නරුම රස්සාව (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ගෙදරට මිනිස්සු වැඩිපුර යන්න එන්න පටන් ගත්තේ තාත්තා පටන් ගත්ත නරුම රස්සාව නිසා. ඒ යන එන මිනිස්සු මට නම් මිනිස්සු වගේ කවදාවත් පෙනුනේ නැ. මොකද හම්බකරන් එන එකෙන් භාගයක් අපේ ගෙදරට පූජ කරලා හතර ගාතෙන් යන උන්ව මට මිනිස්සු කියලා හිතන්න බැරි වුනා.
තාත්තට අපි කට කැඩෙනකම් කොච්චර එපා කියලා කිවුවත් තාත්තා ඒ වැඩේ ගෙදරම දිගටම කරගෙන ගියා. තාත්තා ඒ රස්සාව පටන් ගත්ත දවසේ ඉඳලම අපි රෑට නිදාගන්නේ මොන වෙලාවේ ගෙදරට පොලිසිය පනියිද කියන බයෙන්, රෑට විතරක් නෙවෙයි දවල්ටත් පොලීසිය අපේ ගේ මායිම වටකරන දවස් ඒ අතීතයේ අනන්තවත් තිබුණා. අපි ඒ කාලේ අනන්තවත් පාර්ථනා දෙයක් තමයි අනේ ආයෙත් පොලීසිය ගෙදරට එන්න නොලැබේවා කියලා. ඒ වගේම ඒ දේ වුනා කාලයක් ගියාට පසුව.
කෙල්ලො තුන් දෙනෙක් ඉන්න අපේ ගෙදර බාලම දරුවා වුන මට ගමේ නම වැටිලා තිබුණේ කසිප්පු ගෙදර පොඩි දූ කියලා. ඒක මහ වේදනාවක් ගේන නමක්. රෑකට පොලීසිය ගෙදර වට කරොත් පහුවදා අපිට ඉස්කෝලේ යන ගමනත් නවත්තන්න සිද්ද වුනා. මොකද උදේ ඉස්කෝලේට යන පාරෙදි හම්බෙන හැම කෙනාගේම ප්රශ්න වුනේ “ඊයේ රෑ පොලීසිය පැන්නලු නේද” ඔය වචන ටික කන් වලට වඩා හිත ඇතුළෙයි රැවු දෙන්න ගත්තෙ.
අම්මටවත් කරකියා ගන්න දෙයක් තිබුණේ නැ තාත්තගේ හිතුවක්කාර කමයි නපුරු කමයි නිසා. අම්මා හැමදාම නිහඬ වෙලා හිටියේ තාත්තා කියන දෙයක් අහගෙන. තාත්තා චුට්ටක් හරි කියන දෙයක් ඇහුවේ මද්දු අක්කා කියන දේ විතරයි. මද්දු අක්කත් කොච්චර කිවුවද ඒ ගැන. එහෙත් ඵලක් වුනේ නෑ. ඒක නිකං බීරී අලිංට වීනා වයනවා වගේ වැඩක් වුනා.
කෙල්ලො තුනක් ඉන්න ගෙදරකට පිරිමි යන එන එක ගැන ගමේ කටකතා පැතිරෙන්නත් පටන් ගත්තා ටික ටික. ඒ ගැනත් තාත්තට කිවුවට තාත්තා කනකට ගනන් ගත්තේ නැ. පොලීසිය අල්ලන් ගිහින් කොච්චර අවවාද දුන්නත් තාත්තා ඒවා තඹේකටවත් මායිම් කරන්නේ නැති තරම් මුරණ්ඩු කමෙන් ඒ වැඩේ දිගටම කරගෙන ගියා.
ගෙදර රණ්ඩු සරුවල් කියන්නේ සාමාන්ය දෙයක් බවට ඒ කාලේ පත් වෙලා තිබුණේ. හැම පැත්තකින් ම තැලුණේ අම්මා. තාත්තා හොඳට බීලා ඉන්න දවසකට හොද්දට ලුනු වැඩි වුනත් අම්මට තාත්තගෙන් බැනුම් කෝටියක් අහගන්න වුනා. ඒ හැමදේම දරාගෙන අම්මා කුස්සියේ කඳුලු හංගන වාර අනන්තවත් තිබුණා.
ලොකු අක්කා රස්සාව කරන්න පටන් ගත්ත කාලේ ලොකු අක්කා අම්මට කිවුවෙම මේ ගෙවල් අතහැරලා කොහේ හරි කුලියට යමු කියලා. මේ දේවල් ඉවසන්න බැරි නිසා. අක්කා එහෙම කියන වෙලාවට අම්මා කිවුවේ ඉවසන් හිටපල්ලා හැමදේම විසදෙයි දවසක කියලා.
එදා මහ වැස්ස දවසක් වැහි පොද වල සද්දේ දරුණු වැඩි කමට ලඟ ඉන්න කෙනා කියන දෙයක්වත් ඇහෙන්නෙ නැති තරම්.ඒ මදිවට ලයිට් ගිහිල්ලත් තිබුණ දවසක්. අපිත් රෑට කාලා වේලාසන නිදාගන්න කාමරේට ඇවිල්ල හිටියේ. අම්මා කුප්පි ලාම්පුවත් පත්තු කරගෙන කුස්සිය අස්පස් කරනවා මං දැක්කේ මාත් නිදාගන්න කාමරේට රිංගන වෙලාවේ.
තාත්තා පුරුදු විදිහට ඉස්තොප්පු කෑල්ලේ බිබී හිටියා. එදා රෑ අම්මා අපි තුන්දෙනනා ලඟට ආවේ හිතේ මොකක්ද තියාගෙන කියලා දැනුනත් ඒ මොකක්ද කියලා තේරුම් ගියේ පහුවදා උදේ. අම්මා රෑ අපි තුන්දෙනාගේ ඔළුව අතගාලා කිවුවේ
“හිත හයිය කරගෙන ඉන්න! ලඟ නැතත් දුරින් හරි මම ඉන්නවා උඹලා ලඟ” කියලා.
එදා උදේ ලොකු අක්කා වැඩට යන්න ඇහැරිලා කෑ ගහපු සද්දෙටයි මමයි මද්දු අක්කයිත් ඇහැරුනේ. අපිත් එළියට ඇවිල්ලා බලද්දියි දැක්කේ නිදාගෙන ඉන්න තාත්තා දිහා අම්මා බලාගෙන ඉන්නවා. පස්සෙයි තේරුම් ගියේ තාත්තා මැරිලා කියලා. තාත්තගෙ කස්සිපු බෝතලේට අම්මා වහ කලවම් කරා කියලා අම්මා වරද පිළිඅරගෙන ජිවිතාන්තයට හිරගෙදරට නියම වුනා.
එදැයින් පස්සේ ගෙදරට පොලීසිය ආවේ නැති වුනාට අපි තුන් දෙනාට පොලීසියට යන්න වුනා අම්මව බලන්න. තාත්තා මැරෙන්න කලින් රෑ අම්මා කිවුවේ මේ ගැන වෙන්නැති.
උපුටා ගැනීම:  pubudu udatiyawala

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!