නවරත්න (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම නිකවැරටිය ඉඳන් මරදානේ උදේනි මහත්තයලගේ ගෙදරට වැඩට ඇවිල්ලා දැන් අවුරුදු තුනකටත් කිට්ටුවෙන්න එනවා .වැඩ කිව්වට ඉතින් වැඩිපුරම කළේ ඩ්රයිවර් වැඩේ තමා.
ලොකු බේබි ලොකු බේබි ගංගා කිව්වට මම කවදාවත් ඒ ගෙදර ලොකු බේබිව ග දැකල තිබුනෙ නැත්තේ අවුරුදු ගාණක ඉඳන් ඒ බේබි රට හිටපු හින්දයි. ගෙදර හිටිය පොඩි බේබිත් ඒ හැටි පොඩියක් නෑ අවුරුදු 20ක විතර හැඩරුව ඇති ගෑනු ළමයෙක් .
නවරත්න පොඩි බේබිව ක්ලාස් ගෙනියන්න තියෙනවා …
නවරත්න අපි පොඩ්ඩක් ටවුමට යමුද
නවරත්න ඔයා ඔතනම ඉන්න මං ටක් ගාලා ලයිබ්රරියට ගිහිල්ලා එන්නම්
උදේ 6:00 ට පටන් ගන්න මගේ රස්සාව ඉවර වෙනකොට සමහර වෙලාවට රෑ නමය දහයක් වෙනවා. මම කනකොට හුඟක් වෙලාවට රෑ නමය විතර වෙනවා. ලොකු මහත්තයා වත් ගෙදර ගෙනල්ල දාල තමයි මගේ වැඩ කටයුතු ඉවර වෙන්නේ .මං ආපු අලුතම නං පොඩි බේබිත් එක්ක යන්න නෝනත් ආවා.
ඒ උනාට ටික කාලයක් යනකොට පොඩි බේබි විතරක් මාත් එක්ක එව්ව.
අම්මා … මං ක්ලාස් යනවා…
නවරත්න එක්කම එන්න ඕනේ…. නවරත්න .. බේබිව දාලා කොහේවත් යන්නෑ…. ලොකූ නෝනා කියනවා.
ගෙදර හැමෝම මට ගොඩක් කරුණාවන්තව සැලකුවා. මට කහට තේක වෙනුවට හැම වෙලාවෙම ලොකු නෝනා දුන්නෙ කිරි තේකක් .
පොඩි බේබි ගොඩක් කරුණාවන්තව මාත් එක්ක කතා කළා .
ඇයි නවරත්න උසස් පෙළ කළේ නැත්තේ…
අපේ දුප්පත්කම් වලට මොන ඉගෙන ගැනිල්ලක්ද ……පොඩි බේබි දන්නවද මමයි පන්තියේ තුන්වෙනිය …..
ඒ උනාට මට උසස් පෙළ කරන්න යන්න හම්බුනේ නෑ ……අපේ තාත්තගේ කිරි දොවන හරක් පට්ටිය ට කුර ලෙඩේ හැදුනා. ඉන්පස්සෙ තාත්තට කර කියා ගන්න දෙයක් නැති වුණා .
නිමල් අයියා තමයි මට ඩ්රයිවින් උගන්වල මෙහෙට රස්සාවට දාලා දුන්නෙ .
අපි ගමේ පාරු පදින හැටි ,ගොයං කපන හැටි,ඇල වේලිවල නටන හැටි ,බන්ට් එකේ පැනලා නාන හැටි, කජුපුහුලන් අච්චාරු හදන හැටි ඉඳලා හත්මාළුව උයන හැටි දක්වාම එක එක ඕපාදූප මරදානේ ඉදන් මොරටුවට යනකනුත් මොරටුව ඉදං මරදානට වෙනකං කියෝ එනවා .
ඒ කියන්නේ නවරත්න ….ෆ්රිජ් එකේ ඉතුරුවෙන ඔක්කොම එලෝලු හතක් එකතු කරල එකට දාලා හත්මාළුව ඉව්වා ම හරිද ..
පොඩි බේබි අහන සමහර කතාවලට මට ඉල නෑ හිනා වෙලා …
අයියෝ බේබි ඔහොම නං උයන්න ගියොත් මහත්තයගෙන් ගුටි කන්න තමා වෙන්නේ කවද හරි …..
