෙ යන්නම් කියලා ආපහු යන වල්ගාතරුවක් වගේ හිමීට යනවා. ඒත් අර ලමයා නොදන්න හරුපයක් නෑ අර පොඩි වයසට. දවසක් පාරෙ යනවා තනියම. අපේ අම්ම මට කිව්වා අර පොඩි ලමයා තනියම පාර පැත්තට යනවා ගිහින් එක්ක එන්න කියලා.
මාත් දුවගෙන ගිහින් ඇහුවා “කොහෙද බබා යන්නෙ” කියලා.
මේ පොඩි එකා “මහ ගෑ@ කොහෙ මක/ බෑවිලාද දන්නෙ නෑ, ඕකි” කියලා හරුප වැලක් කියාගෙන ගියා.
ඒකට බය උන මම ආපහු දුවගෙන ආවෙ උසේන් බෝල්ට්ගෙ අක්කගෙ පුතා වගේ වේගෙකින්. කොහොමහරි ඒ ලමයට මුළු ගමම කිව්වෙ කුණු / හරපයා කියලා.
මෙහෙ හරුපයි ලංකාවෙ ඒවයි ගැන කතාවෙද්දි දවසක් සබ්රිනා කියලා මගෙ එක්ක මෙහෙ ඉගෙනගත්ත ලංකාවෙ යාලුවෙක් කියනවා “බලන්න ලංකාවෙ තියන නරක වචන ගොඩ, මෙහෙ ඉතින් හදිස්සියට ගන්න තියෙන්නෙ කෝකටත් තෛලෙ වගේ එෆ් වචනෙ විතරනෙ, ඊය මේ සුද්දො නම්” කියලා.
ඒත් ඒ වෙලාවෙ හිටිය ලංකාවෙ පිරිමි ලමයෙක් කිව්වා “හදිස්සියට ගන්න ඒක තිබ්බට සුද්දොන්ට තියෙනවා වයිඩ් රේන්ජ් ඔෆ් නරක වචන” කියලා.
කොහොමහරි ඊයෙ ආපහු දෝනි කිව්වා “එයා කියවන පොතක එෆ් වචනෙ තිබ්බා කියලා. ඒ පොත් දෙක තුනක් තෑගි හම්බුනා. එයා ඒවගෙ ස්ටයිල් එකට ආස වෙලා දිගටම කියෙව්වා.
ඒ පොත් ටීනේජස්ලගෙ පොත් සෙට් එකක් නිසා මම මවින්දට කිව්වා “මෙයා තාම 6 වසරෙනෙ. අතට අහුවෙන ඕනෙ පොතක් අරන් දෙන්න එපා, එකක එෆ් වචනෙ තිබිලා” කියලා.
වගකීම් සහගත තාත්තෙක් වගේ මෙවුන්දැ කිව්වනෙ ආ ඒක ගනන් ගන්න එපා එයා දන්නවනෙ ඒක හරුපයක් කියලා, එයා ඒව දැනගෙන ඉන්න එක කමක් නෑ” කියලා.
එහෙනම් එදා මම කියල දෙන්න අහද්දි මට හිනා උනේ කිව්වම මේ මනුස්සයා කියනවා ” මම දන්නවනෙ ඔයා ගැන, එකකින් නවත්තන්නෙ නෑනෙ, අන්තිමේ ලමයා හරුප විශේෂඥයෙක් වෙලා නවතින්නෙ ඔයා කියල දුන්නනම්, සමාජෙන් ඉගෙනගනී, ඒවගෙ හොඳ නරක ඉගෙන ගන්න ලමයට දැණුම දෙන එක තමයි අපි කරන්න ඕනෙ” කියලා.
ඡායාරූපය අන්තර්ජාලයෙන්. මවින්ද බලන් හිටියෙ ඔයිට වඩා විකාර විදියට.
උපුටා ගැනීම: නිල්මිණී සමන්තිලක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!