අම්මා….”
මන් පියවි සිහියට ආවෙ දුවගෙ කටහඩින් “මොනාද අම්ම බලන්නෙ..” මන් දිහා බලල දූ ඇහුව. මන් හිනාවුනා…
“නෑ මේ නත්තල් කාඩ් යාලුවෙක් එවපුව… “
මන් කබඩ් එකේ පැත්තක පුරෝල තිබ්බ කාඩ් ටික පෙන්නල කීව…
“ඉතින්… ඇයි ඒව… කොයි කාලෙ යාලුවෙක් ද…”
“දන්නෙ නෑ දෝණි… මං හිතන් ඉන්නෙ යාලුවෙක් කියල… මං පොඩිකාලේ ඉදන් ඒව එන්නෙ… මං මුලින්ම හිතුවෙ මගෙ අම්ම එවනව කියල… පස්සෙ හිතුනෙ අපි ක්‍රිස්තියන් නොවෙන කොට ඇයි අම්ම එවන්නෙ කියල… කවුද කියල හිතා ගන්න බෑ හැබැයි හැම අවුරුද්දටම නොවරදවාම එනව…. “
******************************************
“අම්මෙ මේ මට නත්තල් කාඩ් එකක් ඇවිත්…”
ඉස්සෙල්ලාම නත්තල් කාඩ් එක ආපු දවසෙ අම්මට ගිහින් පෙන්නුව…
“ඔයාට නත්තල් යාලුවො නෑ නේ…”
“ඒනම්… නත්තල් සීය තමා එවල තියෙන්නෙ…” මන් උඩ පැන පැන කීව…
ඊටපස්සෙ හැම නත්තල් කාලෙකටම මට නත්තල් කාඩ් එකක් ලැබුන…
මන් ශිෂ්‍යත්වෙන් පස්සෙ ඉස්කෝල මාරු කලා…
ඒත් හැමදාම නත්තල් කාලෙට කාඩ් එක ආව… මගෙ ඉස්කෝලෙ යන්න ලේසි වෙන්න අපි ටවුමට ආව… ඒත් හැදාම නත්තල් කාලෙට නත්තල් කාඩ් එක ගමේ ගෙදරට ආව..
කිරි අම්ම අපි එහෙ ගියාම කාඩ් එක දෙනව…
කවුද එවන්නෙ ඇයි එවන්නෙ කියන්න මංවත් දන්නෙ නෑ…
දැන් මට වයස 45ක් තාමත් නත්තල් කාලෙට කාඩ් එක එනව මට වයස 7 ඉදන් එකතු කරපු කාඩ් ටික තියනව…
******************************************
“රෙජිස්ට පෝස්ට් එකක් මිස් අත්සන් කරල ගනන් වෙන්නෙ”
නොවැම්බර් මුල්සතියෙ ලියුමක් ආව. ඒක හරිම කෙටී…
ඒකෙ තිබ්බෙ මේම
නත්තල් කාඩ් එවපු කෙනා දැනගන්න මේ ලිපිනයට එන්න.
මන් තිගැස්සුනා… මන්නාරම පැත්තෙ කොන්වන්ට් එකක ලිපිනයක්…..මට තිබ්බ කුතුහලය නිසාම පහුවදාම නිවාඩුවක් දාල පිටත් වුනා…
පොඩි දුශ්කර පලාතක ලස්සන පොඩි කොන්වන්ට් එකක්…
“කවුරු හම්බ වෙන්නද…”
මන් පල්ලිය දිහා බලන් ඉද්දි සිස්ටර් කෙනෙක් ඇවිත් ඇහුව…
මන් ලියුම පෙන්නුව..
“ආ… ඔයා ටිකක් විතර පරක්කුයි.. එන්නකො මේ පැත්තෙන්”
“මෙතන්ට වෙලා ටිකක් ඉන්න ලොකු සිස්ටර් එනකන්…” මට හරි කරුණාවෙන් කීව..
කරකවල අත් ඇරිය වගේ
ඒ එක්කම කෝල් එකක්
“අම්ම කොහෙද ඉන්නෙ..”
“පල්ලියක..”
“ආ… ගියාද මොකෝ වුනේ… කවුද ඒ… මන් කීව නෙ මාවත් එක්ක යන්න කියල.. කෙහෙම්මල දාල ගියානෙ මන් තරහයි….”
මට උගුර පාදන හඩක් ඇහුන “මන් පස්සෙ ගන්නම් බබා..”
මන් කෝල් එක කට් කලා
“මන් එවපු ලියුම දැකල වෙන්න ඇති…”
“ඔව්”
සිස්ටර් හිනා වුනා..
“දරුවෝ ඔයා දැන් මොකෝ කරන්නෙ…”
“සිස්ටර් මන් සයිකොලොජිස්ට් කෙනෙක්..”
