” අම්මේ, මොකක් ද කල්පනාව. තාත්තා ගැන ද “
” තාත්තව මට නැතිවෙලා අවුරුදු 25ක් උනා. හැමදේම හීනයක් වගේ “
“ඔච්චර බණ අහන අම්මට තාම තාත්තව හිතින් අතෑරගන්න බැරි උනා “
තාත්තා අම්මාගෙන් වෙන්වී වෙනත් විවාහයක් කරගෙන දැනට අවුරුදු 25ක් පමණ විය. මාවත් අයියාවත් ලොකුමහත් කරන්න, උගන්වන්න අම්මා වින්ද වේදනවා මම තරම් හොදට කවුරුවත් නොදනී. අම්මාට ද වෙනත් විවාහයක් කරගැනීමට හැකියාවක් තිබූ බව මා දන්නා කරුණකි. නමුත් අම්මා තාත්තා නැති දවස සිට පරිසමාප්ත අර්ථයෙන් ම යකඩ ගැහැණියක් විය.
මා කුඩා කල සිටිම අත්වින්දේ ඒ යකඩ ගහැණිවයි. මාගේ සෑම වචනයක ම සෑව හැසිරීමකම ඒ යකඩ ගැහැණිය ජීවත්වන බව මම දනිමි. එම ගැහැණිය ඇතුලත ඇති සංවේදී චරිතය මා දැක ඇත්තේ ඉතාමත් කලාතුරකිනි.
අම්මා තනිවම අපව ගොඩනැගුවා ය. ඇයගේ සම වයසේ මිතුරියන් හොදට ඇද පැලදගෙන යද්දී, ඇය නිහඩව සිටියාය. ඇයට පෝෂණය කිරීමට මමත් අයියාත් සිටි බැවින් ඇය අනවශ්ය වියදම් සියල්ල කපා හැරියාය. ඒ අම්මා ය.
” මිස්, මිස්ව හම්බවෙන්න කවුද මහත්තයෙක් ඇවිත් “
මම අසුනින් නැගිට කාර්යාලය ඉදිරිපිටට ගියෙමි.
එලියේ බංකුවක සිටි පුද්ගලයා ඇදින ගත් මම ” තාත්ත හදිසියේ”
” ඇයි මට එන්න බැයි ද “
” අනෝමා නැන්ද දන්නව ද තාත්ත මාව බලන්න ආව කියල “
” එයාට හැමදේම කියන්න ඕන ද”
“අපි කැන්ටිමට ගිහින් කතා කරමු. යන් “
” ඉතින්”
” ඉතින් “
මම සිනාසීමි
” පුතා හිනාවෙනකොට අම්මා වගේමයි “
” අම්මනම් කියන්නේ තාත්තවගේ කියලා “
” සුජාතා මං ගැන තාම කතා කරනවා එහෙනම්”
මම සිනාසුනා මිසක් කිසිවක් කීමට නොගියෙමි.
” මන් මොනාහරි කන්න ගේන්නම්. කනගමන් කතා කරමු”
” පුතා මන් එක්ක තරහ ද “
” තරහ ද”
” තාත්තා අවුරුදුගානකට පස්සේ මාව හොයාගෙන ආවේ ඕක අහන්න ද “
” ඔව් ” තාත්තා පැවසීය.
