මුලින්ම ප්රාර්ථනා කරනවා උදා වූ නව වසර හැමෝටම සුභ වෙන්ඩ කියලා..
මම අද කියන්න යන කතාව දිග අතීතයකට අයිති දෙයක් නෙවෙයි..මේ ඊයේ පෙරෙදා සිද්ද වුණ සිද්දියක් .හරියටම කිව්වොත් දෙදාස් විස්සේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා සිද්ද වුණ දෙයක්.
දෙසැම්බර් 31 කියන්නේ මිනිස්සු අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්ඩ පොරකකා බඩු ගන්න දවසක්නේ.හැබැයි මේ අවුරුද්දේ කොවිඩ් නිසා තත්වේ ටිකක් වෙනස්.වෙනදා වගේ මිනිස්සු මෝඩ විදිහට පොර කකා බඩු ගත්තේ නෑ.මම වැඩකරන්නේ සුපිරි වෙළදසැලක මුදල් අයකැමිවරයෙක් විදිහට.ඉතින් 31 වෙනිදා හැන්දෑවේ මම අදුරන වයසක යුවළක් බඩු මිලදී ගන්න වෙළද සැලට ආවා.ඒ ජෝඩුවේ මහත්තයා කලින් ස්ටේශන් මාස්ටර් කෙනෙක් විදිහට ඉදලා විශ්රාම ගිය කෙනෙක්.නෝනා නීතීඥවරියක්.හරි සමගි ජෝඩුවක්.
දැන් මේ දෙන්නා බඩු එහෙම අරන් ඉවරවෙලා මගේ ලගට ඇවිල්ලා බිල දානවා.වෙනදා හොදට හිනාවෙලා ඉන්න මහත්තයා අද ටිකක් අවුල්.නිකන් කේන්තියෙන් වගේ..කොහොම හරි මම බිල දාලා ඉවරවෙලා එයාලට බිලේ ගාණ කිව්වා.එතකොටම අර නෝනා මහත්තයගෙන් ඇහුවා,
“ඒයි’අපි ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්රීම් ලීටර් දෙකේ එකක් ගමුද?” කියලා
මහත්තයා එක පාරටම නෝනා දිහා බලලා,
“අයිස්ක්රීම් අරන් අල්මාරියේ දාන්ඩද,ෆ්රිජ් එකේ දොර හදාගන්ඩ මතක් කෙරුවද?”
කියලා ටිකක් සැරෙන් කියලා මට සල්ලි දුන්නා.නෝනට ටිකක් ලැජ්ජා හිතිලා වගේ බිම බලාගෙන හිටියා.
දැන් මම ඉතුරු සල්ලී අර මහත්තයා අතට දුන්නා.
“පුතා මට ග්රෑම් පන්සීයේ සොසේජස් එකකුත් දෙන්නකෝ”
දැන් අර මහත්තයා මට ආයෙමත් සල්ලි දික්කරලා කියනවා.
සැනෙන් අර නෝනගේ මූණ වෙනස් උනා.
“නෑ,ඩියර්..සොසේජ් ඕනේ නෑ..සොසේජසුත් අරන් අල්මාරියට දාන්ඩයෑ..මනුස්සයෙක් උනාම මතක් කරලා කැඩෙන බිදෙන බඩු හදන්ඩ ඕනේ” කියලා මගේ අතේ තිබ්බ සල්ලිත් උදුරගෙන ඒ නෝනා ගියා..මහත්තයගෙත් තිබ්බ සැර බැස්සා වගේ නෝනා පස්සෙන් බඩු මල්ලත් අරන් හෙමින්ම එලි බැස්සා..
මමත් ඉතින් කවදාවත් නීතීඥවරියක් බදින්නෑ කියලා හිතාගත්තා…
බුද්ධි ___
උපුටා ගැනීම: බුද්ධි එස් විජේසූරිය