නිමිති (කෙටි කතාව) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සුමනදාස මුදලාලි පාරෙ මැද්දෙම කාර් එක හිටවලා ගිහින් ගේට්ටුව ඇරියෙ දොර පලු දෙකම දෙපැත්තට විසි වෙන්න. “අනේ පිට තැනක් නේද? තව පොඩ්ඩෙන් කැඩෙනවා ගේට්ටුව” සෝමාට ඉස්සරහ සීට් එකේ ඉඳන් කියවුණා. තදියම තමයි සේරටම මුල. කොයි එකටත් තදියම.
මිනිහෙක්ද සතෙක්ද බලන්නෑ ඔක්කෙ ගහගන්නවා දවසට දෙකට. නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනෝ කනෝ කිය කිය ඉන්නෙ. ජස්ටින්ට වතු කෙරුවාව ඔක්කොම බාර දෙද්දි සෝමා දෙතුන් විඩේ ඇහැව්වා.
“අපේ මහත්තයා සතියකට සැරයක් වත් ගියොත් හොදයි නේද?” කියලා.
“හහ් ඔච්චර දාසයා වගේ කරන එකා අවිස්වාසෙ. මෙතන හරි කරලා ගෙටම ගෙනත් පුදනකොට නම් හොදයි.” කියලා පුප්පගෙන පැන්නෙ. දැන් හොදයි තේරිච්චි තැන. ලස්ස ගානකට තට්ටු වෙලා.
ඔය තේ ඉඩම ගන්නකොටත් සෝමා කීවා. මහත්තයට යන්න පුලුවන් දුරකින් ගත්තා නම් හොද නේද? කියලා. අනික මුදලාලි වැවිල්ල හුරු කෙනෙකුත් නෙවෙයි. දන්න දා ඉදන් හැපුණේ ගල් වැලි එක්ක. ඒක කරනවා මිසක් නොදන්න ඒවට මේ හැටි සල්ලි යට කරන්නේ මොකටද?
“රත්තරන් වටින ඉඩම, මේක ගසලා ගියොත් ආයෙ මේ වගේ එකක් කපේට ලැබෙන්නෑ” කියලා බුරලා තමයි තදියමේ ගිහින් ගත්තෙ. ඒකත් ඔය ජස්ටින් නරියා තමයි කුලප්පු කරේ. ඌ යසට එතනිනුත් ගාණක් කඩාගෙන මේ මෝඩ වාහෙවත් ගොනාට අන්දගෙන හොද ගාණක් හම්බ කරගන්න ඇති මේ අවුරුදු දෙකට.
කොච්චරවත් පාලු හිටවන්න, සුද්ද කරන්න පෝර දාන්න කිය කිය සල්ලි ගැරුවා. නිකමට ගිහින් බැලුවේ නෑ. “පෑවිල්ල නිසා දළු අඩුයි, මේ කන්නෙ පෝර දාලා වැඩි කලක් නැති නිසා දළු අඩුයි” කිය කිය හිටියා. සෝමා කීප විඩක් ඇහුවා අක්කර ගාණකින් ඔච්චරද එන්නෙ කියලා.
පෙරේදා හවස වත්ත ළග කඩේ මුදලාලි තමයි කතා කළේ. ජස්ටින් දවස් ගාණකින් කෑම කන්න ආවෙ නෑ කියලා. මුදලාලි මහත්තයා ටෙලිෆෝන් එකට අරන් අරන් බැරිම තැන ඊළඟ දවසේ උදේම වත්තට ගියා. තනියම යන්න යද්දි සෝමා තමයි ලොකු පුතාව බලෙන්ම නග්ගලා යැව්වෙ. දැක්කදා ඉදන් ජස්ටින්ගේ හොර බැල්මයි චාටු කතාවයි හිතට අල්ලපු නැති නිසා සෝමා නම් වෙන්න ඇති දේ හිතාගෙනයි හිටියෙ.
හවස් වෙද්දි සුමනදාස මුදලාලි ආවෙ නයෙක් වගේ පිඹ පිඹ.
