නේවාසික පාඨමාලාවකි (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම උසස්පෙළ ඉවරවෙලා aat කරා . දවසක් මම ක්ලාස් ඇරිලා ගෙදර යද්දී මගේ ජිවිතේ උඩු යටිකුරු කරන ලියුමක් ගෙදරට ඇවිත් . අම්මගේ මූණේ හිනා මල් පිපිලා තිබුනේ . එත් මටනම් ඒ ගැන කිසිම සතුටක් නෑ …. ඒ ලියුමේ තිබුනේ මම විද්යාපීඨ තේරුණා කියලා . දවස් දෙකකට පස්සේ මට යන්න තිබුනේ පීඨෙට. ලියුමේ තද කළු අකුරෙන් ලියලා තිබ්බා මෙය නේවාසික පාඨමාලාවකි කියලා .
ජිවිතේට එක රැයක් ගෙදරින් හිටපු නැති මම ඔය කියපු දවසේ ඉදලා මහා දුකකින් කාලය ගෙවනවා . උගුර ඇතුලේ මොනවද හිරවෙලා වගේ දැනෙන්න පටන්ගන්නවා . මම ගෙදරින් යනවා නේද කියලා හිත හිත කාලය ගතකරනවා . ඇත්තටම ගුරුවරයෙක් වෙන්න මට අවශ්ය උනේ නෑ . මට ඕනි වෙනස්විදියේ රස්සාවක් . අම්මලා දැන් මාව බලෙන්ම ගිහින් දාන්න හදනවා කියලා දැනෙද්දී අම්මලා එක්ක පුදුම තරහක් ඇතිවුනේ මට .
අදාල දවසේ අම්මලා මාව හොස්ටල් එකට ගිහින් දානවා . නාදුනන මුහුණු අතරේ එක දන්නා කියන මුහුණක් හෙව්වත් මට හොයාගන්න බැරිවෙනවා . ඒක අපායක් . මුල්ම දවසේ මට දැනෙන්නෙ එහෙම . සතියක් දෙකක් තුනක් යද්දී කාමරේ හමුවුන නාදුනන රූමෝ ටික අදුරගන්නවා . පලවෙනි දවසේ රෝස මලක් වගේ හිටපු හොස්ටල් මේට්රන් ටික දවසකින්. යක්ෂයෙක් වෙනවා . මෙලෝ රහක් නැති හොස්ටල් ඩයිනින් එකේ කෑම බඩ පුරවගන්න අපි කන්න පුරුදුවෙනවා . කොහොමත් පළවෙනි අව්රුද්දෙ අපිට කැන්ටිමත් තහනම් කලාපයක් . ඩයිනින් බත් එකේ තියන කැකිරි සහ හල්මස්සෝ කාලා සැනසෙන්නවුණා අපිට අකමැත්තෙන්වුනත් .
මේ ඔක්කොම දේවල් වෙද්දී අපිට සුදු සාරී ඇදගන ඉස්කෝල වලට යන්න වෙනවා . මගේ පලවෙනි ටිචින් ප්රැක්ටිස් එක තමයි ගුරුවරියක් වීමට මට කැමැත්තක් ඇති කරපු දෙය . මම හිතන්නේ නෑ ඒ දවස්වල මම හොදට ඉගැන්නුවා කියලා . කොහොමත් අපි හැමෝටම ඕනිම දේකට අනුගත වෙන්න කාලයක් යනවනේ . හැබැයි ඒ දවසේ ඉදලා අපි පුරුදු වෙනවා දරුවෝ එක්ක වැඩ කරන්න . අනික අපි ටිචින් ප්රැක්ටිස් වලදී ආසම වැඩේ තමයි ඉස්කෝලේ කැන්ටිම හිස්කරන එක . හොස්ටල් එකේදී කන්න බැරිවෙන සියළු ආසාවල් දුරුකරගන්නේ අපි ඉස්කෝලේ කැන්ටිමෙන් . මීට අමතරව සැම වාරයකදීම සති දෙක බැගින් අපි ටිචින් ප්රැක්ටිස් යනවා . ඒ යන පාසල් වල දරුවෝ සමහරවෙලාවට අපිට කිව්වේ ඉටි පන්දම් මැඩම්ලා සහ ගිනිකුරු සර්ලා කියලා . හේතුව සුදු සාරි , කළු කලිසම් සහ සුදු ෂර්ට් එක නිසා .
