නින්දයි මමයි… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නින්ද කියන්නෙ මටනම් ආත්මීය බැඳීමක්… උදේ කියෙව්වනෙ බස් එකේදි කටත් ඇරං අතත් බදන් නිදාගත්තු කතාව..
මේකත් නින්ද හින්දා වෙච්ච අලකලංචියක්…. නිදාගන්න ගියාම මට තැනක් නොතැනක් නැ. දෙයියනේ කියලා ඕනම තැනක සැපපහසුවට නින්ද යනවා. ඒක බස් එකේද කෝච්චියෙද බයික් එකේද නැත්තන් පුටුවක් උඩද ඇදේද අදාලම නැ.
තැන කෝක වෙතත් සැපට නින්ද යනවා. කොටින්ම කියනවනම් මට වතුරෙදි උනත් නිදාගන්න පුළුවන් අසීමිත හැකියාවක් තියෙනවා.
පාඩම් කරනවයි කියලා ටේබල් එකඋඩ හතරගාතෙ දාලා නිදාගනිද්දි අන්තිමේදි නැන්දා මට නිදාගන්න මේසෙ යටින් වතුර බේසමකුත් තියලා දුන්නා කකුල් ඕකට ඔබන් පාඩම් කරපිය කියලා..
කකුල වතුරෙ. මම මේසේ. පොත කැලේ. හොදට නිදි..
ඇඳේ නිදාගත්තත් රෑට නිදන්නෙ නැගෙනහිරට ඔළුව දාලද මම උදේට නැගිටින්නෙ වයඹ ඊසාන ගිනිකොන හතරකොන මාරුවෙලා වට දෙක තමා තුනක් ඇද වටේම කැරකිලා තමා..
කොටින්ම කියනවනම් රෑට ඇඳේ නිදාගත්තු මම උදේට බිමින් නැගිටින අවස්ථාද නැතුවා නෙවෙයි.
ඒක නිසා දැන් නැන්දා මට බිමට මෙට්ටයක් දාලා දීලා තියෙන්නෙ නිදාගන්න. මොකද ඇදෙන් පතෝරියන් වෙලා උඹව උස්සන් ගොඩ වෙද්දු ගාවට දුවන්න බෑ කියලා.
ඒ තරම් නින්දයි මායි ගජ යාළුවෝ.
නින්දෙ විස්තරෙ ඕක වෙද්දි මේ සිද්දිය උනේ ⁣2013දි. ඒ කිව්වෙ අවුරුද්දෙ ජනවාරි මුල වගේ. මම එතකොට නවලෝකේ වැඩ කලේ.
උදේ යද්දි කෝච්චියෙ හිටන් නිදාගන්න මම හවස පහයි ගානෙ රඹුක්කනේ නැග්ගම සීට්එකේ නිදාගන්නවා.
මගෙ නින්ද ගැන දන්න නිසාම මගෙ යාළුවා අනූ නිදිමතක් ආවත් ඇහැ පියවන්නැ.
පහයි ගානෙ රඹුක්කන මරදානෙ නැවැත්තුවම ආයෙ නවත්තන්නෙ වේයන්ගොඩ. ඊට පස්සෙ මීරිගම. එදා මගෙ වෙලාවට කලාවට මගෙ යාළුවා ඇවිත් නැ.
යාළුවා නෑ කියලා දන්න නිසාම යාළු වෙලා හිටපු කොල්ලා කිව්වෙම නිදාගන්න නම් එපා උඹ රඹුක්කනටම යයි කියලා. මාත් එක්ක කතා කර කර යනවා කියද්දිත් මං ඇහෙන්නැ කියලා කට් කරලා දාලා කොටන්න ගත්තා. මැසේජ් කෙ⁣ටිල්ල පැත්තක දාලා කොල්ලා කෙසේ වෙතත් මට වැදගත් උනේ නින්ද. කෝච්චිය අද්දද්දිම මට බාගෙට නින්ද යාගෙන එනවා.
නිදාගන්නැතුව ඉන්න ට්රයි කලත් මට නින්ද ගියා මරදාන පහුවෙද්දිම.
ශීට් එකේ කෙලවරක වාඩි වෙලා ජනේලෙට ඔළුව තියන් හමන සුළඟට වාරු වෙවීසැප නින්දක මම.
