හසංගා නාන කාමරයට වැදෙන විට වේලාව රාත්රි එකොළහමාරටද ආසන්නය. පසුදින සදුදා බැවින් ඉවීමට අවශ්ය සියල්ල කපා කොටා, පොල් ගා ශීතකරණයට දමා සාරියද මැද තැබිය යුතු බැවින් ඉරිදා රෑට ඇගේ වැඩ අවසන් වන්නේ පමා වීය. ඇය නාන්නට ආවේ සාලයට වී රූපවාහිනියේ සටන බලමින් සිටි මල්ලීට තේ කෝප්පයක්ද අතට දීමෙන් අනතුරුවය.
ගැමි පරිසරයක වැඩුණු බැවින් ඇය නාන කාමරයේ නාන්නේද දිය රෙද්දක් අදිමිනි. නාන කාමරයද අතුල්ලා නාගත් පසු හසංගා හිස තෙත මාත්තු කළේ කණ්නාඩියෙන් මුහුණ බලමිනි. හතළිහේ කඩඉමට ළංවන මුහුණේ වියපත් ලකුණු දැන් සගවන්නට අපහසුය. දිනක් වෙහෙස වුවහොත්, අව්වේ ගියහොත් එහි ප්රතිඵල දින ගණනාවක් යනතුරු මුහුණෙන් පෙනේ. සමේද, දෑසේද හිස කෙස්වලද පැවති දීප්තිමත් ප්රාණවත් ගතිය දැන් අඩුය.
ඉස්සර නම් සෙනසුරාදා ඉරිදාට කහ, කොහොඹ, කඩල පිටි, යෝගට් සාත්තුවක් කළ පමණින් මුහුණේ මනා වෙනසක් දිස්විය. දැන් එවැනි සරල සාත්තුවකින් පිළිසකර කළ නොහැකි වයසකට තමා පැමිණ ඇති බව හසංගා දනී. ලබන සති අන්තයේ මෝනා අක්කාගේ සැලූනයට ගොස් ෆේෂල් එකක් කරගත යුතුය.
අම්මාද බොහෝ විට තමන්ට නොදැනෙන්නට තමා දෙස බලන්නේ තමායේ වියපත් බව ඇයටද පෙනෙන නිසා බව හසංගා දනී. ඒ වෙලාවට නම් ඇයට දැනෙන්නේ කුරිරු සතුටකි. පලකට නැති කරුණක් මුල් කොටගෙන ගෙන යසන්තට අකමැති වන විට තමන් හතළිහ වන විටත් අවිවාහකව පසුවේ යැයි අම්මලා සිහිනයෙන්වත් නොසිතූ බව ඇය දනී. විවාහ වීමේ අදහස සිතින් අත් හැර ඇති ඇය එය ගෙන හැර දක්වන්නේ අම්මාටද තාත්තාටද මදක් රිදවීමට අවශ්ය වූ විට පමණි.
——————————
ඒ කටහඩ ඇසෙන විට හසංගා දිය රෙද්දට උඩින් තුවාය ඇද ගත්තා පමණි. ෆෑන් ලයිට් ජනේලයෙන් පිටත පෙනෙන ඝන කළුව දෙස වරක් බලා ඇය නාන කාමරයේ දොර හැර එළියට පැනගත්තේ යටි ගිරියෙන් කෑගසමිනි.
ඇය වෙව්ලමින් සිටි තැනට පළමුව දිව ආවේ කවිදුය.
“ඇයි ඇයි”
“අනේ මල්ලි, කවුද කතා කරනවා ඇහුණා”
“මොකක්, මොකද්ද කිව්වේ, එළියෙද?”
“අනේ මන්දා වචන තුන හතරක් කිව්වා”
කුස්සියට දිව ගිය කවිදු එළියේ විදුලි පහන් දල්වා එළියට පැන්නේ පොල් බිදින පිහියද අතැතිවය. නිදාසිටි අම්මාද තාත්තාද ආවේ එවිටය.
