නැවත නොයන් මා හැරදා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මමයි නංගියි ඉපදුනේ 1992 අවුරුද්දේදී වරකාපොල රෝහලේදී. අපි දෙන්න නිවුන්නු. පොඩි කාලෙ නම් දෙන්නම එකම වගේලු. එ්ත් අපි දෙන්න ලොකු වෙද්දී දෙන්නගෙ පෙනුම වෙනස් උනත් අපේ බැඳීමේ කිසිම වෙනසක් උනේ නෑ.
මම උදාර නංගි උදාරි. අපි දෙන්නගෙ උපන් වෙලාව විනාඩි ගානක පරතරයක් තිබුනේ. අපි දෙන්න පුංචිම කාලෙ නිදාගන්නෙ එකට තුරුළු වෙලාලු, දෙන්නට දෙන්න නැතුවම බෑලු. අපිට තේරෙන කාලෙ ඉඳන්ම පුදුම ආත්මීය බැඳීමක් තිබ්බ දෙන්නගෙ.
අපි දෙන්න කොහෙ ගියත් යන්නේ අත් අල්ලන්. ඒක අදටත් එහෙම්මමයි. කෑම කන්නෙ එන පිඟානේ. වතුර බිව්වත් එක කෝප්පෙ. කෑම කද්දී එක්කො එයා මට කවනව නැත්නම් මම එයාට කවනව. හැමදේම එකට. විශේෂ දේ තමා දෙන්නට ලෙඩක් හැදුනත් එකටම හැදෙනව. මොන දේ උනත් එකටමයි.
අපි දෙන්න මොන්ටිසෝරියෙ ඉඳන් ඉගෙනගෙන අවසන් වෙනකම් එකට තමා හිටියෙ. එයයි මායි ගත්ත ලකුණු, පංතියේ වෙනියා උනත් ළඟ ළඟ තමා. මුළු ඉස්කෝලේම අපි දෙන්න ගැන දන්නවා. අපි දෙන්නට විශේෂ යාළුවො හිටියෙ නෑ. අපි දෙන්න තමා ⁣අපි දෙන්නගෙ හොඳම යාළුවො උනේ.
නංගි වැඩි වියට ආවම අම්මලා අපි දෙන්නට එකට දොයියන එක එපා කිව්වා. අපි කලේ ඇඳන් දෙකක් ළඟ ළඟ දාන් නිදා ගත්ත එක. අපි දෙන්නට දෙන්නව දැනෙනවා. ඒක ඔයාලට වචනයෙන් කියන්න මට තේරෙන් නෑ. මෙහෙම හිතන්නකෝ. නංගි අනතුරක කියල හිතන්නකෝ. මට ඒක දැනෙනවා. ඉතිං මම ක්ෂණිකව එතන.
අපි සාමාන්ය පෙලට පංතියට ගිය අළුත අපේ ගණන් සර් දවසක් දැකල අපි දෙන්න අත් අල්ලන් යනව පංතියේදී දෙන්නට හොඳටම දොස් කියන්න ගත්ත අපි දෙන්න පෙම්වතුන් කියල රැවටිල. පංතියේ හිටපු උන් සීන් එක දන්න හින්ද හයියෙන් හිනාවෙනව. පස්සේ අපි දෙන්න නිවුන් අයියයි නංගියි කියල දැනගෙන සර්ටත් හිනා.
ගමේ උන් අපි දෙන්නට කියන්නේ ඉඳිකට්ටයි නූලයි කියල. නැත්නම් තනියම ගියොත් අහනව අද නැට්ට කෝ කියල. නංගි ළඟ නැති උනොත් මට උණ වගේ. එයාටත් එහෙමයි. අපි දෙන්නගෙ සිතිවිලි එක වගේ. හැසිරීම, ගතිගුණත් එක වගේ.