මගේ පළමු ටිචින් ප්රැක්ටිස් එකේ සිට අද දවස දක්වා…. සතුටු දවස්, හිත රිදුනු දවස්, තිබුනා. හැබැයි දරැවෝ එක්ක ඉන්නවා කියන්නෙම හිත පිරෙන දෙයක්. සමහරවිට පොඩ්ඩක් තරහා ගියත් ආයෙත් ටිකකින් අපිටම දුකහිතෙන්නේ අපි දරැවෝගැන හිතන නිසා වගේම දරැවෝ නැතිව අපිට පාළු නිසා. කව්රු කොහොම කිව්වත් ඒනිසාමයි නිවාඩුවේ පළවෙනි සතිය මාර ජොලියේ ඉදලා දෙවැනි සතියේ ඉදන් ඉස්කෝලේ පටන්ගන්නේ කවදද කියලා මග බලන්නේ .ගෙදර ඉන්න බෑ වගේ දැනෙන්නේ .
දැන් මම ඉගැන්වීම් කරන පුංචිම පංතිය හතේ පංතිය . විනාඩියක්වත් එකතැන ඉන්න බැරි , තත්පරයක්වත් කටට විවේකයක් දෙන්න කැමති නැති පුංචි පොඩ්ඩෝ , පොඩ්ඩියෝ පිරුණු තැනක් . පන්තියට එක්කරගන යන්න මගට එන , සාරි පොට අල්ලගන්න පොරකන කෙල්ලෝ ඉන්න හතේ පංතිය .
මම දැන් දවස් දෙක තුනක් පංතිය ගිහින් පොත් බලන්න මගේ රතු පැන පෙන්සිල් කෙස් එකේ හොයද්දි තිබුනේ නෑ . ඒකට හේතුවනම් අපේ ගෙදර ඉන්න මගේ කොල්ලා .දවස් කිහිපයක්ම මම මේ දරුවෙක්ගේ පැනක් ඉල්ලගන තමයි පොත් බැලුවේ . රතු පැනක් ගන්නත් මට අමතකවුණා . අද හතේ පංතියේ පීරියඩ් එක ඉවරවෙලා එන්න හදද්දී මැද පෝලිමක ඉදගන හිටපු පුංචි කෙල්ලෙක් මගේ ළගට දුවගන ආවා . එක අතක් පිටිපස්සට කරගන හිටපු මේ දරුවා
“මැඩම් මේක මැඩම්ට ” කියලා පිටිපස්සේ හන්ගගන හිටපු දේ මට දුන්නා .
අතේ තිබුනේ රතු පැනක් . ඒක දැකලා මට ඉබේටම කියවුණා … ” ඇයි මේ ” කියලා .
කෙල්ල කියනවා ” මම මැඩම්ට මේක ගත්තේ … මැඩම් තියාගන්න “
“. එපා දරුවෝ …. ඔයා තියාගන්න . මට තැගී එපා ” කියලා මම ඒ දරුවට කිව්වා .
කෙල්ල කිව්වේ එකම එක දෙයයි .
” මැඩම් රතු පැනෙන් තරු දුන්නහම පොත ලස්සනයි , මේක තියාගන්න “
එහෙම කිව්ව දරුවා පෑන මට දීලා ආයෙත් පංතිය ඇතුලට දුවලා ගියා .
එදා අම්මලා මාව විද්යාපීඨෙට බලෙන් ගිහින් දැම්ම එකෙන් මගේ ජිවිතේ වෙනස්උනා . මම හිතාගන හිටපු කෙනා වෙන්නත් බැරිවුණා . එත් අද මම පුංචි එවුන්ට තරුවක් දීලා , හිනා මුණක් දීලා ඒ පුංචි මුහුණුවල පිපෙන සතුට දැකලා සතුටු වෙනවා . එදා අකමැතිමවුනු රස්සාවට අද මම පණ වගේ ආදරේ කරනවා . ඒ එක තැනක ඉන්න බැරි පුංචි එවුන් නිසාමයි .
අපේ ජිවිතේ පෙරලියක් කරන සමහර දේවල් වෙනවා ………….අපේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ. අපි ඒ වෙනසට අනුගතවුනාම අපිට දැනෙන්න පටන්ගන්නවා මේකවුනේ මගේ හොදටනේ කියලා . ඉතින් පුංචි වෙනස්කම් අකමැත්තෙන් උනත් සිද්දවෙන්න දෙන්න , සමහරවිට හොදම දේ එවිට සිදුවෙයි . හරියට මම ගුරුවරියක් උනා වගේ .
උපුටා ගැනීම: Hasika Wijethunga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!