නවක වදය තුරන් කරමු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගේට්ටුව ළඟින් පටන් ගත්තම ඈත කෙළවරක තිබුන උත්සව ශාලාවට අම්මයි තාත්තයි එක්ක ඇවිදගෙන යනකොට මග දිගටම ඒ වාක්ය ගහපු බැනර් ගහලා තිබුනා. අපි වගේම තවත් අම්මලා තාත්තලා කොල්ලො කෙල්ලො ඒ දිහා බල බලා පෙරහැරේ යනවා වගේ ඇවිදගෙන ගියා.
“හෙටින් පස්සේ ජීවිතේ මොන වගේ වේවිද “
හිතේ තිබුන තිගැස්මට පුංචි සැනසීමක් එකතු උනා. අපි හැමෝටම එහෙම වෙන්න ඇති. අපිටත් වඩා අම්මලා තාත්තලාට.
උත්සවෙ අතරතුර අපිට ලැබුනා කිරිබත් කෑල්ලක් ලුණු මිරිස් එක්ක. සුදු ශර්ට් එකයි කලු කලිසමයි ඇඳගෙන හිටපු සෙකන්ඩ් ඉයර්ස්ලා (පිරිමි ළමයි) අපිත් එක්ක හිනා උනා හරිම ආදරෙන්. ඒ ආදරේ තිබුනේ දවස් 3යි.
උත්සවයක් තියලා අපිව පිළිගත්ත 1 වෙනි දවස
අමරදේව මාස්ටර්ව ගෙන්නලා ලයිව් සිංදු අහන්න, සිංදු කියන්න සලස්වපු 2 දවස
රංවල බලකාය ගෙන්නලා ඇති වෙනකම් විනෝද වෙන්න ඉඩ හදපු 3 වෙනි දවස
4 වෙනි දවසේ ලෙක්චස් පටන්ගත්තා. සෙකන්ඩ් ඉයර්ස්ලට ඕන උනා ලෙක්චස් වලින් පස්සේ අපිට කතා කරලා අපිව අඳුන ගන්න. අපි ඈත කෙළවරේ තිබුන ලොකුම දේශන ශාලාව වෙච්ච බණ්ඩාරනායක ශාලාව (බශා) එක ළඟ බිම වාඩිවෙලා හිටියේ. සුහදත්වය උපරිම විනාඩි 10ක් තියෙන්න ඇති.
“මොකද්ද නංගී නම?”
අහලා පටන් ගත්ත එක පැය දෙකක් ඉවර වෙනකොට,
“මොකද යකො මුමුණන්නේ? කනට ඇහෙන්න කියපිය ගින්දර වගේ”
කියලා පොළොව දෙදරන ගානට බෙරිහන් දෙන්න පටන් අරන් අරන් තිබුනා. ඒ බෙරිහන් දීමෙන් එයාලා බලාපොරොත්තු උනේ මොකක්ද කියලා අදටත් මට තේරුම් ගන්න බෑ. සමහර ළමයින්ගේ ඇස්වල කඳුළු පිරුණා. සමහර ළමයි ඇස් පිහිදගෙන කඳුළු නවත්ත ගත්තා. අතරින් පතර ගෑණු ළමයි “චිකිස්” ගාලා හිනා උනා. ඒවා දැක්කම සෙකන්ඩ් ඉයර්ස්ලට තවත් තරහ ගියා. මම ගහක් ගලක් වගේ ඔහේ බලාගෙන හිටියා. මට ඇඬුනෙත් නෑ. හිනා ගියෙත් නෑ. අහන ප්රශ්නවලට උත්තර දෙන ගමන් මම හිතුවේ “එන පොට හොඳ නෑ. මම මේකෙන් බේරෙන්නේ කොහොමද” කියලා.
එයලා කැම්පස් එකේ උප සංස්කෘතිය උගන්නන්න පටන් ගත්තා. පොඩි විනෝදයක් නොතිබුනාම නෙමෙයි. ඒත් මට ඒ බෙරිහන් දීම හිනාවෙලා දරාගන්න බැරි උනා. ඒකට මගේ පැත්තෙන් සාධාරණ හේතු තිබුනා.