“මොකද ලොකූ”
“මම නාලා ඉවර කළා විතරයි අම්මේ, කවුද මනුස්සයෙක් කතා කළා වගේ ඇහුණා. මේ මගෙ ඇගත් වෙව්ලනවා තව”
නිවස හතර වටේ ඇවිද කවිදු ආවේ හති දමමිනි.
“කව්රුත් නං නෑ. මම ලේන් එකේ පහළටත් ගිහින් ආවේ. තාප්පෙන් පනින්නත් උස වැඩියි. ඊටත් මාත් මෙතන ලයිට් දාගෙන ටීවී බල බලනේ හිටියෙ. බය නැතුව මොකෙක්වත් එයි කියලා හිතන්න බෑ. මොනවා කියනවද අක්කා ඇහුණේ”
“අනේ මන්දා මල්ලි. වචන දෙක තුනක්. මට මතක් වෙන්නේ නෑ. “ මද වේලාවක් නළලට අත තබාගෙන කල්පනා කළත් ඇයට ඒ වචන සිහියට නොඒ. පිරිමි කටහඩකින් වචන තුන හතරක් පැවසූ බව පමණක් සිතේ ඇත.
“බාත් රූම් එකෙන් එහා පැත්තේ මඩත් වෙලානේ. කවුරුහරි හිටියා නම් අඩි පාර තියෙනවනේ. මම බැලුවා මුකුත් නෑ.” ඔවුන්ගේ ප්රදේශයේ සාමාන්යයෙන් ග්රීස් යකුන් හෝ සොරුන් සුලබ නැත.
“මගේ හිතද මන්දා.ඒ වුනාට මට හොදටම ඇහුණා අප්පා.”
හසංගා නින්දට ගියේ තවත් පැය භාගයක් පමණ ගතවූ පසුවය. ඇගේ බිය හා තිගැස්ම ඒ වන විටද පහව ගොස් නොතිබුණි. පෙනෙන පරිදි කිසිම කෙනෙකු නානකාමරයෙන් පිටත බලාසිටින්නට ඉඩක් නැති බවත් ඇසුණු කටහඩ තමාගේ සිතළුවක් බවත් ඇයද ඒ වන විට තීරණය කර තිබුණි.
———————————————————-
තවත් පැය බාගයකින් කලබල ගතිය සන්සිදී නිවසේ සියල්ලන් නිදාගැනීමට ගිය පසු ඇදේ දිග ඇදී පෙම්වතිය හා මල් කැඩීමට පටන් ගත් කවිදු අක්කාට නොකී කරුණක් චමීෂා හා කීවේය.
“මම අක්කා බයවෙයි කියලා කිව්වේ නෑ චමී, බාත් රූම් එකට පිටිපස්සේ තාප්පේ උඩ අපේ පූසා හිටියා. මම එළියට යනකොටත් ඌ කොන්දත් දුන්න වගේ කරගෙන බයවෙලා බාත්රූම් එක පැත්ත බලාගෙන හිටියේ. ඒ උනාට පැත්ත පළාතෙ මොකෙක්වත් හිටියේ නෑ”
“අක්කා කෑගැහුවා කිව්වෙ. පූසා ඒකට බය වෙන්න ඇති ඉතිං.”
“හ්ම්, ඒකත් වෙන්න පුලුවන්.”
මේ සිදුවීම තම පෙම්වතාගේ අක්කාට හැර වෙන කාට හෝ වූවා නම් චමීෂා කියන්නේ “එයා වයසට ගිහින් බැදලත් නෑනෙ, එහෙම නිසා නිකං අටේන්ෂන් ගන්න කිව්වද දන්නෑ.” හෝ “බැදලත් නැති නිසා පිරිමි කටහඩවල් ඇහෙනවා ඇහෙනවා වගේද දන්නෑ” කියාය. නමුත් තමන්ගේ අක්කා විවාහ නොවී සිටීම කවිදුට සංවේදී කාරණයක් බැවින් චමීෂා කට හෙල්ලුවේ නැත. කලින් දිනයක මේ මාතෘකාව කතා කරන්නට ගොස් දවස් ගණනක් රණ්ඩු වූ අයුරු ඇයට තවමත් මතක තිබේ.