දෙන්න ඇඳුම් ගත්තත් එක පාටින් ගන්නෙ. එක වගේම තමා අදින්නෙ. එයා තමා ඒ පැත්තට දක්ෂ. මගෙ ඇඳුම් හෝදන්නේ මදින්නේ එයා. අම්මා උනත් මගෙ දේවල් කරනවට එයා කැමති නෑ. අපේ පවුලේ ඥාතීන් උනත් මේ අාත්මීය බැඳීම දැකල පුදුම වෙනව.
උසස් පෙලත් එකම විෂයන් කලේ. එකම රිසාල්ට්. එකම කැම්පස් එකකට අහුඋනේ දෙන්නම. එහෙදිත් එකටමයි දෙන්න. අපේ බැජ් එකේ උන් අපිට දාපු කාඩ් දෙක තමා ‘මැග්නට්’ කියල. කාන්දම් වගේ දෙන්න කොයිවෙලෙත් ඇලිලනේ ඉන්නේ. ඉතිං කැම්පස් එකෙත් ජනප්රිය දෙන්නෙක් තමා අපි දෙන්න. කැම්පස් වල නාට්යය වලට කොල්ලටයි කෙල්ලටයා රඟපාන්න ගොඩක් දුරට ගන්නෙ අපි දෙන්න.
අපි දෙන්න බඳින කම් මම ගෑණු ළමයෙක් එක්ක වත් නංගි කොල්ලෙක් එක්කවත් යාළු උනේ නෑ. අපි දෙන්නට එහෙම උවමනාවක් තිබ්බෙත් නෑ. දෙන්න අතරෙ රහස් නෑ. හැබැයි දෙන්නගෙන් එකෙක් කෑලි කැපුවත් අපි දෙන්නගෙ රහස් එළියට දෙන්නෙත් නෑ.
කැම්පස් අවුට් වෙලා අපි දෙන්නගෙ කාලෙ හරි නිසා මගෙත් ඉල්ලීම පිට මුළින් නංගිට මහත්තයෙක් හෙව්ව අපි. නංගිගෙ මහත්තයා හම්බුනේ තාත්තාගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. ඒ කොල්ලත් අපේ වයසේ. එයා ඉංජිනේරුවෙක්. එයා නංගිට කැමැත්ත දුන්න දවසේ මම එ් කොල්ලව තනියම හම්බෙලා අපි දෙන්න ගැන කිව්වා.
අපි දෙන්නගෙ බැඳීම ගැනත් බැන්දත් නංගිගෙයි මගෙයි ආදරේ වෙනසක් වෙන් නැති වෙයි කියන එකත්. එයයි මායි එකට ඉද්දි ඉන්න විදිය තේරුම් ගන්න කියන එක එයාට කිව්වා. පස්සේ පොර කියනව එන්න කලින්ම ඒ අමුතු සහෝදර බැඳීම ගැන අර අංකල් මෙයාට කියලලු තිබ්බෙ කියල හිනා වෙලා කිව්වා.ඒ කොල්ලා අපේ පිනකට හම්බුන එකෙක්. අපි දෙන්නව හොඳට තේරුම් අරන් හිටියෙ එයා.
නංගි එයා එක්ක යාළු උනාට කට්ටිය එක්ක ගමනක් යද්දි විතරයි එයාගෙ වෙන්න මහත්තයා එක්ක එකට ගියේ. අනිත් වෙලාවට මගෙ එක්ක ඉන්නේ.
ඔහොම යද්දි මගෙ ජීවිතේ දුක්බරම දවස උදා උනා. ඒ මගෙ නංගිගෙ විවාහ උත්සවය. ඇත්තටම එදා තමා මම මගෙ රත්තරං නංගිගෙ ලස්සන හරියට දැක්කෙ. ඇත්තටම එහෙම ලස්සන නංගියෙක් නේද මට ඉන්නේ කියල දකිද්දී මට මගෙ ගැන නිහතමානී ආඩම්බරයක් ආවා. ඒ දෙන්න නියම කපල් එක. ලස්සනට ගැලපෙනව. ඉතිං පොරුවෙ චාරිත්ර එහෙම ඉවර වෙලා ඒ ලස්සන දවසෙ හවස නැකතට අනුව දෙන්න පිටත් වෙන මොහොත ආවා.