මට හොස්ටල් එකේ රූම් එකක් ලැබුනේ නෑ. ලැබුනත් මට ඉන්නත් බෑ. මට මගේ ඇඳ ෂෙයා කරගන්ක බැරි මානසික ලෙඩක් තිබනා තදටම. බෝඩිමක් හොයත්දි මම මම බැලුවේ කාරණා දෙකයි. එකක් සිංගල් බෙඩ් එකක් තියෙනවද? දෙක අලුත් (ෆස්ට් ඉයර් එකේ) ළමයෙක් ඉන්නවද? කියන එක. හොයලා, හොයලා අමාරුවෙන් බෝඩිමක් හොයාගත්තා මම හොයපු දෙකම තිබුන. නිදාගන්න ගියාම තමයි තරු විසි උනේ. ඒ කාමරේට තිබුනේ නෑ එකම එක ජනේලයක්වත්. අඩුම තරමේ කවුළුවක්වත්. බදුල්ලේ සීතලට ගුලිවෙලා නිදාගත්ත මම නාලා වගේ දාඩිය දාලා රෑ මැද ඇහැරෙන කොට මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ළමයෙක් හැමදාම ලයිට් දාගෙන පාඩම් කරනවා. ඒ වෙලාවටම මීයෙක් නෙට් එක දිගේ පැටලි පැටලි පහළට බහිනවා. ඌ ඉන්නේ නෙට් එකෙන් පිට උනත් මීයගේ සුදු පාට බඩ පේනකොට යටිගිරියෙන් කෑ ගහන්නමයි හිතෙන්නේ සේරම දුක මීයගේ පිටින් යන්න.
ඊළඟ ප්රශ්නේ තුන් වේලට කෑම.
වේලකට පැණී රස දෙයක් කාලා පුරුද්දක් නොතිබුනත් හැමදාම උදේට කෑවේ ළඟ කඩේකින් ගත්ත ක්රීම් බනිස් දෙකක්. දවාලට කෑම එක එක තැන් වලින් ගත්තත් බත් කටවල් පහ හයක් කාගත්තෙත් හරිම අමාරුවෙන්. රෑටත් ඒ සෙතේමයි. 10 කට කිට්ටුව කැන්ටින් තිබුනත් එහෙම ගිහින් කන්න තියා කොයින් බොක්ස් එකකට ගිහින් කෝල් එකක් ගන්නවත් ධෛර්යයක් තිබුනේ නෑ.
හොඳ යාලුවෙක්. ඒකත් මට තිබන දැවැන්ත ප්රශ්නයක්. කොළඹ පදිංචි ළමයි ක්ලාස් වලදි දැකලා හුරු පුරුද්දට පලවෙනි දවසෙම සෙට් වෙලා තිබුනා. හොස්ටල් ළමයි රූම් එකේ හතරදෙනා ගානේ සෙට් වෙලා තිබුනා. මම වගේ බෝඩින් වල හිටපු ළමයි මොනවා කර ගත්තද කියලා හොයාගන්නවත් විදියක් තිබුනේ නෑ. මගේ රුම් එකේ හිටපු එකම ආර්ට් ෆැකල්ටි ළමයා කොහොමටවත් මගේ ටයිප් එකට හරි ගියෙත් නෑ.