“කාළකන්නියා, කුස පොත්ත ඇලිලා ආවම කන්න බොන්න දීලා, රස්සාවක් හොයල දුන්න මගෙ අත හපා කාපු ගෙරියා. මේ පරයා වත්ත කැළෑ වැවෙන්න ඇරලා. පෝර කඳුලක් දාලා නෑ. තේ ගස් මං ගාණට උසයි. වත්තෙ පිටිපස්ස අලි යන්න බැරි කැළේ. මූ ඔක්කොම සල්ලි ටික ගසා කාලා පැනලා ගිහින්.” මුදලාලි දොර විට්ටමට අත් දෙක තියාගෙන හති ඇරියා.
ළගටම වෙලා හිටියට සෝමා කට හෙල්ලුවෙ නෑ. නවලිය පත්තරේ “හිමි පෙම පතා නොකළ යුතු කතා”නොවරදවා බලන නිසා සෝමා දන්නවා ඔය වගේ වෙලාවට කට පත්ත අදින්නේ නැතිව ඉන්න.
තව ටිකක් කෑ ගහන්න ඇරලා කුස්සියට ගිහින් කේතලේ ලිප තිබ්බා. හොදට කජු දාපු අලුවා එක්ක කහට කෝප්පෙ ගෙනාවමවත් අතට ගත්තේ නෑ.
“තේ නෙවෙයි මට දැන් වහ බොන්න වෙලා තියෙන්නේ. අර වත්තට යට කරපු සල්ලි වතුරෙ දැම්ම වගේනෙ. ආයෙ ගොඩයෑමක් නෑ”
“ආයෙ මහත්තයාට මොකද්ද නැති වුණේ. ඔය වත්ත ආයෙ සුද්ද කරලා පෝර ටිකක් දාලා ගන්න ටිකනේ. ඕක නැති කාලෙත් අපි කාලා ඇඳලා හිටියෙ නැතුවයැ”
—————–
නිමිති බලන තැනක් ගැන ආරංචිය ආවෙ තව දවස් දෙක තුනක් යද්දි.
“මට බාර් එකේ මාටින් කිව්වෙ. මාටින් ගිය ගමන් ඇහුවලු හාමිනේට තදට කොන්දෙ කැක්කුමක් නේද කියලා. මාටින් ගෙදර ඇවිත් බලද්දි හරියටම මායියා දර පලන්න ගිහින් කොන්ද ඇවිලිලාලු”
හරි වෙදෙක් වෙන්න ඇති. මේ සිරි ලංකාවේ ගෑණු කරන සුමේ හැටියට කාටද කොන්දෙ කැක්කුම් නැත්තෙ. කොහෙද යන හොරෙක් වෙන්න ඇති.
ආයෙ තව ගානකට තට්ටු කරගන්න යන බව තේරුණත් සෝමා කට පියන් හිටියෙ ගිහින් හිත හැදෙන දෙයක් වත් අහන් එයි කියලා. මේ දවසට දෙකට මුදලාලිගෙ මූණ යකෙක් දැක්කා වගේ. කළු ගැහිලා.පපුවෙ අමාරුවක්වත් හදාගනියිද කියලා සෝමා බයේ හිටියෙ.
——————————–
දැන් දෙන්නා ආවෙ ඒ කියපු තැනට. පැය ගාණක් වාහනේ එනකම් දෙන්නා කතාබහ. මුදලාලිගෙ හිත කලබල උනාම එහෙම ගමනක් එන්න සෝමා කැමති දෙන්න දෙමාල්ලන්නට ගෙදරදි නිස්කලංකෙ ඔහොම පැය ගාණක් ආත්මෙට කතා කරන්න වෙන්නේ නැති නිසා.
එක්කො ළමයෙක් ඇවිත් එල්ලෙයි, නැත්නම් වැඩකාරයෙක් මොකක් හරි අහයි, අඩු ගානෙ පන්සලේ ලොකු උන්නාන්සෙ හරි පණිවිඩයක් එවනවා පන්සල පැත්තෙ ඇවිත් යන්න කියලා.
කොටියාකුඹුර පැත්තෙ හොද පරණ තාලෙ ගෙයක්. කවුරුවත් නෑ වගේ. මුදලාලිට පණිවිඩේ කියපු කෙනානම් කිව්වේ උදේ හතරෙ ඉදන් පෝළිම කියලා. හැබැයි බලු බල්ලෙක් පේන්න නෑ.
මුදලාලි වටෙන් ගිහින් කතා කරද්දි ඔන්න ආව වයසක පහේ මනුස්සයෙක් ගේ පිටිපස්සෙ ඉදලා. සරම කැහපට ගහගෙන.