මගෙ හදවතේ ගැඹුරෙම සියුම් ලේ නහර වල තදට බැඳී තිබූ ඒ සහෝදර සෙනෙහස අද ඉදන් වෙන් වෙලා යනව කියන එක මට දරා ගන්න බැරිඋනා. මේ මොහොත මට කොහොමත් දරා ගන්න අමාරු වෙනව කියල එතන අපි දෙන්න ගැන දන්න හැමෝම දැනන් ඉඳල තියනව. ගොඩක් අය ඒ ගැන කතා වෙලත් තිබිල. අපි දෙන්න ඒ වෙලේ අඩපු තරමක් දන්නේ අපි දෙන්න විතරයි.
එකටම අපේ ආදරණීය අම්මගෙ කුසට ඇවිත්. එක මොහොතක ඉපදිලා. එකට ඇති දැඩි වෙලා, එක පිගානෙ කාලා, කවදාවත් වචනෙකින් වත් රණ්ඩු වෙලා නැතුව දෙන්න එ⁣ක්කෙනෙක් වගේ ඉඳල එතනින් එක්කෙනෙක් වෙන්ව යද්දි ඇති වෙන දුක වචන වලින් කියන්න මට තේරුණේ නෑ. මම බිම දණ ගහගෙන පොඩි එකෙක් වගේ ඇඬුවා. නංගිත් අඬනව. මස්සිනත් අඬනව, ඒක දැකපු ගොඩක් අය අඬල එවෙලේ. ඒ දෙන්න කාර් එකෙන් පිටත් වෙන්න යද්දි මගෙ මස්සිනාගෙන් මම ඉතාම සානුකම්පිතව ඉල්ලීමක් කලා අත් දෙක එකට තියල වැඳල.
“මගෙ රත්තරනෙ. උඹ මේ අරන් යන්නේ මගෙ පන. උඹ මේ දැන් ඉඳන් මට වඩා හොඳට මගෙ රත්තරං නංගිව බලාගනින්. කිසිම දුකක් වැරදිලාවත් දෙන්න එපා එයාට. මලක් වගේ බලාගනින් රත්තරනේ. මම උඹට වැඳල කියන්නේ, වෙ මොකුත් මම ඉල්ලන්නේ නෑ” එච්චරයි මට කියන්න පුළුවන් උනේ මට මතක හැටියට. මගෙ හදවත නැවතුනා වගේ දැනුන. මට ඇත්තටම එතනින් එහා දරාගන්න අමාරු උනා. පිස්සුවෙන් වගේ මගෙ නංගි මගෙන් ඈතට යන පලවෙනි ගමන දිහා මම බලන් හිටියෙ මට දරාගන්න පුළුවන් උපරිම ශක්තිය යොදවල.
එදා වෙඩින් එකේ වැඩ ඉවර කරල ගෙදර ආවම අපේ ගෙදර මගෙ ජීවිතේට දැකල නැති පාළු මූසල පෙනුමක් ගත්ත. අපි කට්ටිය එක්කෙනෙකුට එක්කෙනෙක් කතා කලේ නෑ. ඒ දුක ඇත්තටම අපිට දරාගන්න අමාරු උනා. එදා රෑ මම එළිවෙනකමි ඇඬුවා. නංගිගෙ ඇඳ දිහා බලන බලන වාරයක් ගානේ මම මැරි මැරි ඉපදුනා වගේ. අනේ එයා ලස්සනට හිනා වීගෙන නිදා ඉන්නවා වගේමයි පේන්නේ.