ඒ වගේ පසුබිමක සෙකන්ඩ් ඉයර්ස්ලගේ කෑගැහිලි, බැනිලි අස්සේ පස්සේ කාලෙක මතක් කරලා හිනාවෙන්නවත් උප සංස්කෘතිය ඉගෙන ගන්න මට ඕන උනේ නෑ. මුල්ම පැය දෙකෙන් පස්සේ මම හොයලා බැලුවා කැම්පස් එකෙන් එළියට යන්න පුළුවන් ගේට්ටු කීයක් තියෙනවද කියලා. ඊළඟට රැග් සීසන් එකේදි අඳින්න කියලා මම මහගෙන ආපු කොට්න් රෙදිවලින් මහපු ගවුම් ටික අයින් කරලා සාමාන්ය ඇඳුම් ඇන්දා. අපි ෆස්ට් ඉයර් කියලා අඳුනගන්න එයාලා අපිට දීපු ට්රාන්ස්පේරන්ට් ෆයිල් එක පොත් අස්සේ හංගගත්තා. ලෙක්චස් ඉවරවෙලා එලියට එන්නේ නැතුව හෝල් එකට වෙලා හිටියා හැමෝම යනකම්. මොකද හෝල් එකෙන් පාර දිගටම සෙකන්ඩ් ඉයර්ස්ලා මග රැකගෙන හිටියා හරක් දක්කන ගොපොල්ලො වගේ. හොඳ වෙලාවට මට ලෙක්චස් තිබුනේ ප්රධාන ගේට්ටුව කිට්ටුවෙන්ම තියෙන සුමංගලේ. විනාඩි 15ක් 20ක් හෝල් එකේ හැංගිලා ඉන්න සද්ද බද්ද අඩු වෙනකම් ඉඳලා අඩියට දෙකට එලියට දුවලා නවතින්නේ බෝඩිමෙ.
එකම ප්රශ්නෙකට තිබුනේ සඳුදා හවස 1 ඉඳන් 3 වෙනකම්ං
බශා එකේ තිබුන මාස්කොම් ලෙක්චර් එක. බශා එක කියන්නේ ඒ දවස්වල අතිශය භායානක තැනක්. බැලු අත සෙකන්ඩ් ඉයර්ස්ලා. මාස එකහමාරකට කිට්ටුන තිබුන රැග් සීසන් එකේ මුල්ම දවසට පස්සෙ මම අහු උනා තව දවස් දෙකක්. පැය 2 ගානේ.
දෙවනි දවස වෙනකොට ටික කාලයක් ගිහින්. ගොඩක් ළමයි රැග් එකට හුරු වෙලා. හැම ළමයෙකුටම කාඩ් එකක් වැටිලා. කොළඹ ඉස්කෝල වලට ගිහින් ගෙදර ඉඳන් කැම්පස් ආපු ළමයින්ට එක ලෙක්චර් එකක් ඉවරවෙලා ඊළඟ ලෙක්චර් එකට කලින් මැද ෆ්රී උනොත් ගෙදර ගිහින් එන්නත් වෙලාවක් නැතුව, හැංගෙන්න තැනකුත් නැතුව රැග් එකට අහු වෙලා එයාලටත් කාඩ් වැටිලා තිබුණේ. නාහෙට අහන්නැති ළමයිව මීටර්වෙලා, (අදුනගෙන) එයාලගේ ඔළු බස්සන්න කියලා සෙකන්ඩ් ඉයර්ස්ලා වැඩිපුර මහන්සි වෙන කාලේ. මම හිටියේ දවාලට කාලා අත හෝදන්න ටැප් එක ළඟ පෝලිමේ මැදකට වෙන්න.
පිටිපස්සේ ඉඳලා ඉස්කෝලේ නම අහගෙන ගියා එක්කෙනෙක්. ළඟට ආවම,
මම: “සවුත්ලන්ඩ්ස්”
එයා: “සවුත්ලන්ඩ්ස්, ගාල්ලේ? හිටපිය ඔහොම, මම එන්නම් උඹව අල්ලගන්න.”
මොකද්ද යකො ඒ උනේ? මම අහවල් වරදක් කරාටද මාව අල්ලගන්නේ? රැග් එකෙන් බේරුනාට හැමදාම හවසට රූම් එකේ ළමයගෙන් උගන්නන සේරම අහගෙන පාඩම් කරගෙන හිටපු මාව අල්ලගන්නේ මොකටද? මම දන්නවනේ සේරම. අහන හැම දේටම හරියට උත්තරත් දුන්නනේ. කරලත් පෙන්නුවනේ (කැම්පස් එකේ අත්පුඩි ගහන්නේ කොහොමද? වඳින්නේ කොහොමද?) අවුල සවුත්ලන්ඩ්ස් එකද? නැත්තං ගාල්ලද? වැඩි වෙලා කල්පනා කරන්න උනේ නෑ. ආයෙත් එයාම එනවා ඉස්සරහ ඉඳන් පිටිපස්සට ඉස්කෝලේ නම අහගෙන. ළඟට ආවම,
මම: බදුල්ලේ විහාර මහ දේවි”
එයා අවුලක් නැතුව පිටිපස්සට ගිහින් ආයෙත් මූණ බල බලා මාව හොයනවා යටි ගිරියෙන් කෑ ගගහ.
