නෙස්කැෆේ අන්දරය…. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගිය සැරේ ලියපු කතාවට ගොඩක් ප්රතිචාර ලැබුණ නිසා හිත ටිකක් උනන්දු උනා තව කතාවක් ලියන්න ඕනේ කියලා. මගේ හිතේ ගොඩ ගැහිච්ච කතා ගොඩක් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ නම් කෙටි කතා තරග වලට එහෙම ලිව්වා. ඒත් විවාහ වෙලා දරුමල්ලන් ලැබෙද්දී ඒ දේවල් එක්ක කාර්ය බහුල වුණ නිසා ලියන එක ටිකක් පස්සට ගියා.දැන් ඉතින් කතාවට බහින්නම්කෝ. අපි වගේ අයට මේ වගේ අවස්ථාවක් හදලා දුන්නට අඩයාලම ට තුති හොඳේ.
ඉතින් මේ කතාව මගේ පුංචි කාලේ එකක්. මට අවුරුදු දහයක් විතර කාලේ වෙච්ච සිද්ධියක්. ඒ කාලේ අපේ ගම ඒතරම් නාගරීකරණය වෙලා තිබුණේ නෑ. බොහොම සාමාන්ය ජීවිත රටාවකට තමයි හැමෝම වගේ පුරුදු වෙලා හිටියේ. කොහොමටත් අසූව දශකයේ දී කොළඹ සහ ඒ අවට ඇරුණාම අනෙක් ප්රදේශ ඒ තරම්ම නවීකරණය වෙලා තිබුණේ නෑ මං හිතන්නේ.
මගේ පවුලේ වැඩිමහල් සහෝදරයා ටිකක් නාහෙට නාහන දඩබ්බරයෙක්. එයාගේ මේ වගේ හිතුවක්කාර වැඩ නිසා අපි පවුල් පිටින් ම දුකට කරදර වලට නිතරම මැදි වුණා. මං මේ කියන කාලේ එයා කටුකුරුන්දේ තිබ්බ මෝටර්-සයිකල් ධාවන තරගයක් බලලා එද්දි එයා පැදන් ආපු බයිසිකලය ධාවනය වෙමින් තිබු බස් රථයක් යටට ඇදී ගිහින් ඒ බස් රථයේ රෝද එයාගේ අත උඩින් ගමන් කරලා ලොකු අනතුරකට මුහුණ පාලයි හිටියේ. හොඳ වෙලාවට අස්ථියට ලොකු හානි නොවුණට රත් වුණ ටයර් වලට අයියගේ අතේ උරහිසේ සිට වැලමිට දක්වා කොටස පිච්චිලා තිබුණේ. මාස දෙක හමාරක් තුනක් පමණ කාලයක් ඔහු කොළඹ මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියේ. ඒ කාලේ පුරාම දේවාලේ පූජාවට පේ වුණ කපුවෙක් වගේ අම්මා නොවරදවා දිනපතාම අයියා බලන්න රෝහලට ගියා.පාන්දරින් නැඟිටලා උදේටයි දවල්ටයි අපටත් කෑම උයලා අයියටත් අරගෙන ගෙදරින් පිටත් වෙන අම්මා ආයේ හවසටත් අයියාට කවලා පොවලා රෑ වෙලා තමයි ගෙදර එන්නේ. රෝහලට කිට්ටුව අම්මගේ බාල සොයුරියක් පදිංචි වෙලා හිටියා. එහෙට ගිහින් විඩා නිවාගෙන හවසටත් අයියට කෑම සූදානම් කර ගෙන කවලා පොවලා ඒ රාජකාරි ඉවර වෙලා එද්දි රෑ නවය විතර වෙනවා. පල්ලෙහා ඉඩමේ හිටපු ආච්චි හරි අනිත් පුංචි හරි එහා ගෙදර නැන්දා හරි ගෙනත් දුන්න දෙයක් කාලා අම්මා එනකොට සමහර දවස් වලට අපි නිදි. මට ගොඩක් වෙලාවට ඉස්තෝප්පුවේ පුටුව උඩ නින්ද ගිහින්. හරිම දුක්බර කාල සීමාවක් තමයි අපි ගතකරමින් හිටියේ.
මේ කාලේ තාත්තා රැකියාව කරන සමාගමෙන් සේවය සඳහා තාත්තා ව මඩකලපුව ප්රදේශයට යවලයි තිබුණේ. ඒත් අයියාගේ අත කපන්න වුණොත් තාත්තාගේ අවසරය උවමනා වෙන නිසා රෝහලෙන් තාත්තාට පණිවිඩයක් යවලා ගෙන්වාගෙන තිබුණා. අයියා ඉතාමත් නාඹර තරුණ වයසේ හිටපු නිසා වයිද්යවරුන්ගේ මහත් උත්සාහයෙන් කලව ප්රදේශයේන් ලබා ගත්ත සම් කොටස් බද්ධ කරලා අත නොකපා බේර ගන්න හැකි වුණා. ඒ කැළල අයියගේ ජීවිතයට මොන තරම් බලපෑවද කියනවනම් අයියා කවදාවත් අත්කොට ඇඳුම් ඇන්දේම නෑ.හැබයි ඉතින් ජීවන රටාව වෙනස් කළෙත් නෑ.
