Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වෙලාව පාන්දර දෙක හෝ තුන වන්නට ඇත. කාමරයේ මේස ලාම්පුව (table lamp) පමණක් දල්වා තිබිණි. එහි කහ පැහැති ආලෝකය කාමරයේ කොටසක පමණක් පැතිර තිබිණි. පරිසරය අර අඳින්නේ වැස්සකට බව ඈ දැන සිටියාය. ගස් කොළං අඹරවාගෙන සිහිල් සුළඟක් තරමක් වේගයෙන් හමා යයි, වියළි කොළ පාරේ ඇතිල්ලීගෙනම සුළඟට ගසාගෙන යන ශබ්දයට ඈ ප්‍රිය කළාය. නිවෙස අසළ ඇති කුඩා මඩුවේ ටකරම් සමඟද දඟකාර සුළඟ සෙල්ලමේ යෙදෙයි. ඈ පොරවනය යටින් කොට්ටයක් තුරුළු කරගත්තාය. කියවමින් සිටි පොත පසෙකට දැමූ ඈ තදින් ඇස් වසා ගත්තාය. නින්ද අහලකවත් නැත.

නින්දක් පෙනෙන මානයක නැති නිහඬතාව ඝෝෂා කරවන මේ යාමයේ සයුර රැළි නගන්නාක් මෙන් මතකයන් ද ඇගේ සිත් මායිමේ වැදී විසිරී යයි. ගෙවී ගිය වසර තුන හතරක මතක සිනමා පටයක් මෙන් ඇගේ දෑස් ඉදිරියේ දිවෙයි. තමා කෙතරම් නපුරු දැයි කියන්නට ඇයට වචන නැති විය. ඇය ඔහුව ඇසුරු කළේ සමීප මිතුරෙකු මෙනි. මිත්‍රත්ත්වයට එහා හැඟීමක් ඇයට තිබුණේ නැත. එහෙත් කල් යත්ම ඔහු තමා සෙවූ පුද්ගලයාම බව ඇයට තේරුම් යන්නට වැඩි කලක් ගත වූයේ නැත. කොටින්ම කිවහොත් ඒ තමාගෙ නිවුන් දැල්ල බව ඈ වටහා ගත්තාය. ඇයගේ හා ඔහුගේ සමානකම් මේ යැයි කිව නොහැකි තරම් විය. එතරම්ම ඔවුන් ගේ සිතුම් පැතුම් ගැළපිණි. පිරිමි ළමයෙකුව අංශු මාත්‍රයක් තරමටවත් මායිම් නොකරන, එතරම් අහංකාර තමා ඔහු ඉදිරියේ කුඩා දරුවකු මෙන් සුරතල් වූ අයුරු මතක් වෙද්දී ඇගේ සිත තුළ නැගෙන්නේ කෝපයකි. එහෙත් එවන් පෞර්ෂයක් හිමි මිනිසකු ළඟ තමා තුළ සැඟවුණු කුඩා දැරිය අනාවරණය වීම පුදුමයක් නොවේ යැයි ඇයට සිතිණි. ඇය වෙනත් පිරිමියකු තුළින් තම පියාව දුටුවේ නම් ඒ ඔහු තුළින්ම පමණි.

‘අද මට නින්ද යන්නෑ’ දිගු ඇමතුමක නිමාව දකින්නට ආසන්නව තිබියදී ඈ වරක් ඔහුට කී බව ඇයට මතකය.

‘ඉන්නකො එහෙනම්’ කිවූ ඔහු, ඇයට ඇසෙන්නට ‘සිකුරු ලියා’ ගීතයේ තාලයට අතිශය මිහිරි ලෙස උරුවම් බාන්නට විය. ඇගේ දෙනෙත් කඳුළින් පෙඟී ගියේ ඉබේටමය. අතීත මතක ගොන්නක ඈ ගිලී ගියාය. ඈ කුඩාම දැරියකව සිටි කාලයේ අප්පච්චී ඈව නිදි කරවන්නට ඒ ගීතයම උරුවම් බානු ඇයට මතකය.

‘ඇයි ඔයා ඒක විස්ල් කරේ??’

‘ඒයි, ඒයි… ඉස්සෙල්ලා කියන්නකො ඔයා අඬනවද?’

‘නෑ නෑ අනේ, කියන්නකො ඉතිං’

‘නෑ ඔයා අඬනවා, ඇයි මේ’

‘මගුලක් කතා නොකර කියනවද නැද්ද’ අහේතුකව ඔහුට කඩා පැන්න ආකාරය ඇයට තවමත් මතකය.

‘ඔයා දවසක් මට එව්වෙ ඔයාගෙ ලොක් ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්, මගේ ෆොටෝ එක දාලා තියෙන්නේ කියලා, එතකොට ඔය සිංදුව ප්ලේ වෙවී තිබුණෙ’

‘හ්ම්ම්..’ ඇය නිරුත්තර වූවාය. ඒ ටික කලකට පෙරය. මේ මිනිසා මෙතරම් සංවේදි වූයේ කෙසේදැයි ඇයට තේරුණේ නැත. ඔහු ඇයට එකතු කර දුන් සුවිසල් මතක පොත ඈ ඉදිරියේ දිග හැරෙද්දී ඇයට නැවතත් හැඬුම් එන්නට විය. තමා ඔහුව අතැර දැමුවේ කෙතරම් නොවැදගත් හේතුවකටදැයි ඇයට මතක් විය. ඉකියක් උගුරේ සිර වෙද්දී ඈ දත් දෙපෙළ තද කරගත්තාය.

