“නින්ද යන්නේ නැති හැටි…” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එක දවසක නිදිමත කොයිතරම් තිබ්බත් ඇස් පියවෙන්නේ නැති තැන මං ඇඳෙන් බැස්සා. බලද්දී සාලේත් ලයිට්ස් ඔන්. වෙලාව පාන්දර දෙකට විතර ඇති. මේ වෙලාවේ කවුද ?
දොර ඇරන් එලියට ආවම තමයි දැක්කේ තාත්තා ඇහැරලා.
“නින්ද යන්නෑද ? “
මං මුකුත්ම නොකියා ඇවිත් තාත්තාගේ ඉස්සරහින් තිබ්බ පුටුවේ වාඩි වෙද්දී තාත්තා ඇහුවා.
“නෑනේ අප්පා. තාත්තා ඇයි ඇහැරන් ?”
“නිදිමත නැති නිසානේ”
“ඒක ඉතින් මාත් දන්නෝ. දැන් මොකූ නිදිමත නැත්තේ ? කෝපී එකක් හදන්නද ?”
මටත් කෝපී බීමේ හිතක් පහල උන නිසා මං ඇහුවා.
“දවල් නිදි නේ. හදලා දෙනවා නම් කෝපි එකක් බොමු. අම්මව ඇහැරවන්න බැරි නිසා මාත් මේ හිටියේ”
“ම්ම් මං හදන් එන්නම්”
මං කෝපී හදන් එද්දි තාත්තා එලියේ පුටුවෙන් ඉඳගෙන. පෝය පහුවෙලා වැඩි දවසක් නැති නිසා හඳ එලිය ලස්සනට දිලිසුනා.
“හඳ ලස්සනයි නේ ද තාත්ති ?”
අහස දිහා බලන් ඉන්න ගමන් ඇහුවේ ඇත්තටම මට කම්මැලී නිසයි.
“ඉස්සරත් ඔයාට මේ වෙලාවට නින්ද යන්නෑ”
අහපු දේට හාත්පසින්ම වෙනස් උත්තරයක් ලැබුණේ.
“ම්ම්ම්”
“චූටී කාලේ ඔයාව නිදිකරවන්න අම්මා මාර ගේමක් දෙන්නේ. මං ගෙදර ඉන්න දවසට මං තමයි ඉතින් කට්ට කන්නේ. මට හම්බෙන්නේ හොඳම දවස්”
“හොඳම දවස් කිව්වේ ?”
“බෙහෙත් විදපු දවස් එහෙම. එළිවෙනකල් එක විදිහට ඇහැරලා”
“ඉතින්”
“ඉතින් කියන්නේ එක විනාඩියකට බිම තියන්න දෙන්නෑ. මුලු රෑම කකුල් දෙකේ තියන් කවි කියනවා”
“අනේ”
මට ඇත්තටම දුක හිතුනා. අපිට නොදැනුනාට අපි වෙනුවෙන් අම්මා තාත්තා කරන්නේ සුලු කැපකිරීමක් නෙවෙයි.
“මොන තරම් කවි කිව්වත් ඔයා නිදියන්නේ නෑ”
“ඉතින්…”
කවදාවත්ම නැතුව තාත්තා දිගට කතා කරද්දී මං හූමිටි තිබ්බා.
“හැබැයි සින්දු කිව්වාම නිදියනවා”
“ඇත්තටමද ?”
“ඔව් ඔයා හම්බවෙන්න ඉද්දිත් මං අම්මට අහන්න සින්දු දාලා දුන්නා. ඔයා ඉපදුනාට පස්සෙත් ඒ සින්දු වලට නැළවුනා”
“මොනාද තාත්ති ඒ සින්දු ?”
“මං ඔයාට වැඩියෙන්ම කිව්වේ නන්දාමාලනීගේ ‘චන්ද්ර මඩුලු යට සුරංගනාවන් දූ සනසන්නට ගීත ගයනවලූ’ සින්දුව”
“ඒක ලස්සනයි”
“ඔව් අම්මයි මමයි වගේම ඔයත් ඒ කාලේ ඉඳන්ම ඒකට ආසයි”
“ඕ මං ඒකට ආසයි දැනුත්”
“මොන සුරංගනාවෝ හිටියත් දරුවන්ගේ ලෝකේ හදන්නේ අම්මා තාත්තා කියන එක ඒකේ ලස්සනට කියනවා”
“ම්ම්ම්ම්….”
“දැන් යමු නිදියන්න. කෝපී බීලත් ඉවරයි නේ”
තාත්ති කෝප්පේ මගේ අතට දෙන ගමන්ම ගෙට යන්න නැගිට්ටේ මට හිතන්න සෑහෙන්න දේවල් ඉතුරු කරලා.
කෝප්පේ හෝදලා ඇඳට ආවත් ආයෙම නින්ද නේන තැන මං අර සින්දුව අහන්න ගත්තා.
චන්ද්ර මඩුලු යට සුරංගනාවන්
දූ සනසන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ
රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමි දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමි කෙළෙසද මෙහි එන්නේ
කිරි මුට්ටිය නූඹෙ ගඟේ ගියාලු
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ
දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරෙගන බිල්ලෙක් එනවලු
වීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ
ගායනය හා සංගීතය – නන්දා මාලිනි
පද රචනය – මහින්ද අල්ගම
දුවෙක් නළවන්න අම්මට කියන්න පුළුවන් ලස්සනම සින්දුව මේක වෙන්න ඕන.
නන්දාමාලනියගේ ලයාන්විත හඬට මේ වචන මුසු වෙනකොට එච්චර වෙලා එහේ මෙහේ දුවපු හිත සැනසුනා.
ඇත්තටම මේක ලිව්වේ ඒ සින්දුව ගැන දැනුන දේ කියන්න. මේ සින්දුව අහලා නැත්නම් එකම එක පාරක් හරි මං කියනවට අහලා බලන්න.
වචන විඳින ගමන් සින්දුව අහන්න.
දුවෙක් සහ අම්මෙක් කියන්නේ හරි ලස්සන බැඳීමක්. මම ඒ බැඳීම උපරිම විඳින කෙනෙක්. ඒ බැඳීමේ අත්තිවාරම වැටෙන්න මේ සින්දුවත් උදව් වෙන්නැති කියලා මට හිතෙනවා.
මේක කියවන ඔයාව නලවන්න අම්මා මේ සින්දුව නොකිව්වට ඔයාව නැලෙව්වෙත් අම්මා එහෙම නැත්නම් තාත්තා.
එහෙම නැතුව සුරංගනාවියෝ නෙවෙයි.
ඉතින් සුරංගනාලෝක වල අතරමං වෙන්න කලින් එක පාරක් මතක් කරන්න ඔයාව නලවන්න ජීවිතේ කැප කරපු මිනිස්සු ජීවත් වෙනවා කියලා. එතකොට වරදක් කරන්න හිතෙන එකක් නෑ.
මං ආසම සින්දුව ඔයත් ආසම සින්දුවක් වෙයි කියලා මට විස්වාසයි එකම එක පාරක් හරි ඇහුවොත් ඉතින් අහන්න මට වගේම දැනෙනවද බලන්න.
 උපුටා ගැනීම:   -තාරා-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!