ඉන්පසු ඔවුන් දෙදෙනා පෙම්බස් දෙඩීමට පටන් ගත් අතර නිදාගැනීමට පෙර අක්කාගේ කාමරයට එබී බැලූ කවිදු දුටුවේ ඇය විදුලි පහන්ද දල්වාගෙන ඇදේ දිගාවී කල්පනා කරන අයුරුය. කිසිත් නොකියා නැවත පැමිණ ඇදේ වැටුණු කවිදුටද සෑහෙන වේලාවක් නින්ද ගියේ නැත.
———————————-
හසංගා යසන්ත හා පැටලෙන විට කවිදු සාමාන්ය පෙළ කරන බට්ටෙකි. රැකියාව කරන අක්කා සති අන්තයට ආ වේලාවේ සිට අම්මා ඇය හා බහින්බස් වනුද අවසානයේ දෙන්නාම අඩනුද හැරුණු විට ඒ කාලයේ ඒ ගැන වැඩි යමක් ඔහු දැන සිටියේ නැත. අවුරුදු ගාණක් අම්මලා හා රණ්ඩු වූ අක්කා අවසානයේ අම්මලාට දිනුම දී පැත්තකට වූයේ ඔවුන් කිසි ලෙසකින් වත් තම අදහස වෙනස් නොකරන බව වටහාගත් පසුය.
අම්මලා යසන්තට අකමැති වූයේ ඔහුගේ මිත්තණිය ඉන්දියානු දෙමළ කාන්තාවක බැවින් බව දැනගත් පසු කවිදුට හිතුණේ ඒ වයසේදී හෝ තමන්ට මැදිහත් වී අක්කාගේ පැත්තට කතා කරන්නට තිබුණු බවය. කලු මහත කොල්ලෙකු ලෙස යසන්ත ගැන සිතා සිටියද දිනක් අක්කාගේ පොතක් තුළ තිබී හමුවූ කඩවසම් තරුණයාගේ ඡායාරූපය දුටු විට කවිදුට සිතුණේ ඔහු හින්දි නළුවකු වැනි බවය.
ඔහු ඉගෙනීමට ඉතා දක්ෂ බවද ගී ගැයීමට, ඕනෑම සංගීත භාණ්ඩයක් වැයීමට හා චිත්ර ඇදීමට සහජ හැකියාවක් තිබූ බවද අක්කා පසු කලක ඔහුට කීවේ ජාතීන් අතර විවාහයකින් උපන් පරම්පරාවක බැවින් ඒ දක්ෂකම් හා පෙනුම ඔහුට ලැබෙන්නට ඇති බව කියමිනි. ඊට අමතරව ඔහුගේ ඉන්දියානු ඥාතීන් කෝටිපතියන් බවද ලසන්තටද ඒ වත්කම්වලින් කොටසක් හිමි බවද ඇය කියූ විට ඔහුට හිතුණේ අම්මලා මේ මැණික් ගලට මොකට පයින් ගැසුවාද කියාය.
නමුත් ඒ වන විට ඔවුන් වෙන්වී අවුරුදු ගණනක් ගතව ගොසිනි. අක්කා සෑහෙන කලකට පසු අම්මාට විවාහ යෝජනා ගෙන ඒමට ඉඩ දුන්නත් ආ එවුන්ගේ ටයි ගැටයේ, ඉංග්රීසි උච්චාරණයේ සිට වැරදි කීමට ඇයට තිබිණි. සෑහෙන රූමත් කමක්ද වත්කම්ද උගත්කම්ද තිබුණත් අක්කා තිස් අටක් වන තුරුද අවිවාහකව සිටියේ ඔය ලෙස වසර ගණනක් ගතවූ පසුය.