ඒ අස්සෙ මං මල්වතු වටේ ගඟ අද්දර මුහුදු වෙරලේ ඔය අස්සක් මුල්ලක් නෑරම හීනෙන් ගිහින්.
හිතන් හිටියේ ගෙදර කියලා. ආයෙ මොකද නින්ද ගියාම ඔටෝ ඇරෙන මගෙ කටත් ඇරගෙනම බලිය ව⁣ගෙ නිදි මම. ගම්පහ හරියෙදි ඇ⁣හැරෙන්නම් කියලා හිතන් නිදාගත්තේ. සෙන්සර් තියන් නිදාගත්තත් වැඩක් උන්නැ.
විනාඩි තිස්පහකින් වගේ වේයන්ගොඩට සාමාන්යයෙන් කෝච්චිය එනවා. ඒක නිසා මං එලාර්ම් එකත් කෝකටත් කියලා තිබ්බා. කරුමෙක මහත නිදිමත කොච්චරක්නම් ප්රබලයිද කියනවනම් මං AM PM පටලන් තියලා. ඒක දන්නෙත් පහුවදා උදේ එලාර්ම් වදිද්දි.
ඉතින් තද නින්දෙ හිටපු මට හීනෙන් වගේ ඇහෙනවා.
මේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි. තුන් වෙනි වේදිකාවට පැමිණි දුම්රිය ගගා කියවනවා වගෙ ලාවට නින්ද අස්සෙන් ඇහෙනවා. මොන ලෝකෙ පෙරලුනත් ඇස් ඇරගන්න බැරි තරමට සැප නින්දක හිටපු මාව ගැස්සිලා ඇහැරුනේ කෝච්චි හූ තියන් ආයෙ අද්දද්දි.
දඩබඩ ගාලා නැගිට්ටා මම. ඒ වෙද්දිත් පරක්කු වැඩියි මං. මං ලග වාඩි වෙලා හිටපු අංකලුත් බය වෙලා. කොන්ඩෙ අවුස්සන් බූත වෙලා වගේ ජනේලෙන් එළිය බලන් ලමයා නැති වෙච්ච පටාචාර වගෙ බයේ ඉන්න මං දිහා බලපු අංකල් මට කතා කලා.
මොකද ළමයො උනේ කියද්දි අනේ අංකල් මං වේයන්ගොඩින් බහිනවනේ කෝච්චිය යනවනෙ කිව්වෙ මූනත් බෙරි කරන් මිනිහා මැරිච්ච ගෑනි වගේ.
මං හිතුවා ⁣ඔය ලමයා නිදන් උන්නු තාලෙට රඹුක්කනින් බහිනවා ඇත්තෙ කියලා අංකල් නෝන්ඩියට කියපි. රවන්න ඕනි උනත් රවාගන්න බැරිවෙද්දි ඔටුවා නැතිවෙච්ච සුල්තාන් වගේ බෑග් ගෙඩියත් පොදි ගහන් ආයෙ වාඩි උනා මං.
” මීරිගමින් බහින්න ළමයො. ඔය ළමයගෙ වෙලාව හොද උනොත් කොළඹ එක්ස්ප්රස් එකක් තියෙනවා මේ ටයිම් එකට. ඒකට නැගගන්න. හැබැයි ආයෙ නිදාගන්න එපා ඔය ලමයට ආයෙ කොළඹටම යන්න වෙයි”
ඒත් අහෝ දුකකි ඉරකි තිතකි. අංකල් කියලා කට ගන්න හම්බුන්නැ. එදා උදේ මම නැගිටලා තියෙන්නෙ දිසා අටටම නැති ⁣දිසාවකින් වෙද්දි දෛවය මහ කුරිරු විදියට මාත් එක්ක සෙල්ලම් කරන්න පටන් අරං. පල්ලෙවෙල පාස් වෙනවත් අර කිව්ව ට්රේන් එක මට හිනා වෙවි යද්දි ජනේලෙන් පනින්න හිතුනා.
අංකල්ටත් රවාගෙනම සීට් එකෙන් නැගිටලා දොර ළඟට ගියෙ කොල්ලට කෝල් කරලා විස්තරෙ කියන ගමන්.
