කළුත් නැති සුදුත් නැති අළුපාට වළාකුළු වලින් පිරුණු අහස හීන් මල් පොදයකට අනාරාධිතව අවසර දෙනවා.ඒ අවසරය තඹේකටවත් මායිම් නොකරපු වළාකුළු මුරුගසන් වරුසාවකට ඔහේ වහින්න දීලා බලාගෙන ඉන්නවා.දණහිසට චුට්ටක් උඩට වෙන්න දිග තනි කහ පාට රැලි තියන අත් කොට ගවුමත් ඇදගෙන බෑග් එකත් පිටේ එල්ලගෙන කළු පාට පුන්චි කුඩයක් එක අතකින් ඉහළගෙන එයා එනවා.වැස්සත් එක්ක එන තද හුළඟට ගවුම දණහිසෙන් උඩට ඉස්සෙනවා.ඒත් එක්කම හරි පරිස්සමට එක අතක ඇගිළි තුඩු වලින් ගවුමෙ පහළම තියන රැළි දෙක තුනක් උණ්ඩි කරලා අල්ලගන්නවා.ආයෙමත් ඒ හිතුවක්කාර හුළඟම නළලට උඩින් තියන කොණ්ඩ කැරළි දෙක තුනක් මූණ උඩට දාගෙන නෝක්කාඩුවට වගේ ඔහේ යන්න යනවා.එයා ආයෙමත් ගවුම් කෙළවර අත ඇරලා ඒ කොණ්ඩ කැරළි ටික කනට උඩින් කොණ්ඩෙ අස්සෙ හංගනවා.ඈත තියාම ඒ මූණෙ තියෙන්නෙ සතුටක්ද දුකක්ද හිනාවක්ද එහෙමත් නැත්නම් කළකිරීමක්ද කියලා හිතාගන්න බැරි තැන මම එයා දිහා හැඟීමක් නැතුව බලාගෙන ඉන්නවා.
” ගොඩක් වෙලා බලාගෙන හිටියද ? Lecture එක ඉවරවෙද්දි ටිකක් පරක්කූ උනා “
එයා ඒ පුන්චි කුඩේ ඇතුළට එන්න කියලා ඇස් වලින් කියන ගමන් මූණ ඇද කරගෙන කියනවා.මං හිනාවෙලා ඒ හෙවණ යටට යනවා.ඒ හෙවණ යට වැහි හිරිකඩ වැදුනු ගවුම් කරෙන් ඉස්සුණු පපුවෙන් එයා වැඩියෙන්ම ආස කරන පර්ෆියුම් සුවඳ එනවා.ඒ සුවඳ හිතුමනාපෙට විඳින ගමන් කුඩේ යටින් එයාට පුළුවන් උපරිම ඉඩ දීලා ඒ මුරුගසන් වරුසාවට මම උරේ තෙමාගන්නවා.හීතල වැහි බින්දු ශර්ට් එක තෙත් කරගෙන වැළමිට දිගේ බේරීලා යනවා.
” ඔයා දන්නවද..මේ කඳු,වැස්ස,ආදරේ කියන්නෙ පුදුමාකාර විදිහට ගැළපෙන සංයෝජනයක් “
පාරෙන් එහා තියන කඳු පන්තියක් දිහා බලාගෙන මම කියනවා.
” ඇයි එහෙම කියන්නෙ ? “
එයා මං දිහා බලාගෙන අහනවා.
” මේ කඳු දිහා බලන්නකො ඒවා හරිම නිහඬයි.ඒත් සමහර වෙලාවල් වලට ඒවා නාය යනවා.කඳු ආස ඇති වැස්සට තෙමෙන්න.වහිද්දි තමන්ව වහගෙන ඉන්න ගස් වල හීතළට ගුලිවෙලා ඉන්න.ඒත් ඒ වැස්සමයි දවසක ඒ ගස් එක්කම ඒ කඳු පොළොවට සමතලා කරලා දාන්නෙ. “
” ඉතින් “
” වැස්සත් හරියට ආදරේ වගේ “
” හ්ම් “
නුඹ අදත් ඒ කඳු පසුකර යතැයි සිතමි.ඒ වැසි අදත් ඒ කඳු සිපගනිතැයි මම සිතමි.අහම්බස්කාරයකින් හෙණ පුපුරා වැටුනු මහා වැස්සකට බදා සිටි ගස් මුල් පිටින් ඉදිරී හේදී ගිය අපේ කඳු නායයෑමෙන් පසුව එළඹුණු වසර ගණනාවේදීම මුරුගසන් වැසි වසිනා දිනක් වේද ඒ සෑම දිනයකදීම මට නුඹව මතක් උනෙමි.අදත් ඒ කඳු වැහි හීතලට ගුළි වෙන්නට ආසාවෙන් ඇතැයි සිතමි.නමුත් මල් පොදයක්වත් ප්රාර්ථනා කරනු ඇත්දැයි මම නොදනිමි…
උපුටා ගැනීම: Prasan Lakshitha Subasinghe