“මේ හරියේ ගාල්ලේ සවුත්ලන්ඩ්ස් එකියක් හිටියා. කෝ ඒකි? මේ ටිකට කොහෙට අන්තරස්දාන උනාද”
දහසකුත් එකක් මෝඩ වැඩ අතරේ මගේ ටිකිරි මොලෙන් වැඩක් ගත්ත අවස්ථාවක් විදියට රන් අකූරෙන් මගේ මතකෙ මමම ලියා ගත්ත දවසක් ඒ. පස්සෙයි දැනගන්න ලැබුනේ ඉස්කෝලේ නම අහලා එච්චර තරහ ගියේ හැම අවුරුද්දකම සවුත්ලන්ඩ්ස් එකෙන් එන ළමයි “අල” වෙන නිසා කියලා.
“මොකද්ද අල වෙනවා කියන්නේ”
මම ඇහුවා රූම් එකේ අක්කා කෙනෙක්ගෙන්.
“රැගර් කෙනෙකුත් නොවි, ඇන්ටි රැගර් කෙනෙකුත් නොවි ඉන්න එක තමයි අල වෙනවා කියන්නේ”
හොඳ වෙලාවට මම ඉස්කෝල 4කට ගියේ. ඒ හින්දනේ මම බේරුණේ කියලා සතුටු වෙත්දි මම අහු වෙච්ච දෙවනි දවසත් ඉවර උනා. දිගටම ගියා කියලත් වැඩක් නෑ. බැනුම් අහන්නම වෙනවා. මොන ප්රශ්නෙට මොන උත්තරේ දුන්නත්. උදාහරණයක් විදියට අපේ කැම්පස් එකේ පීඨ ටික මොනවද කියලා එයාලා අහත්දි,
“කළමණාකරණ පීඨය, වෛද්ය පීඨය, ශාස්ත්ර පීඨය” කියලා ඒ ටික විතරක් අපි කිව්වොත්,
“ඇයි යකො තෝ දන්නේ නැද්ද එළිමහන් රංග පීඨය?”
කියලා බනිනවා. ඒකත් එකතු කරලා පීඨ ටික කියාගෙන ගියොත්,
“මොකද්ද යකො කිව්වේ? එළිමහන් රංග පීඨය? කොහෙද තෝ ඉන්නේ? ඒක පීඨයක්ද යකො”
කියලා බනිනවා. ඒ නිසා මම ඉතින් පුළුවන් හැම වෙලාවකම බේරිලා පැනලා ගියා.
තුන්වෙනි දවස වෙනකොට රැග් සීසන් එක ඉවර වෙන්න ඔන්න මෙන්න. බකට් එකත් අද හෙටම කියලා කටකතා පැතිරෙත්දි සඳදා දවසක බශා එකේ ලෙක්චර් එක ඉවරවෙලා ඉංග්ලිෂ් ලෙක්චර් එකට යන්න වට පිටවත් නොබලා ඇවිදින තරඟෙට සහභාගි වෙලා වගේ මම හිටියේ. එකපාරටම,
“නැවතියාං”
කන ළඟින්ම ඇහිච්ච කෑ ගැහිල්ලට කකුල් දෙකත් වෙව්ල වෙව්ල මාව ඉබේටම නැවතුනා.
“ඔය කොල්ලො කොච්චර කෑ ගැහුවත් ඇඟට අතක්වත් තියන්නේ නෑ නංගී.ඔයාව නවත්තන්න හැදුවොත් ඔයාට නෙමෙයි වගේ එන්න. නැත්තං ඔයාව අඳුර ගනියි. මොකද ඔය කෑ ගැහිල්ලට නවතින්නේ ෆස්ට් ඉයර් කෙනෙක් විතරමයි”
රූම් එකේ අක්කා කෙනෙක් මට දීපු අවවාදේ මට අමතක උනා නෙමෙයි. ඒත් ඉතින් දෙයියනේ මම ෆස්ට් ඉයර්නේ. මට එතිනින් එහාට ඇවිදගන්න කකුල් දෙකට පණ තිබුනේ නෑ.
