ගෙදර ඇතිවූ වලියක උච්චම අවස්ථාව පමණක් මෙහි සටහන් කරමි.
‘අම්මා, නංගිට කියන්න මාව බ්ලැක් මේල් කරන්න එපා කියලා.’
‘ඉතින් ඔයා බ්ලැක් මේල් වෙන්න එපා.
සනුති, ඔයත් අයියව බ්ලෑක් මේල් කරන්න එපා.’
‘නෑ එයා හැමදාම මාව බ්ලෑක් මේල් කරලා මගෙන් වැඩ ගන්නවා. අරක අම්මට කියනවා, මේක තාත්තට කියනවා කිය කිය මාව බය කරව ගන්නයි හදන්නෙ’
‘ඔයා මොන එහෙකටද බ්ලැක්මේල් වෙන්නෙ. ඉස්කෝලෙදිත් ලොකු අයියලා ඔයාට කියයි අරක මං අම්මට කියනවා මේක මං ක්ලාස් ටීචර්ට කියනවා. ඒ නිසා අරක කරන්න. මේක කරන්න කියලා . එතකොට ඔයා ඒවා කරන්න යන්න ඕන නෑ. කෙලින්ම කියන්න අම්මට ගිහින් කියන්න කියලා. එතකොට බ්ලැක් මේල් වෙන්නෙ නෑ. වැඩේ ෆිනිශ්ඩ් .
හැබැයි පුතෝ මට කියලා තිබ්බොත් මං ඒවා ගැන හොයන්නෙත් නෑ, පනිශ්මන්ට්සුත් නෑ. පිටින් ආරංචි වුනොත් නම්, වැරැදි නම්, දන්නවානෙ අම්මගෙ හැටි!’
‘ අම්මා දැන් කතාව හරවලා , මෙතන සනුතිගෙ පැත්තට කතා කරන්න එපා. ඉස්කෝලෙ අයියලා වගේ නෙවේ සනුති. එයා ගාව මගෙ වැරදි පොතක්ම තියාගෙන ඉන්නවා ඕන වෙලාවක අම්මට හරි තාත්තට හරි කියන්න කියලා.’
‘ ඔයා මොකටද පොතක් පිරෙන්න වැරදි කරන්නෙ?’
‘අම්මා කතාව වෙනස් කරන්න එපා . එයා පොඩි එක්කෙනා ගෑනු ලමයා කියලා හැමදාම මට අසාදාරණේ.’
‘ එහෙම නෑ.’
‘නැත්තෙ මොකද? බ්ලැක් මේල් කරන එකත් වැරදි වැඩක්නෙ. අම්මා එයාට බැන්නද දැන්?’
‘සනුති ආය ඔය වැඩේ කරන්නෑ තේරුණාද?’
අතේ තිබ්බ ඇට මල්ලක් කරකෝ කරකෝ බිම බලාගෙන උන්න කෙල්ල ඒ මොහොතේ පමනක් කට ඇරියාය.
‘මම කාවවත් බ්ලැක් මේල් කලේ නෑ.’
නෑ. කලා.’
‘දැන් දෙන්නම කටවල් වහ ගන්නවා. මොකද වුනේ? ‘
‘නංගි මගෙ මොනවා හරි දෙයක් හැංඟුවලු. ඇහුවට කියන්නෙත් නෑ. මට ඕන දෙකුත් නෙවේලු. හැබැයි මගෙ දෙයක් වෙන්නත් පුළුවන්ලු.’
‘මොනාද?’
‘දන්නව නම් මං අහනවයැ. මං දන්නෑ.. කිවෙ නැති පාර මං එයාගෙ එලාර්ම් ක්ලොක් එක හැංඟුවා. මං ඒක තව පොඩ්ඩකින් කඩනවා. ‘
එලාර්ම් ක්ලොක් එක යනු වෙනමම කතාවකි. ඒ සද්දෙට එලාර්ම් ක්ලොක් සියල්ලම කඩන්නනට මටත් හිතෙනවා වුනත් ඊට පසු ඕක තිබ්බ විදිහටම හදලා දෙන්නට නහිනවාට වඩා මර්දනය කිරීම ලේසි බැවින් එය ක්රියාත්මක කළෙමි.
‘හරියටම දිග කට්ට තුන ගාවට එන්න කලින් ඔය හංගපු ඒවා මෙතැන තියෙන්න ඕන.
බිත්ති ඔරලෝසුවේ තත්පර කට්ට දුවන්නට පටන් ගන්නට විය.
අවශේෂ විනිසුරු කරුවෝද නඩු විනිශ්චය බලන්නට එක් රොක් වී සිටියහ.