“ඇයි මේ කට්ටිය?”
“අපි මේ වෙද මහත්තයා මුණ ගැහෙන්න පොඩි කාරණේකට”
එ මනුස්සයා ටිකක් කල්පනා කළා.
“මහත්තේලා ඈත ඉදන්ද?”
මුදලාලි ගම කිව්ව.
“අප්ප මහ දුරක් නේ.” තවත් ටිකක් නළල රැළි කරන් කල්පනා කළා.
“මම මේ ටිකේ වැඩක් භාර ගත්තේ නෑ මහත්තයෝ මේ බේත් වගයක් හදනවා ඒකට පේවෙලා නිසා. හැබැයි මහත්තයාලා දුර ඉදන් ඇවිත් මට ආපහු යවන්න හිතෙන්නේ නැ. යමු ඉස්තෝප්පුවෙ ඉඳගෙන ඉමු. මම ඇඟපත හෝදගෙන එන්නම්”
——————–
සෝමා ඉස්තෝප්පුවෙ ඉඳගෙන හොදට වටපිට බැලුවා. හොදට නඩත්තු කරන ගේකුයි වත්තකුයි බව බැලූ බැල්මට පේනවා. තණකොළ ගහක් වත් වැවිලා නැති වැලි මිදුල. වටේට සේපාලිකා, ඇට්ටේරියා ගස්. පිටිපස්සට විහිදෙන වත්තෙ පොල්, ගම්මිරිස්, සාදික්කා තියෙන බව පේනවා.
වෙද මහත්තයා ගේ ඇතුළෙන් පිටට ඇවිත් ඉස්තෝප්පුවෙ පැත්තක තිබුණු කාමරේට ගියා.
කාමරේ ජනෙල් ඇරිලා මේසෙන් ඉදගත්තා.
“නැතිවුණ දේ ගැන බොහොම හිත අමාරුයි වගේ මේ ඇත්තට. දැන් කෝප වෙලා, දුක් වෙලා ඵල නෑ නෙව. දැන් කරන්න සුදුසු දේ කරනවා ඇරෙන්න”
වෙද මහත්තයා කීවෙ මුදලාලි කඩි ගාය වගේ පුටුවෙ වත් හරියට ඉඳගෙන නැති බව දැකලා වෙන්න ඇති.
“අනේ වෙද මහත්තයා, මං සහෝදරයෙකුට වගේ සැළකුව ගෝලයා. අක්කර දහයක තේ වත්තත් නැති කරලා, සල්ලිත් සැහෙන්න වංචා කරලා පැනලා ගිහින්. ඒ ගමේ පොඩි ළමයි දෙන්නෙක් ඉන්න ගෑනියෙකුත් පන්නගෙන ගිහින් තියෙන්නේ. දැන් ගමේ එවුන් ඒකටත් මගේ ඇඟට එන්නෙ. ඌ කොහෙද ඉන්නෙ කියලා බලාගන්න මේ.” ඒ මනුස්සයාගෙ කටටම උත්තරේ දුන්න හැටි. අනේ මේ මුදලාලි වගේ. සෝමා පැත්තක් ඉඳලා හිතුවා.
“මහත්තයෝ, සමහරු යන්නේ නරකට. ඒත් සමහරු යන්නේ හොඳට. මේ ගියේ මහත්තයගෙ හෙනහුරා කියලා හිතන්න. උන්දැ ආස්සරේට ආ දා ඉදලා වස්තුව නැති බංගස්තාන උනා, ගෙදර ඇත්තො එක්ක හිත අමනාප උනා, හිතේ වේදනාව ඇති උනා. බොරුද මම කියන්නේ. දැන් ගිය එකා ගැන හොයන්න එපා. මහත්තයා ඌව හොයාගන්නකොට ඔය සල්ලි ටිකත් නැති කරගෙන ඌ ඉන්නෙ. මහත්තයාට මම වස්තුව නැවත ගන්න බේතක් දෙන්නම්. එතකොට ඔය ගිය එකා වගේ නෙවෙයි සැරියුත් මුගලන් වගේ මහත්තයාට හිත ඇති යහපත් ඇත්තෝ හොයාගෙන ළඟට එයි.”