“කොහේද උඹ ගාල කඩාගත්ත හරකෙක් වගේ දුවන්නේ?”
මම: “කඩ්ඩ පොලිෂ් කර ගන්න කම්මලට යනවා අයියේ”
මමත් උත්තර දුන්නේ හරියට හැමදාම රැග් වෙච්ච ළමයෙක වගේ.
“අද කඩු පොලිෂ් කෙරිලි නෑ. ඉක්මනට පලයං අර පැත්තට.”
මමත් දැන් පේලියට යනවා පිට්ටනිය හරහා පැවිලියන් එක පැත්තට.
“මාස එකහමාරක් වෙනවා තොපි ඇවිල්ලා. යකෝ මේකි මම කවදාවත් දැකලා නෑ. කියපිය තොගේ කාඩ් එක”
මම: “මට කාඩ් එකක් නෑ අයියේ”
“තෝ කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ. තෝ ආවෙ නෑ නේද? ඒකනේ තොට කාඩ් එකක් නැත්තේ”
අපි සේරම එදා පැවිලියන් එකේ වාඩි කෙරෙව්වා. හරියට එක්සෑම් එකක් වගේ. අපි හරියටම ඉගෙන ගෙනද කියලා බලන්න. ඉස්කෝලෙකට කලාප අධ්යාපන කාර්යාලයෙන් ඇවිත් වගේ. සෙකන්ඩ් ඉයර්ස්ලා පැත්තක. තර්ඩ් ඉයර්ස්ලයි, ෆයිනල් ඉයර්ස්ලයි අපෙන් ප්රශ්න අහනවා. ප්රශ්නෙට උත්තරේ දන්නවනම් අපි අත උස්සන්න ඕනේ. අත ඉස්සුවෙ නැති උනොත් රැග් සීසන් එක දික් වෙනවා. ළඟ ඉන්න ළමයගෙන් උත්තරේ අහගෙන හරි අපි ඉතින් අත් උස්සනවා. එයාල අහන කෙනා තමයි උත්තරේ දෙන්න ඕනේ හැමෝටම ඇහෙන්න කෑ ගහලා. නැත්තං ඒකටත් පලු යන්න බනිනවා. ඉතින් දැන් ඔන්න එයාලා ප්රශ්නෙ අහනවා. අපි අත් උස්සනවා. එයාලා කියන කෙනා උත්තර. දෙනවා. වැරදුනොත් බනිනවා. ඊළඟ ප්රශ්නෙ අහනවා. ඔය විදියට දිගටම යනවා.
“අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බළ මණ්ඩලයේ කැඳවුම්කරුගේ නම මොකද්ද?”
හුටා. කවුද? එහෙම කෙනෙක් ගැන නිතරම නිවුස්වලට කිව්වත් මම නම මතක තියාගත්තේ නෑනේ. කෝකටත් දන්නවා වගේ අත ඉස්සුවා. ෂේප් එකේ හෙමිහිට එහාපැත්තේ ළමයගෙන් නමත් අහගත්තා. එයාලා උත්තරේ අහුවේ මට ඉස්සරහින් හිටපු ළමයෙකුගෙන්. උත්තරේ හෙමිහිට කිව්ව නිසා ඇහුනේ නෑ. එයාලට ආයෙමත් කේන්තියි. කෑ ගහගෙන අර ළමයා ගාවට ආවා. අනේ පව්. අපිත් එක්ක මියුසික් කරන ගෑණු ළමයෙක් වගේ අහිංසක පිරිමි ළමයෙක්.
“උඹලට ඇහුනද මූ කියපු දේ”
වටෙන්ම අහන්න ගත්තා. කොහොමද නෑ කියන්නේ? එහෙම උනොත් අර ළමයා බැනුම් අහනවා තව ටිකක්. දෙපාරක් නොහිතම මම අත ඉස්සුවා.
“උඹ කියපන්”
මට අත දික්කරා.