“තාත්ත කරපු දේ හරි ද “
” ඒ වෙලාවේ මන් හරි කියල හිතපු දේ කලා. මගේ සතුට ගැන හිතුව. එච්චරයි. ඒක වැරදි ද “
” තාත්ත දැන් සතුටින් ද, දැනුත් එදා වගේම සතුටින් නම් ඒ තීරණය හරි. එහෙම නැත්නම් හරි වැරැද්ද තාත්ත මගෙන් අහල වැඩක් නෑ. ඒක තාත්ත අහන්න තාත්තගේ හිතින්. තාත්තගේ සතුට කියල තාත්ත අනෝමා නැන්දව තෝරගනිද්දි මාවයි අයියගැනයි හිතුව ද “
” තාත්ත එනකන් මන් බලන් ඉදිද්දී තාත්තා මාව ගනන් නොගෙන, මන් එක්ක කතා නොකර අනෝමා නැන්ද එක්ක යද්දී මට කොහොම දැනෙන් ඇත් ද. තාත්ත කෙනෙක්ගේ රැකවරණය නැතිව මට ප්රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී, මගෙන් මිනිස්සු අයුතු ප්රයෝජන ගන්න හදද්දී තාත්තා කොහෙද හිටියේ. මිනිස්සු අපිට හිනා වුණා. තවත් අය අනුකම්පා කලා. තාත්තට අනෝමා නැන්ද හිටියා. අපෙ අම්මට කවුද හිටියේ. එයා තනිවුණා.. ලගින් ඉන්න කෙනාව අතෑරල වෙන කෙනෙක් පස්සෙන් දිව්වා. හති වැටුනද තාත්තේ. නැවතුන තැන සැනසීම කියලා අම්ම තේරුම් ගත්තා “
” තාත්ත දන්නවද තනිවීම කියන්නේ මොකක් ද කියලා. තනිවෙන්නේ කවුරුවත් නැති වෙලාවට නෙවී. තමන්ට ඕනේ කෙනා ලග නැති වෙලාවට. තාත්ත අම්මව අතෑරලා තේරීමක් කලා. ඒකෙ හරි වැරැද්ද දැන් කතා කරල වැඩක් නෑ”
” මන් පුළුවන් හැමවෙලාවෙම සුජාතට උදව් කරන්න හැදුවා. ඒත් එයා තමයි එපා කිව්වේ. “
” උදව් කිව්වේ “
” වියදමට සල්ලි දෙන්න ඇහුවා. මදිපාඩුකම් කියන්න කිව්වා. එයා හැමදාම හිතුවක්කාරයි. එයාට නැතත් ඔය දෙන්න වෙනුවෙන් ගන්න තිබ්බා. මුරණ්ඩුකම”
“සල්ලි. හිනායන කතාකියන්නෙපා. අනික තාත්තෙක් දරුවන්ට උදව් කරන්නේ නෑ. යුතුකම් විතරයි කරන්නේ. තාත්තා නැතිව තාත්තගේ සල්ලි මොකට ද. ලේවලින් බැදීම් එන්නේ නෑ තාත්තේ හැගීම්වලින් බැදීම් ඇතිවෙන්නේ. තාත්තට හැගීම තිබ්බෙ අනෝම නැන්ද ගැන.ඒකයි එතනට බැදුනේ. අපිව අතෑරියෙ. “
තාත්තා වචනයක්වත් කතා නොකර නිශ්ශබ්දව සිටියේ ය. සමහරවිට ඔහුට කියන්න බොහෝ දේ තිබුණා විය හැකිය. තාත්තේ මට තාත්ත නැතුව පාලුයි කියලා තාත්තව බදාගෙන අඩන්න මට සිතුනා වගේම දුවේ මන් උඹට ආදරෙයි කියන්න උවමනාව තාත්ත තුල තිබෙන්න ඇත. ඒත් අපේ මේ සංවාදය ඒ කිසිදු හැගීමකට අවස්ථාවක් ලබා දුන්නේ නැත. අප දෙදෙනා අපගේ අභ්යන්තරයේ නැගෙන සියලු හැගීම් යටපත්කර තර්ක කරනවා පමණී.
” කසාද බදින්න හිතන්නේ නැද්ද පුතේ” කතාව වෙන අතකට යොමුකරමින් තාත්තා ඇසුවේ ය.