ඔය වගේ පැය බාගයක් කියන්න ඇති. උත්සාහවන්ත වෙන්න ඕන, මිනිහා සතා වෙන් කරලා අඳුරගන්න ඕන ඕව තමයි කිව්වේ.
ටිකකින් වෙද මහත්තයා ආයෙ නැගිටලා ගේ පිටිපස්සට ගියා. කාමරේ බොහොම පිළිවෙළයි. රාක්කෙක් වෙද පොත්, බණ පොත් තියලා. මේස රෙද්ද තනි සුදු. පැත්තක කබඩ් එකේ බෙහෙත් තෙල් බෝතල් පෝළිමට.
“බලන්නකො බලා හිටියා වගේ කීව හැටි” මුදලාලි හැරිලා අහනවා.
“හ්ම්” කිව්වට සෝමාට එච්චර හිත සතුටු නෑ.
වෙද මහත්තුරු, කපු මහත්තුරු ඒ වැඩ වලට හිත ධාරණේ කරගෙන ඉන්න නිසාද මන්දා අනිත් අය ළඟ නැති මොකද්දෝ සන්සුන්, බරසාර පෙනුමක් තියෙනවා. මේ වෙදාගෙ එහෙම එකක් පේන්නෙ නෑ. අපේ පොල් කඩන අප්පුහාමි මගුල් ගෙවල් වල යන්න නැෂනල් ඇඳලා ආව වගේ. ඇඳුම කඩා හැළෙනවා. පුටුවෙත් පස්ස යන්තම් තියාගෙන ඉඳගත්තෙ.
ලොකු ගානක් කඩාගන්න හැදුවොත් මුදලාලිවත් නැගිටට්වගෙන යන්න හිතාගෙන සෝමා සීරුවෙන් හිටියා.
මුදලාලිගෙ මූණ බැලුවම නම් ලක්සයක් දෙන්න කිව්වත් “අනේ හා” කියන බව සෝමා දන්නවා. අනේ අපොයි ඕන දේවදත්යෙක් විස්වාස කරන ඉක්මන. විසි අවුරුද්දක් දීග කන ගෑනි කියන එකක් තමා අහන්න බැරි.
ටිකකින් වෙද මහත්තයා ආව.
——————–
“අපේ පරිවාරෙ එකෙක්වත් අද නෑ නෙව. තේ කෝප්පයක් වත් වක්කරන්න විදියක් නෑ.”
“අනේ කමක් නෑ වෙද මහත්තයා.” හැරෙද්දියි ජෝඩුව දැක්කෙ වෙද මහත්තයා බරක් උස්සගෙන ඉන්න බව. සුදු පාට පොලිතින් කවරෙක වැලි පුරවලා.
“මහත්තයො මේ රුවන් වැලි සෑ මළුවෙන් ගෙනාව වැලි. දැන් මහත්තයා යන්න ඕනි අර වත්තට. සර්පයෙක් ඇවිද්දාට වඩා විසයි ගුණමකු මිනිහෙක් භූමියක ඇවිද්දම. මහත්තයා මේ වැලි මහත්තයාගෙ අතින්ම හැම තැනම ඉහින්න ඕන. මහත්තයෝ අල්ලක් වත් මගාරින්නෙ නැතුව ඉහින තරමට අනුහස.
මහත්තයාගේ පයින් භූමිය පෑගෙන තරමට ඵල දෙනවා. මහත්තයා මේ පූජාව කරලා මාස හයක් ගිය තැන එන්න. මෙහෙම යන මහත්තයා නෙවෙයි එදාට එන්නෙ. නෝන මහත්තයා සිහි තියාගන්න මම මේ කියපු වචනෙ.”
“වෙද මහත්තයා, මුදලාලි බොහොම ශ්රද්ධාවෙන් කවරෙ අතට අරන් මේසෙ උඩ තියා සාක්කුවෙන් ගත්තු පන්දාහක් බුලක් අතට තියලා වෙද මහත්තයාගෙ අතේ තිබ්බා.
එළියට බැස්සෙ කවරේ දෝතින්ම අරගෙන.