“ආ… හොදයි නෙ”
“දරුවො… දෙවියන් වහන්සේ ආදරේ හරි ඉහලින් පිලිගත්ත කෙනෙක්. අපි කෙනෙක්ට එක පාරක් කරුනාව දැක්කුවොත් සමහර අය ඒක හැමදාම මතක තියාගන්නව…”
“සිස්ටර් තර්සි… සරෝජට එන්න කියන්න සිස්ටර් දිලිනි දුන්න ඒවත් අරන්…”
ටිකකින් පුංචි කෙට්ටු කොණ්ඩ දෙකක් ගොතපු ගෑල්ලමයෙක් ආව ඇවිල්ල පොඩි පෙට්ටියක් මං අතට දීල මට එහා පැත්තෙන් ඉදගත්ත. මං පෙට්ටිය ඇරල බැලුව… ලියුමක් එක්ක තව පුංචි පෙට්ටියක්…
ආදරණීය මනුලි,
හුගක් කල් ගිහින් නේද.. මාව මතකද දන්නෙ නෑ…. මතක නම් නැතුව ඇති. එකට හිටියට වැඩිය කතා කරල නෑ නේ…
ජීවිතේ හරි පුදුමයි… සමහරුන්ට හුගක් දේ තියෙද්දි සමහරුන්ට කිසිම දෙයක් නැති කරනව…
ඇත්තටම මං මේ දේ පරිස්සම් කරං තියන් හිටියෙ… ඒත් මේ දේට ඔයත් කැමති නම් මේ දෙක ලොකු සිස්ටර් කියන ගෑල්ලමයට දෙන්න… මං දන්නව ඔයා කැමතී කියල…
හැමදාම ක්‍රිස්මස් කාඩ් එව්වෙ මන්…
මන් බය වුනා ඔයා පදිංචිය වෙනස් කරයි කියල. මං ඒක දාන හැමදාම හිතින් දෙවියන්වහන්සේට කීවෙ පදිංචිය වෙනස් නොකර ඉන්න කියල…
ආදරෙයි මගෙ යාලුව…
දිලිනි..
මං පොඩි පෙට්ටිය ඇරිය…
කරාබු දෙකක්…
******************************************
“අපෝ…. ඔයාට කරාබු දෙකක්වත් නෑ නෙ… වැඩක් නෑ… වැඩක් නෑ… හූ…හූ…”
” යන්න… එන්න එපා අපිත් එක්ක ඉන්න”
දෙක වසර නෙලුම් පංතියෙන් තමයි ඒ සද්දෙ ආවෙ..ඒ සද්දෙ ඇහිල පංතිභාර ගුරුතුමිය ඒ පැත්ත බලද්දි කොණ්ඩ දෙකක් ගොතපු කෙට්ටු පොඩි ගෑල්ලමය අඩනව එයා වට කරගෙන ලමයි දෙතුන් දෙනෙක් කරාබු නෑ කියල විහිලු කරනව…
ගුරුතුමිය ටිකක් තදින් එයාලට බැන්න…
“අම්මෙ… දිලිනි කියල ගෑල්ලමයෙක් ඉන්නව එයාට අපි හිනා වුනා කරාබු නෑ කියල ටීච අපිට බැන්න…”
“මොකද්ද … ඇයි ලමයො හිනා වුනේ… ඒම කරන්න එපා ඒක හොද නෑ හැමෝටම හැමදේම නෑ ඔයාට තිබ්බට
මේ දෙක ගිහින් ටීචට දෙන්න ඒ ලමයට දෙන්න කියල තේරුනාද…” අම්ම එයගෙ කරාබු දෙක දුන්න… ඒ දීල වෙන දෙකක් දා ගත්ත…
පහුවෙනිද මං ඉස්කොලේ ගියා…
එයා කරබු දෙකක් දාන් ඇවිල්ල තිබ්බ…
“ටීච… මේක දෙන්න කීව අම්ම දිලිනිට දෙන්න කියල..”
මං බයෙන් බයෙන් ටීචට කීව..
ටීච කරාබු දෙක දිහා බලන් ඉදල මං දීහා බලල දිලිනිට කරාබු දෙක එයාගෙ කනටම දාල එයාගෙ දෙක දිලිනි ගෙ අතේ තිබ්බ පස්සෙ ටීච මගෙ ඔලුව අතගාල කීවෙ
“අම්ම වගේ හැදෙන්න කියල…”
එයා මං ඒ ඉස්කෝලෙන් අයින් වෙනකන්ම ඒ කරබු දෙක දාන් හිටියෙ…
මං ලොකු වෙද්දී ලොකු වෙද්දි ඒ සිද්දිය මතක් වෙද්දි කියා ගන්න් බැරි දුකක් එන්නෙ නැති බැරිකම මොකද්ද මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල තේරෙන කාලෙ එද්දි මං ඒ සිද්දිය මතක් වුනාම අඩන්ව
******************************************
මං සරෝජ දිහා බැලුව එයටත් කරාබු දෙකක් නෑ මං සරෝජව බදාගෙන ඇඩුව.. මගෙ අතින්ම කරාබු දෙක දැම්ම…
“ලොකු සිස්ටර්…. කෝ දිලිනි…” මං දිලිනිව දකින අදහසින් අහුව
“එයා කැන්සර් එකක් හැදිල ගිය මාසෙ නැති වුනා… මේක ඔයාට දෙන්න කීව..”
ලොකු සිස්ටර් ලාච්චුව ඇරල නත්තල් කාඩ් එකක් දුන්න…
උපුටා ගැනීම: Kasuni Vishwanthi Rajapaksha