ආයෙ ඒව කොහෙද එයාට මම දෙන්නෙ පයින් …
ඔන්න ඉතිං අපි දෙන්නම හිනා වෙන්න පටන් ගන්නවා .ඒ කොයිහැටි වෙතත් මම හරි ආසයි බේබි ඇඳුම් ගන්න යනවනම් .ඒකට ඉතින් හේතු දෙකක් තිබුණා .එකක් එන්න සෑහෙන වෙලාවක් යන හින්දා මට ටික වෙලාවක් නිදා ගන්න පුළුවන් .අනික තමා ඉතින් මටත් ලස්සන මොනවා හරි හම්බෙන හින්දා. ගියපාර මම ගෙදර ඇඳගෙන ගියෙත් පොඩි බේබි මට අරං දුන්න ලස්සන ෂර්ට් එකක් .ඒක දැකපු අපේ ලොකු අත්ත ගේ දුව නම් මට එක එක ඒව කිව්වා .එවුන් ඉතින් උස්සන් ඉන්නේ පොලේ ඒවා නේ.
ඒ වගේද මේවා .
එදා පොඩි බේබි පන්තිය ඉවරවෙලා දුවගෙන ආවෙ කටින් ලේ එනකොටයි. මාව රත් වෙලා ගියා .
දෙයියනේ පොඩි බේබි…
තොල පැලිලා නේද …මොකද උනේ වැටුණාද …
නවරත්න අපි ඉක්මනට ගෙදර යං..
.ඇයි මොකද උනේ .
මොකුත් නොකියපු පොඩි බේබි දිගටම අඬන්න ගත්තා .අතේ පච්චෙකුත් තිබුනු කොල්ලෙක් එක්ක කීප දවසක් පොඩි බේබි කතා කර කර ඉන්නවා මම දැකලා තිබුණා .ගෙදර අය පොඩි බේබිගේ හිත රිදෙන වචනයක් වත් කියන්නෑ.මං උනත් පොඩි බේබිට මැස්සෙක්වත් වහනවා ට කැමති නෑ. එහෙව් එකේ මේ කොහේවත් නැති එකෙක් කොහොමද පොඩි බේබිට අත උස්සන්නේ… කියලා මට මාරයා ආවේශ වුණා .එකපාරටම වාහනෙන් බැහැපු මම පන්තිය ඇතුලට ගියා .
පච්ච ගහපු කොල්ලා බිත්ති කන්දට හේතු වෙලා අපි දිහා බලාගෙනයි හිටියෙ. අපේ පොඩි මාමාගේ අංගම්පොර පන්තියේ පන්ති තුන හතරක්ම පාස් කරපු මට ඒ පච්ච කාරයෝ බිම දාන්න ඒ හැටි අමාරු උනේ නැහැ .
නවරත්න …..අනේ දෙයියනේ නවරත්න……
පොඩි බේබි කෑගැහුවේ නැත්නම් පච්ච කාරයාගේ මූණ චප්පයක් වෙන්න මම තලනවා. උගෙ නහය කැඩිලා ලේ ගලන්න ගත්තා. පොඩි බේබි මාවත් ඇදගෙන ආපහු වාහනයට ආවා .
මග දිගටම පොඩි බේබි මගෙන් පොරොන්දු ගත්තා මේ ගැන ගෙදර කිසි කෙනෙකුට කියන්නේ නෑ කියලා.
පච්ච කාරයා මගේ ඇඟිල්ලක් උලුක් කරල තිබුණා .කාටත් හොරෙන් එදා රෑ පොඩි බේබි මගේ කාමරේට ඇවිල්ලා බාම් එකක් දුන්නා .කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් මං දිහා බලාගෙන ඉඳලා බේබි බිම බලාගත්තා.
තෑන්ක්ස් නවරත්න ……
කියලා විතරක් කනට ඇහෙන නෑහෙන ගානට කිව්වා. කොහොම හරි මේ සිද්ධිය ආරංචිවෙලා පොඩි බේබිගේ පන්ති යාමත් නැවැත්තුවා .