“මං දාහක් දෙන්නම් කියලා හිතාගෙන ගියේ. පන්දාහක් දුන්නා නෝනෙ”
සෝමා කට හෙල්ලුවෙ නෑ. ඕන ඒකක් දැං මක් කරන්නද? මුදලාලිගෙ හිත හොද වැඩියි. තමුන්ගේ අයටත් ඒහෙමයි. සෝමාගෙ නංගිලා මස්සිනාලා ආවත් මගුල් මේස දානවා. ඉස්සො මස් බිත්තර ඔක්කොම හදන්න ඕනි. දණගාන පොඩි උන්ටත් සල්ලි දෙනවා. කාටත් එහෙමයි.
මුදලාලි පළවෙනි දවසෙ වැලි ඉහින්න වත්තට ගියේ පොඩි පුතත් එක්ක. “සර්පයෝ වත් ඇති කියලා කවුරු හරි එක්ක ඇවිත් සුද්ද කරමු කියන්න අප්පුච්චිට.” සෝමා යන්න කළින් පුතාට කටු කුටුවෙන් කිව්වා.
දෙන්නා ආවෙ රෑ බතට. හෙම්බත් වෙලා.
“ඒකෙ අඩිය ගහන්න බෑ නෝනෙ. මං ගමේ දෙතුන් දෙනෙක් කතා කරගත්තා හෙට සුද්ද කරලා දාන්න. සුද්ද කළාම මට ගිහින් බැරියැ වැලි ටික ඉහළ එන්න.
“වෙද මහත්තයා කිව්ව නේද අපේ මහත්තයාගෙ පයට පෑගෙන තරමට ඵලදාව කියලා. ඒ කියන්න ඇත්තෙ මොකක් හරි හේතුවකටනේ. දුව මේ ටිකේ ගෙදර නිසා මං කඩේට යන්නං. මහත්තයා මේ ටිකේ ඔය වැඩේ කරන්න.”
මුදලාලිගේ වැඩේ ඉවර උනේ සතියකින්.
“දැං යන්තං පිළිවෙළයි වත්ත”
“එහෙනම් වැස්සත් ළඟ එකේ පෝර ටිකක් දැම්මොත් මොකද?”
“ලොකු ගාණක් හිර කරන්න වෙනවා නෝනෙ. පාලු හිටවන්නත් තියෙනවා සෑහෙන්න. ගෑණු ටිකකට එන්න කිව්වා පැල ටික නම් කප්පාදු කරගන්න.”
“සල්ලි නං මොකක් හරි කරගන්න බැරියැ. මං ලොකු නංගිට කිව්වා අපිටත් කරදරයක් උනා, අර අතමාරුවට ගෙනිච්ච ටික ලැබුණොත් හොදයි කියලා. දැන් සමීර පුතත් පුහුණුවේ නිසා කරදරයක් නෑනෙ”
“ඇයි එහෙම කිව්වෙ. මං ඒක ගන්න හිතාගෙන නෙවෙයිනෙ දුන්නෙ. ”
“නංගි මුකුත් හිතන්නෙ නෑ. මහත්තයාට පිං දුන්නා අසරණ වෙච්චි වෙලේ උදව් කළාට. සමීර පුතත් කිය කියමලු හිටියේ මහප්පගෙන් ගත්තු ණය පියවන්න ඔන කියලා. සඳුදා ගෙනත් දෙයි.
———————————-
පාලු හිටවන්න, පෝර දාන්න ගියාම මුදලාලි නැතුව ගේත් එක්ක පාලු උනාට සෝමා කැමතියි. සෝමා කඩේ ඉද්දි ණයට, යාලු කමට ඉල්ලන්න එන්නෙ නෑ. නැත්නං ලබන අවුරුද්දෙ හදන්න හිතාගෙන ඉන්න ගෙටත් වැලි අරන් යන්න මතක් වෙනවා මුදලාලි කඩේ ඉස්සරහ වැලි ගෙනත් දැම්ම දවසට. මැටල්, බ්ලොක් ගල්, සිමෙන්ති කෝකටත් එහෙමයි.
“මුදලාලි එක්ක වගේ ලේසි නෑ නෝන ආවම”
ගෝලයොත් කියන බව සෝමා දන්නවා. ඒත් මුදලාලි හිටියම මදැයි උන්ව හුරතල් කරන්න. සෝමා ඉන්න දාට ආදායම වැඩි නිසා මුදලාලි කියන්නේ අපේ නෝනෙගෙ ලැබීම කියල.
“ලැබීම නෙවෙයි තද කම” කියලා සෝමා කට හොල්ලන්නේ නෑ. සතේට ගණං හිලව් ලියලා දෙනවා හවසට.