” නෑ. තාත්තා වගේ කෙනෙක් හම්බවුනොත්
කියල බයයි. ජීවිත කාලෙට ම බැදීම් එපා. බැදීම් ගැන විශ්වාස නෑ. තාත්තව බලන්න කියල මන් අඩද්දී, අම්ම මාව අනුරාධපුරේට එක්කන් ආව. තාත්ත මොකද කලේ. කියල එන්න එපැයි දැන වැඩ එන්න විදිහක් නෑ කියල අනුරාධපුරේටම ආපු අම්මවයි මාවයි හරවලා යැව්වා. අපිව දාලා අනොමා නැන්දා එක්ක හිනාවෙවි යද්දි මන් බලන් ඉන්නව කියලා තාත්තට හිතුනේ නැද්ද. “
” අනික අම්මා කියනවා මගේ කට හොද නෑ කවුරුවත් කැමති වෙන එකක් නෑ කියලා ” මන් සිනාසී කීවෙමි
” ඔව් ඉතින් අම්මගේ කටම තමයි “
” හැබැයි තාම වැරදුනේ නෑ. දරුවෙක් සම්පූර්ණයෙන් වැඩෙන්න අම්මගේ ආදරයයි, තාත්තගේ ආරක්ෂාවයි ඕනේ. මන් තාත්ත නැතුව සම්පූර්ණ උනේ නෑ. අදටත් මන් අසම්පූර්ණයි. තාත්තට කවදාවත් ඒ අඩුව පුරවන්න බෑ. තාත්තගේ සල්ලිවලට කොහොමත් බෑ. අම්ම ඉගැන්නුවේ සල්ලිවලට ආත්මගරුවත්ව පාවාදෙන්න එපා කියලා. තාත්තට සල්ලි හම්බවුනා කියලා ඒ සල්ලිවලින් කොටසක් මට එව්වා කියලා කිසිදෙයක් හරිගස්සන්න බෑ. “
” ඔයාට මතක නැතිව ඇති පුතේ. අපි රණ්ඩු උනා. තරහ වුණා. හැමදාම ප්රශ්න. අයින් වෙන්න තීරණය කලේ ඒකයි. රණ්ඩුකර කර ජීවිත කාලයම ඉන්න බෑ. මාත් මනුස්සයෙක්.”
” එතකොට අවුරුදු ගානකට පස්සේ තාත්ත ආවේ මේ මට නිදහස කරුණු කියන්න ද”
” මන් ආවේ ඇයි කිලය මන් දන්නේනෑ පුතේ. මට හිතෙනවා තව වැඩිකල් ජීවත් වෙන එකක් නෑ කියලා. ඒකයි ආවේ. අයියාට මන් ඉදල හිටලා කතා කරනවා. ඒත් ඔයා මට කවදාවත් කතා කලේ නෑ. ඒකයි ඔයා එක්ක කතාකරන්න ආවේ. අයියා ලබන අවුරුද්දේ එනවා කිව්වා. මං ආව කියලා අම්මට කියනව ද”
” නෑ . ඔෆිස් එකට මිනිස්සු කී දෙනෙක් එනව ද. ඒ එන හැම කෙනා ගැනම මන් අම්මට කියන්නේ නෑ.” තාත්තගේ මූණ අදුරු වෙනු දුටිමි.
” ඔයා කවදාවත් තේරුම් ගන්න එකක් නෑ පුතේ “
” ඔව් කවදාවත් මන් තේරුම්ගන්නේනෑ. ඇයි ඔය දෙන්නා රණ්ඩු උනේ. ඇයි රණ්ඩු විතරක් මතක තියාගත්තේ. ඇයි ආදරය මතක තියාගන්න බැරි උනේ. රණ්ඩුවලින් හැම තිස්සෙම දෙන්නෙක් වෙන් වෙන්නේ නෑ. බැදීම් කියන්නේ රණ්ඩුම තමයි. බැදීම් කියන්නේ දුකම තමයි. සතුටින්ම ඉන්න ඕනේ නම් ඇයි බැදීම් ඇති කරගත්තේ. ඇයි අපිව හැදුවේ. හැමදේම තමන්ගේ සතුට විතරයි. එක බැදීමක් අතෑරලා තව බැදීමක් අල්ලගත්තා. දැන් ඒ බැදීම අල්ලගෙන දුක්විදිනවා. ඒ බැදිම රැක ගන්න දුක් විදිනවා. අපිව අතෑරලා හොයාගෙන ගිය සතුට ලැබුණද. දැන් සතුටින් ද තාත්තේ. “
” තාත්ත අසනීප වෙද්දී අම්මා කොච්චර තාත්ත ලග නිදිමරන් ඉදලා ඇත්තේ. තාත්තගේ හැම ප්රශ්නෙක දිම තාත්ත එක්ක ඉදලා ඇති. තාත්තගේ ඔලුව කොච්චර අතගාල ඇත් ද. තාත්තව වැස්සේ නොතෙම අම්මා කොච්චර වැස්සේ ඇවිත් ඇත් ද. මිනිස්සු බැදීම් අල්ලගන්නේත් බැදීම් අතාරින්නේත් තමන්ගේ වාසියට තාත්තේ. ඒවගේම තමන්ට අතාරින්න ලේසිම බැදීම තමයි වාසියට අතාරින්නේ. ඒ අතාරින වේලාවට කරපු එක හොදක්වත් මතක නෑ. අම්ම තාත්තට යන්න දුන්නේ තාත්තගේ සතුට ගැන හිතල. බලෙන් තියාගත්තනම් අද දෙන්නම දුකින්. එදා අම්මා දුකින් ඒත් අද තාත්ත දුකින්. තාත්තගේ එදා තීරණය අදත් හරි කියල කියනවද. තාත්තාට ආපහු එන්න තිබ්බා. එන්න තිබ්බා තාත්තේ. “
තාත්තා යන්න නැගිට්ටේ ය.