———————–
හසංගා උදේ කාර්යාලයට ගියේත් තෝන්තුවෙනි. රෑ තිස්සේ ඇයට හරි නින්දක් නොලැබිණි. ඊයේ සිදුවූ දෙය තවමත් ලොමු දැහැගන්වයි. අද පාන්දර මුහුණ සෝදන්නට නාන කාමරයට ගියේද අම්මාට දොර ළග ඉන්නට කියාය.
ඇය කාර්යාලයට ගොඩ වන විට සේවකයන් කිසිවකු පැමිණ සිටියේ නැත.
අමුත්තන්ට වෙන්වූ ඇති ලොබියේ ඇති සෙටියේ ඉදගෙන සිටියේ තරුණයෙකි. දුරකථන ඇමතුමක සිටි ඔහු දෙස හසංගාට බැලුණේ ඔහු නැමී සිටි ආකාරයේ මොකද්දෝ හුරුවක් දැනුණු බැවිනි. නමුත් ඔහු තමන් කිසි දිනක දැක නැති කෙනෙකු බව වටහා ගත් ඇයට එක්වරම සිතුණේ යසන්තගේ යම් හැඩහුරුවක් ඔහුට ඇති බැවින් තමන්ට එසේ පෙනෙන්නට ඇති බවය. මහජන දිනයකුත් නොවන අද අමුත්තකු මෙතරම් පාන්දරින් පැමිණ ඇත්තේ ඇයිදැයි සිතමින් ඇය තම කුටිය වෙත යන්නට පඩිපෙළ නැග්ගාය.
දැන් යසන්ත නොදැක වසර දහයකටත් වඩා කල් ගතවී ඇතත් තවමත් බොහෝ වේලාවල ඇයට ඔහු සිහිවේ. ඇතැම් විට ඇය මාර්ගයේ පසු කර යන රියවල බලන්නේද ඔහු ඇත්දැයි කියාය. ඔහු හා බැදුණු වසර කිහිපයේදී කතා කළ සියළු දෙබස් ඇයට අද මෙන් සිහි කර ගත හැක්කේ ඒවා ඉන්පසු දහස් වාරයක් සිතින් ආවර්ජනය කෙරුණු නිසා විය හැක. ඒ දෙබස් අතරේ කට කොණකින් නගන ඔහුගේ අපුරු සිනහව, ඇය හඩන විට ඔහුගේ දෑසේ වූ වේදනාත්මක බැල්ම, අවසාන කාලයේ ඔහුගේ මුහුණේ ඇදී තිබූ අසරණ භාවය ආදියද ඒ දෙබස් අතර නාට්ය මෙන් රග දැක්වේ.
බොහෝ විට තමන්ට විවාහ වන්නට අවශ්ය වූයේ නැත්තේද ඒ නාට්ය කවි කතා අතර සිතින් කල් ගෙවන බැවින් යැයි ඇය සිතයි. යසන්තගෙන් පිරී ඇති ඒ සිත සමග තවකෙකු හා සරණ යෑම යනු තවත් පුද්ගලයකුට කරන අසාධාරණයකි.
——-
තවත් ටික වෙලාවකට පසු හසංගා ලිපි ගොනුවෙන් හිස එසවූයේ කුටියේ වීදුරු දොරට තට්ටු කරන හඩටය.
පහළ ලොබියේ සිටි අමුත්තා එතැන සිටි අතර හසංගා ඔහුට ඇතුළට එන ලෙස අතින් සන් කළාය. වැදගත් පෙනුමක් තිබුණත් ඔහුගේ පොඩිවූ කමිසයත් දැඩි වෙහෙසට පත් පෙනුමත් ඇයගේ සිතට ගෙන ආවේ කුකුසකි.