ඒත් ලෝක ස්වභාවයට අවනත වෙන්න ඕනෙ හින්ද දුක හංගන් අළුත් ජීවිතේට හුරු උනා අපි තුන්දෙනා. නංගිගෙ වෙන් වීම මගෙ ජීවිතේට ලොකු කම්පනයක් උනා. මම පුදුම විදියට කෙට්ටු උනා. හැමදේම එපා වෙලා වගේ හිටියෙ.
ටික කාලෙකින් නංගිලා යුරෝපා රටකට යන්න තීරණය කරල තිබ්බ. ඉතිං අපේ ආශිර්වාද මැද එයාලා රට ගියා. එහේ මස්සිනා රැකියාවක් කලා. ඒ දෙන්නගෙ දියුණුවට තමා රට ගියේ. නංගියි මායි හැමදාම වීඩියෝ කෝල් වලින් කතා කරනව. කිලෝමීටර් දහස් ගානක් දුර ගියත් එයාව මට දැනෙනවා. එයාට දුකක් නෑ කියන්න මට තේ⁣රෙනව.
දවසක් මට රෑ එයා කතා කරල කිව්වා පහුවදා දුරක ගමනක් යනව කියල. ඒක ඒ දෙන්න යන්න හිටපු විනෝද ගමනක්. මට ඒක කියද්දි අමුතු හැඟීමක් ආවා. ඒ ගමන යන්න එපා කියලමයි හිතුනේ. මම එයාට කිව්වා නංගි මට අමුත්තක් දැනෙනවා අනේ යන්න එපා හෙට. පස්සේ දවසක යන්න කියල. හැබැයි මස්සිනා ඉගෙන ගත්ත කොල්ලෙක් හින්ද මම කිව්ව එක එයා අැහුවා. පහුවදා ගියෙ නෑ ඒ ගමන.
පස්සේ ප්රවෘත්ති වලින් දැකල තියෙන්නේ එයාලා යන්න හිටපු පැත්තට තද ලැව් ගින්නක් ඇවිත් කියල. සමහර විට මේ දෙන්නට අනතුරක් නොවීමට තිබ්බ. ඒත් කියන්න බෑනේ. ඒ දෙන්නට පුංචි තුවාලයක් උනත් මට දරාගන්න ආමාරුයිනේ.
මම විවාහ උනෙත් එයාලා රට ඉද්දි. මගෙ වෙඩින් එකට ඒ දෙන්න රට ඉඳන් ආවා. ඒ දෙන්න පුදුම වෙහෙසක් උනේ වෙඩින් එකට. මට හැම පැත්තෙන්ම උදව් කලා. පස්සේ අවුරුදු කීපෙකින් එයාලා ලංකාවට ආවා ස්ථිරවම. ඒ ඇවිත් තිබුනේ මගෙ බලවත් ඉල්ලීමට. එයාලා තව කාලයක් හිටියනම් එයාලට එහෙ ලැබෙන්න තිබ්බ පුරවැසිභාවය පවා නැති කරගෙන.
පස්සේ අපේ පවුල් දෙකේ කැමැත්තට නංගියි මස්සිනයි අපේ ගේ ගාවින්ම හොඳ නවීන ගෙයක් හැදුවා. ළඟ ළඟ ගෙවල් දෙකක හිටියත් දැන් හැමදාම නංගියි මායි දවසකට පැයක් හරි ළගින් ඉදන් කතා කරල හරි එනව. මගෙ නෝනයි, නංගිගෙ මහත්තයයි අපි දෙන්නගෙ මේ අසාමාන්ය බැඳීම තේරුම් අරන් හිටපු එක ලොකු දෙයක් උනා. එයාලා ඇත්තටම අදටත් පුදුම වෙනව අපි දෙන්න දැකල. මම හිතින් ප්රාර්ථනා කරන්නේ මතු ආත්ම වලදිත් මගෙ නංගියා මගේම වෙන්න කියලයි.
උපුටා ගැනීම: Gayan Widuranga Somarathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!