ෆෝන් එකේන්ම උගෙ බන අහ අහ දොර ලග හිටපු මං මීරිගමින් කෝච්චිය නවත්තද්දිම කෝච්චියෙන් බැස්සා නෙවෙයි පැන්නා.
ඒ වෙද්දි කොල්ලගෙ බැනුම් කොච්චරක්ද කියනවනම් මට රඹුක්කන කෝච්චියටම බෙල්ල තියලා සදාකාලික නින්දකට යන්න හිතිලා තිබුනෙ.
යන්න කෝච්චියක් නැති වෙද්දි වෙන කරන්න දෙයක් නැති කමට මගෙ ස්ත්රී ධෛර්ය පිහිටෙන් ආයෙම රේල් පාරට පැන්නෙ කොල්ලට නොවදිනා වැදුම් වැදලා මාව එක්ක යන්න වරෙන් කිය කිය.
නිදා ගත්තනම් ඒ සාපෙ උඹම විදපං කියලා ඌ ෆෝන් එක කට් කරලා දාද්දි මං බැරි බර කරේ තියන් දෙපයට වාරු අරං සිල්බරන් කොට උඩින් පැන පැන මීරිගම ඉදන් වේයන්ගොඩටම පයින් යන්න තීරනේ කලේ ආයෙ කෝච්චියට නැගලා කිව්වත් වගෙ කොළඹට යයි කියන බයටමයි.
කොල්ලත් එක්ක යන්න එන්න බෑ කියලා කියද්දි මගෙ නින්දට මමම සාප කරන ගමන් රේල්පාර දිගෙ දුවගෙන දුවගෙන ගියෙ යාළුවෙක්ට එන්න කියලා කෝල් කරන ගමන්..
කීනවලට යනකම් පයින්ම ගියපු මං ස්ටේෂන් එ⁣කට ගොඩවෙන්න ගිහින් තව ඩිංගෙන් ඇදන් හිටපු සාරියත් ගැලවිලා බිමට වැටෙනවා.
දිවත් එළියෙ දාන් හොම්බයි කටයි බොම්බයි මුටයි වෙච්ච බල්ලා වගේ හති දදා යාළුවට කීනවලට එන්න කිව්වෙ මෙතනින් එහා එක අඩියක් තියන්න බැරි නිසාමයි.
ඌ එද්දි හොද පන ගිහින් මට. ඇවිත් බැන බැනම යන්න ගියෙ රස්සාවටත් ඒ ගමන්ම ආයුබෝවන් කියාගෙනමයි.
මොකද ගෙදරින් උඹ ආයෙ ට්රේන්එකක් දිහා ඇහැක් ඇරලාබලන්න එපා කියලා තහන්චි වැටෙද්දි මගෙ ලව් එකටත් ඒත් එක්කම කනකොකා ඇඬුවෙ මේ නින්දහින්දමයි.
ඌ නින්දද නැත්තන් මාවද කියලා තෝරගනින් කියද්දි දෙපයින් හිටගෙන නින්ද තෝරගනිද්දි ඌ යන්න ගියෙ නින්දත් එක්කම කුද ගහගනින් කියලා.
ජීවිතේ අනියතං. නින්දනම් නියතන් කියලා මම නින්ද අදහපු කෙනෙක් වසයෙන් තව දුරටත් ඒ වගේ නින්දට බාධා කරන ලව් එකක් ඕන නෑ කියලා හිතුන නිසාම උඹට එපානම් මටත් එපා කියලා මාත් පාඩුවෙම හිටියා.
නින්ද ගැන කියනවනම් කතන්දර කෝටියයි. අදටත් මහ දවාලෙ කිසි ගින්නක් නැතුව ශොප් එකේ ටේබල් එක උඩ හතරගාතෙ නිදන් ඉන්න මාව ඔය වේයන්ගොඩින් එහෙ මෙහෙ යන හුදී ජනයා නිතර දෙවේලෙ දකිනවා ඇති.
ඒ කෙසේ වෙතත් රෑ තිස්සෙ ඇහැරන් අයියා එක්ක කයිය ගගහා කොරියන් ඩ්රාමා බලද්දි ඔය කියන දරුනු ඝනයේ නින්ද මට එන්නැති එකනම් ලෝක පුදුමයක්.
උපුටා ගැනීම : ශා නි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!