ටික්
ටික්
ටික්…
තත්පර තුනක් ගෙවිනි. මෙතෙක් කට වහන් සිටි කෙල්ල කලබල නොවී අතේ තියාගෙන සිටි ඇට මල්ල ගෙන එය මා ඉදිරියේ හැලුවාය. ඇට මල්ලක් කීවාට එහි වැඩිපුර, තිබුනේ ඉන්ජෙක්ශන් වයල් වල මූඩි ය. ඒ කෑලි එහෙක් මෙහෙක් කර ඒ අතරින් පුංචි කෑල්ලක් අරන් ‘ආ මේන්න’ කියා දික් කර ගෙන සිටී.
අග්ර විනිශ්චය හා සෙසු විනිශ්චය මණ්ඩලය
සිනාව තද කර ගෙන සිටිද්දී විනාඩිය ඉක්මවා යාමට ඔන්න මෙන්න තියා, කොල්ලා හැංඟූ එලාර්ම් ක්ලොක් එකද, මා ඉදිරියේ විය.
‘දැන් හරිනෙ.’
‘නෑ. මං එයාට ක්ලොක් එක දුන්නනෙ. කෝ මගෙ හංගපු බඩුව?. ‘
‘ඔය තියෙන්නේ!!.’
කොල්ලා “කෑල්ල” දැක්කේ දැන් ය.
‘මේක මොකක්ද ? මට මොකටද ඔය කෑල්ල .’
‘කවුද කීවෙ ඕක ඔයාට ඕන කියලා.’
‘ මට ඔය ජාතියෙ ඒවා ගොඩක් තියනවනෙ. මට ඕක ඕන නෑ.මගෙ බඩුවක්නෙ හැංගුවා කිව්වෙ’
‘ඕක ඔයාගෙනෙ. ඉතින් මං ඕක තමා හැංගුවේ.’
කොල්ලාට මල හතේය. මගේ ඉස්සරහා නංගීගෙ දත් ටික බඩට යවන්නට ඇති තද උවමන්නව හා නොහැකියාව ඇස් වලින් සට සට ගා පිට වෙන්නට විය. ඌ මගේ වර්ගේ ඩෑල් එකක් නිසා ගහගන්නට බැරි තැන තරහ දරා ගැනීමට නොහැකිව කදුලු පන්නනන්ට පටන් ගත්තේය. මං නොහිටියානම් සනුතිගේ දත් ටික බඩේය.
‘අම්මේ. නංගී හරි අසාදාරණයි .’
‘ඇයි.?’
‘එයා මාව චීට් කරා. ‘
‘ඒ කොහොමද?’
‘මං හැංගුවෙ එයාට වැදගත් එකක්. එයා හැංගුවෙ මටවත් ඕන නැති මගෙ පරණ කෑල්ලක්. ඒක නව යටත් විජිත වාදය වගේ.’
‘මොකක්?’
මෙවන් මොහොතක් කිසිම වලියකදී මට මුහුන දීමට සිදු වී නැත. පළමු වතාවට වලියක් බේරීමට ගොස් කොම්පියුස් වූ මා ඇතුලු අනෙක් නඩු අසන පාර්ශව, මේ සියල්ල තුශ්නිම්බූතව අසා සිටි බව කිව යුතුය.
‘අම්ම නිකං දන්නෑ වගේ කතා කරන්න එපා. අම්මා දන්නෙම නෑ නව යටත් විජිතවාදය’ ‘
‘ මං දන්නෑ පුතේ’
අඬන එකා ගැන සංවේගයට පත් වීම සාමාන්ය ගතියයි. මං කන් පාත් කර කතා කළෙමි.
‘කොහෙන්ද අප්පේ ඕවා දැනගන්නෙ’
‘අම්ම නිකං දන්නෑ වගේ ඉන්න එපා. තාත්තා මට කියලා දුන්නා. මේකි කරේ ඒ වගේ වැඩක්මයි.’
‘චුට්ටක් අපිට ඒක කියන්නකො. ඇත්තටම මං දන්නෑ’
‘චීනෙ අපිට එපා කියද්දි ණය දෙනවාලු. අපි ඉතින් නිකං දෙනවනෙ කියලා ගන්නවාලු, ඕන වුනත් එපා වුනත්. ඒවයින් ඕන ඒවායි එපා ඒවයි කරනවාලු. ඊට පස්සෙ චීනෙ කියනවාලු හා දැන් ඒකට හරියන්න අරක දෙන්න මේක දෙන්න කියලා. චීනෙන් පෝර්ට් සිටිය ඉල්ලනවලු. අරහෙම කරේ නැත්නම් අපි වාහන දෙන්නෑ. මෙහෙම කරේ නැත්නම් රෙදි දෙන්නෑ කියලා. අනික් රටවල් වලටත් ඒ විදිහටම කෑල්ලක් අල්ලගෙන කියනවාලු ලංකාවට අරක දෙන්න එපා කියලා. එහෙමලු.’