කොළඹ
මහ ඉස්පිරිතාලෙ වැඩ කරන දොස්තර මහත්තයෙක්ව ඉක්මනටම පොඩි බේබිට කතා කරලා ඒගොල්ලො මංගල්ය තීන්දු කළා. පොඩි බේබි මංගල්යයට විරුද්ධ වුණේ නෑ.හැබැයි ඒ ඒ මහත්තයාට පොඩි බේබිත් එක්ක කතා කරන්නවත් වෙලාවක් තිබුණෙ නෑ .දවසක් ඒ දෙන්න චිත්රපටයක් බලන්න යන්න ගියා .කොහොමහරි ඒ මහත්තයාට හදිසි ඔපරේෂන් වගයක් ඇවිල්ලයි කියලා මට යන්න වුනා අන්තිමට චිත්රපටි හෝල් එක ගාවට පොඩි බේබි එක්කගෙන එන්න .
එදා මොරසූරන වැස්ස .දෙහිවල කොන්කෝඩ් එක ගාවින් වාහනය පාරට දාගන්න බැරිව සෑහෙන වෙලාවක් උන්නා .බේබි කාරක ඉස්සරහ සීට් එකේ හිටියේ .ඒ වෙලාවේ මුළු ටවුමටම ලයිට් ගියා .මොරසූරන වැස්සේ වීදුරු වලින් වතුර වැක්කෙරෙනවා මට පෙනුනා .
බේබි හිටියේ මං දිහා බලාගෙන .එලියේ වීදුරු වලින් වගේම බේබිගේ මූණෙත් කඳුළු වැල් වැක්කෙරුණා.
ඇයි බේබි අඬන්නේ ….
කියලා මං ඇහුවා . ඔලුව දෙපැත්තට වැනිලි දෙක තුනකින් බේබි මුකුත් නැහැ කියලා කිව්වා .
ඊට දවස් දෙකකට පස්සේ බේබිලාගේ මඟුල් සාරි ගන්න යන්න තිබුනා. දොස්තර මහත්තයට එච්චර වෙලාවක් ඉන්න බැහැයි කියලා කියපු හින්දා මටත් යන්න වුණා .එදත් සාරි අරගෙන ඉවර වෙද්දි එළිය හොඳටම වහින්න ගත්තා.වැස්ස ටිකක් පායනකම් බලාගෙන හිටියට දොස්තර මහත්තයට එච්චර වෙලා බලාගෙන ඉන්න බැහැ කිවුවා .
නවරත්න මාව කාර් එකට ගිහින් දාන්න …….
කියලා දොස්තර මහත්තයා මට කිව්වේ මගේ අතේ කුඩයේ තිබුනෙ හින්දා .
අස්ලාම් මාර්කට් මැද්දේ හිටපු මට බේබිව තනියම දාලා නරේන්ද්ර මහත්තයාවත් එක්කගෙන කාර් එකට යන්න හිතුනෙ නෑ .ඕව කියන්ඩ ගිහිල්ල එතන විකාරයක් වෙන හින්දා මං බේබී අතට කුඩේ දුන්න එහෙනම් බේබි මහත්තයා එක්කගෙන කාර් එකට යන්න මං බඩු ටිකත් අරගෙන වැස්ස පෑව්වවම එන්නං කියලා .ඒ දෙන්න ටික දුරක් යනකම් ඉඳලා මං පස්සෙන් ගියේ නරේන්ද්ර මහත්තයා කාර් එකට නැගලා ගියායින් පස්සේ බේබි එතැන තනි වෙන හින්ද .දොස්තර මහත්තයා කාර් එකට නැගලා පිටත් වුණායින් පස්සෙ බේබි ආපස්සට හැරුනේ මාව ගන්ඩ එන්ඩ වෙන්ඩ ඇති. මම එතන හිටගෙන ඉන්නවා දැකලා බේබිගෙ ඇස් දෙක ලොකු වුණා .
ඇයි නවරත්න තෙමි තෙමි ආවෙි ….
ඉක්මනට කාරෙකට බඩු ටිකත් අරගෙන ගිහිල්ලා දාලා බේබිවත් ඇතුලට දාලා මමත් නැග්ගා.මගේ පුංචි අත්ලේන්සුවෙන් ඔලුව පිහදා ගන්නකොට බේබි මං දිහා බලාගෙන හිටියා .