ඉතින් ඔන්න දැනුයි මාතෘකාව ට එන්නේ. ඉතින් අම්මා දිගටම අයියා බලන්න රෝහලට යන දවස් වල දැන් තාත්තා ඇවිත් ඉන්නවනේ. දවසක් තාත්තා කෑම කාලා ඇඳේ හාන්සි වෙලා ඉන්න කොට කෙඳිරි ගාන්න පටන් ගත්තා. “අම්මේ… අම්මේ… අනේ…” ඔය වගේ. මම තාත්තා ළගට ගිහින් ඇහුවා “ඇයි තාත්තේ” කියලා. “පුතේ මට හරි සීතලයි… කෝපි ටිකක් හදලා දෙන්න පුළුවන්ද?” කියලා තාත්තා ඇහුවා. කේතලේ යාන්තමට ගින්දර උඩ තිබුණු නිසා ලිප පත්තු කරලා මම කෝපි බෝතලේ හෙව්වා. වත්ත පහළ කෝපි පඳුරු කීපයක ඉදුණු කෝපිඇට වේලලා කොටලා සීතල දවසකට, බඩේ රුජාවකට බොන්න කියලා අම්මා අරන් තියලා තිබුණත් මට ඒ වෙලාවේ ඒක හොයාගන්න බැරි වුණා. ඒත් ඊයම් කොළ කෑල්ලක ඔතපු කෝපි සුවඳ තියෙන කැට වගේ කුඩු ටිකක් මට හම්බ උනා. තාත්තා ගේ වේදනාත්මක කෙඳිරියත් එන්න එන්නම වැඩි වෙන නිසා මම ඒ කුඩු ටිකක් කෝප්පයකට දාලා සීනිත් දාලා තාත්තා ට බොන්න දුන්නා. බීලා මිනිත්තු පහක් ගත වුණේ නෑ තාත්තා වමනය කරන්නටයි තදින් වෙව්ලන්නටයි පටන් ගත්තා. මට මහා පුදුම බයක් දැනුණේ. මම තාත්තට මොනවද බොන්න දුන්නේ කියලා ලොකු සැකයක් මට දැනෙන්න පටන් ගත්තා. හදන කොට පෙණ දාපු එකත් මට බයක්. මම අඬමින්ම අර ඊයම් කොළේ ඔතපු කුඩු ටිකත් අරගෙන ළඟ පාත ගෙවල් කීපයකටම දිව්වා හරියට නොමළ ගෙයකින් අබ හොයපු කිසාගෝතමී වගේ. එක එක්කෙනා එක එක දේවල් කිව්වා. “කෝපි මෙහම කැට කැට නෑනේ,” “කෝපි හදන කොට පෙණ එන්නේ නැහැනේ,ඔයා මොකටද දන්නේ නැති දේවල් බොන්න දෙන්න ගියේ “ඔය වගේ දේවල්. මගේ අතින් ම තාත්තාට වහ දුන්නා වගේ හැඟීමක් මට දැනුණේ. ඒ අතර ළඟ පාත ඩිස්පෙන්සරියක් පවත්වා ගෙන යන වයිද්යවරියක් තාත්තා ගැන දැනගෙන අපේ නිවසට පැමිණියා. තාත්තා පරීක්ෂා කළ ඇය කියා සිටියේ මඩකලපුව ප්රදේශයේදී තාත්තා ට මැලේරියා උණ වැළඳී ඇති බවයි. කොහොමටත් ප්රශ්න එනකොට පැල් බැඳගෙන එනවනේ. ඉතින් අයියගේ අනතුර මැද්දේ තාත්තා ට මැලේරියාවත් හැදුනා. අර වෙද නෝනා තාත්තා ට බෙහෙත් නියම කරලා මගේ අතේ තිබුණ කුඩු මුල බලලා හිනා වෙලා කිව්වා “මේ නෙස්කැෆේ නේ දරුවෝ” තව ටිකක් උණුවෙන් තාත්තාට හදලා දෙන්නකෝ “කියලා. එතකොට තමයි මට පියවි සිහිය ආවේ.
බැලින්නම් වෙලා තියෙන්නේ කොළඹ පුංචිලාගේ අල්ලපු ගෙදර කුලියට ඉන්න කොරියානු ජාතිකයින් පුංචි ට තෑගි කරපු නෙස්කොෆී බෝතයෙන් ටිකක් තමයි පුංචි අම්මා ට දීලා තියෙන්නේ. අද කාලේ හැටියට නම් නෙස්කැෆේ ගැන නොදන්න කෙනෙක් නෑ. ඒත් පුංචි මගේ හිත මේ සිදුවීමෙන් කොයි තරම් සසල වුණා ද කියනවා නම් මම අදටත් නෙස්කැෆේ වලට ඒ තරම් කැමති නෑ. බොහෝ වෙලාවට සුපර් මාකට් වල දකිද්දී මට මේ සිද්ධිය මතක් වෙනවා. ලොකු දෙයක් නොවුණත් පුංචි දරුවෙක් විදියට මම එදා අසරණ වුණු හැටි ත් ඒකාලේ සමාජයේ තිබුණ සරල ජීවිතයත් ගැන මට නම් ගොඩක් දේවල් හිතෙනවා. කතාව ටිකක් දික් වෙලා නීරස වුණා නම් සමාව අයදිනවා….
උපුටා ගැනීම: Chameedra Shiranthi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!