————————-
“රත්තරන් වගේ පස නෝනෙ. කප්පාදු කරපු ගස් ටිකේ දලු දානවා බලන්න ආසයි. පෝර දැම්ම දාම වැහි ඇල්ලකුත් ගියා අපේ වෙලාවට.”
රෑ ඇදේ හාන්සි වෙලා පපුවෙ තියෙන සුරේ අතගගා මුදලාලි කියන්නේ හැබෑ ආසාවෙන්. සෝමා ගහ කොළ වලට ආසා උනාට මුදලාලි එච්චර ඒ කර්මාන්තෙට කැමති උනේ නෑ. ඒත් ගහක් වැලක් ළග ටිකක් හිටියම ඒ ආසාව ඇතිවෙන බව සෝමා දන්නවා. දැන් හරි.
සිංහල අවුරුද්ද ආවෙ සෝමායි මුදලාලියි වෙද මහත්තයා හම්බ වෙන්න ගිහින් මාස හතකින් විතර.
—————————————
“මේ සෙනසුරාදා යමු නෝනෙ වෙද මහත්තයා හම්බවෙන්න.”
තේ ෆැක්ටරියෙන් ඉල්ල ගත්තු තේ කොළ පැකට් පෙට්ටියක් පුරවලා. කෙසෙල් කැණක්. වී ගෝනියක්. සිල්ලර තුනපහ මල්ලක්. ඒ එක්ක මුදලාලි ලියුම් කවරෙකුත් සාක්කුවේ දාගන්නවා සෝමා බලාගෙන. කළින්දා හවස බැංකු ගියෙ නැති නිසා සෝමා දන්නවා එදා හාර්ඩ්වෙයාර් එකේ ලාභෙ එහෙමම කවරෙ ඇති කියලා.
කීය දුන්නත් පාඩු නෑ ඇත්තට ඒ මනුස්සයට. තේ වත්ත රත්තරන් වගේ දැන්. දළු ගානත් වැඩි වෙච්ච නිසා මුදලාලිට නොහිතපු ලාභයක් උනේ.
මුදලාලි වැලි ටිකක් තඹ මුට්ටියකට දාලා හාර්ඩ්වෙයාර් එකේ බුදු පිළිමෙ ළඟ තිබ්බා. එදා ඉඳන් උතුරනව. හාර්ඩ්වෙයාර් එකට අල්ලපු ඉඩම ගන්න හිතකවත් තිබුණෙ නෑ. බිස්නස් වැඩි වෙද්දි ගල් වැලි දාන්න තැනක් නැතුව මුදලාලි හොය හොය හිටියේ ටවුමට ටිකක් ඈත තැනක්. පාලම් කොන්ත්රාත්තුවට ගල් වැලි දෙන්න ලැබුණ නිසා ඒක අරන් දාගත්තට පාඩු නෑ. අවුරුදු දෙක තුනක් යන වැඩක්නෙ.
අල්ලපු ඉඩම හම්බෙයි කියලා කීයටවත් හිතුවෙ නැත්තෙ ඒකෙ අයිතිකාරයත් ගං කාරයෙක් නිසා. ගම දාලා යයි කියලා හිතපුවත් නැති වෙලාවක හදිසියේ පුතාට රට යන්න උනා කියලා මුදලාලිගෙන් ඉඩම ගන්නවද ඇහුවෙ. හදිස්සිය නිසා ලොකු ලාභයක් උනත් දෙපැත්තම හිටියේ හිත හොඳින්. පොඩි ණයක් ගන්න උනත් බය නැතිව ඉඩම ගත්තෙ තේ වත්තෙ ලාභෙන්.
ඔප්පු අත්සන් කරපු දා ඉදන් මුදලාලිට යන්න හදිස්සිය. මුදලාලි එහෙමයි ගුණේ මතක තියෙනවා කාගෙ උනත්. ඔසරිය පටලවන ගමන් සෝමා හිතුවෙ එහෙම. මොක උනත් අන්තිමට හරියන්නේ ඒක වෙන්න ඇති. රත්තරන් හිතක්නෙ.