මේ වගේ කතාවක් මැද නඩු විමසිය නොහැක. කොල්ලාගේ පොලිටික්ස් ඉන්ටරෙස්ටින් ය.
‘ඉතින්?’
‘ඉතින් කියන්නෙ අම්මට තේරෙනවානෙ. නංගිත් චීනෙ වගේ චීට් කරලා මාව නව යටත් විජිතවාදයට අහු කරන්න යන්නෙ. ‘
‘ මොකක්ද නව යටත් විජිතවාදය කියන්නේ?’
‘ එත්කොට ඉස්සර වගේ යුද්ධ කරලා නෙවේ රට යටත් කර ගන්නෙ. යටත් වෙනකන් අපිවත් දන්නෑ යටත් වුනා කියලා. අන්තිමට ඔයාලට අරක දෙන්නැත්නම් මේක දෙන්නෑ කියලා බය කරවනවා’
‘ ඉතින් දෙන්නැත්තන් කුද ගහගන්න කියලා ලංකාවටත් ඉන්න පුලුවන්නේ. ඉන්දියාව මොකද කරේ . ගාන්දි තනි මිනිහා. සුද්දොන්ගෙන් රෙදි එපා කියලා ඇදුම් නැතිව හිටියා. පස්සෙ එයා මුලු ඉන්දියාවටම කපු රෙදි වියලා ඇන්දෙව්වා. වෙලාවක පුටින් ගැන කියවන්න. රුසියාව මොන රටටද බය. මිසයිල ඕන නම් ඒකත් එයාලම හදා ගන්නවා. එහෙම කෙනෙක් වෙන්න බලන්න. ලංකාවෙ ඉන්න අපතයො වගේ නොවී.’
ඇස්, ජිල් කර ගත්තු හතේ කොල්ලෙක් උගෙ අම්මගේ පොලිටික්ස් ඉගෙන ගනිමින් සිටී.
මගේ ඩිෆෝල්ට් එකම ජිල් ඇස් වූ කලී, මාද කොල්ලාගේ පොලිටික්ස් ගැන තක්බීර් වී සිටිය බවද කිව යුතුය.
තාත්තලාත් නිස්සදදව හිටියට හීනියට පොලිටික්ස් කරනවාය. නැත්නම් රෑ පානේ ඇවිදින් කුකුලා අතින් අරන් නික්මෙන තාත්තෙක් නව යටත් විජිත වාදයක් හතේ ඉන්න කොල්ලෙක්ගේ ඔලුවට දමන්නේ නැත.
දැන් බලං යද්දී සනුති වැරදිය. රසිඳුව රැවටීමකට හසු කර ඇත. හේතුව සෙවිය යුතුය.
‘ සනුති, දැන් ඇයි ඔයා ඔය කෑල්ල හැංගුවේ?’
‘ එයා මට කලින් ගේ ඇතුලට යන්න හදපු නිසා’
ගෙට ඇතුලු වීමේදී මුලින්ම යන්නේ මමය යන අධිශ්ටානය දෙන්නාටම තියෙන්නට ඇත.
රටක් නව යටත් විජිතවාදයට නම්මා ගන්නට ඒකත් හොදටම ප්රමානවත් ය.
‘සනුති මොකක්ද ඔය කෑල්ල ඇත්තටම’
මමද කෙල්ලගේ නව යටත් විජිතවාදී කෑල්ල අතට ගෙන බැලුවෙමි.
එය ඇත්තටම නව යටත් විජිතවාදී කෑල්ලකි.
නව යටත් විජිතවාදී කෑල්ල අඟල් දෙකක් දිග කෑල්ලකි. එය කොල්ලාගේ ෆුට් බෝලෙට හුලං ගහන වෑල් කෑල්ලකි .
කොල්ලා හත වසරේය. කෙල්ල තුන වසරේය.
කොල්ලා අහිංසකය. දරුණුය.
කෙල්ල සොඳුරුය. රුදුරුය.
උන් දෙන්නාම නසරානිය.
කොල්ලා මේ වතාවේ පැරදී ඇත. කෙල්ල කට වහගෙන සද්ද නැතිවම දිනා ඇත. එකෙක් ඉල්ලාගෙන කමින් යටත් විජිත වැසියෙක් වී ඇත. අනිකා කපටි කයිරාටික යටත් විජිතයක රැජිණක් වී ඇත.
උපුටා ගැනීම: Kiloshini Hendawitharana