“දුමින්ද දිසානායක”
මම උපරිම හයියෙන් කෑ ගහලා උත්තර දුන්නා. ආයෙ මොකටද බැනුම් අහන්නේ. අපි දෙන්නම බේරෙන්න එපායැ. ඒත් ඉතින් ඒ සැනසීම තත්පර දෙක තුනක්වත් තිබුනේ නෑ.
“මොකද්ද යකො තෝ කිව්වේ? මූ කියනවා උඹට ඇහුණා කිව්වා නේද? උඹ යකො අපිටත් ලැජ්ජා කරනවා”
කියලා කෑ ගහගෙන මගේ පැත්තට ළමයි උඩින් පැන පැන හතර වටින්ම දුවගෙන ආවේ අලි, කොටි, වළස්සු වගේ. මම එතන මැරිලා වැටුනේ නැති ටික විතරයි. එහා පැත්තේ ළමයා කිව්වේ ඒ නමනේ. අනික ඒ නම මට හුරුත් වගෙයි. මට කෑ ගහලා කෑ ගහලා බැනලා,
“මේ ලෝකේ හිටපන්. මේ ලෝකේ. හොඳ සිහිකල්පනාවෙන්”.
කියලා යන්න ගියා. අර පිරිමි ළමයා හෙමිහිට කිව්වත් හරි නම කියලා. අන්තිම නව නිංගිරාව උනේ ඊට ටික වෙලාවකට පස්සෙ. ෆයිනල් ඉයර් එකේ බොහොම තැම්පත් පාට අයියා කෙනෙක් මම ළඟටම ඇවිත්,
“නංගී, බරණැස තියෙන්නේ කොහේද?”
මම ගත් කටටම
“ඉන්දියාවේ”
“මම ඇහුවෙ භූ ගෝලීය ප්රශ්නයක් නෙමෙයි නංගී”
රැග් සීසන් එකෙන් පස්සෙයි දැනගත්තේ හැම කැම්පස් එකකම වගේ කපල්ස් වලට නිදහසේ ආදරේ කරන්නම වෙන් වෙච්ච ඉඩ කොටසට අපේ කැම්පස් එකේදි කියන්නේ “බරණැස” කියලා බව.
ඊට දවස් දෙකකට පස්සෙ බකට් එක දීලා රැග් එක ඉවර උනා. අපේ රූම් එකේ අක්කා කෙනෙකුගෙන් දවස හරියටම දැනගෙන මම නොගිහින් ඉන්නමයි හැදුවෙ. මතක තියෙන්නත් මොනවම හරි ඕනෙනේ කියලා ඒ අක්කා යන්නම කියපු නිසා ආවා මිසක් කුණු වතුර එකක් නාන්න මම කීයටවත් යන්නේ නෑ. බකට් එක දවසේ උදේ කාඩ් එකක් නෑ කියලා බැනලා ඉපදිච්ච මාසේ අහලා “ජූලියා” කියලා දැම්මට එදායින් පස්සෙත් කාඩ් එක අහන හැමෝටම මම කිව්වේ,
“මට කාඩ් එකක් නෑ කියලා”
ඊළඟ අවුරුද්දේ අලුත් ළමයි ආවම මම රැග් කරන්න තියා ඒගොල්ලෝ කලුද සූදද කියලා බලන්නවත් ගියේ නෑ. මට ඕනේ උනේ නෑ ගෙවල් වලින් ඈත් වෙලා අලුත් පරිසරයකට හුරු වෙන්න උත්සහ කරන ළමයින්ගේ හිත් රිද්දන්නවත්, ඒ අපහසුතාවය දකින්නවත්. රැග් එකේ අරමුණ දන්නේ රැග් කළ ඇත්තොම උනාට කාටවත්ම පීඩාවක් කරලා අරමුණු ඉෂ්ට කරගන්න පුරුද්දක් මට තිබුණේ නෑ. රැග් කරපු අය, රැග් වෙච්ච අය, රැග් එකට කැමති අය, රැග් එකට විරුද්ධ අය හදිසියේවත් මේක කියෙව්වොත් මට බනින්න එපා හොඳේ.
උපුටා ගැනීම: Anu Jayawardane

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!