—————————–
දෙන්නා දෙමාල්ලො ගිහින් වෙද ගෙදර නවත්තද්දි එදාට වඩා මහ සෙනඟ. එදා ආව තැනද හිතන්න බෑ. මිදුලෙ මිනිස්සු සූ ගාලා. කොල්ලෙක් ගේට්ටුව ළග ඉදන් අංක දෙනවා. මුදලාලි අංකයක් අරන් ආපහු හැරිලා ආව.
“නෝනෙ අපි තේ එහෙම බීලා පරක්කු වෙලා එමු. ආව එකේ ටිකක් කතා කරලා මේවා දීල යන්නත් එපැයි.”
දෙන්නා කොටියාකුඹුරෙන් තේ බීලා, අරන්දර ඉන්න සෝමාගෙ ඈත නෑයෙකුත් බලලා ආවෙ දවල් වෙලා. අංකෙ පෙන්නලා ටිකකින් ඇතුළට ගියා.
වෙද මහත්තයා වෙනුවට මේසෙ ඉඳගෙන හිටපු හොඳ ඇඟපත තියන සුදු මනුස්සයෙක් ඔලුව ඉස්සුවා.
“වෙද මහත්තයා?”
“මම තමයි. වාඩි වෙන්න”
මුදලාලියි සෝමායි වාඩි නොවී එකෙළ මෙකෙළ උනා.
“ඇයි?”
“මහත්තයා අපි ටික කාලෙකට කළින් ආව නිමිති අහන්න. මේ වෙද මහත්තයා නෙවෙයිනේ හම්බුණේ?”
“වෙන කවුද මහත්තයෝ. මේ අහළක වත් නෑ වෙදෙක් මං ඇර. පාරවත් වැරදුණාද?
“නෑ මහත්තයා. මෙහෙටමයි ආවෙ අපි.”
“පහුගිය ජූනි මාසෙ නේද?” සෝමාත් එකතු කළා. ජස්ටියා ගියේ පොසොන් දානෙන් පස්සෙ සතියෙ නිසා සෝමාට ඒක හොඳට මතකයි.
“ජූනි මාසෙ.?” වෙද මහත්තයාගෙ ඇස් උඩ ගියා.
“මහත්තයො ජුනි මාසෙ මං රටේ හිටියෙත් නෑ. අපේ දූ ඉන්නෙ ඕස්ට්රේලියාවෙ මං ඔක්කොම වැඩ නවත්තල තුන් මාසෙකට නෝනත් එක්ක එහෙ ගියා දූගෙ වදෙන් බේරෙන්න බැරුව.”
සෝමායි මුදලාලියි බිරාන්ත උනා.
“අනේ මහත්තයො අපි ඇවිත් කතා කරලා නිමිති අහගෙන ගියා. ටක්කෙට හරිගිය නිසා පඬුරු අරන් ආවෙ මේ වෙද මහත්තයා මුණ ගැහිල යන්න.”
“බලමු සිරිදාසට කතා කරලා මොකද්ද මේ කියලා.” සිරිදාස, වෙද මහත්තයා කෑ ගැහුවේ ජනේලෙන් එබිලා. “අපේ ඩ්රැයිවර්. මිනිහව ‌ගෙදර මුරට තියලා තමයි අපි ගියේ.”
ටිකකින් දොරෙන් ආවෙ සිරිදාස. මුදලාලිටයි සෝමටයි නිමිති කියපු වෙදා. හැබැයි අද සරම කැහැපට ගහලා බොහොම බයාදු ලීලාවෙන්.
——————————-
“වෙද මහත්තයා” කියාගෙන ආව සිරිදාස හිටගෙන හිටිය ජෝඩුව දැකලා ගැස්සුනා.
සෝමයි මුදලාලියි මූණෙන් මූණ බලාගත්තු විදිහට වෙද මහත්තයාට තේරෙන්න ඇති උන දේ.
“ආ උඹද මේ මං නැති කාලෙ වෙදකං කරපු වෙදා. හනේ යකෝ. මට ඒත් කීප දෙනෙක්ම කීවා මං නැති කාලෙත් ආව වාහන පෙළක් දාට මිදුලෙ පැයක් විතර නවත්තලා තිබ්බ කියල. ඒත් තොට ඔච්චර හරියක් කරන්න පුලුවන් කියලා මං දැනං උන්නේ නෑනෙ. අපරාදෙ තව හය මාසයක් ඉදලා එන්න තිබුණා තොට මේ කෙරුවාව පුලුවන් කියලා මට යන්න කළිං කීව නං.” වෙද මහත්තයාගේ සුදු මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා. සිරිදාස හිටියේ ලැජ්ජාවෙ ඉහිං කණිං බේරෙන විදිහට.