මං කොහොමද බේබි නවරත්න මහත්තයා කාර් එකට නග්ගන්ඩ එන්නේ.. බේබිව අස්ලාම් මාර්කට් එක මැද්දේ තනියම දාලා එන්නේ…. දොස්තර මහත්තයා කාර් එකට නැග්ගට පස්සෙත් බේබි කාර් පාර්ක් එකේ තනිවන හින්ද ඉක්මනට බඩු ටිකත් අරගෙන පස්සෙන් ආවෙ. ඔය වැහි පොදට පොඩ්ඩක් තෙමුනා වගේද බේබිට මොන හරි වුණානං එහෙම……
කියලා මං හිනා උනා .මම කියන දේ කිසිම දෙයක් ඇහෙන්නේ නැති විදිහට බේබි බිම බලාගෙනම උන්නා .බේබිගෙ මඟුල් ගෙදරට තව දවස් දෙකයි තිබුණේ .ගෙදර හැමෝම ලොකු බේබි රට ඉදං එනවා කියලා එයාර්පෝට් එකට ගියා .ලොකු බේබි ගේ යාළුවෙක් තමයි එයාගේ වාහනය අරගෙන ගියේ .ඒ හින්දා මට ගෙදර ඉන්න හම්බ උනා.කැවුම් උයන්න මැයි හාමි නැන්දාව එක්ක එන්න කියලනම් මට නෝනා කියලයි ගියේ .ඒ හින්දා උදේ 10 ට විතර මම කාර් එක එළියට ගත්තෙ මැයිහාමි නැන්දලගේ ගෙදර යන්න .වැල්ල පැත්තෙ තමයි මැයිහාමි නැන්දලගේ ගෙවල් තිබුනේ.මං කාර් එක ගන්නකොටම බේබි එළියට දුවගෙන ඇවිල්ල එකපාරටම කාර් එකට නැග්ගා.
මමත් එනවා නවරත්න….
කියලා කාර් එකේ ඉස්සරහා සීට් එකේ ඉඳ ගත්තා.මැයිහාමි නැන්දලාගේ ගෙවල් පාරෙ එක හරියක් අහුවෙනවා තනිකරම මුහුද.හරිම ලස්සනයි .
අනේ නවරත්න පොඩ්ඩක් නවත්තන්න…….
කියල බේබි කියපු හින්ද මං කාර් එක නැවැත්තුවා .ටික වෙලාවක් මුහුද දිහා බලන් හිටපු බේබි මං දිහා බලලා මගෙන් ඇහුවා
නවරත්න කාටවත්ම කවදාවත්ම ආදරේ කරලා නැද්ද කියලා ……
.අවුරුදු හතරකටත් කිට්ටු වෙන්න ආපු මගෙන් කවදාවත් නැතුව ඒ වගේ කතාවක් බේබි අහනකොට මට පුදුම හිතුනා .මං හිනා උනා .
නිල් පාට පොකුණු දෙකක් වගේ බේබිගෙ ඇස් වල කඳුලු පිරිලා තිබුණා .එකපාරටම බේබි මගේ අත් දෙක අරගෙන එයාගෙ කම්මුල් වලට තියලා තද කර ගත්තා. මාව නං වෙවුලන්න ගත්තා .
වචනයක්වත් කතා නොකර බේබි කඳුළු ගංගාවක් මගේ අත්දෙක උඩට දියකරල ඇරියා .
බේබි ඇයි මේ…. කියලා මම ඇහුවා .
කවදහරි ……නවරත්න වගේ කෙනෙකුගේ ආදරය ලබන කෙල්ලෙක් හරිම වාසනාවන්තයි……..
ඒ ආදරේ ඇතුලේ විශ්වාසවන්තකමයි රැකවරණයයි පිරිලා තියෙනවා ……
නවරත්නගේ සෙනෙහසයි විශ්වාසවන්ත කමයි මට දරා ගන්න අමාරුයි ….
එහෙම කියපු බේබි මගේ අත්දෙක අත ඇරියා .බේබි කියන්නේ මොකක්ද කියලා නොතේරෙනවා වගේ මම හිටියට ඒක තේරුම් ගත්තා කියලා පෙන්නුව නම් ඊට වඩා ලොකු දෙයක් එතන වෙන්න තිබුණා .කෙල්ලෙක් ආදරය වෙනුවෙන් නැහෙන නැහිල්ල නොතේරෙන්න මම පඹයෙක් නෙමෙයි ..හැබැයි මම පිරිමියෙක් ….හැබෑ සෙනෙහෙවන්තකම කියන්නේ අයිතිකර ගැනිල්ල ම නෙමෙයි නේ …මම ආපහු මැයිහාමි නැන්දලාගේ ගෙදට්ට වාහනේ ගෙනියන්න හරි පාරට ගත්තා .
උපුටා ගැනීම: Indika Peiris

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!