“තාත්තට අම්ම ගොඩාක් ආදරේ කලා “
” මන් දන්නවා පුතේ. මන් ආපහු ආවනම් සුජාතා මාවා කවදාවත් පිලිගන්නේ නෑ. හැමදේම තවත් අවුල් වෙනවා. එහෙනම් මන් යන්නම් “
තාත්තා මගේ ඔලුව අතගාන්න ගත්තත් නැවත අත කලිසන් සාක්කුවට දාගත්තේ සුසුමක් පිට කරමිනි. ඔහු දුක්මුසු මුහුණින් යද්දී ඔහු සමග ටික දුරක් යෑමට සිතුන ද ජීවිත ගමනේ දී අප තිදෙනාව අතරමං කල ඔහු සමග තව පියවර කිහිපයක් ඇවිද යන එකේ තේරුම තියේද යන ගැටළුව සිතට නැගුනි. තාත්තා ආපහු හැරිලා ආවොත් බදාගෙන අඩනවමයි කියලා හිතුවත් ඔහු ආපසු ආවේ නැත.
බැදීම් අහිමිවීමේ වේදනාවෙන් හිත ගිනිගත්තහම හිත ඇත්තටම ඕනේ දේ කරන්න අමතක කරනවා. මට ඕනේ උනේ තාත්තව බදාගන්න. අඩන්න. ඒත් සිද්ද වුනේ රිද්දවන එක. අතේ කොතරම් තදනි එක මිටට මිටි කරවා ගැනීමට හැදුවත් ඇගිලි අස්සේන් වැලි බිමට වැටෙනවා වගේ තාත්තගේ බැදීම අපට රදවා ගැනීමට නොහැකි විය. තාත්තට අම්මා මදිවිය. එක බැදීමක් මදි විය. අම්මා තාත්තා එයි කියලා බලන් සිටියාය. ඒත් කවදාවත් ඒ ගැන් තාත්තාට නොපැවසුවා ය. බැදීම් හරි සංකීර්ණයි. තමන්ගේ කියලා හිතන් ඉන්න බැදීම් එක ක්ෂණයකින් අනුන්ගේ වෙන හැටි. අතාරින්න බැරුව දගලන හැටි. ගොඩදාපු මාලුවෙකු වගේ ගැහෙන්නේ වේදනාවෙන්. ඒත් ඒ වේදනාව කියන්නේ නෑ. පුළුවන් තරම් රණ්ඩු කරනවා. හැබැයි හිත යටින් එනකන් බලන් ඉන්නවා.
මන් ගෙදර එනතුරු අම්මා පෙරමග බලා සිටියා ය. තාත්තා පැමිණි බව අම්මාට නොකියන්න තීරණය කලෙමි. තාත්තාගේ මතකය සිතට වද දුන්න ද සතියක් දෙකක් ගත වෙද්දී සියල්ල සාමාන්ය අතට හැරිණි.
නිවාඩු දවසේ නිදා ගන්නත් නෑ මො කරුමයක් දැයි සිතමින් ඉරිදා උදේ පාන්දරම නොදන්න අන්කයකින් පැමිණි දුරකතන ඇමතුමට කේන්තියන් පිළිතුරු ලබා දුනිමි.
” හෙලෝ පුතේ. තාත්තා අද පාන්දර නැතිවුණා ” යැයි එහා කොනේ සිටි පුද්ගලයා පවසද්දී කකුල් දෙක පණනැතිව ඇද මත වාඩිවිණි. කුමක් කරම් දැයි සිතා ගැනීමට නොහැකිව පැයක් පමණ ඇද උඩ සිටින්නට ඇත.