‘ඌ ඔයාට ගැළපෙන්නෑ, ඊයා බලන්නකො හැටි විතරක්’ ඇගේ යෙහෙළියක් එසේ කියද්දී අනෙක් දෙදෙන ඊට උල්පන්දම් සැපයූහ.

‘ඔව් අනේ, ඔයා බෝනික්කෙක් වගේ, උගෙ හැටි විතරක්. ඌ මහ ගල් බිල්ලෙක් වගේ. අනික ඔයාට කොහොමටත් ඔයිට වැඩිය හොඳ අත්තක් අල්ලගන්න පුළුවන්’

‘මෙයාට කියලා වැඩක් නෑනෙ, උගෙ මොකක්ද ඔච්චර තියෙන විශේෂත්වෙ? ඔයිට වැඩිය කොච්චර පොෂ් හැන්ඩ්සම් කොල්ලො ඔයා පස්සෙ ආව ද?’

‘උං ඔක්කොටම හතර වටේට කෙල්ලො’ ඈ පැවසුවේ කෝපයෙනි.

‘අනේ දැන් මූට නැතුව ඇති’

‘නැතුව ඇති තමා, හැටි බලනවකො, බෝනික්කියක් වගේ කෙල්ලෙක් සෙට් උනාම ඉතිං අතාරී ද?’ යෙහෙළියන්ගේ සිනා හඬේ දෝංකාරය ඇයට තවමත් ඇසෙන්නාක් බඳුය. ඉන්පසු ඔවුන්ගේ කතා ඇසීමට ඇයට උවමනා වූයේ නැත. ඇගේ අභිමානය ඇයට සෑම දෙයකටම වඩා වැදගත් විය. ඔවුන් එවන කෙටි පණිවුඩයක් ගාණේම ඔහු ගැන වැරදි කියා තිබිණි. ඇයට ඔහුව දකින්නටවත් අවැසි නොවීය. ඈ හෙමින් සීරුවේ ඔහුව මඟ හරින්නට පටන් ගත් අතර හමු වීම කෙසේ වෙතත් කෙටි පණිවුඩයක් පවා යැවීම අත් හැරියාය. ඉන්පසු කාලයක්ම ඔහු ඇයව හමුවෙන්නට ආවද ඈ ඔහුව මඟහැරියාය. ඇය සමඟ සබැඳීමට ඔහු දැරූ සෑම උත්සහයක්ම ව්‍යර්ථ විය. ඉන්පසු කලක් කෙටි පණිවුඩ එවමින් සිටි ඔහු, දිනක් එකම එක කෙටිම කෙටි පණිවුඩයක් එවා තිබිණි.

‘Go and live your life’

ඒ පණිවුඩයට ඈ ප්‍රතිචාර දැක්වූයේ බැණුමකිනි. එයින් පසු ඔහුගෙන් ආරංචියක්වත් නොමැති විය. ඔහුට ඇයව සම්බන්ධ කරගත හැකි සියළු මාර්ග ඈ අවහිර කොට දැම්මාය. ඇගේ දුරකථන අංකය වෙනස් කළ ඈ සේවය කළ සමාගමෙන් ද ස්ථාන මාරුවක් ලබා ගත්තේ ඔහුව මඟ හැරීම සඳහාය. කල් ගතවත්ම ඇගේ යෙහෙළියන්ට ඇගේ බැබළීම, ඇගේ තත්ත්වය දරාගත නොහැකි විය. ඔවුන් වාෂ්ප වී ගියාක් මෙන් විය. ඈ තදින් සුසුමක් හෙළුවාය. ඉන්පසු ඈ කිසිවෙකු සමඟ සමීපව ආශ්‍රය කළේ නැත. අද ඔහු කොහෙද? ඈ දන්නේ නැත. කාගෙන් හෝ විමසන්නට හෝ සමාජ ජාලයකවත් පිරික්සා බලන්නට ඇගේ ආත්මාභිමානය ඇයට ඉඩ දුන්නේ නැත. ඈ දෑස් තදින් වසාගෙන කඳුළු වලට ඔහේ ගලා යන්නට සැලැස්වූවාය. ඇගේ සෙල්ෆෝනයට පණිවුඩයක් ආ බව හඟවමින් එය බීප් හඬ නැඟුවේ එවිටය. මැදි රැයේ ඈ කෙසේවත් සෙල්ෆෝනය භාවිතා නොකළත් කුමක් හෝ හේතුවකට එය මඟ හරින්නට ඇයට සිතුණේ නැත. කඳුළු පිසදාගත් ඇය සෙල්ෆෝනයේ තිරය පිරික්සුවාය. ලැබී තිබුණේ ඊමේල් පණිවුඩයකි. ලියුම් කවරයක් හැඩැති අයිකනය ක්ලික් කළ විට එය විවෘත විය.

‘මගෙත් එක්ක තාමත් තරහ ද?’

එහි සටහන්ව තිබිණි. ඇයට එහි අරුතක් තේරුණේ නැත. එහෙත් පණිවුඩයේ එවන්නාගේ ලිපිනය තීරුවේ ඇයගේ මතකයේ තවමත් නොමැකී තිබුණු ඔහුගේ ඊමේල් ලිපිනය දුටු විට ඇයට හුස්මක් ගන්නට පවා අමතකව ගියේය.

උපුටා ගැනීම: Hansi Wijekoon

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!