“ නෑ අපේ වෙද මහත්තයා. අර දුර ඉඳන් ආව හින්දා හරවල යවන්නත් මොකද්ද වගේ නිසා.”
“එහෙම කියලා බේගල් කියලා මිනිස්සු මුලා කරලා යැව්වම හරියනවද නරියො. මට නේද ඒකෙන් අවනම්බුව”
“නෑ වෙද මහත්තයා.” ඒ පාර කිව්වේ මුදලාලි. “මේ ඇත්තා කිව්ව විදිහට කරලා මගෙ වත්ත හරියට සරු උනා. හාර්ඩ්වෙයාර් එකටත් නොසෑහෙන්න බිස්නස් ආව. අපි මේ ඒක කියලා යන්නයි ආවෙ. ඇත්තටම එදා මං තරහෙන් ආවෙ. මේ ඇත්තා කියපු දේවල් වලින් මගෙ හිතත් හැදුණා. ගිහින් වත්තත් හදාගත්තා. අර රුවන්වැලි සෑයෙන් ගෙනාව කිව්ව වැලි ඉහලා මගේ වත්ත බලා ඉද්දි දළු දැම්මා.”
“රුවන්වැලි සෑය? ආ අර පහළ මඩුව හදන්න ගෙනල්ල දාපු වැලිද තෝ මේ මහත්තුරුන්ට දුන්නෙ?”
මුදලාලිගෙ කට ඇරුණා. පැයට විතර පස්සෙ දෙන්නා එළියට බැස්සෙ ගෙනාව හරුබස්ස ඔක්කොම වෙද මහත්තයාගෙ ඉස්තෝප්පුවෙ තියලා. එපා කියද්දි පඩුරු කවරෙත් මේසෙ උඩ තියලා.
වෙද මහත්තයා තමන්ගෙ සේවකයා කරපු අලුගුත්තේරු වැඩේට සමාව අරගෙන දෙන්නගෙ අත් බැලුවා. නාඩි බැලුවා. උපදෙස් දුන්නා. හැබැයි සෝමගෙවත් මුදලාලිගෙවත් හිතට ඒවා එකක්වත් ගියේ නෑ.
තමන් අච්චර රැවටුණාද? ඒ කියපුව ඔක්කොම බොරුද? වෙද මහත්තයා කියන කරන ඒවා කාලයක් අහන් ඉන්න කෙනෙකුට ඒවා ඒ විදිහටම කියන්න පුලුවන්නෙ. තමන් අනුහස් කියලා අරන් ගිහින් පුද පූජා කරේ නිකම්ම වැලි ගොඩකටද? එතකොට කවදාවත් නැති විදිහට හරි ගියේ කොහොමද?
—————————————————————————-
කතාවක් නැතිව ගිය මුදලාලි වෙද ගෙදර පහු කරලා ආව සිල්ලර කඩයක් ළඟ නවත්තලා බැහැලා ගියා. සෝමා බැස්සෙ වත් නැත්තෙ තෝන්තුවට. අනේ මුදලාලි ශ්රද්ධාවෙන් ගිහින් අර වැලි ඉහපු හැටි. ඒ ටිකේ ගෙදර පිළී දෙයක් වත් ඉව්වෙ නෑ.
ටිකකින් මුදලාලි එළියට ආවා. කඩේ ගෝලයා උස්සන් ආව බඩු ගෝනිය ඩිකියට දැම්මා. මුදලාලි නැග්ගෙ අතේ තිබුණ ලියුම් කවරෙකට සල්ලි දාන ගමන්.
“ඇයි මහත්තයා?”
“මං කඩෙන් අහගත්තා සිරිදාසගේ ගෙදර. මේ ටික එහෙට දීලා යං නෝනෙ. මොක උනත් රටක් වටින දෙයක් වෙලාවෙ හැටියට මට කිව්වෙ. එදා වෙද මහත්තයා නෑ කියලා අපිට හරවලා යැව්ව නං මං අරූ හොයන්න ගිහින් තව ටිකක් නැති වෙලා මේ වෙද්දි. මං අර වැලි මුට්ටිය විසි කරන්නෙත් නෑ.”

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!