“ගුඩ් මෝර්නිං, වාඩිවෙන්න” ඇය තම මේසය ඉදිරිපිට වූ අසුන දක්වමින් ඔහුට කීවාය.
“මිස් හංසගා වීරවර්ණ නේද”
“ඔව්.”
“අක්කා, මම විරාජ්. මම යසන්ත අයියගේ මාමගේ පුතා”
තමන්ට ඔහු දුටු වනම හුරු බවක් දැනුණේ මන්දැයි හසංගාට ක්ෂණයෙන් වැටහිණි. දෙන්නාගේ මුහුණුවල සමානකම් බොහෝ තිබේ. ගල් ගැහී අමුත්තා දෙස බලා සිටියා මිස ඇය කිසිත් කීවේ නැත. කියනවා නම් කිව යුත්තේ “මල්ලි මේ දැනුත් එයාව මතක් කර කරයි මම හිටියේ” කියා පමණි.
“සොරි අක්කා, ඔෆිස් එකට ආවට මෙහෙම. මට නැන්දම්මා, යසන්ත අයියගේ අම්මා කිව්වේ අක්කට පණිවිඩේ කියන්න කියලා. සති තුනකට කලින් අයියා ඇක්සිඩන්ට් වෙලා අයි සී යූ හිටියේ ඊයෙ වෙනකම්. ඊයෙ රෑ”
විරාජ් කතාව නැවැත්වූයේ ඇගේ මුහුණ වෙනස් වන අයුරු දැකය. තමන් කිසි දිනක දැක නැති මේ රූමත් ගැහැණිය කාර්යාලයේ විලාප දෙන්නට පටන් ගත්තොත් කියා ඔහුට සිතුණු බැවිනි.
ඔහු නොකියා සිටි දේ තේරුම් ගත් ඇගේ දෑසින් කදුළු කඩා වැටෙන්නට පටන් ගත් බැවින් ඇය සාරි පොට ගෙන මුවට තබා ගත්තාය. ඇයට කතා කර ගත හැකි වූයේ ටික වේලාවකිනි.
“ඇයි මල්ලි මට කළින් කිව්වේ නැත්තේ ඇවිත්”
“අයියාට සිහිය තිබුණේ නෑ අක්කා සති තුනම. අපිටත් එහෙ මෙහේ දුවනවා ඇරෙන්න මුකුත් හිතන්න උනේ නෑ. අපි ඇරෙන්න වෙන කරන්න කෙනෙකුත් නෑනෙ. ඊයෙ උදේ ටික වෙලාවකට සිහිය ඇවිත් අක්කා ගැන ඇහුවා. එවලේ හොදට හිටියා. ඉරිදා නිසා මුකුත් කරන්න විදිහක් තිබුණේ නෑ. නැන්දම්මා කිව්වේ ගෙදරට යන්න එපා සදුදට අක්කාගේ ඔෆිස් එකට ගිහින් කියලා අක්කා එක්ක එන්න කියලා. අක්කා මෙතන වැඩ කියලා අයියා නැන්දම්මට කියලා තිබුණා. මම අද උදේ එන්න හිටියේ. එක පාරට ඊයෙ රෑ අමාරු උනේ අයියට. අපිට නොකිව්වට ඩොක්ටර්ස්ලා දැනගෙන ඉදලා තියෙනවා. එකොළහමාරට විතර තමයි.”
හඩමින් සිටි හසංගා විදුලි සැරයක් වැදුණා මෙන් නැගිට්ටේ ඒ වාක්යය ඇසුණු පසුය.
තමන්ට රෑ ඇසුණු කටහඩ ඇයට සිහිපත් වූයේද වැටහුණේද ඒ සමගය.
“හසා, මම යනවා හසා”
උපුටා ගැනීම: පවිත්රා අභයවර්ධන