නැවත පියවි සිහිය පැමිණි පසු සිතට නැගුණේ ” හයියෝ, එදා තාත්තගේ හිත රිද්දවන්නේ නැතිව කතා කලානම්, එයාව බදාගත්තනම්, එකපාරක් මගේ ඔලුව අතාගෑවනම්, ඇයි තාත්තේ මෙහෙම උනේ. ඒත් මේ හැමදේටම ප්රමාද වැඩි ය. අම්මා මේ දේ කොහොම දරා ගනිද? අම්මට කොහොම කියන්න ද?
මම සෙමින් සෙමින් කුස්සිය දෙසට පිය මැන්නෙමි.
” අද වහී. තේ එක හදන්නත් කලින් නැගිටලා. ආ මේ මොකෝ මූණ. මොකද උනේ පුතේ. “
” අම්මා තාත්තට සමාව දුන්න ද “
” ඒ මොකට ද සමාව ” අම්මා සිනාසී මා දෙස බැලුවා ය.
” නෑ කියන්නකො. “
“මාව දරුවො දෙන්නෙක් එක්ක අතරමන් කල මිනිහට සමාව දෙන්නෙ කොහොමද “
” තාත්තට වෛර කරනවාද”
” මොනාද බන් මේ උදේ පාන්දර අහන ප්රශ්න. කිරි එක බිහින්. එතකොට ඔල්මොරොන්දම් ගතිය අඩුවෙලා යයි. “
” කියන්නකො අම්ම “
අම්මා දිග සුසුමක් පිට කළාය. ” එයාගේ තීරණේ එයා ගත්තා. දෙන්නෙක් එක්ක ගෙවන් ඕනේ ජීවිතේ එක්කෙනෙක් සතුටින් නෙවීනම් ඒක සාර්ථක නෑ. ගලපගෙන ජීවත් වෙනවා කියන්නේ සමාජෙට පේන්න සතුටින් ඉන්නවා කියන එක. ඒත් ඇතුලින් බලද්දි ඒක දුකක්. ලෝකෙට පේන්න සතුටින් ඉන්නවට වඩා වෙන්වෙන එක හොදයි පුතේ. එතකොට කව්රුහරි කෙනෙක් සතුටින්. මට තියෙන ප්රශ්නේ එයා හොයපු සතුට එයාට ලැබුණ ද කියන එක. ඇස් පේන්නෙ නැති උනහම නෙමෙයි පුතේ අන්ධයි කියන්නේ. හැමදේම පෙනිලත්, පෙන්නලත් තේරුම්ගන්නේ නැති එකට.මනස වැහිලාතියෙන එකට. තාත්ත අන්ධ උනා. මට ඕනේනම් තිබ්බා බලෙන් අල්ලන් ඉන්න. ඒත් අතෑරපු තැන හරි නිදහස් පුතේ. මන් ඒ නිදහස අද විදිනව. දැන් මට නැතිවෙන්න දෙයක් නෑ. පරිස්සම්කරන්න දෙයක් නෑ. බය වෙන්න දෙයක් නෑ.”
” ඒ කියන්නේ අම්මා තාත්තට සමාව දුන්නා”
“මන් මෙහෙම කියන්නම්කො. මන් වෛර කරන එක නැවැත්තුවා. “
දැන් තමයි හරි වෙලාව කියල මට හිතුන නිසා ” අම්මේ තාත්ත අද උදේ නැතිවෙලා “
අම්මා කිසිවක් නොපවසා මගේ අතට තේ එක දුණි.
” පුතාට ඕනේ නම් ගිහින් එන්න. අන්තිම පාරට තාත්තව බලලා එන්න ” පවසද්දී ඇයගේ මුහුණේ කිසිම හැගීමක් මා නොදිටී ය.
“අම්ම එන්නේ නැද්ද ” මම ඇසීමි.
” මීට අවුරුදු විසිපහකට කලින් මැරුණ මනුස්සයෙක්ගේ මිනිය අද බැලුවා කියලා මන් මොනා කරන්නද. මයෙ පුතේ. පුතා ගිහින් එන්න. අයියාටත් කාතා කරලා කියන්න. එයා එනවනම් එන්න කියන්න.”
අම්මා තේ එක තොලගාමින් පැවසුවාය. ඇයගේ මුහුනේ කිසිම හැගීමක් මා දුටුවේ නැත. දුකකවත්, පසුතැවීමකවත්, සැනසීමකවත් හැගීමක් එම මුහුණේ දැක්නට නොවීය. ඇය නිවී ගොස් ඇති බව මට තේරුණී.
උපුටා ගැනීම: Vasuda Jayawarna